Wednesday, August 26, 2020

The Vanished (2020)





අම්මයි තාත්තයි අවුරුදු 10ක පුංචි දුවයි බොහොම සුන්දර විනෝද ගමනක් යනව. ඒ චාරිකා යන්නම හදපු කැරවෑන් එකක් වගේ නිවසකට සමාන වාහනේක. වැඩිය කවුරුත් නැත නිස්කලංක තැනකට ගිහින් මාළු බෑම, කඳවුරු දින කීපයක් ගෙවීම වගේ අහද්දිත් ආස හිතෙන බලාපොරොත්තු ගොඩක් එයාලට තියනව.

ඒත් ඒ බලාපොරොත්තු සුන්වෙලා යන්නෙ අවුරුදු 10ක පුංචි දුව හිටි හැටියේ අතුරුදහන් වීමෙන්. බොහොම කලබලයට පත්වෙන අම්මයි තාත්තයි දෙන්න දුව හැම තැනම හොයනව. හම්බ වෙන්නෙ නැති පාර පොලිසියටත් දැනුම් දෙනව. පොලිසියත් විශාල වෙහෙසක් දරල විශාල පිරිසක් යොදවල අර දරුවව හොයන්න උත්සාහ කරනව. ඒ හොයන අතරතුරදි වටපිටේ ඉන්න විවිධ මිනිස්සු ගැන ඉතාම සැක සහිත හොර පවා අහුවෙනව. ඒ ගැනයි මේ චිත්‍රපටය.

ආදරය කරන කෙනෙක් අහමි වීම හිත දරාගන්නෙ පියවර ගණනාවකින්. මේ චිත්‍රපටයෙ කියන විදියට 5කින්. මුළින්ම ගණන් නොගැනීම, ඉන්පසු කේන්තිය, ඉන්පසු අන් අයට දොස් පැවරීම, ඊට පස්සෙ මානසික අවපීඩනය, ඊටත් පස්සෙ ඒ අහිමි වීම පිළිගැනීම.

අහිමි වීමේ වියෝ දුකින් පෙළෙන ඕනම කෙනෙක් ඔය අදියර පහ පහු කරන්න ඕන. මානසික උපදේශකවරයෙක් කරන්නෙ ඒ පියවර හරියට පහු කරන්න වේදනාව දුක විඳින කෙනාට සහය වෙන එක. තනියම විඳ දරාගන්න බැරි නම් එහෙම උපදේශක සහයක් ගන්න එක ඉතාම වැදගත්. මොකද ඔය එක අදියරක හෝ හිර වුණොත් තත්වය ඉතාම භයානක වෙන්න පුළුවන්. තමන්ට වගේම අන් අයටත්.

Folie a deux syndrome නොහොත් ෆෝලී අ ඩූක්ස් සින්⁣ඩ්රෝමය කියන්නෙ ඉතාම බරපතළ වෙන්න පුළුවන් මානසික රෝගී තත්වයක්.

නිකම් තේරුම් ගන්න බෑ වගේ නේද? එුක තේරුම් ගන්න මේ ⁣චිත්‍රපටිය බලන්නම වෙනව. ඇත්තටම මේක බලන්නම ඕන ෆිල්ම් එකක්.

Monday, August 17, 2020

ඉටි කර්මාන්තෙ



"සුද්දගෙ නහයෙන් හොටු පෙරෙනවා" කියල ඉස්සර තේරවිල්ලක් තිබ්බ. උත්තරේ ඉටි පන්දම. දැන් පොඩි උන් නම් ඕක දන්නවද සැකයි. ඔය ඉටි පන්දම දිගේ පහළට ගලාගෙන එන ඉටි අත පිච්චෙන නොපිච්චෙන ගානෙදි එකතු කරගෙන ඒකෙන් අනං මනං රූප අඹන එක තමයි පොඩි කාාල නංගිගෙයි මගෙයි ප්‍රියතම කර්මාන්තෙ. ඒ රූප හදල ඒව ආපහු ඉටි පන්දමේ දැල්ලටම අල්ලල දියවෙලා ඇඹරිලා යන හැටි බලාගෙන ඉන්න එකෙත් අමුතු සතුටක් තියනව. අපි දෙන්නගෙ ඔය වැඩේට ඉටි කර්මාන්තෙ කියල නම දැම්මෙ අප්පච්චි.

ඉස්සර දැන් වාග් නෙමෙයි. නිතරම ලයිට් යනව. කරන්ට් යනව කියල නෙමෙයි ඉස්සර කිව්වෙත්. ලයිට් යනව කියල. මොකද රාත්‍රියට ආලෝකය ඇරෙන්න විදුලියෙන් ගත්තු ප්‍රයෝජන හරි අඩු හින්ද. ෆෑන් නම් ඉතින් අදාළම නෑ. ඔය නිතර ලයිට් යාම හින්ද ඉටිපන්දම් එළියෙන් හරි ලාම්පු එළියෙන් හරි වැඩ කරගන්න එක ඉස්සර අපිට හරි සාමාන්‍ය දෙයක්. මං හිතන්නෙ ඒ නිතර නිතර ලයිට් යාම නැවතුනෙ ඔය අද පොඩ්ඩක් ලෙඩ දීල තියන නොරොච්චෝලේ හැදුවට පස්සෙ.

අපි පුංචිම කාලෙ තිබුණෙ කුප්පි ලාම්පු. ඊට පස්සෙ ආව බල්බ් ලාම්පුව. ඒ දෙකම හරි අවදානම්. පෙරලුනොත් ඇතුලෙ තියන ලාම්පුතෙල් එළියට ගලල ගිනි ගන්නව. ඒ කාලෙ පාඩම් කරන්න ගිහින් කුප්පි ලාම්පුව පෙරළිල පිච්චිච්ච ළමයෙක් ගමකට දෙකකට ඉන්නවමයි. ඊට පස්සෙ ආව ආරක්ෂිත ලාම්පුව කියල එකක්. ඒකෙ තෙල් ටැංකිය හිර කරල වහන්න පුළුවන්. පෙරළුණ ගමන් තිරේ ගාව කෑල්ලක් එළියට ඇවිත් තිරේ වැහෙනව. ඒක හින්ද ලාම්පුව නිමෙනව. ඔය ලාම්පුවක අප්පච්චි ගෙනාවෙ සණස ක⁣ඩෙන්. එතකොට මං පහේ පන්තියෙ විතර ඇති. ඒ ලාම්පුව මගෙ ජීවිතේට කොච්චර බැඳුණාද කියනවනම් ඒකෙ නමන් "ලාම්පුව" කෑල්ල හළල මං ඒකට කිව්වෙ "ආරක්ෂිත" කියල. අම්මගෙන් වුණත් අහන්නෙ "කෝ ආරක්ෂිත?" කියල.

පාඩම් කරන ළමයින්ට කුප්පි ලාම්පුවලින් වෙන අනතුරු ඉටිපන්දම් ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්න ඇති. නංගියි මායි දෙන්නම පාඩම් කරන කාලෙ ඒ කියන්නෙ නංගි ටිකක් ලොකු වුණාම ලයිට් ගිය වෙලාවට අපි පාවිච්චි කළේ ඉටිපන්දම්.

ඔය කාලෙ තමයි ඉටි කර්මාන්තෙ ප්‍රවර්ධනය වෙන්න පටන් ගත්තෙ. පාඩම් කර කර ඉඳල කම්මැලි හිතුණාම (හැම විනාඩි දෙකකට සැරයක්ම එහෙම වෙනව) අම්මා අප්පච්චි පේන්න නැති වෙලාවක් බලල මම ළඟ තියන ඉටි පන්දමෙන් වැක්කෙ⁣රෙන ඉටි ටිකක් අරන් බෝලයක් හදනව. ඊට පස්සෙ ඒක වෙන මොකක්හරි හැඩේකට හදල ආපහු දැල්ලටම අල්ලනව. ඕක දකින නංගිත් ඒකම කරනව. අම්මහරි අප්පච්චිහරි එනව ඇහුණොත් මම සාමාන්‍ය⁣යෙන් කරන්නෙ මගෙ අතේ තියන ඉටි බෝලෙත් නංගිට දෙන එක. ඉතිං බොහෝවිට අප්පච්චි එනකොට නංගිගෙ අතේ ඉටි ගුලි දෙකක්. අතටම අහුවෙනව.

"ආය පටන්ගත්තද ඉටි කර්මාන්තෙ?"
අප්පච්චි සැර කරනව.

මං පාඩුවෙ මොකුත් නොදන්න මිනිහ වගේ පොතට මූණ ඔබාගෙන වැඩ. නංගි බැණුමුත් අහල මටත් රව රව ආයෙ පාඩම් කරන්න පටන්ගන්නව. ඊළග වතාවෙත් වෙන්නෙ අරකම තමයි.

නොරොච්චෝලේ හැදුවට පස්සෙ ළඟ ළඟ ලයිට් යාම නතර වුණා. ආලෝක තත්වයත් වැඩි වුණා. අපි විදුලියෙන් ගන්න ප්‍රයෝජනත් වෙනස් වුණා. ලයිට් යාම කරන්ට් යාම වෙන්නෙ එහෙම. දැන් නම් ඉතින් ලයිට් අදාළම නෑ. ෆෑන් එක නැතුව තමා ඉන්න බැරි.

ඊට පස්සෙ මම පාඩම් කරන කාලෙ ලයිට් ගිහින් මුළු රෑම ආවෙ නැති දවසක් මට මතක තියෙන්නෙ 2007. ඒ දිනේ මට හොඳට මතක පහුවදා උසස්පෙළ ආර්ථික විද්‍යාව දෙවනි ප්‍රශ්න පත්තරේ තිබුණ හින්ද. එදා නම් මට ඉටි කර්මාන්ත කරන්න ඉස්පාසුවක් තිබුණෙනෑ.

ඊට පස්සෙත් ලයිට් ගියපු වෙලාවල් ඉටිපන්දම් පත්තු කරපු වෙලාවල් ඕන තරම් තිබුණ. ඒත් මට ඉටි කර්මාන්තෙ මතක් වුණේම නෑ. අද මතක් වුණේ පුංචි දුව කැඩිච්ච වචන කිය කිය ඉටි පන්දම ළඟට ගිහින් වැක්කෙ⁣රෙන ඉටි දිහා බලාගෙන ඉන්න උනන්දුව දැකලා.

ඇත්තටම ඒ දර්ශනය හරිම ⁣පොළඹවන සුළුයි. පොඩි ළමයෙක් නෙමේ. වැඩිහිටියෙක් පවා. ඉතින් ඒ සුන්දර මතකය ආපහු ගෙනාපු හින්ද මේ විදුලිය විසන්ධි වීමට මං ස්තූති කරනව. ඒත් දැන්නම් කරන්ට් ආවොත් හොඳයි. ඉටි කර්මාන්තෙ කෙසේ වෙතත් දැන් මට ෆෑන් එක නැතුව නින්ද යන්නෙ නෑ.

