Blog of Athila Athauda
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Sunday, June 13, 2021
දේශපාලන වහල්භාවය
Wednesday, June 9, 2021
Fear Psychosis හෙවත් භ්‍රාන්ති මනෝභාවය
Friday, September 18, 2020
Jailbreak Pact (2020)
Tuesday, September 15, 2020
Suppression එකක් එන එක හොඳයි
මේ දවස්වල වර්තමාන ආණ්ඩුවට විරුද්ධ අය අතර ගොඩක් කතා වෙන දෙයක් තමයි ආණ්ඩුව 19 වැනි සංශෝධනය අහෝසි කරාවි, ඊට පස්සෙ ලොකු suppression එකක් එහෙම නැත්නම් මර්දනයක් එන්න නියමිතයි කියන එක. මම පුද්ගලිකව හිතන්නෙ නෑ එහෙම මර්දනයක් විශේෂයෙන් ඒවි කියල. මොකද එහෙම මර්දනයක් කරනවනම් දැනටත් ආණ්ඩුවට ඒක කරන්න හැකියාව තියනව. 19 අහෝසිකරල, 20 ගෙනල්ල, බැසිල්ව පාර්ලිමේන්තුවට ගෙනල්ල, බුලත් විටක් කාල, කෙළ පාරක් එහෙම ගහල ඉන්නෙ නෑ එහෙම කරනවනම්. අනික පහුගිය වතාවෙ එහෙම තැන් වලින් අත පුච්චගත්තු අත්දැකීමුත් එක්ක ආණ්ඩුව ගොඩක් උපක්‍රමශීලී වේවි මේ සැරේ.
හැබැයි හිතේ හැටියට අත දිග ඇරල ඕනම දෙයක් කරගන්න 19න් ඇති වෙලා තියන බාධා ටික නම් ඉවත්කරගනී කියල හිතන්න පුළුවන්. සල්ලි එහෙම ගද්දි double චෙක් වෙන තැන් එහෙම ගාණට ගලවල විසි කරයි. ඒත් ඒ 19 ගලවල 18 බලාත්මක වෙන විදියට නෙමේ. 18 ආපහු ආවොත් මහින්ද රාජපක්ෂ කියන්නෙ තවත් දි.මු ජයරත්න කෙනෙක් වෙනව. ඒ හින්ද 20 බොහෝවිට වෙනම හැඩයක් වේවි. බොහෝවිට ස්වාධීන කොමිසන් සභා අකර්මණ්‍ය කරල හිතේ හැටියට නටාගන්න පුළුවන් වෙන්න බලතල ඔක්කොම එක මිටට බොහෝවිට අගමැති අතට ගනීවි. ද්විත්ව පුරවැසියන්ට තියන සීමා ඉවත් කරයි. අනිත් දේවල් වල නම් ලොකු වෙනසක් වෙන එකක් නෑ. දැනට තියන අගමැතිකමේ බලය දශමෙකින්වත් අඩු කරයි කියල මම නම් හිතන්නෙ නෑ.
හැබැයි මම කැමතියි 19 ගලවල 18 ගෙනත් ඒත් එක්කම සමහරු ඔය ලොකු බියකරු බිල්ලෙක් මවන විදියට suppression එකක් එනවනම්. ඒකට හේතු දෙකක් තියනව. පළවෙනි එක ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස වගේ දේක අගේ තේරෙන්නෙ මර්දනයක් තුල විතරයි. මර්දනයක් නැති තැන ඒක බෙල්ලෙ පාළුවට තියන ඔලුවක් වගේ වෙනව.
දෙවනි හේතුව තමයි එහෙම මර්දනයක් ආවොත් බලවත් පොදු සතුරෙක් ඇතිවෙන නිසා අපේ රටේ විකල්ප මතධාරීන්ය කියන කොටස අතර දැනට තියන දෙකයි පනහේ භේද ටික තාවකාලිකව අකුලගන්න වෙන එක. ඇත්තටම උන් අතර තියෙන්නෙ දෙකයි පනහෙ භේද. අර "මුලින් ආවෙ කිකිළිද බිත්තරේද" වගේ වාද. සමහරවිට එකෙක් කියනව "උත්තරේ 100යි" කියල. අනික කියනව "නෑ. නෑ. උත්තරේ 99.999999යි කියල. ඔය සංවාදෙ හොඳයි දැනුම වැඩිකරගන්න නිවාඩු පාඩු වෙලාවට බුද්ධි කලම්භනයටනම්. හැබැයි අපේ උන් කරන්නෙ ඕක හින්ද ඇතිවන භේදය මුළින් න්‍යායාත්මක හෝ ප්‍රතිපත්තිමය පරස්පරතාවයක් බවටත්, ඊට පස්සෙ පුද්ගලික ඇරියස් එකක් බවටත් පරිවර්තනය කරගැනීම.
ඊට පස්සෙ වෙන්නෙ සැබෑ අරගලය පැත්තක තියෙද්දි අර කොහෙවත් නැති න්‍යායාත්මක කරුණක කෙස් ගහක වෙනසක් අල්ලන් මැරෙන්න හදන එක. ඇත්තටම විකල්ප මතධාරීන් අතරෙ හිටපු සමහර වටිනා අදහස් තියන මිනිස්සු ගණනාවක් ඒ වගේ දෙකයි පනහෙ වලි වලට ඔට්ටු වෙවී ජීවිත කාලෙම තමුන්ගෙම උන්ට බැණ බැණ ඉඳල මැරිලත් ගිහින් තියනව. ඊට පස්සෙ එහෙම භේද වෙන දෙන්නෙක් එක මේසෙ වාඩි කරවන්නම බෑ. තැන් තැන් වල බැණ බැණ යනවා. කින්ඩි දදා යනවා. ඇයි? අර දශම ගාණෙ අවුලට. ඒක තමයි විසම්මුතිකයන්ට විසම්මුතිය විසින්ම උරුම කර දෙන අගතිය.
ඒත් එහෙම භේද වෙන දෙන්නගෙම පැවැත්මෙ base එකටම වදින ටිකක් තද suppression එකක් පිටින් ආවොත් මොකද වෙන්නෙ? අන්න එතකොට උන් දෙන්න කුළල් කාගැනිල්ල පොඩ්ඩකට නවත්තල බලනව "මොකක්ද යකෝ මේ?" කියල. දරාගන්න බැරි තරම් බුද්ධිය වැඩි සමහරු නම් ඔළුව ගල් රෝලෙන් යට වෙන්න ගියත් දශම ගාණෙ වලියෙ ඉඳී. ඒත් ටිකක් common sense තියන පොළවෙ පය යන්තමට වගේ ගෑවෙන උන්ට suppression එකක් එනකොට ඒ අවුල පෙනෙයි. අර දශම ගාණ දාල දුවගෙන ඇවිත් එක කතාවට ඒ වැඩේට කර තියන්න යම් පෙළඹවීමක් එතන හැදෙයි. ඒක වෙන්න suppression එකක් එන්න ඕනමයි.
ඒත් බයවෙන්න එපා. මේ ආණ්ඩුව යටතෙ එහෙම හිතන තරම් බරපතළ suppression එකක් එන්නෙ නෑ.
හරක් මස් සහ ඛේට ග්‍රන්ථි
ඉස්සර මස් කියල කිව්වෙ හරක්මස් වලට. කුකුල් මස් සුඛෝපභෝගී කෑමක්. සතියකට සැරයක්වත් ගෙදරට හරක් මස් ගේනව. කිලෝවක් රුපියල් සීයයි. ඒවත් ඔය ෆුඩ් සිටිවල තියන ඒව වගේ ෆ්රිජ් වල තැම්බිච්ච හරක් මස් නෙමේ. උදේ කපපු ලේ පාට අඩුවෙලා නැති නැවුම් හරක් මස්.
මස් ගෙනත් ඒක කපන එකත් සෑහෙන වැඩක්. හෝදල ගොඩක් පොඩියටත් නැතුව ගොඩක් ලොකුවටත් නැතුව මස් කපන එක කලාවක්. ඊට පස්සෙ කපා ගත්තු මස් ටිකට පහේ දාන්න ඕන. ඉස්සර මස්කරි තුනපහ තිබ්බෙ නෑ. ඉතිං සමහර වෙලාවට ගම්මිරිසුයි, රම්පෙ, කරපිංච, සේර, සුදුළූණු එක්ක කහ, තුනපහ, මිරිස්, ගම්මිරිස් දාල ගලේ අඹරල පහේ ගුලියක් හදනව. ඒ ගුලිය කපපු මස් ගොඩට දාල හොදට කළවම් කරල විනාඩි විස්සක් විතර තියනව.
