පාඩමක් ඉගෙන ගැනීම යනු කුමක්ද? පන්තියක ඉඳ විධිමත්ව ගුරු උපදෙස් මත පොත්පත් පරිශීලනයෙන් පාඩම් උගත හැක. පර්යේෂණ මගින්ද පාඩම් උගත හැක.
යමක් කළ විට එයට ඇති නිශ්චිත ප්‍රතික්‍රියාවක් අත්දැකීමෙන්ද පාඩම් උගත හැක. ගින්න ස්පර්ශ කරන්නට ගියහොත් අත දැවී යයි. කළු ගලක හිස හප්පාගත් කළ තුවාල වන්නේ කළු ගල නොව හිසයි. තවත් එවැනි පාඩම් ඕනෑතරම් ලැයිස්තුගත කළ හැක. ඔබ අප දිනපතා ඉගෙනගන්නා එවන් වෙනත් පාඩම්ද බොහෝය.
මෙම සටහනේ හෙඩිම වන fear psychosis හෙවත් භ්‍රාන්ති මනෝභාවය කුමක්ද යන්න නිර්වචනය කරන්නට මා උත්සාහ කරන්නේ නැත. මම උත්සාහ කරන්නේ එහි කපටි දේශපාලනික උපයෝජනය ගැන යමක් කීමට පමණි.
භ්‍රාන්ති මනෝභාවය තම වාසියට භාවිත කරන්නෙකු පාවිච්චියට ගන්නේ පාඩම් උගැන්ම පිළිබඳව ඉහත දක්වන ලද නියාමයයි. යමක් කළ විට එහි නිශ්චිත ප්‍රතිවිපාකය කුමක්දැයි සමාජයක් හෝ පිරිසක් හමුවේ මවා පෙන්වීමෙන් එම ක්‍රියාව සිදු නොකරන, සිදුකිරීමට බිය වන තත්වයට එම සමාජය හෝ පිරිස පත් කළ හැකිය. fear psychosis කපටි ලෙස භාවිතයේ ඇති අරුමය නම් එහිදී මවා පෙන්වන ප්‍රතිවිපාකය මුල් ක්‍රියාවේ අනිවාර්ය ප්‍රතිඵලයක් නොවීමයි. එවන් අවස්ථාවක එම ප්‍රතිවිපාකය සම්පූර්ණයෙන්ම මවා පෙන්වීම හෝ රඟ දැක්වීම සිදුකරනු ලබයි. එම රඟ දැක්වීම තුල සැබැවින්ම එහි පෙන්වන ඉරණමට මුහුණ දෙන්නන් සිටිය හැකිය.
Fear psychosis හෙවත් භ්‍රාන්ති මනෝභාවය ඇතිකිරීම රැවටිල්ල රජයන සමාජයක ඉතා ඵලදායී දේශපාලන උපක්‍රමයක් බවට පත්වේ. සමාජය හමුවේ උදාහරණ එකක් දෙකක් රඟ දැක්වූ කළ සමාජයේ සෙස්සෝ භ්‍රාන්තව මුළු ගැන්වෙති. ඒ හරහා තවදුරටත් රඟ දක්වන්නාගේ පැවැත්ම තහවුරු කරගැනීමටත් එයට අභියෝග කරන්නට නිර්භය වන්නන් ප්‍රමාණාත්මකව අඩු කරගැනීමටත් අවකාශ ලැබෙන්නේය.
Terrorism හෙවත් ත්‍රස්තවාදය යන්නෙහි වචනාර්ථය කුමක්ද? තමාට අවශ්‍ය දෙය ඉටුකර ගැනීමට "භය" භාවිතා කිරීම ත්‍රස්තවාදයේ සරළ අදහසයි. ඒ අනුව "ත්‍රස්තවාදය" ක්‍රියාත්මක කිරීමෙන් එහි ප්‍රතිඵලයක් ලෙස උද්ගත වන තත්වය "භ්‍රාන්ති මනෝභාවය" ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව භ්‍රාන්ති මනෝභාවය දේශපාලනික උපකරණයක් ලෙස භාවිතයට ගන්නා තැනැත්තා ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වීමේ කිසිඳු වරදක් නැත.
(Fear psychosis යන වචනයට "භ්‍රාන්ති මනෝභාවය" යන යෙදුම මගේය. එයට ඊට වඩා හොඳ වචනයක් ඇත්තේ නම් හෝ භාවිතයේ පවතීනම් මෙහි සඳහන් කිරීමට කාරුණික වන්න)
No comments:
Post a Comment