Sunday, August 16, 2020

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්

 


රත්න ශ්රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්ථකථන. නමුත් ගීතයෙන් කියැවෙන සත්ය පණිවුඩයෙ සුන්දරත්වය වැඩි වෙන්නෙ සුන්දර පසුබිමකදි ඒක කියනවට වඩා කිසිවක් කරකියාගත නොහැකි අසීරු දුක්ඛදායක අඩියකට වැටුණු පසුබිමක ඒක කියවද්දි. ඒ නිසා මම කල්පනා කළා මේ සුන්දර ගීතයට කටුක වටපිටාවක් දෙන්න. ඒ කටුක පසුබිම මැද පියෙකු දියණියක වෙනුවෙන් දක්වන අසීමිත ආදරයේ සුන්දරත්වය වඩාත් සුන්දරව කැපී පෙනෙයි කියල මම හිතනව.

සාමාන්යයෙන් පුතෙක් වැඩිපුර බැදෙන්නෙ මවට. දුවෙක් අම්මට වඩා පියාට බැදෙනව. ඒ වගේම තමයි අනෙක් පැත්තටත්. බණ්ඩාර ඇහැළියගොඩ ලියපු "දුවේ නුඹ මගෙ ප්රාණයයි" ගීතයෙ පියෙකු දියණියකට දක්වන අසීමිත සෙනෙහස බොහොම ලස්සනට කැටි කරල තියනව.

නමුත් පියෙකුගේ සෙනෙහස බැලු බැල්මට පෙනෙන්නෙ හරි අඩුවෙන්. තාත්තෙක්ව දරුවෙක් දකින්නෙ සංවේදී බව අඩු මහා වෘක්ෂයක් විදියට. ඒ මහා වෘක්ෂය අම්මා සහ දරුවන් වසාගෙන වැවිලා අවුවෙන් වැහි පොදකින් වත් තමන්ගෙ බිරිදට දරුවන්ට අපහසුවක් හානියක් කරදරයක් නොවෙන්න ඔවුන්ට සෙවණ දෙනව. නමුත් ඒ මහා සෙනෙහස බැලු බැල්මට පේන්නෙ නැහැ. අඩුවෙන් සිනාසෙන කතාව අඩු දරුවන්ගෙ සතුටෙදි මද සිනාවක් විතරක් පෙන්නල හිත ඇතුලෙන් පෙරළි පෙරළි හිනා වෙන දරුවන්ගෙ දුකකදි ලොකු කලබලයක් නොපෙන්වා අවශ්ය දේ සොයලා බලලා කරන ගමන් හිත ඇතුලෙන් ඉකිගසා හඩන පියවරු වෙනුවෙන් තමයි එක් සුන්දර දියණියක් වන මාලනී ජයරත්න "පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ" කියල ලියන්නෙ.

මෙතනදි කතා කරන මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ගීතය හරියට හිතට දැනෙන්න රස විදින්න නම් මුලින් ඔය බණ්ඩාර ඇහැලියගොඩගෙ දුවේ නුඹ මගෙ ප්රාණයයි ගීතයත් මාලනී ජයරත්නගෙ අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී ගීතයත් අහල ඉන්න ඕන. ඒ ගීත දෙක ඇති කරන සංවේදීකම ඇතුලෙ මේ ගීතයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන බව දැනෙයි.

ඒ සින්දු දෙක අහල තිබුණට කමක් නෑ. මෙතනින් එහාට කියවන්න කලින් ඒ සින්දු දෙක අහල එන එක හොදයි.

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

තාත්තා බලන්නෙ දුව අවදියෙන්ද කියල. සුන්දරත්වය විදින්න ලෝකය කියවාගන්න ඔහු තමන්ගෙ ආදරණීය දුවට ආරාධනා කරනව. හැබැයි තාත්ත දන්නව දුව දැන් ඉස්සර වගේ නෙමෙයි කියල. ටිකක් අසංවේදී. මනස විවෘත නෑ. ටිකක් හිතුවක්කාරයි. ඒ නිසා ඇත්තටම මේ ගීතය හරියටම ගැලපෙන්නෙ ආදරණීය තාත්තෙක් සහ හිතුවක්කාර දුවෙක් අතර නෝක්කඩුවක් තියෙන වෙලාවකට. දුවේ උඹ සංවේදී නම් නුඹේ හිත විවෘත නම් නුඹට පෙනෙයි මේ මොහොතේ තියන සුන්දරත්වය. මොකද අසංවේදීව තමන්ගෙ සිතුවිලි සිර ගෙයක හිරවෙලා ඉන්නෙ නැතුව දොර ඇරගෙන සැබෑ ලෝකෙට බැස්සොත් නුඹට පෙනෙයි මේ මිහිරි දේවන් උඹ වෙනුවෙන්ම බව. තාත්තෙකුට මොකක්ද දුවට දෙන්න පුළුවන් මිහිරිම දේ. ඒ තමයි ආදරේ. ඒ නිසා මෙතනදි තාත්ත දුවට අවදියෙන් නම් දොර ඇරගෙන එළියට ඉන්න කියන්නෙ තාත්තගෙ ආදරේ විදින්න. මේ රැයේ මිහිරිම වෙලාව වෙන්නෙ ඇයි. ඒ ආදරය මිහිර දුවට දෙන්න තාත්තා තවම ජීවතුන් අතර නිසා. සමහරවිට දුව අවදි වෙනකොට සිතුවිලි සිරගෙයි දොර ඇරගෙන එළියට එනකොට තාත්තා තවදුරටත් ජීවතුන් අතර නොසිටින්න පුළුවන්. එතකොට මිහිරක් කොයින්ද. රාත්රි අන්ධකාරය පමණක් තියෙයි. ඒ නිසා තාත්ත දුවට ආරාධනා කරනව පටු හිරගෙවල් වල හිරවෙලා ඉන්නෙ නැතුව තමන් ජීවතුන් අතර ඉද්දි එළියට ඇවිත් ඒ සෙනෙහස විදින්න කියල.

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි

සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාව සුන්දර රාත්රිය ජීවිතයේ සැදෑ සමය උදා වෙලා. නමුත් ඒ සැදෑ සමය බොහොම සුන්දර කරගන්නට පුළුවන්. තාත්තට තියෙනව දුවත් එක්ක බෙදාගන්න අත්දැකීම් ගොඩක්. කියල ඉවර කරගන්න බැරි කතා ගොන්නක්. සමහර කතා කියන්නත් බැරි ඒව. නිල් තාරුකා බිම බලාගෙන වැව් දියට පෙම්බැදි වෙලාවයි කියන එකෙන් මම හිතන විදියට අර්ථයන් දෙකක් ගන්න පුළුවන්. එකක් තරු එළිය වැවට වැටිලා දිලියෙස අපූරුව ගැන සෞන්දර්යාත්මක විවරණය. අනෙක තරු එළිය වැවට තරු එළිය වැටුණට ඒ එළියෙන් ලැබෙන්නෙ බොහොම සීමිත ආලෝකයක්. ඒ වගේම තාරකා සහ වැව් දිය කියන්නෙ එකිනෙකින් බොහොම දුරස්. නමුත් ඒ තුරු එළියෙන් පුංචි දිලිසීමක් තියන පොළව දිහා දුව තනියම හිනා වෙවී බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ තාත්තා සහ දුව අතර දුරස් බව දුවගෙ ප්රේමයක් නිසා ඇතිවුණ එකක් බවට ඉගියක් තියනව. තාත්තා දුර ඉදන් ඒ ප්රේමය දිහා බලාගෙන ඉන්නව. වැව් දියේ සියුම් දිලිසීම වගේම ඒ දිලිසීමේ තියන ප්රමාණවත් නොවන බව තරු සහ වැව් දිය අතර තියන දුරස් බව තාත්තා දකිනවා. ඒක දුවට පේන්නෙ නෑ. දුව සේපාලිකා මලක් නටුවෙන් ගිලිහෙනවා වගේ බිමට බැහැලා ඉවත්ව යන්නයි හදන්නෙ.

ගණ කළුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි

තරු එළිය වැටිලා දිලිසෙන වැව් ජලය මහ පොළොව සුන්දරව පේන්නෙ එතන තියන අන්ධකාරය නිසා මයි. ඒ අන්ධකාරය අතර පේන පුංචි එළිය ලස්සනට පේන බව ඇත්ත. ඒත් ඒ දර්ශනයට පෙම් බදිනව කියන්නෙ එක විදියකට අදුරට පෙම් බදිනව කියන එක. අදුරට පෙම් බැන්දොත් එතන ජීවිතය ජීවත් කරන්නට අවශ්ය ආලෝකය ශක්තිය ඇත්තේ නැහැ. ඒ නිසා හැමදාම ඉර හද තරු වැනි ආලෝක ප්රභව වලට ණයගැතිවයි ඉන්නට වෙන්නෙ. ලෝකයත් එක්ක කරන ගනුදෙණුව පහසු එකක් නෙමෙයි. ලෝකය අපිට ජීවිතය ආදී හැම දෙයක්ම දෙනවා. අපි ඒවා ආපසු දිය යුතුයි. ඒ ගණුදෙනුවේ තියන සංකීර්ණ ස්වභාවය ඒකයි. ලෝකයෙන් ජීවය අරන් ආපු තාත්තත් දවසක ලෝකය විසින්ම අත්පත් කරගන්නවා ඇති. පොළවට පස් වෙනවා ඇති. ඒ ලෝකයට දුව ආදරය කරනවා නම් මුළු ලෝකයම දුවටත් ආදරය කරයි. ඒ ඇත්ත දකින්න අවදි වෙන්න. සිතුවිළි සිරගෙයි දොර ඇරගෙන එළියට බහින්න. මේක තමයි ජීවිතයේ පිය සෙනෙහසේ මිහිරියාව රසවත්වම විදින්න පුළුවන් වෙලාව කියලා තාත්තා දුවට නැවත නැවතත් ආරාධනා කරනවා.

සමහරවිට මේ ගීථය ගැන ගීතය ලියපු රත්න ශ්රී විජේසිංහයන්ගේ කියවීමත් මේක නොවෙන්න පුළුවන්. ඒත් මම කැමතියි මේ ගීතය මම ආසා විදියට කටුක පසුබිමකට දාලා කියවන්න. සමහරවිට කෙනෙකුට තාත්තාගේ ආදරය හරිහැටි තේරුම් යන්නට ඒක කටුක පරිසරය තුල අත්දකින්නටම වෙන්නට පුළුවන්. එහෙම මං මුළා වුණ කාට හෝ මං ආරාධනා කරනව මම මුලින් සදහන් කරපු ගීත දෙක අහලා ඊට පස්සෙ මගේ මේ කියවීමත් එක්ක මේ ගීතය අහන්න. ඔබට සමහරවිට පිය සෙනෙහසේ සැබෑ මුහුණුවර හමුවෙයි.

