ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 මාර්තු 02 වැනි දින දරණ අංක 2165/8 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එම ගැසට් නිවේදනය මගින්ම මහ මැතිවරණ දිනය වශයෙන් 2020 අප්‍රේල් 25 වැනිදා නියම කරන ලද අතර නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ලෙස 2020 මැයි 14 වැනි දින නියම කරන ලදී.
ඒ අනුව එකී දන වකවානු කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනය එනම් 2020 මාර්තු 02 වැනි දින සිට මාස 03 ක කාලසීමාවක් ඇතුලත එනම් 2020 ජූනි 02 වැනි දිනයට ප්‍රථමයෙන් නව පාර්ලිමේන්තුව රැස්විය යුතු වේ.
ඒ අනුව නිසි ලෙස නාමයෝජනා භාරගැනීමෙන් පසු 2020 මාර්තු 20 දිනැති අංක 2167/12 දරණ අති විශේෂ ගැසට් නිවේදනය හරහා පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020 අප්‍රේල් 25 වැනි දින පවත්වන බවට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කරන ලදී. එම නිවේදනය මෙතැනින්.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නොබෝ දිනකට පසු කොවිඩ් 19
වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගීම හේතුකොටගෙන නාම
යෝජනා භාරගැනීමේ දිනයෙන් පසු සමස්ථ දිවයිනටම ඇදිරි නීතිය පැණවීමට සිදුවිය.

කෙසේ වෙතත් මෙම ලිපියට 2020 අප්‍රේල් 09 දිනැතිව පිළිතුරක් යවමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශ කරන ලද්දේ නීත්‍යානුකූලව නව පාර්ලිමේන්තුව 2020 ජූනි 02 දිනැතිව කැදවීම සදහා මහ මැතිවරණය 2020 මැයි 28 දිනැතිව පැවැත්වුවද හැකියාව පවත්නා බවත් මහ මැතිවරණය 2020 මැයි මස 28 හෝ ඊට පෙර පැවැත්වීමට හැකියාවක් නොමැත්තේ යැයි පැවසීමට තවමත් කල් වැඩි බවත් එසේ හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත්ය.

ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව රටේ පවත්නා බවට ජනතාවට ඒත්තු ගැන්වෙන පරිදි ආණ්ඩු හිතවාදී මාධ්‍ය නාලිකා මගින් ප්‍රවෘත්ති විකාශය කිරීම පවා ආරම්භ කරන ලදී. දකුණු කොරියාව කොවිඩ් 19 අවදානම යටතේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වූයේය යන කරුණ පුන පුනා සදහන් කරමින් ශ්‍රී ලංකාවේද එවැන්නක් කළ හැකි බවට ඒත්තු ගැන්වීමට මෙම මාධ්‍ය මෙහෙයුම් මගින් උත්සාහ දරණ ලදී. එයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් 2020 අප්‍රේල් 19 වැනිදා වන විට කොරෝනා අවදානම අවසන් වන බවත් 2020 අප්‍රේල් 30 වන විට සම්පූර්ණයෙන්ම රට සාමාන්‍ය තත්වයකට පත්කළ හැකි බවත් ප්‍රකාශ කළාය.
2020 අප්‍රේල් 18 වැනි සෙනසුරාදා එළැඹෙන්නේ ඒ අනුවය. එදින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව දිවයිනේ බලපැවැත්වුණු ඇදිරි නීතිය සැළකියයුතු අන්දමින් 2020 අප්‍රේල් 20 වැනිදා සිට ලිහිල් කරන බව නිවේදනය කරන ලදී.
ආණ්ඩුව බලපෑමක් කලේ නෑ කියන්නේ නම් එය බොරුවක්
ඒ අතර අගමැතිවරයා විසින්ද මැතිවරණ කොමිසම වෙත ලිපියක් යවමින් මැතිවරණ දිනය මැතිවරණ කොමිසම විසින් තීරණය කළ වුතු බව අවධාරණය කර තිබුණි. එපමණක් නොව හිටපු මන්ත්‍රී පොදුජන පෙරමුණේ අපේක්ෂක ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින්ද 2020 අප්‍රේල් 16 දිනැතිව මැතිවරණ කොමිසම වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය ප්‍රකාරව 2020 ජූනි 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුව කැදවිය හැකි වන පරිදි මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම බැදී සිටින බවය.