අඹරන්නෙ නැත්නම් ඒ ඒ අඩුම කුඩුම ටික වෙන වෙනම මස් වලට දාල කළවම් කරන්නත් පුළුවන්. ඒත් මගෙ අත්දැකීම අර පරණ තාලෙට පහේ ගුලිය ගලේ අඹරල දැම්මම රස වැඩියි. සුවඳත් වැඩියි.
හරක් මස් වලට ගොරකා දැම්මොත් මස් තවත් තද වෙනව. කන්න අමාරුයි. ඒක හින්ද ඇඹුල් විදියට හරක් මසට යන්නෙ සියඹලා. ඒවත් දාල අනල මස් ටික වැහෙන ගාණට වතුර දාල ලිපේ තියනව. ඒක මැටි හට්ටියක දර ලිපේ නම් තවත් මරු.
ඔන්න ලිපේ තියල ටික වෙලාවකින් අමුතුම සුවඳක් ගේ පුරා පැතිරෙන්න ගන්නව. ඒ තමයි අර පහේ ටික තැම්බෙද්දි එන සුවඳයි හරක් මස් තැම්බෙද්දි එන සුවඳයි දෙක කළවම් වෙලා එන අමුතුම සුවඳ. ඒක පුදුමාකාර පුසුඹක්. ඒක දැනෙනකොට කට දෙපැත්තෙ ඛේට ග්‍රන්ථි රිදිලා හිරි වැටිලා කටට කෙළ උනන්න පටන්ගන්නෙ. වෙනත් කිසිම මස් වර්ගයක් උයද්දි සුවඳ දැනෙද්දි මට ඒ හැඟීම ඇතිවෙලා නෑ. ඔව්. අඩුමගානෙ ඌරුමස් වල් ඌරුමස් වලටවත් ඒක එහෙම දැනෙන්නෙ නෑ.
ඔය සුවඳ එන්න පටන් අරන් විනාඩි 10ක් විතර යද්දි මස් කෑලි හොද්දෙන් අරන් කන්න පුළුවන් තරමට තැම්බෙනව. උණු උණුවෙ කට පිච්චි පිච්චි ඒ මස් කෑලි කන එක වෙනම ආනන්දයක්. පස්සෙ පස්සෙ මම ඔය වෙලාවට මස් කෑලි ටිකක් හොද්දෙන් අයින් කරගන්නව. ඊට පස්සෙ රතු ළූණුයි, මුරුංගා කොළයි, කජුයා, කෑලි මිරිසුයි, ලුණුයි එක්ක තෙලට දානව. තැම්බිච්ච මස් ඔය කියපු අඩු වැඩිය එක්ක බැදල ගත්තම තියෙන්නෙ පිස්සු හැදෙන රහක්.
අර ලිපේ තියන හොද්දට ගිනදර වැඩි වෙලත් බෑ. මදි වෙලත් බෑ. ගාණට ගින්දර එක්ක පාඩුවෙ ඉදෙන්න දෙන්න ඕන. මම නම් ආස හොද්ද ලොකුවට නැතුව බොර වගේ වෙන්න හිඳෙනවට. එහෙම පාඩුවෙ ඉදෙන්න දුන්න හරක් මස් කරියක් දැක්ක ගමන්ම කියන්න පුළුවන්. මස් කෑලි යාන්තමට කළු වෙලා. හොද්ද මස් වල මට්ටමට යාන්තම් පහලින් බොර වගේ තියෙන්නෙ ටිකක් තද දුඹුරු පාටකින්. තද දුඹුරු හොද්දට උඩින් රතු පාටයි කහ පාටයි කළවම් වෙච්ච අමුතුම පාටක තෙල් තට්ටුවක්. පැත්ත පළාතෙ ඉන්න බෑ සුවඳ.
අර මම මුලින් කියපු තෙලට දාල ගන්න එක හොඳයි බයිට් එකට. ආය වෙන මොකවත්ම ඕන නෑ. ඔය කරිය ඕනම දේකට හොඳට ගැලපෙනව. බත් කන්න, පාං කන්න, රොටි කන්න, ඉඳිආප්ප කන්න ඕනම දේකට. අල වර්ග තම්බල කනකොට ඊටත් වඩා රහයි. බත් වල තියන යානතම් පැණි රහ ගතියත් එක්ක සැර හරක් මස් කරියෙ හොද්දයි හොඳට පහේ අහපු තැම්බිච්ච මස් කෑලියි හැපෙනකොට ආයෙත් හක්ක දෙපැත්තෙ ඛේඨ ග්‍රන්ථි දැවිල්ල හැදෙන තරමට එනව. ඒ තරමට රසයි.
හරක් මස් ගොඩක් ගුණයි කියනව. අගුණ ගැන තියන මත පසු කාලීනව ආගමික වුවමනාවන්ට පතුරවපු මිත්‍යාවන්. හැබැයි දිරවන්න අමාරු අය ඉන්නව. ඒකයි ගම්පෙරළියෙ තිස්ස කියන්නෙ "කනවනම් කන්න ඕන හරක්මස්. හැබැයි දිරවන්න පුළුවන් අය විතරක්" කියල. ඒත් අවංකව කියනවනම් මම හරක් මස් කන්නෙ ඒ ගුණ බලාගෙන නෙමෙයි. ඒකෙන් මට පෝෂණ ගුණයක් ලැබුණත් එකයි නැතත් එකයි.
ඇත්ත හේතුව තමයි එකෙ තියන රස. මස් එක ඉදෙන වෙලාවෙ එන සුවඳෙ ඉඳන් කාලා පැයක් විතර යනකනුත් කටේ රැඳෙන ඛේට ග්‍රන්ථි හිරිවට්ටවන දන ඒ හැඟීම වෙනත් කිසිම කෑමකින් මට ලැබිල නෑ. ඒක හරක් මස් වලට ආවේණික අත්දැකීමක්.
හරක්මස් සමඟ මගේ ගනුදෙණුව
මම හරක්මස් කන්න කැමති කෙනෙක්. යම් තරමකට හරක්මස් උයන්නත් දන්න කෙනෙක්. මමම කඩේට ගිහිල්ල, එල්ලල තියන මස් ගාතෙන් මම කියන තැනින් කෑල්ලක් කපාගෙන ගෙනැල්ල, මමම ඒක හෝදල, කපල, පහේ ටික දාල, උයල, කාල ඒ සම්පූර්ණ process එක enjoy කරන කෙනෙක්. හරක්මස් ගැන මොන ස්වරූපයක හරි තහනමක් සීමාවක් ගේන්න කවුරුහරි කතා කරන හැම වෙලාවකම වගේ මම ඊට එරෙහිව කතා කරල තියනව. ඊට එරෙහිව ලියල තියනව. ඉදිරියටත් එහෙමයි. මොකද කාටවත් බෑ කෙනෙක් කන බොන දේවල් ගැන සීමා පණවන්න.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මගෙ මේ හරක්මස් ලැදියාවයි ඒක ප්‍රසිද්ධියේ කියන ගතියයි දෙක මගේ අනෙක් පැවතුම් එක්ක ගැලපෙන්නෙ නෑ කියල. මටත් සමහර වෙලාවකට හිතිල තියනව එහෙමදෝ කියල. ඒ හින්දයි හරක්මස් එක්ක මගෙ තියන ගණුදෙනුව දිග ඇරල ලියල දාන්න හිතුවෙ.