Snowpiercer (2013) - විප්ලවයක හරස්කඩක්



මා මෙතෙක් නැරඹූ චිත්‍රපට අතරින් මගේ සිතට තදින්ම කාවැදුණු අංක එකේ චිත්‍රපටය ලෙස Snowpiercer හැඳින්වීමට මම කැමතිය. එය ආරම්භයේ පටන් අවසානය දක්වා පමණක් නොව අවසානයෙන් පසුවද නරඹන්නා දැඩිව ඇද බැඳ තබාගන්නා, කෙනෙකු සිතීමට පොළඹවන අතිශය ප්‍රබල වූ සිනමා නිර්මාණයකි.

කෙනෙකුට මෙය දුම්රියකදී සිදුවන ගැටුමක් පිළිබඳව කතාන්තරයක් ලෙස සළකා බැහැර කිරීමටද හැකියාව තිබේ. නමුත් එම කතාන්තරය තුල ඇති දේශපාලනික වැදගත්කම කියා නිම කළ නොහැකි තරම් වෙයි.

මහපොළොව හිමෙන් වැසීගිය, එළිමහනට ගියහොත් තත්පර ගණනකදී නියත වශයෙන්ම අධික ශීතල හේතුවෙන් මරණය හිමිවන පරිසර තත්වයක් මෙම චිත්‍රපටයට පසුබිම් වේ. ලෝකය වටා නොනැවතී නිරන්තරයෙන් ගමනේ යෙදෙන එක්තරා දුම්රියක් තුල පමණක් ජීවය ආරක්ෂා වී පවතී. එම දුම්රිය සමස්ථ ලෝකයේ පවත්නා සමාජ ක්‍රමයේ ඉතා පැහැදිලි හරස්කඩකි.

දුම්රියේ පසුපසම සිටින දුගී දුප්පත් ජනතාව දුම්රිය් ඉදිරි කොටසේ සිටින ඉහළ පැළැන්තිය විසින් තමන් මත මුදා හරින ප්‍රචණ්ඩත්වයට සහ මනුෂ්‍යත්වයට තරම් නොවන සැළකීමට එරෙහිව කැරැල්ලක් අරඹයි. කැරැල්ලේ ඉලක්කය කෙමෙන් කෙමෙන් දුම්රිය තුලින් ඉදිරියට ගමන් කොට එංජිමේ බලය අල්ලා ගැනීම මගින් දුම්රියේ පාලන බලය දුගී දුප්පත් ජනතාවට ලබාගෙන වඩාත් සාධාරණ තත්වයකට දුම්රියේ කටයුතු පත්කර ගැනීමයි.

දුම්රියේ පසුපස සිට ඉදිරිපසට යන ගමන එක් අතෙකින් සමාජයේ පහළම පැළැන්තියේ සිට ඉහළම පැළැන්තිය දක්වා නරඹන්නා කැඳවාගෙන යන ත්‍රාසජනක වූ චාරිකාවකි. අනෙක් අතින් නිර්ධන පංතියේ විප්ලවයකදී පසුකරන්නට සිදුවන අවධීන් පිළිබඳව යථාර්ථවාදී චිත්‍රණයකි.

සමාජ මට්ටම් පිළිබඳව වන චාරිකාවේදී පහළම සමාජ මට්ටමේ ජීවන අත්දැකීම් ඉහළට කෙමෙන් කෙමෙන් ගමන් කරන විට වෙනස් වන ආකාරය, පහළම මට්ටමේ ආහාර, ඇඳුම් පැළඳුම්, පහසුකම්, සමාජ ඇවතුම් පැවතුම් විධි ආදිය පිළිබඳව සවිස්තරාත්මක විස්තර කථනයක මෙම චිත්‍රපටය තුලින් දැකිය හැකිය.

පාලන බලය අත්පත් කරගැනීම සඳහා යන විප්ලවීය ගමනේදී ඉහළ සිට පහළට යෙදෙන අනිවාර්ය ප්‍රතිරෝධය, ඒ හරහා ඇතිවන ලේ වැගිරීම්, අරගලය වෙනුවෙන් සිදුකරන්නට වන කැපකිරීම්, ජීවිත පරිත්‍යාගයන්, නොමඟ යැවීම්, ඉදිරි ගමන තුළ මේ අරගලය සැබැවින්ස නිවැරදි එකක්මදැයි තමාගෙන්ම ප්‍රශ්න කරගන්නට සිදුවන අවස්ථා, හිණි පෙත්තට නගින තැනැත්තාට තමා තුල තමා සමඟම පැනනගින සංග්‍රාමය ආදී සියල්ල ඉතා සිත ඇදගන්නාසුළු ලෙස මෙම චිත්‍රපටයේ අන්තර්ගතය.

චිත්‍රපටයේ කතාන්තරය සැළකීමේදී සමස්ථ ලෝකයක් දුම්රියක් තුලට ගෙනැවිත් විහිදුවා ඇති ආකාරය අපූරුය. ස්වභාවික ලෝකයේදී වඳවී නොයාම සඳහා අවශ්‍ය පාරිසරික තුලනය ස්වභාවිකව රැකෙතත්, කෘතීමව එම තුලනය රැකීමට යාමේදී මුහුණ දෙන්නට සිදුවන අභියෝග, දුෂ්කරතා, අපහසු සහ අමානුෂික තීරණ යනාදිය පිළිබඳව චිත්‍රපටයේ අවසාන අදියරේදී කෙරෙන ගැඹුරු සාකච්ඡාව නරඹන්නා මහත් උභතෝකෝටිකයකට ඇද දමයි.

චිත්‍රපටයේ කතාව මා විස්තර කරන්නට යන්නේ නැත. එය දැන ගැනීම මෙය කියවා එය නරඹන්නට තීරණය කරන ඔබටම ඉතිරි කරමි. සැබැවින්ම එහි කියැවෙන කතාන්තරයට වඩා මාගේ සිත ඇද බැඳ ගත්තේ, මා මහත් අවුලකට ඇද දැමුවේ ඒ කතාවට බැඳී ඊට යටින් දිවෙන දේශපාලනික කථනය බව අවධාරණය කළ යුතුය.

සැ.යු:- ලෝකය දෙස එය අපට පෙනෙන ආකාරයෙන්ම පමණක් බැලීමට කැමති, යමක් පැති කීපයකින් විග්‍රහ කිරීම කාලය කා දැමීමක් යැයි සිතන, දෙන⁣ දෙය කා වෙන දෙය බලාගෙන පහසුවෙන් ඉන්නට කැමති අය, තමන්ගේ එම පැවැත්මට පහසු චිත්ත ස්වභාවය දිගටම පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වන්නේ නම් "මෙම චිත්‍රපටය නැරඹීමෙන් වළකින්න".

Friday, August 14, 2020

ද නිවුස්පේපර් - සමාජ අසමත්කම පිළිබදව විස්තීර්ණ විවරණයක්

 

"ද නිවුස්පේපර්" නම ඇසූ පමණින් එය පත්තර පිළිබද චිත්‍රපටයකැයි කෙනෙකුට හැගෙනවා ඇත. එහි වරදක් නැත. එය එක් අතෙකින් පත්තර පිළිබදව චිත්‍රපටයක් බව ඇත්තය. ශ්‍රීලංකාවේ මුද්‍රිත මාධ්‍ය භාවිතාව තුල ඇති කල් පැහුණු අගතීන් මත සමාජ සංස්ථාවේ ඇතිවන කුණු වී ඔජස් ගලන වාතාවරණය මේ චිත්‍රපටයට විෂය වී ඇති බව ඇත්තකි. නමුත් එම විෂය පළයේ අවකාශය තුල සමස්ථ සමාජ ක්‍රමයේම පවත්නා අසමර්ථකම පිළිබදව සිදුකෙරෙන විස්තරාත්මක විවරණය තුල මීට පෙර ශ්‍රී ලංකාවේ චිත්‍රපට කලාව තුල නිර්මාණය වූ ක්‍රමය ප්‍රශ්න කරන සියලුම චිත්‍රපට වලට සාපේක්ෂව වැඩි වැදගත්කමක් "ද නිවුස්පේපර්" වෙත ආරෝපණය වේ. 

යුධ කාලසීමාවේ හමුදා පුද්ගලයන් ගමන්ගත් බස්රථයක් ඉලක්ක කර එල්ල කැරුණු බෝම්බ ප්‍රහාරයකින් ඒ අසළින් ගමන් කළ අහිංසක කම්කරුවෙකුද ජීවිතක්ෂයට පත්වෙයි. බෝම්බ ප්‍රහාරය ආසන්නයේ එය වාර්තා කරන සියළුම පුවත්පත් සදහන් කරන්නේ බෝම්බ ප්‍රහාරය එකී කම්කරුවා විසින් සිදුකර ඇති බවත් ඔහු සිංහලයෙකු බැවින් සිංහල කොටියෙකු බවත්ය. මෙයින් කුපිතවන ගම්වාසීන් ඒ කම්කරුවාගේ නිවස ගිනිබත් කරයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරාට පහරදී දෙපා කඩා දමයි. චිත්‍රපටය ආරම්භ වන්නේ එම බෝම්බ ප්‍රහාරයෙන් වසර 9කට පසු එක්තරා අවස්ථාවකිනි. 

දෙපා ආබාධිත ගුණා (සරත් කොතලාවල) එසේත් නැත්නම් කම්කරුවාගේ වැඩිමහල් සොහොයුරාට පරණ පුවත්පතක කුඩා කොටසක් නෙත ගැටෙන්නේ අහම්බෙනි. එහි සදහන් වන්නේ හමුදා බස් රථය ඉලක්ක කළ බෝම්බ ප්‍රහාරයට එයින් මියගිය සිංහල කම්කරුවා වගකිවයුතු නැති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති බවයි. එය දකින ගුණා පත්තර කැබැල්ල ගෙන වහා ඔවුන්ගේ පැල්පතට පැමිණ මවට පුවත පෙන්වයි. ඇය ඒ දෙස බලා සිටින්නේ හිස් බැල්මෙනි. ඉන්පසු කඩපිලට යන ගුණා මුදලාලි ඇතුළු කඩපිලේ සිටින පිරිසට පත්තර කැබැල්ල පෙන්වයි. හරියට දිනයක් නමක් නැති පත්තර කැබැල්ලක් පෙන්වා තමන් රවටන්නට ගුණා තැත් කරතැයි ඔහුට බැණ වදින පිරිස ගුණාව එළවා ගනී. 