ඒ අනුව රජයේ පාර්ශවයෙන් මැතිවරණය 2020 මැයි 28 දිනට පෙර දිනයකට යොදා ගැනීම සදහා මැතිවරණ කොමිසමට කිසිදු බලපෑමක් නොකළ බව කිසිවකු ප්‍රකාශ කරන්නේ නම් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට පත්වේ. සත්‍යය නම් ඔවුන් ඒ සදහා නිල මට්ටමින් මෙන්ම නිල නොවන මට්ටමින් සිදුකළ හැකි සියල්ල කළ බවයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් ඉලක්ක කරගනිමින් පෞද්ගලිකව මඩ ගැසීමේ ව්‍යාපාරයක්ද ඒ හා සමගාමීව දියත් විය.ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණය කල් දමන ලෙස මිස කලින් පවත්වන ලෙස තමන්ට කිසිදු පාර්ශවයක් බලපෑම් නොකළ බවට සිදුකළ ප්‍රකාශය ඉහත සාක්ෂි අනුව ගත්කළ එක්කෝ ගැටලු ඇතිවීම වලක්වාගැනීම සදහා කළ ප්‍රකාශයකි. නැත්නම් ආණ්ඩුවට හා එහි හිතවාදීන්ට ඇණුම්පදයක් ලෙස කියූවකි.
2020 අප්‍රේල් මස 20

අතුල් පහරක්
දීර්ඝ සාකච්ඡාවකින් පසු මැතිවරණ කොමිසම තීන්දු කරන ලද පරිදි මහමැතිවරණ දිනය වශයෙන් 2020 ජූනි 20 වැනි දින නියම කරමින් 2020 අප්‍රේල් 20 දිනැති අංක 2172/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී. එම නිවේදනය මෙතැනින්.
එය සැබැවින්ම කොරෝනා අවදානම පහව යාමට පෙර මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට බල කල පාර්ශවයන්ට විශේෂයෙන්ම ජනාධිපතිවරයාට එල්ල කරන ලද තදබල අතුල් පහරක් ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. මන්ද මේ සමග ජනාධිපතිවරයා ගැටලු රාශියකට මැදි වන බැවිනි.
පාර්ලිමේන්තුවට රැස්වීමට නීතිමය බාධාවක් නොමැති වාතාවරණයක්
නියම කරන ලද මැතිවරණ දිනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයේ දිනයේ සිට මාස 03ක කාලයක් ඇතුලත නව පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැත. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය අතිශය සාධාරණ හේතූන් මත ඒ මත කටයුතු කළ නොහැකි වූ ගැසට් නිවේදනයක් (a gazette which could not be acted upon) බවට පත්වේ. මේ හේතුවෙන් ජනාධිපතිවරයා පැරණි පාර්ලිමේන්තුව කැදවුවද නැතද පැරණි පාර්ලිමේන්තුවට රැස්වීමට නීතිමය බාධාවක් නොමැති වාතාවරණයක් උද්ගත වේ.
එකම විකල්පය පාර්ලිමේන්තුව නැවත විසුරුවා හැරීම
එසේ පැරණි පාර්ලිමේන්තුව රැස් වුවද ව්‍යවස්ථාදායකයට එරෙහිව නඩු පැවරීමට කිසිවෙකුට හැකියාවක් නැත. ජනාධිපතිවරයාට ඉතිරි වන එකම විකල්පය වන්නේ පාර්ලිමේන්තුව නැවත විසුරුවා හැරීම පමණි. එසේ කළ විට නව මැතිවරණයක් වශයෙන් නැවත වරක් නාමයෝජනා භාරගැනීම ආදී සියළු කටයුතු කිරීමට සිදුවේ. එය පාලක පක්ෂය දේශපාලනිකව එතරම් කැමති වාතාවරණයක් නොවන බව ඔවුන්ගේ හැසිරීම් රටාව ප්‍රවේශමෙන් අධ්‍යනය කිරීමේදී පෙනී යයි.
අරමුදල් බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට
රටක අරමුදල් පිළිබදව බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට වේ. ඉතා සීමිත අවස්ථා ගණනකදී හැරුණු විට පාර්ලිමේන්තුවේ අනුමැතියක් රහිතව අරමුදල් වියදම් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වෙයි. අරමුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම අයවැයක් සම්මත කරගැනීම හරහා හෝ අතුරු සම්මත ගිණුමක් හරහා කළ යුතු වේ. පාර්ලිමේන්තුවේ අනුමැතිය රහිතව මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැක්කේ යම් සීමාවකට යටත්ව සීමා සහිත කාලයකට පමණි. එම කාල සීමාව ඉතා වේගයෙන් ඉක්ම යමින් පවත්නා බැවින් අවශ්‍ය අනුමැතිය සදහා පැරණි පාර්ලිමේන්තුව දෙසට හැරීම හැර අන් විකල්පයක් ජනාධිපතිවරයාට නොමැති වේ.