අපි පුංචි කාලෙ "මස්" කියන පොදු පදෙන් හැඳින්වුනෙ හරක්මස්. "මස් ටිකක් ගේනව" කියල කියන්නෙ හරක්මස් ගේනවට. මට මතක විදියට කුකුල් මස් ටිකක් කෑවෙ පහලගමේ දෙවනි නැන්දම්මගෙයි කොටුවෙ සාන්ත මාමගෙයි මංගල උත්සවය දවසෙ. එදා මල් මල් කමිසෙ ටිකක් ලොකු ඩෙනිමට අමාරුවෙන් යට කරල, හිර වෙන්න බෙල්ට් එකක් දාල, වැලමිටි දෙකෙන් හිර කරගෙන ඉස්කෝලෙ යන්න දාන සපත්තු දෙක දාගෙන පුංචියට හිටපු මට අඬගහල කුකුල් මස් කෑල්ලක් දුන්නෙ දෙණියෙ බණ්ඩාරෙ අත්තා.
ඒ වගේ විශේෂ අවස්ථාවක මිසක් අපි කුකුල් මස් කාලම තිබුණෙ නෑ. කෑවත් ඒකෙ තියන අමුතු පොල් රහ/ පිටි රහ වගේ එකට වැඩි කැමැත්තක් ආවෙත් නෑ.
අප්පච්චි මාසෙකට සැරයක් දෙකක් ටවුමට ගියාම හරක්මස් ටිකක් ගේනව. ගෙනැල්ල ඒක සීරුවට හෝදල කපල දෙන්නෙත් අප්පච්චි. ඒ මස් හෝදපු වතුර ටික දුඹුරාට දුන්නම ඌ ඒක සොරොස් සොරොස් ගගා උගුරට දෙකට බීල දානව. ඊට පස්සෙ හොද්ද හැදෙන්නෙ අම්මගෙ අතින්. අම්ම ඒක ක්‍රම ගණනාවකට හදන්න දැනගෙන හිටිය. මම ගිය සතියෙ දාපු පෝස්ට් එකේ තියන විදිය එකක්. කොහොම හැදුවත් රසයි.
හදල ඉවර වෙල අපි පුංචි කාලෙ සමහරවිට නංගිටයි මටයි ඒව අනල කවනව. අම්ම කවන්නෙ කුරුල්ලො හදල. අප්පච්චි කවන්නෙ බත් ගුලි හදල. ඒ දෙක රස දෙකක්. අත්දැකීම් දෙකක්. මස් හදපු දවසක් නම් සාමාන්‍යයෙන් කවන්නෙ අප්පච්චි.
අපි කන්න අදිමදි කරනවනම්, එහෙමත් නැත්නම් අසනීප වෙලා කන්න බැරුව ඉන්නවනම් ගිහින් හරක් මස් ටිකක් ගෙනල්ල, උයල, අනල, ගුලි හදල එක ගුලිය දෙකට කඩල භාගයක් නංගිටයි භාගයක් මටයි කවන්නෙ මොකක් හරි කතාවක් කිය කිය.
ඒ මස් අත්දැකීම හැමදාම ලැබුණ දේකුත් නෙමෙයි. දුර්ලභයි. ඉතිං මස් ගේන දවස අපිට කොහොමටත් විශේෂ දවසක් වුණා. ඒ දවසට මොකක්දෝ අමුතු ලැදියාවක කෑල්ලක් හිතේ අතීත කාමයක් විදියට තාමත් ඉතුරු වෙලා තියනව.
ඊට පස්සෙ අපි ටික කාලෙකට පිලැස්සෙ නැවතිල හිටිය. ඒ අත්තයි කිරිඅම්මයි එක්ක එයාලගෙ ගෙදර. ඒ ගෙදරත් නිතරම කන මස් වර්ගය වුණේ හරක් මස්. කිරි අම්මත් බොහොම අපූරුවට හරක් මස් උයන්න දැනගෙන හිටිය. එහෙ ගතකරපු කාලය මගෙ ජීවිතේ මම සතුටින්ම හිටි කාල වලින් එකක්. ඒ කාලෙ ආසාවෙන්ම කාපු කෑමක් තමයි ඒ හරක්මස් කරිය. ඉතින් හොඳට පහේ දාල සැර හිටින්න හදපු හරක් මස් කරියක් මට ඒ සුන්දර කාලෙ මතකයත් හිමිහිට අරන් එනව.
මට හිතෙන විදියට හරක් මස් කන වාරයක් පාසා මගෙ පුංචි කාලෙ ඒකෙ තිබුණ රස විඳපු හැටි, විශේෂත්වය වගේ හැඟීම් අතීත කාමයක් විදියට උද්දීපනය වෙනව ඇති. මම ආයෙ ආයෙත් අර පරණ වින්දනය හොයනව ඇති.
හරක්මස් වල තියනවයි කියන ගුණ ඒක කන්න මම කවදාවත් හේතුවක් කරගත්තය කියල මට මතකයක් නෑ. මට මතක ඔය අතීතකාමී අවදි වීම සහ ඒකෙ ඇත්තටම තියන රස පමණක් ඒකට හැම වෙලාවෙම හේතු වුණ බව.
පස්සෙ මම එක එක විදියට හරක්මස් කාල තියනව. එක එක විදියට උයන්නත් ඉගෙන ගත්ත. කොත්තු විදියට එක රහක්, ෆ්රයිඩ් රයිස් එක්ක තව රහක්, බත් එක්ක තව රහක්, ඉඳිආප්ප, පිට්ටු, පාං එක්ක තවත් රහක්, බයිට් එකට හදපුවාම තවත් රහක්.
ඒක මගෙ ප්‍රතිපත්ති එක්ක ගැටුණෙ නැද්ද? සමහරවිට ඔව්. සමහරවිට නෑ. මම කවදාවත් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් (ඒ කියන්නෙ ආගමේ නාමෙන් යමක් කියනවනම් ඒක ඉස් මුදුණින් පිළිගන්න මිනිහෙක්) වෙලා හිටියයි කියල මට මතක නෑ. ඉතිං මම බුදු දහමට කිට්ටුම වෙන තැනදි වුණත් ඒකෙ කියන දේ "සාදු" කියල භාරගන්නෙ නැතුව උඩින්, යටින්, දිගට, හරහට, කිරල, මැනල, කියවල, විනිවිද බලන්න මම පුරුදු වෙලා තියනව. ඉතිං කවුරුහරි බෞද්ධයෙක්, බෞද්ධ වීම නිසා හරක්මස් කන්න එපයි කියල මට කියනකොට මට හිනා යනව. හේතුව දන්න අය දන්නව ඇති.
හරකුන්ගෙන් කිරි බීල, වැඩ අරගෙන ඌගෙ මස් කන්න එපයි කියන එකේ පොඩි "පගාමය තර්කානුකූල බවක්" තියනව. ඒ කියන්නෙ අපිට හිතවත්, අපිට පක්ෂපාතී අපේ එකාට හානි කරන්නෙ නෑ. එහෙම බැඳීමක් නැති එකෙකුට හානි කරාට එච්චර අවුලක් නෑ කියන එක. ඒකෙ තර්කානුකූල බව මම දකිනව. හැබැයි ඒක ආගමත් එක්ක ගැටගහල පවට හෝ අකුසලයකට තියන බයත් එක්ක පාහන්න හදනකොට ආපහු අර හිනායන තත්වෙට එනව.
අනික් කාරණය තමයි ගොඩක් අයගෙ ඔය හරක්මස් විරෝධය තුල තියන "විල්පත්තු තියරිය". ඒ කියන්නෙ එතන අදාළ විෂයගත කරුණ සම්බන්ධයෙන් ඇත්තටම විරෝධයක් නෑ. තියෙන්නෙ ඒකට ගෑවිච්ච ජන වර්ගයක් එක්ක තියන ඇරියස් එකක්. මස් සම්බන්ධයෙන් නම් ඒ අය වැඩියෙන්ම කන මස් වර්ගය තහනම් කරවා ගැනීමේ ආතල් එකක්. එහෙම ඇරියස් සික් කාරයින්ගෙ ආතල් වලට මගේ කර උඩින් ඉණිමං බඳින්න දෙන එක නවත්තල ගොඩක් කල්.
හැබැයි මමත් ගෙදර සත්තු හදන, සත්තුන්ට ආදරේ මිනිහෙක්. එතකොට ඒකයි ඕකයි ටිකක් ගැටෙනව කියන එක ඇත්ත. හැබැයි අද වෙනකල්ම හරක් මස් ගැන කතාවෙදි මට අර අතීතකාමය සහ රසකාමය විසින් කරන බලපෑම, ඔය කියපු ගැටීමෙන් එන බලපෑමට වඩා වැඩි වුණා.