ගුණාව විශ්වාස කරන්නේ ඔහුගේ හිතවත්ම මිතුරා පමණි. ගුණා මිතුරා සමග පත්තර කැබැල්ල ගෙන ග්‍රාම නිලධාරී හමුවන්නට යයි. ඔහු ගුණාගේ මියගිය සොහොයුරා වෙනුවෙන් කතා කිරීම ප්‍රතික්ශේප කරයි. ඉන්පසු දෙදෙනා යන්නේ පන්සලටය. පන්සලේ ස්වාමීන් වහන්සේ දෙදෙනාට "බණ" කියා ඔය පත්තර කැබැල්ල අතහැර දමා අත්හැරීම ප්‍රගුණ කරන ලෙසත් ඔවුන්ට මුහුණ දීමට සිදුවූ අභාග්‍යය සම්පන්න ඉරණම පෙර කර්මය මත සිදුවූ බවත් කියයි. 

ගුණා සහ මිතුරා කොළඹ ගොස් අදාළ පත්තර කන්තෝරුවේ මහත්තුරුන් හමුවී ගුණාගේ බාල සොහොයුරා නිර්දෝෂී බවට මුල් පිටුවේ ලොකු අකුරින් පළ කරවාගැනීමට තීරණය කරන්නේ ඔය වාතාවරණය සහ ගුණාගේ මවගේ දැඩි ඉල්ලීම මතය. 

චිත්‍රපටයේ ප්‍රධානම කොටස එකී කොළඹ ගමන විෂය කරගෙන නිර්මාණය වී ඇත. එහිදී සමාජයේ පොළව මට්ටමේ ජීවත් වන සැබෑ දුගී දුප්පත් මිනිසුන්ට පවත්නා සමාජ ක්‍රමය කෙතරම් අසංවේදී වන්නේද යන්න නැවත නැවතත් නිරූපණය වන්නේ නරඹන්නා දැඩි කළකිරීමකට පත්කරවමිනි. පුවත්පතකින් සිදුවූ අගතියක් චිත්‍රපටයේ ප්‍රධාන විෂය වස්තුව වුවද ඒ හරහා සමාජ අසාධාරණයේ විවිධ මුහුණුවරවල් වලින් ළග ළග නරඹන්නාට දමා ගැසීමට මේ ප්‍රබල චිත්‍රපටය සමත් වී ඇත.

අවසානයේ අහම්බෙන් සිදුවන අන්ත දුර්දාන්ත සිදුම් මාලාවකට පසු අරමුණ ඉටුකරගැනීමට ගුණා සමත් වෙයි. එහෙත් එම පුවත තම මවට සැළ කිරීමට හෝ ගමේ මිනිසුන්ට කියා ඔවුන්ගේ ප්‍රතිචාරය දැන ගැනීමට ගුණාට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ගුණාට අත්වන ඉරණම ඔහුගේ මවටවත් මවට අත්වන ඉරණම ගුණාටවත් කිසිදාක දැනගන්නට නොළැබීම ප්‍රේක්ෂකයාට යම් ආකරයක සහනය හා කළකිරීම මුසු හැගීමක් ඇති කරවයි.

චිත්‍රපටයේ සෑම රූප රාමුවක්ම දෙබසක්ම පසුබිමින් ඇසෙන කුඩා හඩක්ම පැය ගණන් ගතකොට විවරණය කළ හැකි තරම් ඉතා පොහොසත් ප්‍රබල නිර්මාණාත්මක ප්‍රකාශනයන් වෙයි. ඒ එක් එක් රූපරාමුවක් දෙබසක් හඩක් පාසා වෙන වෙනම චිත්‍රපට නිර්මාණය කළ හැකි තරම් එම ප්‍රකාශන ප්‍රබලය. සමස්ථ චිත්‍රපටය පුරාම දිවෙන මූලික හරය සමාජයේ ඇති සැබෑ ප්‍රශ්න වලට සමාජ ක්‍රමය හා ඊට අනුගත වූ මිනිසුන් දක්වන අසංවේදීතාව වේ. මාෂි සිරිවර්ධන නිරූපණය කරන චරිතය යම් ආකාරයක සංවේදීතාවයක ඉගියක් පළ කළද එය සැබෑ ප්‍රශ්නය තේරුම් ගැනීමකට වඩා අනුකම්පාව මත පදනම් වූ එකක් බව පෙනී යයි. 

මෙම අසංවේදී අසාධාරණ සමාජ ක්‍රමය නඩත්තු කිරීම සම්බන්ධයෙන් ආර්ථිකමය වශයෙන් ඉහළම මට්ටමේ සිටින ධනපතීන්ට සහ එකී ධනපතීන්ගේම නියෝජනයක් වන දේශපාලනඥයන්ට දොස් පැවරීම සාමාන්‍ය සිරිත වේ. නමුත් මෙම චිත්‍රපටය ඉදිරිපත් කරන අමිහිරි කටුක සත්‍යය නම් සමාජයේ ඉහළම ධනපතියාගේ සිට පහළම මට්ටමේ යාචකයා දක්වා සියල්ලෝම දැන හෝ නොදැන මෙම දූෂිත ක්‍රමය නියෝජනය කරන බවයි. ඔවුන් සියල්ලන්ගේම හැසිරීම මෙම දූෂිත ක්‍රමයේ ප්‍රකාශන බවට පත්වේ. 

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අසමාන මිනිසුන් බව දැන සිටියෙමි. නමුත් සැබැවින්ම මෙතරම් ප්‍රබල වූද විස්තීර්ණ වූද ප්‍රකාශනයන් රැසක් එක සිනමා නිර්මාණයක් තුලින් මම කිසිසේත් බලාපොරොත්තු නොවූ බව කිව යුතුය. විශේෂයෙන්ම එය ධනපති දේශපාලකයෙකු වන බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් ලෙස එළිදකින විට.

Thursday, August 13, 2020

Princess of Thieves (2001)

රොබින්හුඩ් තේමා කරගෙන නිර්මාණව වුණ ටෙලිනාට්
ය චිත්රපට කාටුන් වැඩසටහහන් ගණනාවක් මම බලල තියනව. නමුත් ඒ හැම නිර්මාණයක් අතරින්ම වැඩියෙන්ම හිතට වදින්නෙ පුංචි කාලෙ ඉදන් ජාතික රූපවාහිනියේ සිංහල උපසිරැසිත් එක්ක බලපු ෂර්වුඩයේ රොබින් කතා මාළාව. සමහරවිට ඒක මුළින්ම බලපු නිසා වෙන්න ඇති. රොබින් හුඩ් ගෑවෙන අනෙක් හැම නිර්මාණයක්ම ෂර්වුඩයේ රොබින්හි පවත්න කතා තේමාව සහ චරිත ස්වභාවයන් අනුව කියවීමට පෙළඹීමේ අගතියට මම නතු වෙලා තියනව.

මේ චිත්රපටයේ රොබින්හුඩ්ට දෙන ප්රවේශය වෙනස් එකක්. එතනදි රොබින්හුඩ් ලයන්හාට් රිචඩ් රජුගෙ විශ්වාසවන්ත සේවකයෙක්. රිචඩ් රජු තමන්ගෙ ඇවෑමෙන් එංගලන්තයේ කිරුළ සදහා නම් කරන පිලිප් කුමාරයාගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් පවා ඔහු විශ්වාසය තියන්නෙ රොබින්හුඩ් කෙරෙහි.

රජතුමාගේ බාල සහෝදරයා ජෝන් කුමාරයා නොටිංහැම්හි ෂෙරිෆ් සමග එකතු වෙලා ප්රංශයේ සිට එංගලන්තය බලා එන පිලිප් කුමාරයාව ඝාතනය කරන්නටත් ඉන්පසු කිරුළ තමන් සතු කරගන්නටත් උත්සාහ කරනව. කතාව දුවන්නෙ ඔය සන්දර්භය ඇතුලෙ.

එතනදි කලින් රොබින්හුඩ් කතා වල නොඉදපු ආකර්ශනීය චරිතයක් කරළියට ගේනවා. ඒ තමයි රොබින්ගෙන් මැරියන්ගෙයි දියණිය වන ලොක්ස්ලිහි ග්වෙන්. ඇගේ චරිතයට පණ පොවන්නෙ Keira Knightley. දැනටත් වඩා ඇගේ හොදම නාඹර වයසෙදි මේ චරිතය නිරූපණය කරල තියෙන්නෙ. බලා ඉන්න ලස්සනයි.

කතාවෙ තියෙන්නෙ නම් සුපුරුදු වැඩවසම් වීරත්වයම තමයි. රජවරු හදන එකෙන් සාමාන්ය ජනතාවට සැළසෙන යහපත බොහොම ටිකයි. ඒත් අතීතයේ ඉදන් මේ දක්වාම රජුන් තනන එක ලේ වලටම දැනෙන ආතල් වැඩක්. ඒ ගැන කතා අහන එක කියවන එක චිත්රපටි බලන එකත් ඒ වගේම ආතල්. හැබැයි ඒ හැම කතාවකම ගොවියෝ කම්කරුවො රජුන් තැනීම සදහා ජීවිත පරිත්යාගයෙන් ඉස්කෝප්ප මුල්ලු අලවංගු අතේ අරගෙන ආයුධ සන්නද්ධ හමුදාවක් එක්ක සටන් කරල රජාව දිනවලා ඒ රජාට ආයුද දීල සන්නද්ධ කරල අත් පස්ස පැත්තේ පිහදාගෙන ආපහු ගෙදර යන්නෙ තමන්ගෙ සුපුරුදු දුක්බර ජීවිතේට. ඇත්ත කතන්දරේ ඕක වුණාට අවුරුදු සිය ගාණක් තිස්සෙ මානව වර්ගයා තවම ආස කරන්නෙ වඩා හොද ක්රමයක් හදනවට වඩා ප්රතාපවත් රජෙක් හදන්න. ඒක සාමාන්ය මිනිසාගෙ සමස්ථ දෘෂ්ටියෙන් ගත්තාම හරි මෝඩ බලාපොරොත්තුවක් / ආසාවක් වුණත් ඒකෙ තියන සතුට ත්රාසය පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ. මේ කතාවෙත් මුළ ඉදන් අගටම ඒ හැගීම තදින්ම දැනෙනවා.