ඇතැම් අය කියන පරිද පාර්ලිමේන්තුව නැතුව යන්න බෑ
ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි පාර්ලිමේන්තුව නොමැතිව ජනාධිපතිවරයාට රිසි යැයි හැගෙන පරිදි මාස 6ට රට කරගෙන යා යුතු බවට ඉදිරිපත් වන යෝජනා සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි ඒවා බව කිව යුතුය. එය බැලු බැල්මට යහපත් සහ ක්‍රියාත්මක කළ හැකි සේ පෙනුණද යම් දිනයක පාර්ලිමේන්තු අනුමැතිය රහිතව වියදම් කරන ලද මුදල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පෞද්ගලිකව වගකීමට සිදුවන තත්වයක් ඇතිවීමටද ඉඩ තිබේ.
පැරණි පාර්ලිමේන්තුව කැදවීම ගැන කියන කතා අතිශයෝක්තියක්
පැරණි පාර්ලිමේන්තුව කැදවීම මගින් මහත් ගැටලු උද්ගත වන බව පැවසීමද තදබල අතිශයෝක්තියක් බව කිව යුතුය. මන්ද පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට්ටුව මත ක්‍රියා කළ නොහැකි වීම හේතුවෙන් පැරණි පාර්ලිමේන්තුව කැදවීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන්නේ යැයි කිව නොහැක. මන්ද මහ මැතිවරණය සදහා නාම යෝජනා භාරගැනීම හැරෙන්නට එයට අදාළව අන් කිසිදු කාර්යයක් ආරම්භ කර හෝ නොමැති බව මැතිවරණ කොමිසමම පවසයි. ඒ අනුව නැවත පිරිවැයක් දැරීමට සිදුවන්නේ නම් එය ඉතා සීමිත ප්‍රමාණයකි.
මහමැතිවරණයක කොරෝනා ව්‍යාප්ති අවදානම සහ පාර්ලිමේන්තුව කැදවීමේ කොරෝනා ව්‍යාප්ති අවදානම අහසට පොළව වැනි තත්වයන් දෙකක්
ඇතැම් අය පැරණි පාර්ලිමේන්තුව කැදවීම සහ මහමැතිවරණය කැදවීම යන දෙකෙන්ම කොරෝනා ව්‍යාප්තියට ඉඩ සැළසෙන බවට තර්ක කරති. එයද එකිනෙක හා සංසන්දනය කළ නොහැකි අහසට පොළොව මෙන් වෙනස් තත්ව දෙකකි. පාර්ලිමේන්තුව නැවත කැදවා එක් දිනක් සදහා යන වියදම මැතිවරණයක් සදහා යන
වියදම සමග සැසදූ කල ඉතා සුළු ප්‍රමාණයකි. එමෙන්ම පාර්ලිමේන්තු සභා වාරයක්
සදහා ජීවිත අවදානමක් සහිතව සේවයට වාර්තා කළ යුතු වන්නේ දහසකටත් අඩු
පිරිසකි. මහ මැතිවරණයක් සදහා අවම වශයෙන් එක්කෝටි විසි ලක්ෂයක් වත් ජනතාව
තමන්ගේ ජීවිත අවදානම නොතකා එළියට බැසිය යුතු වේ.
කැදවිය යුත්තේ අරමුදල් සදහා අනුමැතිය ගැනීමට පමණයි
පාර්ලිමේන්තුව නැවත කැදවීමෙන් එදින සිට දිනපතා පාර්ලිමේන්තු සැසි පැවැත්වෙන බවක් අදහස් නොකෙරේ. කැදවෙන පළමු දිනයේම ස්ථාවර නියෝග අත්හිටවීමේ යෝජනාවක් සම්මත කරගෙන ඉන්පසු හදිසි අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් එදිනම සම්මත කරගැනීමේ හැකියාව ඇත. එදිනම ඉන්පසු පාර්ලිමේන්තුව එක්කෝ වාරාවසාන කිරීමට හෝ නැත්නම් නැවත විසුරුවා හැරීමට හෝ ජනාධිපතිවරයාට හැකියාව ඇත.
විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවයි කියා බයක්ද?