සමහරවිට යම් කාලෙකදි මට වෙජිටේරියන් වෙන්න ඕන කියල හිතෙයි. එතකොට මම හරක්මස් නෙමෙයි හැම මාංශයම අතහරින්න ඉඩ තියනව. ඒත් ඒක නිසි කලට මටම හිතිච්චාවෙ. කාගෙවත් බලපෑමක් යටතෙ ඒක කරන්න මගෙ කැමැත්තක් නෑ.
හැබැයි දවසක මම වෙජිටේරියන් වුණත්, තවත් එකෙකුට වෙජිටේරියන් වෙයං කියල බල කරන්නෙ හරි ඌ කන්න ආස මස් මේ රටේ තහනම් කරවු කියල මහ පාරට බහින්නෙ හරි නෑම තමා.
පළාත් සභා සහ විල්පත්තුවෙ මුවා
පරිසර ප්‍රශ්න කතා කරද්දි සාමාන්‍ය විදිය තමයි ඒවට තියෙනවට වඩා අතිශයෝක්තියක් එකතු කරල කතා කරන එක. පරිසරය වෙනුවෙන් ඒ අතිශයෝක්තිය කමක් නෑ කියල සමහරු කියනව. මම නම් ඒකට එකඟ නෑ. ඕනම ප්‍රශ්නයක් අඩු හෝ වැඩි නොකර ඒකෙ ඇති සැටියෙන් ඇති බරෙන් කතා කළ යුතුයි.
රක්ෂිතයක් ගාව තියෙන මිනිස්සුන්ගෙ ඉඩම් කැලෑ වැවුණයි කියල හරි. චන්ද්‍රිකා ඡායාරූප වලට කැලෑ වගේ වැටුණයි කියල හරි රක්ෂිත බවට පත්වෙන්නෙ නෑ. රක්ෂිත ගාව පදිංචි මිනිස්සුන්ට එතන පදිංචි වෙලා හිටියයි කියල සංවර්ධනයට ඇති අයිතිය අහිමි වෙන්නෙත් නෑ. ඒක අද නෙමෙයි 2011 සිංහරාජය ගාව ඉලුබෙකන්ද ඉඳන් සූරියකන්දට පාර කපද්දිත්, විල්පත්තු ප්‍රශ්නෙදිත්, ලංකාගම ප්‍රශ්නෙදිත්, ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව ප්‍රශ්න වලදිත් මගේ නොවෙනස් ස්ථාවරය.
විල්පත්තු ප්‍රශ්නෙ වෙලාවෙ ඔය කතාව කිව්වම සමහරු කිව්ව "අයියෝ ඔයා නම් පරිසර නීතිය නෙමෙයි අප හා පරිසරයවත් ඉගෙනගෙන නෑ" කියල. තවත් අය ඇහුව "රක්ෂිතය වුණත් ඉඩම් වුණත් හුස්ම පොද දෙන ගස් ටික නේද කපන්නෙ?" කියල. විල්පත්තුවෙ මුවන්ගෙ එහෙම ෆොටෝ දාගෙන "රෂ්නෙද?" අහපු අය ගොඩක් හිටිය.
අද ඒ අයගෙන් ගොඩක් අය අහසෙ තරු ගණං කරනව. සිංහරාජෙ, ආනවිලුන්දාව, වනාතවිල්ලුව එයාලට පේන්නෙ නෑ. හන්තාන නම් යන්තමට පේනව. ඒකට හේතුව ඒ ඉඩම ලක්ෂ්මන් කිරිඇල්ලගෙ වීම.
විල්පත්තු කාලෙ දාපු පෝස්ට් වල හැටියට රෑට කොළ අතු ඇඳගෙන කැලේ ඉන්නව ඇති කියල හිතෙන තරමට පරිසරයට කිට්ටුයි වගේ පෙනුණ අය අද ලංකාගම මිනිස්සුන්ගෙ දුෂ්කරතා, ගමනාගමන අපහසුතා ගැන පෝස්ට් දානව. සමහර ඒවට මාවත් ටැග් කරල තිබුණ. සතුටුයි එහෙමහරි මේ ප්‍රශ්න දිහා කෝණ ගණනාවකින් බලන එක ගැන.
ඔය ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව ගැන අද වෙනස් විදියක මතයක් එනව දැක්ක. ඒකෙ කියන්නෙ මෙහෙමයි:-
1. ඔය දෙකම තියෙන්නෙ වයඹ පළාතෙ
2. වයඹ පළාතෙ පාරිසරික ප්‍රශ්න වැඩියි
3. වයඹ පළාතෙ පළාත් සභාවෙන් වෙනම පිහිටවපු පරිසර අධිකාරියක් තියනව
4. රටේ වෙන කිසිම පළාතක එහෙම නෑ
ඔන්න රෙදි ටික දීල තියනව. ලංකාවෙ මිනිස්සුන්ව සාමාන්‍යයෙන් අන්දන්න දෙයක් නෑ. රෙද්ද දීපුවම කපාගෙන මහගෙන ඇඳගන්නව.
ඕකෙන් ඊළඟට සන්නිවේදනය වෙන්නෙ එහෙම නැත්නම් ඇඳගන්නෙ මෙහෙම:-
1. වයඹ පාරිසරික අධිකාරියක් තියන හින්ද මධ්‍යම පරිසර අධිකාරියට ඔතෙන්ට මැදිහත් වෙන්න බෑ.
2. වයඹ වැඩියෙන් පාරිසරික ප්‍රශ්න එන්න හේතුව ඕක.
3. බලන්න පළාත් සභාව නිසා වයඹට වෙලා තියන හානිය.
4. රටේ අනිත් පළාත් වලටත් පළාත් සභා එපා කියල අපි කියන්නෙ ඒකයි.
පළාත් සභා නිසා කෙළින්ම කරන්න තියන දේවල් වලට වංගුවක් හැදිල වැඩකටයුතු සංකීර්ණ වෙලා තියන බව ඇත්ත. පළාත් සභා ක්‍රමයට ආවේණික දුර්වලතා ගැන තියන විවේචන වලින් ගොඩත් ඒව එක්ක මමත් එකඟයි. ඒත් මේ ප්‍රශ්නෙ සන්දර්භය තුල ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.
ඇයි ඒ?
දැන් පළාත් සභා ක්‍රමය තිබුණට ඒක ක්‍රියාත්මක නෑ. වයඹත් එහෙමයි. සම්පුර්ණ බලතල තියෙන්නෙ ආණ්ඩුකාරවරයාට. ගිය සතියෙනම් මුසම්මිල්ට. අද ඉඳන් රාජා කොල්ලුරේට. ආණ්ඩුකාරවරයා වගකියන්නෙ ජනාධිපතිට. එහෙම නැත්නම් ස' ට.
ඔය පළාත් සභා යටතෙ තියන අධිකාරි, සභා ඔක්කොටම ඡන්දෙන් පස්සෙ මේ ආණ්ඩුවට හිතවත් අය දැනටමත් දාගෙන ඉවරයි. එතකොට ජනාධිපති ආණ්ඩුකාරවරයා හරහා එවන නියෝග, කීකරු නැති පළාත් සභා නිළධාරි පැලැන්තියක් විසින් අල කරනවය කියන්න කොහොමටවත් ඉඩක් ඉතුරු වෙලා නෑ.
ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව ප්‍රශ්න වලට ඕන නම් ජනාධිපතිවරයාට ඍජුවම මැදිහත් වෙලා ඒව නවත්තන්න පුළුවන්. කරනවනම් එක ලියුමයි එන්න ඕන. එතකොට ආනවිලුන්දාව සහ වනාතවිල්ලුව හෝ වයඹ තියන වෙනත් මොකක්හරි ප්‍රශ්නයක් වහාම විසඳන්න පළාත් සභාව කියන එක කේන්ද්‍රීය බාධකයක් නෙමෙයි. බාධකය කුමක් හෝ හේතුවක් හින්ද එහෙම නොකරන එක.