පිලිප් ඉදිරියට එන්නෙ සාමාන්ය මිනිසුන්ගේ උදව්වෙන්. පිලිප්ව ඉදිරියට ගේන රොබින් ග්වෙන් වගේ සාමාන්ය මිනිස්සුන්ට එතනදි ව්යාජව දැනෙන අර ශ්රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් කැපවෙනවයි කියන හැගීම මේ චිත්රපටය නරඹන්නාටත් නොඅඩුව දැනෙනව. අන්තිමට රොබින්ට රාජසබාවෙ උපදේශක කමක් හම්බ වෙනව. දැන් වගේමයි. අවසානය දක්වාම හිතෙන්නෙ පිලිප් කුමාරයයි ග්වෙනුයි කසාද බදියි කියල. නමුත් රජතුමාගේ රාජකීයත්වයත් ග්වෙන් සාමාන්ය කෙනෙක් වීමත් කියන කරුණ දෙන්නම තේරුම් අරන් පැත්තකට වෙනව.

එතනදි එක අතකට බලාපොරොත්තු කඩවෙනව වුණත් මේ චිත්රපටියත් රොබින්හුඩ් තේමාවෙ ආපු විවිධාකාර චිත්රපටි අතරේ හොයාගෙන බලන්න වටින තවත් එකක් විදියට මතකයේ රදවාගන්න මම කැමතියි.

An Inspector Calls (2015)



ධනේශ්වරය විසින් නිර්ධන පංතිය සූරාකෑමේ විවිධ මුහුණුවර සහ එහි ඵල විපාක මේ චිත්‍රපටයේ තරම් සියුම් ලෙස නරඹන්නාට දැනෙන ලෙස නිරූපණය වූ වෙනත් චිත්‍රපටයක් මම දැක නැහැ.

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ලන්ඩනයේ ඉහළ පෙලේ පවුලක සතුටුදායක සන්ද්‍යා භෝජන සංග්‍රහයකින්. හැමෝම බොහොම ප්‍රීතියෙන් ඉන්නෙ ඒ පවුලෙ දියණියගේ විවාහ ගිවිස ගැනීම හේතුවෙන්. ඇය විවාහ ගිවිස ගන්නෙ ඔවුන්ගේ පවුල විසින් පවාත්වාගෙන ගියපු ව්‍යාපාරයේ දිගුකාලීන තරඟකරුවෙකුගේ පුතෙක් සමඟ. ව්‍යාපාරික සටන අවසන් කරලා දෙගොල්ලම එකතු වෙලා අළුත් ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගන හැටි පවා කතා බහ වෙන්නෙ බොහොම සතුටින්. මදක් හෝ අසතුටින් ඉන්නෙ විවාහ ගිවිසගත් කාන්තාවගෙ මල්ලි පමණයි. ඔහු යම්තාක් දුරකට සමාජ අසාධාරණය සම්බන්ධයෙන් සංවේදි බවක් පෙන්වනවා.

පොලිස් පරීක්ෂක ගූල් ඔවුන්ගේ නිවසට එන්නෙ භෝජන සංග්‍රහය අවසන් වනවාත් සමඟම. ඒ එදා සියදිවි නසාගත් තරුණියක පිළිබඳ විමර්ශනයක් සඳහා. ඔහු ඇවිත් පරිසගෙන් ප්‍රශ්න කරනවා. මේ මොහොත වෙනකොට නරඹන්නාගේ හිතෙත් ඒ සතුටුදායක සන්ද්‍යාව විනාශ කිරීම ගැන පරීක්ෂක ගූල් ගැන අප්‍රසාදයක් ඇතිවෙන ආකාරයට ඉතා සියුම් නිරූපණයක් දකින්න ලැබෙනවා. 

ඔහු විසින් සිදුකරන ලද ප්‍රඕන කිරීම් වලින් අනාවරණය වෙන්නෙ මියගිය ඊවා ස්මිත් නම් තරුණිය රැකියාවෙන් ඉවත දැමීම පවුලේ පියා විසිනුත්, ඇය ඊළඟට රැකියාව කරන ස්ථානයෙන් නෙරපීම සඳහා ඇගේ ලස්සන ගැන ඊර්ෂ්‍යාවෙන් සුළු කරුණක්ක ගැන කළමනාකාරීත්වයට පැමිණිලි කිරීම විවාහ ගිවිසගත් දියණිය විසිනුත්, ඊට පසු යන එන මං නැතිව අසරණ වන තරුණිය අනියම් බිරිඳ ලෙස කලක් තබාගෙන සිට ඇයව අතහැර ඇගේ හිත කඩා දැමීම දියණිය සමග විවාහ ගිවිසගත් තරුණයා විසිනුත්, ඉන්පසු ඉබාගාතේ ගිය තරුණිය සමඟ සබඳතාවයක් ඇතිකරගෙන ඇයව ගර්භනී භාවයට පත්කිරීම පවුලේ පුතා විසිනුත්, ගර්භනීව අසරණව ස්වේච්ඡා සංවිධානයක පිහිට සොයා යන තරුණිය හිස් අතින් ආපසු හරවා එවීම පවුලේ මව විසිනුත් කර ඇති බවයි. 

ඒ අනුව අපරාධමය වශයෙන් නොවුණත් ඇගේ මරණයට මෙම පවුලේ සියළු දෙනා වගකිව යුතු බව ඔවුන්ට ඒත්තු ගන්වන පොලිස් පරපරීක්ෂකවරයා නිවසින් පිටවී යනවා. ඉන්පසු සිදුවන දෙයත් කුතුහලය දනවනසුළුයි. 

නමුත් මම වැඩියෙන්ම ආශා කරන්නෙ ඉහළ සමාජය සමහරවිට වැඩිය හිතා බැලීමකින් තොරව සිදුකරන පොඩි පොඩි කාරණා පීඩිත පංතියට කෙතරම් සංවේදී අයුරින් බලපාන්නේද යන කාරණය මෙම චිත්‍රපටයේ නිරූපණය කරලා තියෙන සියුම් සහ ප්‍රබල ස්වරූපයට. 

ඒ අනුව වරප්‍රසාද ලත් පංතියේ කෙනෙකු වැඩිදුර නොසිතා ඉතාම සුළු දෙයක් ලෙස සළකා කරන දෙයක් වුණත් පීඩිත පංතියේ කෙනෙකුගේ ජීවිතය හා මරණය තීරණය කළ හැකි තරම් බරපතළ බවට පත්වන අයුරින් හැඩගැසී ඇති ජරාජීර්ණ වූද අසාධාරණ වූද සමාජ ක්‍රමය මේ චිත්‍රපටයෙන් දැඩිව ප්‍රශ්න කරනවා. 

Thriller ගණයේ සිනමා නිර්මාණයක් වන මෙය සමාජය දෙස විසම්මුතිකව බලන්න කැමති ඕනෑම කෙනෙකු ආදරයෙන් වැළඳගනු ඇතිවාට කිසිම සැකයක් නැහැ. 

Sunday, August 9, 2020

මහින්ද වෙන්නට හදන සජිත්

2015 මහින්ද රාජපක්ෂ පරාජය වීමෙන් පසු එය ඔහුට සහයෝගය දුන් පාක්ෂිකයන්ට විශාල කම්පනයකට හේතුවක් විය. ජනතාව බස් පිටින් ඔහු බලන්නට මැදමුලන නිවසට ගියේය. ඒ කම්පනය හරහාම ඒකාබද්ධ විපක්ෂය බිහිවී එය ක්‍රමයෙන් පොහොට්ටුව බවට රූපාන්තරණය විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග වැදුණු 2015 මහ මැතිවරණයෙන් පරාජයට පත්වුවද ඉන්පසු එළඹි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද වාර්තාගත ජයග්‍රහණයක් අත් කරගන්නට පොහොට්ටුව සමත් විය. මෙම ජයග්‍රහණය පසුපස තිබූ විවිධ හේතු ගැන විවිධ අය විවිධ මත පළකරත් මට පෙනෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සාධකය කෙරෙහි ජනතාව තබන ලද අසීමිත විශ්වාසය මෙන්ම මහින්ද රාජපක්ෂ සාධකයට ඇති ආදරයද එම ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වී ඇත.

මිනිසුන් සමාජ ප්‍රවණතා වලින් පාඩම් උගනිති. මහින්දගේ දෙවැනි නැගිටීම පාඩමක් කරගනිමින් ඔහු ගත් මගට බොහෝ සමාන ලක්ෂණ පෙන්වන මගක් ඔස්සේ නැගී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පාර්ශවය හෙවත් සමගි ජන බලවේගය උත්සාහ දරණ බව පෙනී යයි. ඔහුගේ අරමුණ සජිත් තවත් මහින්ද කෙනෙකුට ඇද ටෙලිෆෝනය තවත් පොහොට්ටුවකට අන්දවා ඒ ඇදුම් වලට මුවා වී ලබාගත හැකි ජයග්‍රහණයක් බව පෙනේ. මෙය දේශපාලනික වශයෙන් ඉතාම දුර්වල සහ ළාමක උපක්‍රමයකි. එහිදී මහින්ද පරාජය වූ අලුත ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් පෙන්වූ ඇතැම් හැසිරීම් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමට පවා සජිත් පාර්ශවය කටයුතු කරන බව ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි.

එහිදී ප්‍රධාන පක්ෂයෙන් කැඩී වෙන්වීම නව නමක් සහ ලකුණක් භාවිත කිරීම මහින්ද මෙන් හැකි තරම් ජනතාව අතර පෙනී සිටීමට උත්සාහ කිරීම වැනි මහින්ද සුළගේ මතුපිටින් පෙනෙන බොහෝ ලක්ෂණ ඔවුන් ගුරුකොටගනිමින් සිටින බව පෙනී යයි. ඊට අමතරව නිසි කළට පක්ෂ නායකත්වය භාර නොදී දේශපාලන ස්මීගොල්වරයෙකු බවට පත්වූ රනිල් වික්‍රමසිංහට විවේචනයේද හැඩයන් දෙකක් හදුනාගත හැකිය. පළමු හැඩය නම් ඔහු නිසි අවස්ථාවේ දෙවැනි පෙළට නායකත්වය භාර නොදී අර්බුදයක් නිර්මාණය වන තැනට කටයුතු කිරීමය. දෙවැනි විවේචනය ඔහුගේ නායකත්වය යටතේ වසර හතරක පමණ ආණ්ඩු බලයක් පැවැතියද ඒ කාල සීමාවේදී එජාප පාක්ෂිකයාට නොහොත් යූ.එන්.පී කාරයාට සැළකීමට ඔහු අසමත් වීම පිළිබදව ඇති විවේචනයයි.