ඇතැම් පාර්ශව බිය පළ කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂය වන පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්කළහොත් ඔවුන් නැවත ආණ්ඩුවක් පිහිටුවා රටේ බලය අල්ලනු ඇති බවය. එය ඉතා අභව්‍ය බව කිව යුතුය. මන්ද පාර්ලිමේන්තුව පත්වීමෙන් වසර හතර හමාරක් ඉක්ම ගොස් ඇති හෙයින් පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක නැවත විසුරුවීමට ජනාධිපතිවරයාට බලය ඇත. එමෙන්ම මෙම පාර්ලිමේන්තුවේ නිල කාලයෙන් ඉතිරි වී ඇති මාස 4ක කාලය සදහා මෙම ගැටලු අධික වාතාවරණය හමුවේ නව ආණ්ඩුවක් පිහිටුවා ඉවත යන කරදර ඔලුවේ දමා ගැනීමට තරම් විපක්ෂයට උමතුවක් ඇතැයි නොපෙනෙන බැවිනි. එවන් පියවරක් ඔවුන්ව ඉක්මන් දේශපාලන මරණයක් කරා මිස වෙනත් තැනකට ගෙන යන්නේ නැත.
එැබැවින් පාර්ලිමේන්තුව නැවත කැදවීම එය විසුරුවීමේ ගැසට් නිවේදනය ඒ මත ක්‍රියා කළ නොහැකි වූ නිවේදනයක් සේ සළකා ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සිදු කළ හැකිය.
ජනාධිපතිවරයාගේ කැමැත්ත නොලැබීමට හේතු දෙකක්
ජනාධිපතිවරයාගේ කැමැත්ත එයට නොලැබීමට තිබිය හැක්කේ හේතු දෙකක් පමණි. එකක් නම් ජනාධිපතිවරයා තමන් ගන්නා ලද තීරණයක් ආපස්සට ගැනීම පෞද්ගලිකව තම ආත්මාභිමානයට සිදුවූ කැළලක් සේ සළකන මානසික තත්වයක් ඇති පුද්ගලයෙකු වීමය. අනෙක නැවත නාම යෝජනා කැදවීම තමන්ට දැඩි ලෙස දේශපාලනිකව අවාසි සහගත බව ආණ්ඩු පක්ෂය කල්පනා කිරීමය. බැලු බැල්මට එවන් අවාසියක් ඇති බවක් පෙනේනට නැත.
ජනාධිපතිවරයාගේ කැමැත්ත එයට නොලැබීමට තිබිය හැක්කේ හේතු දෙකක් පමණි. එකක් නම් ජනාධිපතිවරයා තමන් ගන්නා ලද තීරණයක් ආපස්සට ගැනීම පෞද්ගලිකව තම ආත්මාභිමානයට සිදුවූ කැළලක් සේ සළකන මානසික තත්වයක් ඇති පුද්ගලයෙකු වීමය. අනෙක නැවත නාම යෝජනා කැදවීම තමන්ට දැඩි ලෙස දේශපාලනිකව අවාසි සහගත බව ආණ්ඩු පක්ෂය කල්පනා කිරීමය. බැලු බැල්මට එවන් අවාසියක් ඇති බවක් පෙනේනට නැත.
විකල්ප දෙකයි
ඒ අනුව කුමන කතා කෙසේ කියැවුණද අනාගතයේ බලයේ නොමැති අවස්ථාවක මූල්‍ය අපරාධ චෝදනාවකට ලක්වීමේ අවදානමක් ඇති නොවන සේ නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා කල්පනා කරන්නේ නම් ඔහුට ඇත්තේ විකල්ප දෙකක් පමණි. එකක් පැරණි පාර්ලිමේන්තුව කැදවීමය. අනෙක 2020 ජූනි 02 දිනට පෙර මෙම තත්වය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමය.
කුමන තත්වයක් යටතේ වුවද ඊයේ (20) දිනයේ මැතිවරණ කොමිසම ගන්නා ලද තීරණය හැදින්විය හැක්කේ ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය විසින් ජනරජයේ ජනාධිපතිවරයාට එදා මෙදා තුල එල්ල කරන තදබලම අතුල් පහරක් ලෙසය.
ඉතා පැහැදිලි අර්ථකථනයක් සහ පවතින තත්ත්වය පිළිබඳව හොද කියවීමක්
ReplyDeleteමීට සමාන අදහසක්ම තමයි සුමන්තිරන් කියලා තිබුනේ.ඒත් ජයම්පති වික්‍රමරත්න කියපු විදියට ජුනි 20 ඡන්ද දිනය ලෙස නම් කරපු නිසා පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්වීමක් සහා සැප්තැම්බර් වෙනකන් පවත්වාගෙන යාමේ හැකියාවක් දැන් නැ කියලා
ReplyDelete