මොකක්ද ඒ හේතුව. සාමාන්‍යයෙන් අලුතෙන් ආණ්ඩුවක් ආපු ගමන් ඔහොම වෙනව. කලින් ආණ්ඩුව කාලෙ වේලි වේලි හිටපු මුට්ටි අල්ලන එවුන් ආණ්ඩුව ආපු ගමන් තමන් අල්ලපු මුට්ටියෙ තරමට කෑල්ලක් කඩාගන්න පොරකනව. ඒ ටෙන්ඩර් වලින් වෙන්න පුළුවන්, වැලි පර්මිට්, බාර් ලයිසන් වගේ ඕනම දේකින් වෙන්න පුළුවන්.
මංගල සමරවීර කියන විදියට 1994 පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වුණාට පස්සෙ අවුරුදු 17ක එජාප පාලනයෙන් මිරිකිලා හිටපු ශ්‍රී ලංකා කාරයින්ට අතපය දිගාරින්න එක ආසනයකට බාර් ලයිසන් දෙක ගාණෙ දුන්නලු. ගොඩක් මන්ත්‍රීල තමන්ගෙ ආසනේ ලයිසන් දෙකම කවුරුහරි දාල තමන්ම ගත්තලු. මංගල එහෙම කළේ නෑලු. ඒක ආසන බල මණ්ඩලයට දාල ඒකෙන් තෝරපු දෙන්නෙකුටලු දුන්නෙ. (අපි දන්නෙ නෑ. එයා කියන්නෙ).
1994 එහෙම නම් රාජපක්ෂලාගෙ ස්වභාවය අනුව ඕක කොහොම වෙන්න ඕනද කියල ඕනනම් හිතා ගත්තහැකි. ගොඩක් දෙනෙකුට වැඩි අවුලක් නොවෙන කතා අහගන්න වෙන්නැති කෑලි දීලා, ඔය ටිකක් අවුල් කෑලි දෙක තුනක හඬ තමයි ඔය ඇහෙන්නෙ.
හැමෝම මීය කඩන්න අතගැහුව. දැන් අත ලෙවකද්දි ආණ්ඩුව ඒකට මැදිහත් නොවී ඉන්නව පුළුවන් තරම්. එහෙම නොවුණොත් මොකද වෙන්නෙ? අත ලෙවකන්න නොලැබිච්ච අය ඊළඟ ඡන්දෙදි ඔය තරහ පිට අනිත් පැත්තට ගිහින් ආණ්ඩුව පෙරළනව. ඊට පස්සෙ එහෙ ඉඳනුත් මේකම කරනව. ඔහොම තමයි මේ දුෂ්ඨ චක්‍රයෙ හැටි.
සමහරු අවංකවම හිතුව ස' ඒක වෙනස් කරයි කියල. ඒත් ඇත්ත කතාව තමයි ඒ දුෂ්ඨ චක්‍රය ස'ට වඩා ගොඩක ලොකුයි කියන එක. ඒක වෙනස් කරන්න ගියොත් වෙන්නෙ ඒක ස'ගෙම ඔලුවට කඩන් වැටෙන එක.
හරියට කරන්න ඇත්තටම හිතං ආවනම් කොච්චර අසරණ ඇත්ද? හරියට විල්පත්තුවෙ මුවෙක් ගාණයි.
අතීතය මැදින් පා ගමනක්
මරදාන දුම්රියපොල තවමත් එසේමය. විටින් විට බාල තීන්ත ආලේප කොට අලුත් පෙනුමක් දීමට කරන අසාර්ථක උත්සාහයට ඉලක්ක වූ පැරණි ගොරහැඩි බිත්ති තවමත් එසේමය. වේදිකාවේ සිට ඇවිද විත් අඩි තිහක් පමණ පළල මහා පඩිපෙල නගිද්දී සිතට දැනෙන්නේ අමුතු හැඟීමකි. මා සිටින්නේ 2020ද, 2013ද නැත්නම් 2007දැයි හරිහැටි තෝරා බේරාගත නොහැකි අභතෝකෝටිකයක මොහොතක සිර වෙයි. මහත් වූ උදරය, මුහුණ වසා වැඩුණු රැවුලේ පහස සහ තට්ටය පෑදීමෙන් පළල් වූ නළල පිස හමන සුළඟ විසින් මේ 2007වත් 2013වත් නොව 2020 බවට මට සිහි කැඳවයි.
2007 එක්තරා ඉරිදා දිනෙක බොහෝ සෙනඟින් පිරුණු උදා පැයේ මරදාන දුම්රියපලින් මඟට බට මැදිවියේ මිනිසෙක් සහ තරුණයෙක්. කොළඹ දැකීමේ ආශාවෙන් මඩනා ලද තරුණයාගේ අයදුමෙන් බසයකට නොනැග මරදානේ සිට බොරැල්ල දක්වා පයින් ඇවිද ගිය ගමනක්. රටේ ප්‍රකට ප්‍රකාශක සමාගම්වල මුල් තැන් මඟ දෙපස දැක ආනන්දජනක විස්මයකට පත් තරුණයාට මඟ වත ගොත ආදරයෙන් පහදමින් මඳ සිනාවෙකින් ඉදිරියට ඇදෙන දයාබර පියෙක්.
මීට වසර 13කට පෙර අතා අප්පච්චි සමඟ කොළඹාගමනය කරන්නේ එසේය. කොළඹ නුහුරු නගරයක් නොවුවද 'උඹ මින් මතු ඉන්ට යන්නේ කොළඹයැ' හැඟුම සමඟ ගෙන්දගම් පොළොවට පය තබද්දී දැනෙන හැඟුම බාලාංශයට ඇතුලත් වන්නට ගිය දවසට වඩා වෙනස් වන්නේ මඳ වශයෙනි.
පඩිපෙළ පාළුය. මධ්‍යහනයේ මරදාන උණුසුම්ය. වැසි පොදක්ද එහෙන් මෙහන්. සමන් අයියා සමඟ පිටතට ගෑටුවෙමි. බෑගය කරේ එල්ලා කුඩය යටින් ගමන මා නැවතත් අතීතයට අදියි. 103ක් අදින්න ඔන්න මෙන්න. "බස් වලද යන්නෙ?" අඳුනන්නෙකු දුටුවොත් අසනු ඇත. පය ඉක්මන් කළද 103 ඊට ඉක්මන්ය.
ඒ හාම ආ 176කි. එයද කම් නැත. ගොඩවී සාක්කුවට අත යැවීමි. නොදැනීම එළියට එන්නේ 10 කාසියකි. එය දෙන්නෙකුට ඇතිය. ඒ ඉස්සරය. 2007දිය. 2020දී "පුංචි බොරැල්ල දෙකක්" කී කල "විසි පහයි" යනුවෙන් උත්තර ලද හැකිය.
ආනන්දය ළඟ බස් පෝලිමය. පාසැල ඇරෙන්නට මිනිත්තු පහකි. ඊට පෙර පුංචි බොරැල්ලෙන් බැස ගතහොත්. "ඔව් පුළුවන් වෙයි. මේ අදින්නෙ"
මාදම්පාව දුටුවේ නැත. කොට්ටම්බාවද නැත. වැසිකිලියකට මදක් දිගැති සැලූනයද නැත. පොඩි කඩ විසිවී ඇත. කොට කලිසම, සරම ඇඳ හපයක් ගසා "මචං" කියන අයියලා අංකල්ලා කඩ නොකරති. දැන් ඉන්නා කැෂියර්ලා පොෂ්ය. සුදුය. බතලය.
බෝධියට තැනූ ලොකු ආවරණයකි. මට මතක මා මතක එකම තැනදෝ? එසෙ වන්නට බැරිය. මාතර බත්කඩේ තිබිය යුතුමය. වටින් ගොඩින් එබී බැලුවෙමි. මාතර වසාලාය. ඊට මෙපිට සටුඩියෝව ඇරලාය. පාරෙන් එපිට "අලුත් මාතර" සහ "කළු ඇන්ටිගෙ කඩේ" දෙස විපරම් කළෙමි. දෙකම බාගෙට වසා ඇත. නමුත් මිනිසුන් යති එති.
සැබැවි. වසා නැත. බාගෙට වසාලාය. නමුත් ලොකු වෙනසකි. අලුත් මාතර නැත. කළු ඇන්ටිද නැත. දෙකම එකක් කොට ලොකු කඩයෙකි. මාදම්පාව මෙතැනට ඇවිත්ය.