පළමු විවේචනය කෙසේ වෙතත් දෙවැනි විවේචනය දේශපාලනික වශයෙන් ඉතාමත්ම පසුගාමී දුප්පත් විවේචනයක් බව කිව යුතුය. පක්ෂයක් බලයට පත්වූ පසු පාක්ෂිකයන්ට සැළකීම ශ්‍රී ලංකාවේ දේශපාලන හුරු පුරුද්ද බව සැබෑය. නමුත් එය ඉතාම අවර ගණයේ දේශපාලන පුරුද්දකි. පිටු දැකිය යුතු හා එක්වරම බැරිනම් ක්‍රම ක්‍රමයෙන් හෝ බැහැර කළ යුතු ලක්ෂණයකි. එබැවින් සටන් පාඨයක් ලෙස බලයට පත්වූ පසු පාක්ෂිකයන්ට සැළකීම යන කරුණ ජනගත කිරීමෙන් පෙනී යන්නේ දේශපාලනයේ ඉදිරි ගමනේ ඇති අදුරු බව පිළිබදව පෙරනිමිති වේ.

ජේ.ආර්. ජයවර්ධන අඩුපාඩු සහිත වුවද ඉතාම උපක්‍රමශීලී පාලකයෙකි. ඔහු තමාට ලැබුණු හයෙන් පහක බලය තම බලය අපරිම වන ආකාරයෙන් භාවිත කළේය. ඊට අමතරව ග්‍රාමීය දේශපාලනය තුලද උපක්‍රමිකව ඉතා ශක්තිමත් බලකණු ස්ථාපිත කළේය. එනම් ගම් මට්ටමෙන් ඇති හැකි සහ ජනතාවට බලපෑම් කළ හැකි පුද්ගලයන් හදුනාගෙන ඔවුන් තව තවත් බලවත් කිරීම මගින් ඔවුන්ගේ සහ ඔවුන් වටා ඔවුන් සෙවණේ සිටි පුද්ගලයන්ගේ අඛණ්ඩ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට දිගින් දිගටම ලැබෙන බවට ඔහු වගබලාගත්තේය. එය ග්‍රාමීය ධනපති පෙළක් නඩත්තු කිරීම මගින් ඇතිකරගත් වාසිදායක වටාපිටාවකි.

එකල ගම් මට්ටම පිළිබදව සළකන කල එජාපය ඇතිහැකි සාම්ප්‍රදායික ධනපතියන්ගේ සහ ඔවුන්ගේ හෙංචයියන්ගේ පක්ෂය වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උගත් පහළ මැද පංතියේ සහ දුප්පතුන් වැඩි වශයෙන් ආකර්ෂණය වූ ස්ථානයක් විය.

නමුත් ගම් මට්ටමින් ඉතා බලවත් එජාප පාක්ෂික පතාක යෝධයන්ගේ බලපෑමෙන් ශ්‍රීලනිප පාක්ෂිකයාට බොහෝදුරට මුළු ගැන්වුණු ජීවිතයක් ගෙවීමට සිදුවිය. මෙම සම්ප්‍රදාය සැළකිය යුතු ලෙස වෙනස් කරන්නට උත්සාහ කළේ රණසිංහ ප්‍රේමදාසය. ඔහු පිළිබදව දහසකුත් එකක් විවේචන ඇතත් එජාපය වැනි අතිශය කුලවාදී පක්ෂයක ඉහළ මට්ටමේ නායකයන්ගේ ඉණිමං නොමැතිව ස්වෝත්සාහයෙන් ඉහළටම නැග ජාතික නායකත්වය අත්පත් කරගැනීමට ඔහු සමත් වීම ඔහුගේ දක්ෂතාවයේ තරම කියා පායි.

මහින්ද රාජපක්ෂ දෙස ප්‍රවේශමෙන් බැලීමේදී ඔහුගේ බොහෝ ක්‍රියාකාරකම් සදහා ජේ.ආර්. ජයවර්ධන ගුරුකොට ගෙන ඇති බව පෙනී යයි. මහින්ද පාලන සමයේදී එජාපය සතුව තිබූ ග්‍රාමීය ධනපති පංතියෙන් සැළකියයුතු කොටසක් පදාස පිටින් කඩා තමන් සතු කරගැනීමට ඔහු සමත් විය. එම පිරිසට අමතරව තමාට ඉතා පක්ෂපාතී වූ තැනැත්තන්ට ග්‍රාමීය මට්ටමෙන් නව ධනපති පංතියක් ලෙස ගොඩනැගීමට අවස්ථාවන් ඔහු නොමසුරුව සළසා දුන්නේය. එබැවින් මේ මොහොත වන විට එදා ජේ. ආර් සතුව තිබූ ග්‍රාමීය ධනපති ආධිපත්‍යය සහ ඒ සෙවණේ වැඩෙන හෙංචයි ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම පාහේ මහින්ද සතුය. ඊට අමතරව යුද්ධය කාලසීමාවේදී සාම්ප්‍රාදියක ආර්ථික නිම් වළළු බිදගෙන නැගී සිටි දුගී දුප්පත් පන්තියේ මෙන්ම යුධ ජයග්‍රහණයෙන් ඔද වැඩුණු සහ ජාතිවාදී චින්තනය තම දේශපාලනයේ මූලික හරය කොටගත් පිරිසක්ද මහින්දගේ ස්ථාවර ඡන්ද පදනමට අයත්ය.

නමුත් මෙකී ස්ථාවර ඡන්ද පදනම 2015දීද මහින්දගේ වාසියට නොවෙනස්ව පැවැතුණි. ග්‍රාමීය මට්ටමින් බස්රථ කුලියට ගෙන පැරදුණු මහින්ද බලන්නට ගියේ මෙම ස්ථාවර ඡන්ද පදනමට අයත් මිනිසුන් වේ. මහින්ද පරාජය වූයේ එම ස්ථාවර ඡන්ද පදනම ඉතාමත් ශක්තිමත් මට්ටමක කිසිසේත් නොඅඩුව තිබියදීය. මෙම දේශපාලන වාතාවරණය ඉතාම හොදින් කියවා ගැනීමට රාජපක්ෂ කදවුරේ දේශපාලන උපක්‍රමාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ සමත් විය. ඔවුන්ගේ ග්‍රාමීය ඡන්ද බදනම කොහොමටත් නොවෙනස් බවත් ආමන්ත්‍රණය කිරීම කළ යුත්තේ මධ්‍යස්ථ මතධාරී පාවෙන ඡන්ද පදනමට බවත් ඔහු මැනවින් වටහා ගත්තේය. ඒ සදහා උපක්‍රම සකස් කළේය. වියත්මග, එළිය, සිංහලේ, රාවණා බලය වැනි සංවිධාන වල සිට ඉරාජ්ගේ මියුසික් වීඩියෝ දක්වා ස්ථර ගණනාවකින් පුළුල් පරාසයක් ආවරණය කරමින් එළි දකින්නේ මධ්‍යස්ථ මතධාරී පාවෙන ඡන්ද පදනමට බැසිල්ගේ ආමන්ත්‍රණයයි. එම උපක්‍රමය කෙතරම් සාර්ථක වීද යත් පරාජයේ පසුගාමීත්වයේ සිට අති විශිෂ්ට ජයක් දක්වා ඔවුන් ඔසවා තබන්නට සමත් විය. 

 

මෙය පිටින් බලා සිටි සජිත් ප්‍රේමදාස මහින්ද සුළගේ උපක්‍රමික වටිනාකමකින් යුතු කොටසින් ග්‍රහණය කරගෙන ඇත්තේ කොපමණ සුළු ප්‍රමාණයක්ද යන්න මේ අනුව පෙනී යයි. එය සජිත්ගේ සාමාන්‍ය චර්යාව අනුව පුදුමයට කරුණක්ද නොවේ. ඔහුට ඔහුගේම වූ දේශපාලන දැක්මක් වැඩපිළිවෙලක් ඇති බවක් අද වනතුරු සාමාන්‍ය ජන මනසට කාවදින ලෙස සන්නිවේදනය කිරීමට අසමත් වී ඇත. ඒ වෙනුවට දුගී දුප්පත් ජනතාව ඉලක්ක කරමින් තම පියා විසින් මීට වසර 30කටත් එපිටදී දියත් කරන ලද ව්‍යාපෘති ඒ හා සමාන මුහුණුවරින් යුතුව නැවත ජනතාවට දෙන්නට උත්සාහ කිරීම තම ජය මාවත බව ඔහු කල්පනා කළේය. මහින්දගේ ක්‍රමයෙන් පමණක් නොව රණසිංහ ප්‍රේමදාසගේ ක්‍රමයෙන්ද සජිත් ගත්තේ මතුපිට පෙනුම පමණි.

රණසිංහ ප්‍රේමදාස එකළ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස නිවාස ප්‍රශ්නය හදුනා ගන්නා ලදී. ඒ හරහා ගම්උදාව යෝජනා ක්‍රම මගින් සැළකිය යුතු පිරිසකට මහත් සෙතක් සැළසුණ බවද ඇත්තය. නමුත් වර්තමාන ජන මනසට අනුව නිවාස ප්‍රශ්නය යනු ප්‍රමුඛතා අතර තුන්වැනි හතරවැනි ස්ථාන වල තිබෙන්නකි. එපමණක් නොව අසූ ගණන්වල මොඩලයේ ගිනි පෙට්ටි ගෙවල් වර්තමානයට කෙතරම් දුරකට ගැලපේද යන ප්‍රශ්නයද මතුවේ. ඒ අනුව හුදෙක් ජනතාවට නිවාස දෙනබව හෝ රුපියල් 20000ක් නොව මාසිකව ලක්ෂයක් දෙන බව පැවසුවද වර්තමාන ජන මනස එයට සංවේදීතාවය දක්වන්නේ අඩුවෙන් බව සජිත් වටහා ගත්තේ නැත. ඒ යෝජනා ක්‍රම වල ප්‍රායෝගික හරය විශ්ලේෂණයට වඩා ඔහුගේ කැමැත්ත වැඩි වශයෙන් තිබුණේ පියාගේ අඩි පාරේ යන පුතෙකු බව පෙන්වීම කෙරෙහි බව ඉතා පැහැදිලිව පෙනේ. රණසිංහ ප්‍රේමදාසගේ අඩිපාර යන්නෙන් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් සැළකිය යුතු කොටසක් බියෙන් සලිත වන්නේය යන යටපත් කළ නොහැකි කරුණද සජිත් එහිදී නොසළකා හැර තිබිණ. තවදුරටත් නොසළකා හරිමින් සිටී.

මහින්ද රාජපක්ෂ වුවද මහා දැක්මක් සහිත මහා දක්ෂයෙකු නොවේ. නමුත් ඇතැම් කාරණා විෂයෙහි තමන්ගේ නොදන්නාකම දැනගැනීමට තරම් නිහතමානී වූවෙකි මහින්ද. ඔහු සමග සමීපව වැඩ කළ බොහෝ දෙනෙකුගේ අත්දැකීම් අනුව යම් වැඩපිළිවෙලක් යම් අයෙකු විසින් මහින්දට ඉදිරිපත් කළ විට එය හොද සාධනීය වැඩපිළිවෙලක් බව මහින්දට පෙනී යයි නම් එය ඉදිරිපත් කළ පුද්ගලයාට එය කරගෙන යාමට අවශ්‍ය ශක්තිය මහින්ද ලබාදෙයි. එහි ප්‍රශ්නයක් මතුවුවහොත් තමාට කියන ලෙස පවසයි. මහින්දගේ මෙම නිහතමානී ගුණය වඩ වඩාත් ශක්‍යතා පූර්ණ පිරිස් ඔහු වටා ගොණු කිරීමට සමත් විය. ඒ අති දක්ෂ පිරිස් විසින් සහ මාධ්‍ය විසින් මහින්දව දැවැන්ත දේශපාලන පෞරුෂයක් ලෙස ඔසවා තැබිණ.

රටේ දේශපාලන බලය ලබාගැනීම ඉලක්ක කර සජිත් මහින්දගෙන් ඉගෙනීම හොද ප්‍රවණතාවයක් ලෙස කෙනෙකුට පෙනිය හැකිය. නමුත් එසේ ඉගෙනිය යුත්තේ මහින්දගේ පිට පෙනුමේ ඇති හැසිරීම් රටා හා ලක්ෂණ නොවේ. එහි ඊට වඩා අති විශාල ගැඹුරක්ද බැසිල් රාජපක්ෂ නැමති දේශපාලන සැළසුම්කරුවාගේ සුවිශාල භූමිකාවක්ද තිබෙන බව වටහා ගත යුතුය. විසි එක්වැනි සියවසේදී තමන් ශ්‍රේෂ්ඨයෙකුගේ කාබන් කොපියක් බව පෙන්වීම සාර්ථකත්වය ලැබීමට ප්‍රමාණවත් වන්නේ නැත. තමන්ට ආවේණික වූ සාධනීය ලක්ෂණ පිළිබදව ජනතා ප්‍රසාදය දිනා ගැනීම වෙනම කලාවකි. එය සජිත් ප්‍රේමදාස හරිහැටි වටහාගෙන ඇති බවක් තවම පෙනෙන්නට නැත.

මෙහි ඇති භයානකම තත්වය එය නොවේ. ලොව ඕනෑම ජනප්‍රිය පාලන තන්ත්‍රයක් කාලයත් සමග කල් ඉකුත් වෙයි. ගෝඨාභය සහ මහින්ද ප්‍රමුඛ පොහොට්ටු බලවේගයද එසේම දිනෙක කල් ඉකුත් වීම අතිශය ස්වභාවික සංසිද්ධියකි. එවන් අවස්ථාවක රටේ විපක්ෂයේ ප්‍රමුඛතම කණ්ඩායමට වැඩි අවධානයක් ලැබීම සහ ජයග්‍රාහී මාවතක් සැකසීම නිතැතින්ම සිදුවන්නකි. මීළගට එසේ මාවතක් සැකසෙන අවස්ථාව වන විට විපක්ෂයේ ප්‍රමුඛයා සජිත් ප්‍රේමදාස වී ඔහු තමා ජීවිතයේ දුටු දේශපාලන නායකයන්ගේ මතුපිට හැසිරීම ඇග ගාගත් අයෙකු වී නම් රටක් ලෙස ඊළගට මුහුණ දෙන්නට සිදුවන ඉරණමේ අභාග්‍ය සම්පන්න ස්වභාවයට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

Monday, August 3, 2020

හෙට නිවාඩු නොදීමෙන් පරිපාලනමය වශයෙන් කප්පාදු කරන ලද ජනතා පරමාධිපත්‍යය



හෙට දිනයේ ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වේ. පැවැත්වෙන්නේ මහිලා සමිතියක සභාපති ලේකම් තෝරන නිලවරණයක් නොව රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම අවස්ථාව වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරන මහ මැතිවරණයයි.

නමුත් මේ දක්වාම හෙට දිනය රටටම පොදුවේ බලපාන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර නැත. ඇතැම් අධිකරණ වල පමණක් හෙට දිනයේ කැඳවෙන නඩු වෙනත් දිනයක කැඳවෙන බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ. ඇතැම් ඒවායේ සුපුරුදු පරිදි කටයුතු සිදුකරන බව දැනගන්නට ලැබේ. රටටම බලපාන පරිදි පොදු ප්‍රතිපත්තියක් මැතිවරණ නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අසමත් වීම එක් පැත්තකින් සමස්ථ රාජ්‍යයේ අසමත්කම කියාපාන්නකි.

තවත් පැත්තකින් එය ශ්‍රී ලංකාවේ මා දන්නා ඉතිහාසයේ ජනතා පරමාධිපත්‍යයට පරිපාලනමය වශයෙන් එල්ල කරන ලද දැවැන්තම මරු පහරයි.

විශේෂයෙන්ම මැතිවරණය පැවැත්වෙද්දී අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම කවරාකාරයකින්වත් සාධාරණීකරණය කළ නොහැක. නඩු සඳහා බොහෝ මිනිසුන් පැමිණෙන්නේ දුරබැහැර සිටය. ඇතැම් අය එදිනම පාන්දරින් පිටත් වෙති. අධිකරණයට නිසි වේලාවට ළඟා වීමට පෙර දින රාත්‍රියේ පිටත් වන අයද සිටිති. එයට හේතුව ජනතාව අධිකරණයට ගෞරව සම්ප්‍රයුක්ත බියක් දැක්වීමය. තමන්ගේ නඩු දිනයේ අධිකරණයට යාමට අසමත් වීමෙන් වරෙන්තු නිකුත් වීම, සිවිල් නඩු ඒකපාර්ශ්වික විභාගයට නියම වීම ආදී ප්‍රතිවිපාක මිනිසුන් අත්දැක තිබේ. එම අත්දැකීම් හේතුවෙන් "පුළුවන් අය එන්න. බැරි අය එන්න එපා. වරෙන්තු කරන්නෙ නෑ. එක්ස් පාර්ටේ දාන්නේ නෑ" ආදී වශයෙන් නිවේදන දහසක් නිකුත්කළද පලක් නැත. අධිකරණයට ජනතාව තුල ස්ථාපිත වී ඇති බිය හේතුවෙන් එවන් නිවේදන තිබියදීත් තමන්ට ලැබෙන පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම පසෙක තබා අධිකරණයට මූලිකත්වය දීමට මිනිසුන් පෙළඹෙනවා ඇත.

අනෙක් ආයතන වල තත්වයද එයමය. ඒවායේ සේවය කරන ඇතැම් අය දැනටමත් තැපැල් ඡන්ද භාවිත කර තිබෙන බව ඇත්තකි. නමුත් යම් කාර්යයක් ඉටුකරගැනීම සඳහා නිශ්චිතව හෙට දිනයේ වේලාවක් වෙන්කරගෙන ඇති ජනතාව පිළිබඳව කිව හැක්කේ කුමක්ද? ඔවුන්ට හෙට දිනයේ වෙන්කරගත් වේලාව අහිමි වුවහොත් නැවත දිනයක් ලබා ගැනීමට තවත් සති ගණනක් ඇතැම් විට මාස ගණනක් ගතවනවා ඇත. ඒ අනුව ඔවුන්ටද සාධාරණ බියක් ඇතිවේ. ඒ බිය මත ඔවුන්ද පෙළඹෙන්නේ අදාළ රාජකාරියට අංක එක ලබාදී පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ අයිතිවාසිකම යටපත් කර ගැනීමටය.

පෞද්ගලික අංශයේද සේවය කරන අයට මැතිවරණය සඳහා නිවාඩු ලබාදිය යුතු බවට වන ලේඛනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය විය. නමුත් පෞද්ගලික අංශයේ සේවය කරන ඕනෑම අයෙකු දන්නා ප්‍රායෝගික සත්‍යය නම් පෞද්ගලික අංශයේ නිවාඩු යනු ආණ්ඩුවේ මඟ පෙන්වීමට වඩා සේව්‍යයා සහ සේවකයා අතර සබඳතාවය මත තීරණය වන බවය. එය එසේ නොවිය යුතු බවට තර්ක කලාට පළක් නැත. එය සිදුවන්නේ එසේය.

ජනතා පරමාධිපත්‍යය අත්හැරිය නොහැකි අයිතිවාසිකමකි. එය නිදහසේ ක්‍රියාත්මක කිරීමේ අවකාශය පුරවැසියන්ට තිබිය යුතුය. නිවාඩු දිනයක් ප්‍රකාශ නොකර "පුළුවන් අය වැඩට එන්න. බැරි අය එන්න එපා" යැයි කීම තවත් පැත්තකින් "පුළුවන් අය ඡන්දෙ දාන්න. බැරි අය දාන්න එපා" කීම වැනි අතිශය බරපතළ තත්වයකි. ජනතා පරමාධිපත්‍යය එය අවශ්‍ය අය වුවමනාවෙන් මහන්සියෙන් කැපකිරීම් සිදුකර ක්‍රියාත්මක කරගතයුතු එකක් බවට මේ හරහා පත්වී ඇත.

තවත් අතෙකින් බලන කල මෙය මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව අතිශය සැක සහිත වාතාවරණයක් නිර්මාණය කරයි. ශ්‍රී ලංකාව අන්ත දූෂිත මැතිවරණ ඉතිහාසයකට හිමිකම් කියන රටකි. එසේ නොවන මැතිවරණ ලෙස මට සිහියට නගාගත හැක්කේ ජනාධිපති ඩී.බී. විජේතුංග යටතේ පවත්වන ලද මැතිවරණ දෙක සහ පසුගිය මහමැතිවරණය සහ පළාත්පාලන මැතිවරණය පමණි.

එවන් රටක ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සහ ඡන්ද ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම දක්වාම ජනතාව සමස්ථ ක්‍රියාවලිය දෙස දැඩි අවධානයෙන් බලා සිටීම අත්‍යවශ්‍ය වේ. ජනතා පරමාධිපත්‍යයයේ සැබෑ සත්‍යවාදී ප්‍රතිඵලයක් ඇතිවීම සඳහා එසේ අවධාන⁣යෙන් බලා සිටීමද ඡන්ද දායකයන්ගේ අප්‍රකාශිත අයිතිවාසිකමක් බවට පත්වේ. මේ ක්‍රමය යටතේ කියන්නේ "උඹලා ඡන්දෙ දාලා පලයල්ලා. අපි ගැණලා ප්‍රතිඵල කියනකල් උඹලාගේ වැඩ කරගනිල්ලා" වැනි අතිශය හිතුවක්කාරී ඒකාධිපතිවාදයකට දෙස් දෙන ක්‍රමයක් බව නොකියාම බැරිය. එසේ පවත්වන ඡන්දයක ප්‍රතිඵලය පිළිබඳව විශ්වාසය තැබිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව දැඩි සැකයක් මතුවේ.