පරණ රසට නහර පිනවා සමන් අයියාගෙන් සමු ගතිමි. මීටර් ටැක්සි එහෙ මෙහෙ යයි. ඕනෑ තැනට මිනිත්තු පහකි. නමුත් යන්නට සිත් නොදෙයි. හිස තුල මොකෙක්දෝ "පයින් ගාටපං" යැයි මොරදෙයි. අඩි තබන්ට වීමි. වම් පස ශ්‍රී අයියාගේ කඩයය. ඔලුව නොදා ගියොත් හොඳ නැත. එතුල සිට කෙට්ටු වයසක මිනිසෙක් සිනාසෙයි. "මොනවද?" අසයි. "ශ්‍රීනාත්?" නරක් වෙන මුහුණ. නැවත සිනාව. "අන්න අතන. කළු බෝඩ් එක" එතැනට ගියෙමි. බ්රහස්පතින්දාය. නමුත් වසාලාය. දු.ක.ක් නැත. නිකම්ම ශ්‍රීනාත් කොමියුනිකේෂන්ය. ඉදිරියට යන්ට වීමි.
යුද්ධ කාලේ වගේමය. හොස්පිට්ල් රෝඩ් වාහන වලට වසාලාය. මැද්දෙන් උජාරුවට හිටගත් ට්‍රැෆික් පොලිස්ය. කෙළින් යනවාද? දකුණට යනවාද? කෙළින් ගියොත් ඇස් වාට්ටුවය. දකුණට ගියොත් ඩි සේරම්ස්ය. කළක් ඉතා ළබැඳිව සිටි මවුන් වන් වූ අයත් මිතුරනුත් එහි ඇත. දයාවෙන් පිළිගන්නවා ඇත. දිග සතුටු සාමීචියකි. අද වෙලා මදිය. ඒ ගමන වෙන දවසකටය.
කෙළින් ඇදුනෙමි. නැවතත් අර deja vu. මේ 2007ද 2013ද 2020ද. පාට ගිය ඩෙනිම ටීෂර්ට් ඇඳ, පරණ ඩෙක්ෂූස් දමා, වැරහිලි වුණ මල්ල කරේ දා, තට්ටය බූගා කැප් එකක් දමා යටි රැවුල වවා යන මම. රැවුල මුඩු කර, අත් දිග කමිසයක් ඇඳ කාර්යාලයීය බෑගයක් ගෙන රැගෙන පය ඔසවන මම. මූණ පුරා වැඩුණු රැවුල, ඔලුව ඉදිරිපස තට්ටය, නෙරා ආ බඩ, කිලිටි සපත්තු සහ හතිය සමඟ පරණ ලැප්ටොප් බෑගය කරේ දමා ගාටන මම.
පෙට් එක. එකළ වාසනාවේ රන් දෙවොල. සිතූ පැතූ සම්පත් ලැබෙන තැන. නොරිස් කැනලය ගාව කඩ නැත. නැවතත් deja vu. කයියක් ගහගෙන රාත්‍රි 8ට විතර යන මම. බොඳ වෙලා පේන පෙට්ටි කඩයක් වසා එක ලෑල්ලක් ඇර පාරේ පුටුවක් තබා ඉඳගෙන කඩේ තුල ඇති රූපවාහිනියේ යන ප්‍රවීණා බලන මහත දෙහත මැදිවියේ ගැහැණියක්.
නැවතත් වර්තමානයට. දුරකථනය අතට. ඇමතුම මිතුරාට. වසර 13ක ළබැඳි සොයුරාට. "මං අහවල් තැන. පයිං යන්න හිතුණ බං". හෙමින් හෙමින් ඇස්වාට්ටුව හන්දියට. ඉදිරියෙන් Bread talk. මම හෙමාන් වමට. සුදු කල කහ ඉර දකුණට. එතැනින් පැන්නොත් HSBCය අසළ නුග ගස ගාවින් සලාකා ළඟට. එතැනින් ආය ටවුන් හෝල් පැත්තට. නොදැනීම නිතැතින්ම දකුණට.
නෑ. මම යායුතු වමට. Odel එක ළඟින් ඉදිරියට. 'මීටර් ටැක්සියක් ආවොත්? පිස්සුද රුපියල් 10 දුර' නැවතත් 2007මම. ටැක්සියක් එයි එතැනට.
"නැෂනල් ලයිබ්රරිය ගාවට"
"පබ්ලික්ද?"
"නෑ. යං මං කියන්නං" යකෝ උඹයි කොළඹ. මම කුරුණෑගල.
ආයෙමත් deja wu. කොළඹ අහස යට අමාරුයි තෝරා බේරා ගන්නට. මේ 2007ද 2013ද 2020ද? කටට දැනෙන රස දූවිලි සැරද, පැණිබූන්දි රසද, තිත්ත මුසු සැර අමි රහක්ද. අමාරුයි හිතා ගන්නට.
පැමිණියා ජාතික පුස්තකාලය ළඟට.
"එන්න සර්. බස් එකේද සර් ආවෙ"
'මූ මට සර් කියනව. එහෙනං මේ 2020'
'ඒත් මං කොච්චර ආසද "වරෙං මචං. උඹ බස් එකේද ආවෙ. අනේ තෝ වාහනේකටවත් යට වෙන්නෑනෙ" කියල පහක් දාපු 2007ට'.
හේතුවාදයද? විචාරවාදයද?
Rationalism කියන එක සිංහලයට පරිවර්තනය වෙන්නෙ "හේතුවාදය" විදියට. ඒකතමයි
ගොඩක්ම ප්‍රචලිත වචනෙ. නමුත් පහුගිය 10 වෙනිදා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන
සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති Shakthika Sathkumaraගෙ
ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ
ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා rationalism යන වචනයට භාවිත කරන්නෙ "විචාරවාදය"
කියන වචනෙ.
ඒක බොහොම සිත්ගන්නාසුළු පරිවර්තනයක්. Rational කියන්නෙ තාර්කික කියන එක. එනම් තර්කයට ගෝචරවීම. ඒත් rationalism නැත්නම් හේතුවාදය ලෙස හඳුන්වන්නෙ යමක් අවිචාරවත් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම. එනම් යමක් උපතින් උරුම වීම, දිගුකාලයක් මුල්බැසගෙන පැවතීම, පොතපත් වල ලියා තිබීම, කර්මයට හෝ යම් ඵලවිපාකයකට හෝ සර්වබලධාරියෙකුට ඇති බිය හේතුවෙන් පිළිගන්නේ නැතිව එය විනිවිද දකිමින් එහි සෑම අංගයක්ම විචාරයට එනම් ප්‍රශ්න කිරීමට බඳුන් කරමින් ඒ ප්‍රශ්නවලට සාධාරණ, තාර්කික සහ පිළිගතහැකි පිළිතුරු ලැබේ නම් පමණක් එය පිළිගැනීම.
ඒ අනුව rationalism යන වචනයට අර්ථ 3ක් ගතහැකි. එකක් වචනාර්ථයෙන් එන තාර්කිකවාදය. අනික ව්‍යවහාරයෙන් එන හේතුවාදය. අන්තිම එක වියන්ගොඩ කියන විචාරවාදය.
Rationalism වල භාවිතය එක්ක කල්පනා කරද්දි මට හිතෙන විදියට එතනට ගැලපෙනම වචනය විචාරවාදය. එනම් සියල්ල විචාරශීලීව විමසා බැලීම.
බොහෝ අය විශේෂයෙන්ම ආගම් අදහන අය Rationalism පිළිබඳව නැවත නැවත අහන ප්‍රශ්න තමයි මොකක්ද rationalism කියන්නෙ? මොනවද ඒකෙ පදනම්?
Rationalism කියන්නෙ සරළව යමක් විචාරශීලීව විමසා බලා මිස පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම. එතකොට Rationalism වල පදනම්? ඇත්තටම පදනම් ගොඩක් නැහැ. ඕකයි ගොඩක් ඇදහිලිවන්තයො අකමැති තැන.
එනම් ආගමික ඇදහිල්ලකට සාමාන්‍යයෙන් ප්‍රශ්න නොකර පිළිගන්නා පරම සත්‍ය කියා දෙයක් තිබෙනවා. දේවවාදී ආගමක නම් දෙවියන්ගේ පැවැත්ම, ඔහුගේ සර්වබලධාරීත්වය, ඔහුට සියල්ල පෙනෙන බව, ඔහුගේ කැමැත්තට සියල්ල සිදුවන බව, ඔහුට සියල්ල ආවරණය කරන master plan එකක් තිබෙන බව යනාදී වශයෙන් මූලික පිළිගැනීම් ටිකක් නොකර ඉදිරියට යන්ට බැහැ.
බෞද්ධාගමේදි කර්මය කියා දෙයක් තිබෙන බව, පුනර්භවය කියා දෙයක් ඇති බව, සංසාර ගමනක් ඇති බව, නිවනක් ඇති බව, ඒවායේ විවිධ ලක්ෂණ, දෙව් ලෝක වගේ දේවල් පිළිගන්නට වෙනවා. එසේ නොකර ඊළඟට එන ගැඹුරු ඉගැන්වීම් වන චතුරාර්ය සත්‍යව, අට ලෝ දහම වැනි දෑ තේරුම් ගන්නට අපහසු වෙනවා.
බොහෝ ආගමිකයන් අඩුම ගණනේ ඔය ඉහත කී කාරණා ටික ගැනවත් අවබෝධනේ නොවේ ආගමක් අදහන්නේ. ඔවුන්ට එය ප්‍රශ්න නොකළ යුතු පරම පූජනීය දෙයක් වෙනවා. අහන්න ඕන ප්‍රශ්නයක් මම උත්තර දෙන්නම් කියා පටන් ගන්න අයත් පැහැදිලි කිරීම් තුල ඉදිරියට යන්නෙ අර මූලික පිළිගැනීම් ටික කරලා. ඒ පිළිගැනීම් පැහැදිලි කරන්නෙ නෑ.
ඒ අනුව rationalism වල පදනම් මොනවාදැයි ආගමිකයන් අසන ප්‍රශ්නය පෙනහළු පද්ධතියකින් ශ්වසනය කරන ගොඩබිම වෙසෙන සතෙක් මාළුවෙකු ජලයේ ගිලී ශ්වසනය කරන විට පෙනහළු වලට ජලය ගලා ගොස් හුස්ම හිරවී මැරෙන්නේ නැද්දැයි ඇසීමක් හා සමානයි.
Rationalism වල ආගම් හා සමාන මූලික පිළිගැනීම් ඇත්තේ නැහැ. එනම් මුලින් යමක් ප්‍රශ්න නොකොට පිළිගෙන ඒ මත තර්කානුකූල වූ හෝ නොවූ ඉතිරිය ස්ථාපිත කරන්නේ නැහැ. එකම මූලධර්මය ප්‍රශ්න කිරීමයි. එනම සෑම දෙයක් දෙසම විවාරශීලීව බැලීමයි. ඒ හරහා ලෝකයේ පවත්නා සෑම දෙයක් පිළිබඳවම සෑම rationalist කෙනෙකුටම තමට ආවේණික කියැවීමක් පවතින්නට පුළුවන්. එවන් දෙදෙනෙකුගේ කියැවීම් එකිනෙක හා වෙනස් වන්නටත් පුළුවන්. ඇදහිලිවන්තයෙක් සමහරවිට එවන් නොගැලපීමක් පෙන්නා සිනාසෙනු ඇති. "මෙන්න බලාපල්ලා අපේ හැමෝම එක මතයක් අදහනවා. උඹලාගේ දෙන්නෙක් අතරවත් එක මතයක් නෑ. ඒකෙන් පෙනෙන්නේ rationalism බොරු බවයි. ආගම සත්‍ය බවයි" යනාදී වශයෙන් සිදුකරන ප්‍රකාශ බොහෝ දැකිය හැකියි.
එය සම්පූර්ණයෙන්ම පාහේ rationalism පිළිබඳව අනවබෝධයෙන් කරන ප්‍රකාශයක්. ශ්‍රද්ධාව,භක්තිය, උපතින් උරුම වීම, කර්මයට හෝ සර්ව බලධාරියෙකුට ඇති බිය නිසා යමක් පිළිගතයුතුය යන ස්ථාවරයෙන් කෙනෙකු මිදුණු විට ඔවැනි පොදු පිළිගැනීම් මත යමක සත්‍යාසත්‍යතාව තීරණය කිරීමේ ඇති අතාර්කික භාවය කෙනෙකුට පෙනෙනු ඇති. අනෙක සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වන්නට එවන් ස්ථිර පදනම් වල කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් පෙනී යනු ඇති.
බොහෝ ආගමික ඇදහිලිවන්තයන් rationalism වල පදනම විද්‍යාව ලෙස ගෙන විද්‍යාවේ සොයාගැනීම් අනුව විද්‍යාත්මක සත්‍යය යනු දිනෙන් දින වෙනස් වන දෙයක් ලෙසත් දක්වා ඒ අනුව ඔවුන් ඇදහිල්ලෙන් දැනටමත් දන්නා දෙය හෝ ඔවුන්ගේ සියල්ල දත් ශාස්තෘවරයා දැනටම දන්නා හෝ දැනසිටි දෙයක් කරා විද්‍යාව ළඟා වෙමින් සිටින බවක් සිතමින් ඒ අනුව rationalism යනු යල්පැනගිය දෙයක් ලෙසත් දක්වනවා.
නමුත් සත්‍යය වනනේ එහි අනෙක් පැත්ත. එනම් rationalism යනු විද්‍යාව මත පදනම් වන දෙයක් නොව විද්‍යාව යනු rationalism මත පදනම් වන දෙයක්. එනම් නිරන්තර විචාරශීලීතවය. නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම. අද සත්‍යය ලෙස පෙනෙන දෙය පවා නැවත නැවතත් ප්‍රශ්න කිරීම. ඒ අනුව rationalism තුල විද්‍යාව සහ එහි සොයාගැනීම් පවා නැවත නැවතත් විචාරයට බඳුන් කෙරෙනවා.
නමුත් බොහෝ දෙනා (ඇදහිලිවන්තයන්) rationalist කෙනෙකු යනු විද්‍යාව අදහන්නෙකැයි සිතනවා. ඒ අනෙකාත් තමා මෙන් ඇති බවට සිතන අසත්‍ය උපකල්පනය නිසා. සත්‍යය නම් rationalist කෙනෙකු කිසිවක හෝ කිසිවෙකු අදහන්නේ නැහැ.
ඒ අනුව rationalism හරහා විග්‍රහ කළ හැක්කේ ආගම් පමණක් නොවෙයි. ඕනෑම සමාජ හැසිරීමක්, සිතුවිල්ලක් පවා විචාරශීලීව විමසන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව නොදන්නා අය rationalist කණ්ඩායමක් තුල ආගම නොවන වෙනත් මාතෘකාවක් සාකච්ඡා කරන විට "ආ දැන් උඹලා හේතුවාදය අතහැරලා වෙනත් එකක් (දේශපාලනය/ ලිංගිකත්වය) අල්ලාගෙනදැ"යි අසනවා. එය ඒ ප්‍රශ්නය අසන්නාගේ ඇති හුදු නොදන්නාකම.
එමෙන්ම rationalism යනු කුමක්දැයි ඍජුව පැහැදිලි කළ විට, "මේ අපි දන්න rationalistලා නම් ඔහොම අය නෙමෙයි. උන් කරන්නෙ ආගම් වලට අපහාස කරන එක විතරයි" යනුවෙන් අතිශය මෝඩ ප්‍රකාශයක් කරනවා. සැබැවින්ම rationalist සාකච්ඡාවකින් ආගම් වලට වැඩියෙන් පහර වදින්නේ rationalism වලින් වැඩියෙන්ම විවේචනය කෙරෙන "ඇදහිල්ල" වැඩි වශයෙන්ම ඇති සමාජ සංස්ථාව ආගම් නිසා. එබැවින් විචාරශීලී සාකච්ඡා තුල වැඩියෙන්ම විවේචනයට සහ උපහාසයට ලක්වන්නේ ආගම් වීමේ කිසිම පුදුමයක් නෑ. එපමණක් නෙමෙයි. යම් සමාජයක වැඩියෙන්ම මුල්බැසගෙන ඇති ආගම කුමක්ද? ඒ සමාජය තුල කෙරෙන විචාරශීලී සාකච්ඡාවකදී වැඩියෙන්ම විවේචනයට ලක වන්නේ ඒ වැඩියෙන්ම මුල්බැසගත් ආගමේ සංකල්ප. එහි කිසිම පුදුමයක් හෝ අමුත්තක් ඇත්තේ නැහැ.
තවත අය ගෙනෙන තර්කයක් තමයි වර්තමාන rationalistලා සියලු ආගම් විවේචනය කළද අතීතයේ සිටි අසවල් අසවල් rationalistලා අසවල් අසවල් ආගම් වල සත්‍ය පිළිගත් බව හෝ ඔහු අසවල් ආගමට රහසිගතව බැඳී සිටි බව කීම.
වෙන්නට පුළුවන්. සෑම ආගමකම තාර්කික කොටස් තිබෙන බව ඇත්ත. ඒවා මනා විචාරශීලී කියවීමකින් පසු ජීවිතයට සහ සමාජයට උකහා ගැනීමේ වරදක් නෑ. ආගමකට කෙනෙක් රහසින් බැඳී සිටියේ නම් එය ඔහුගේ ප්‍රශ්නයක්. තවත් rationalist කෙනෙකුට එය ප්‍රශ්නයක් වන්නේ යැයි සිතීම හාස්‍යයට කරුණක්. මන්ද rationalist කෙනෙකු යනු අවම වශයෙන් අතීතයේ සිටි ප්‍රකට rationalistලා හෝ අදහන්නෙකු නොවේ.
එබැවිනුයි rationalist යන්න හේතුවාදය ලෙස සිංහලයට නැගීමට වඩා විචාරවාදය ලෙස ගාමිණි වියන්ගොඩ විසින් කරන අර්ථකථනය වඩා සුදුසු බව මම සිතනනේ. එකම මූලධර්මය විචාරය එනම් සියල්ල විචාරයට බඳුන් කිරීම පමණමයි.
[නිවැරදි කිරීමක් කරන්ට ඕන. මේ පෝස්ටුවේ තියෙන්නෙ ගාමිණී වියන්ගොඩ මහතා ඒ දේශනේදි කියපු දේවල් නෙමෙයි. ඒ දේශනේදි පාවිච්චි කරපු එක වචනයක්, ඒ කියන්නෙ "විචාරවාදය" කියන වචනෙ ගැන මට හිතුණ දේවල්.]
බුද්ධි අංශ විශ්ව විද්‍යාල තුලට?
විශ්ව විද්‍යාල තුල අන්තරය සහ ඊට විරුද්ධ පාර්ශව යන කොටස් දෙකම ආකල්පමය වශයෙන් තවමත් 1980-90 කාල සීමාවේ සිරවී සිටිනවා. එදා සටන් පාඨ අදට වලංගු නැති බව අන්තරය වටහාගෙන නැහැ. අන්තරය තවදුරටත් මතවාදීව වලංගු විරුද්ධවාදියෙකු නොවන බව ඊට විරුද්ධ අය වටහගෙනත් නැහැ.
ඔවුන්ව වර්තමානයට ඇද දැමීම සඳහා සරසවියට පිටින් සිදුවන බලවත් අත පෙවීමක් තරම් ගැලපෙන දෙයක් තවත් නැහැ. ඒ අත පෙවීම සිදුවන්නේ නවකවදය මැඩලීමටද නැද්ද යන්න අදාළ කරුණක් නොවේ. කුමකින් හෝ මෙය කැළතිය යුතුමයි.
සරසවි ශිෂ්‍යයෙකුට යම් සමාජ කියවීමක් තිබිය යුතුයි. ඔහු සමාජ ප්‍රවණතා ගැන සංවාදයට භාජනය කළ හැකි විග්‍රහයක් ඉදිරිපත් කරන්නෙකු විය යුතුයි. වසරකට වරක් පිරිත් පිංකම්, දන්සැල්, වෙසක් කූඩු තරඟ, බණ ආදිය සංවිධානය කිරීම තමයි වැඩ කියල ගොඩක් සරසවි ශිෂ්‍යයො හිතාගෙන ඉන්නව.
එහෙම කිව්වම කෙනෙක් මගෙන් අහයි "මොකක්ද ඒ වැඩ වල ඇති වැරැද්ද?" කියල. වැරැද්ද තමයි ඒ තුල විසම්මුතික වටිනාකමකින් යුත් සරසවි ශිෂ්‍යයා වඳවීයාම. ඒක මහා ඛේදවාචකයක්.
බුද්ධිගලනය කියල පොදුවෙ පිළිගන්නෙ උගතුන් බුද්ධිමතුන් රට යාමලු. මම කියනව සැබෑ බුද්ධිගලනය සිදුවෙන්නෙ කෙනෙකුගෙ හිස තුල. ඒ තුල යමක් දෙස විචාරශීලීව බලන විසම්මුතික වටිනාකම් හිසෙන් එළියට ගලා ගිහින් අසාධාරණ වූ සමාජ ක්‍රමයට ප්‍රශ්න නොකර අනුගත වෙන එහෙයියෙකු බිහි වෙනවා.
ඒක 88-89 සිට සරසවි පද්ධතිය තුල සිදුවෙමින් ආවා. අදටත් සිදුවෙනව. 88-89 තීරණාත්මක වෙන්නෙ ඇයි? ඊට පස්සෙ "ක්‍රමය ප්‍රශ්න කිරීම" මහ භයංකාර දෙයක් බවට පත් වෙනව. "ක්‍රමය ප්‍රශ්න කරන්නා රට ලේ වලින් නාවන්න හදන ජේවීපී කාරයෙක්" කියල හිතන තැනට මිනිස්සු තල්ලු වුණා. තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න එක අලුත් trend එක වුණා.
ශිෂ්‍යත්වෙන් පටන්ගෙන උසස්පෙළින් කූට ප්‍රාප්තිය ලබන තරඟකාරිත්වය සරසවියට එන කෙනා තුල ඉතිරි වුණා. අවුරුදු හතරින් පස්සෙ සරසවියෙන් වෙනස් විදියට හිතන මිනිහෙක් වෙනුවට සරසවියට ඇවිත් උපාධිය විතරක් නමට එකතු කරගත්තු අර ආත්මාර්ථකාමී ප්‍රතිගාමී මිනිහම පිටවෙන තත්වයක් ඇතිවුණා.
ඒ නව අදහස් නැති, කියන දේට ප්‍රශ්න නොකර අනුගත වෙන, එහෙයි කියන, පඩියට පැය ගාණ වැඩ කරන, දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න අයගෙන් අද රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් පිරිල. උපාධිය හුදෙක් රස්සාව ඉලක්ක කළ දෙයක් බවට පත්වෙලා.
මේක තමයි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල, චින්තකයො බිහි කරගන්න බැරුව ඉතිහාසයේ මුහුණ දුන්න ලොකුම හිරවීම. ඒ හින්ද ඔය රැගක් දීගෙන, මුලින් පූජා නැටුමත් එක්ක සෝෂල් එකක් ගොයිං ඩවුන් එකක් කරගෙන, පිරිතක් බණක්, දන්සලක්, වෙසක් කූඩු තරඟයක් කරගෙන ඒව වැඩ කියල හිතාගෙන, මුල්ලක් අල්ලගෙන හැන්දෑවට නාල පාඩුවෙ ඉන්න පුරුදු වෙච්ච මොට්ට විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගෙ comfort zone එකට හොඳට හයියෙන් පාරක් වදින්නම ඕන. ඒ පාර වදින එක හොඳ විදියක් තමයි බුද්ධි අංශ විශ්ව විද්‍යාල තුලට රිංගීම.
දැන් බලමු "උගත්කම ඔබතුල හදපු පෞරුෂයෙන් අංශු මාත්‍රයක් හරි ඉතුරු වෙලා තියනවද?" කියල. "ඒ ඉතුරු වෙච්ච ටික ඔබ නොදැන ආරක්ෂක අංශ ඔබ දිහා බලාගෙන ඉඳීමකට කොයි විදියෙ ප්‍රතිචාරයක් දක්වයිද?" කියල.
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
ශ්‍රී ලංකාවේ පාතාලයට සම්බන්ධ හෝ එසේ නොවන අපරාධ විමර්ශනය සිදු කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් පොලීසිය විසිනි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...