ඒ අනුව හෙට පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ මා දන්නා ඉතිහාසයේ ජනතා පරමාධිපත්‍යයේ තටු පරිපාලනමය වශයෙන් අන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කප්පාදු කරන ලද මැතිවරණයක් බව නැවත නැවතත් අවධාරණය කළ යුතුය. මේ වගකීම් විරහිත ක්‍රියාකළාපය හමුවේ මැතිවරණ ක්‍රියාවලිය තුල ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන ඡන්දයක් පාසා මැතිවරණ කොමිසම සහ රජය ඊට වගකිවයුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල සාපරාධී ලෙස ගිනි තැබීමකට කිසිසේත් දෙවෙනි නොවේ.

පොහොට්ටුවේ ජවිපෙ විරෝධී කණා කරකැවීම



ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් තුන්වැනි සිව්වැනි පෙළ දේශපාලන පක්ෂයකට අති විශාල ප්‍රයත්නයක් සහ වියදමක් දරමින් පහර දුන් ප්‍රධාන අවස්ථාවක් ලෙස 2020 මහ මැතිවරණය ඉතිහාසගත වනවා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට නොහොත් මාලිමාවට පහරදීම සඳහා මෙවර මහ මැතිවරණයේ නොකළ දෙයක් නැති තරම්ය. එසේ සිදුවූයේ ඇයි? මහ මැතිවරණයේදී විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පත්වීමට තරම්වත් ඡන්ද පදනමක් නොමැති බව ඉතා පැහැදිලිව දන්නා දේශපාලන කණ්ඩායමකට එතරම් බෙල්ල කඩාගෙන පහර දීමට හේතුව කුමක්ද?

මෙයට දෙපාර්ශවයෙන් ඉදිරිපත් වන්නේ හේතු දෙකකි.

1. පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඉදිරිපත් වන හේතුව නම් ජවිපෙ දැන් වඳවී යන දේශපාලන කණ්ඩායමක් බවත්, ආණ්ඩුවකට කිසිවක් නිදහසේ කරකියා ගැනීමට ඉඩ නොදෙන ඔවුන් දේශපාලනයෙන් අතුගා දැමීම සඳහා තමන් එය කළ බවය.

2. ජවිපෙ පාර්ශවයෙන් ඉදිරිපත් වන හේතුව නම් පොදුජන පෙරමුණේ දේශපාලන ගමනට ඉදිරියේදී සැබෑ අභියෝගය වන්නේ තමන් බව ඔවුන් වටහාගෙන සිටින බැවින් තමනට දැඩිව පහර දෙන බවය.

නමුත් මේ පිළිබඳව ඉහත කී මුහුණුවර දෙකෙන්ම බැහැරවී සළකා බලන කල ඒ හේතු දෙකම ජවිපෙ දියකර හැරීම සඳහා පොදුජන පෙරමුණේ අසාමාන්‍ය ප්‍රයත්නයට සැබෑ මුඛ්‍ය හේතුවෙන් දුරස් බව පෙනේ.

සාමාන්‍යයෙන් ජවිපෙට ඡන්දය ලබාදෙන පිරිස් තවත් කෙනෙකු කිව්වාට ඡන්දය භාවිතා කරන පිරිසක් නොවේ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම (මේ මොහොතේ තුනටම) සහය දෙන පාක්ෂිකයන්ට සාපේක්ෂව තමන්ම ස්වයං අධ්‍යයනයකින් පොත පත කියවීමකින් ඇතිකරගත් දේශපාලන සබුද්ධිකභාවයක් ඔවුන් සතුය. අඩුපාඩු තිබුණද තමන්ම ඇතිකරගත් ස්වාධීන දේශපාලන කියවීමක් ඔවුන්ට ඇත. එවන් පිරිසක් විරුද්ධවාදී පාර්ශවයක් විසින් දිගින් දිගටම කියන කාරණා ගුරු කොටගෙන තම දේශපාලන තීරණය වෙනස් කරනවා ඇතැයි සිතීම සැබැවින්ම ඉතා දුප්පත් දේශපාලන පුරෝකථනයකි. වැඩි ඉඩක් ඇත්තේ පොදුජන පෙරමුණ විසින් ඉතා මහන්සියෙන් කියන නිසාම පෙර පැවතියාටත් වඩා උනන්දුවකින් ජවයකින් ඒ එපා කියන දේම සිදු කිරීමටය. පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් කෙසේ වෙතත් දේශපාලන න්‍යායාචාර්යවරු එවන් දුප්පත් පුරෝකථනයකට එළඹෙතැයි සිතීම අසීරුය. ඒ අනුව පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන හේතුව යථාර්ථයෙන් බොහෝ දුරස් වේ.

ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට පොදුජන පෙරමුණේ ප්‍රධාන දේශපාලන අභියෝගය වීමට තව කාලයක් ගතවනවා ඇත. ඔවුන් හිතුමතේ කටයුතු කිරීම ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ හඬින් යම්තාක් දුරකට රටට හෙළිදරව් වීම විනා ඉදිරි වසර පහ තුල මාලිමාවෙන් පොදුජන පෙරමුණට සිදුවිය හැකි තීරණාත්මක හානියක් නැත. ඒ හෙළිදරව් කිරීම් වලින් පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට සැළකියයුතු හානියක් වන්නේද නැත. මන්ද එහි පාක්ෂිකයන්ගෙන් බහුතරයක් දෙනා දේශපාලනඥයන් සොරාකෑම යන මාතෘකාව සළකා බලන්නේ "රට වෙනුවෙන්, අපේකම, සිංහලකම, බෞද්ධකම, මහින්ද, ජාතික ඇඳුම, අපේ මිනිහා, වැඩක් කරවගන්න පුළුවන් මිනිහා" වැනි ඔවුන් වඩා වැදගත් ලෙස සළකන මාතෘකා වලට බොහෝ පහළිනි. එබැවින් පොදුජන පෙරමුණු ආණ්ඩුවක අඩුපාඩු පෙන්නීම පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ට පොදුවේ ගත්කල මැතිවරණයකදී ගන්නා තීරණයක් සඳහා තීරණාත්මක ලෙස බලපාන්නේ නැත. ඒ අනුව ජවිපෙ ඉදිරිපත් කරන හේතුවද සැබෑ හේතුව සොයා යන ගමනේ⁣දී සැළකියයුතු ලෙස දුරස් බව පෙනේ.

එසේ නම් සැබෑ හේතුව කුමක් විය හැකිද?

පසුගිය ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සමාජ ජාලා තුලින් විශාල හඬක් නැගුණි. "පළමුව ගෝඨාභය ජනාධිපති කරමු, දෙවනුව උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු" යන්න එහි ප්‍රධාන වශයෙන්ම භාවිතා වූ සටන් පාඨයයි. පසුව එය "මහින්ද සමඟ සිටි මිනිසුන් පාර්ලිමේන්තුවට යවමු" යනුවෙන් වෙනස් වුවද පෙර පැවැති සටන්පාඨය උගත් මධ්‍යස්ථ මතධාරීන්ට ඉතා ආකර්ශනීය සටන් පාඨයක් විය.

එමෙන්ම "පළමුව ගෝඨාභය ජනාධිපති කරමු, දෙවනුව පාර්ලිමේන්තුවේ ජවිපෙ නියෝජනය වැඩිකරමු" යනුවෙන් පැවසූ සැළකියයුතු පිරිසක්ද විය. මාගේ මිතුරු ලැයිස්තුවේද එලෙස පැවසූ මිතුරන් තරමක් විශාල සංඛ්‍යාවක් සිටියා මතකය.

⁣ඉහත කී තත්වයන් දෙකම ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට පැවැති පදනම මහමැතිවරණායේදී යම් තරමකින් හීන කරවන ඒවාය. "උගතුන් බුද්ධිමතුන්" යන්න "මහින්ද සමඟ සිටි මිනිසුන්" ලෙස වෙනස් වෙද්දී කළකිරීමට පත්වන අයට ජවිපෙ ප්‍රමුඛ මාළිමාව යනු සජිත්ගේ දුරකථයටත්, රනිල්ගේ අලියාටත් වඩා පහසු තේරීමකි.

ඉහත දෙවනුව කී කණ්ඩායම ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ඡන්දය ලබාදුන්නද මහමැතිවරණායේදී මාළිමාවට ඡන්දය දෙන බව කෙළින්ම කියූ අය වෙති. පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය අවසාන වන තුරු ඒ සම්බන්ධයෙන් මුනිවත රැක්කේය. ජයගත් වහාම ඉහත කී පිරිස ඉලක්ක කොට ඔවුන් මාළිමාව අතහැරිය යුත්තේ මන්දැයි තහවුරු කිරීමට ඉතා වුවමනාවෙන් කරුණු කියන්නට පටන්ගත්හ.

ඒ අනුව පොදුජන පෙරමුණ ජවිපෙ ඉලක්ක කරමින් පසුගිය මාස කිහිපය පුරාවට සිදුකරන ලද අතිශයින්ම අසාමාන්‍ය ලෙස විශාල ප්‍රහාරය ජවිපෙන් එන අභියෝගයක් මැඩලීමට වඩා ලක්ෂ 69න් ඉහත කී ඉතා නිශ්චිත කොටස නාය යාම වැලැක්වීම සඳහා ගන්නා ලද ආරක්ෂක පියවරකි.

කුඩා පරිමාණයේ ප්‍රහාර වලින් ඇරඹී ඉරාජ්ගේ වීඩියෝව දක්වාම විහිදෙන අති දැවැන්ත කැපකිරීමක් පොදුජන පෙරමුණ මේ වෙනුවෙන් සිදුකරන ලදී. ඒවා⁣යින් ඇතැම් උපක්‍රම යම් ආකාරයකට සාර්ථක ප්‍රතිඵලද පෙන්වූ බව පිළිගත යුතුය. නමුත් සම්පූර්ණ පුරෝකථනයක් කිරීමට තවමත් කල් වැඩිය.

උගතුන් බුද්ධිමතුන් යැවීමට සිතා සිට කළකිරුණු අය සහ ජනාධිපතිවරණයේදී ගෝඨා ජනාධිපති කර ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය වැඩිකිරීමට පාරම් බෑ පිරිසගේ දේශපාලන විඥානයට බලපෑම් කිරීමට හෙවත් කණා මුට්ටි ගසන්නා තම බලාපොරොත්තුව ප්‍රකාරව ඇවිද යන සේ හරවා තැබීමට ඉරාජ් ප්‍රමුඛ පොදුජන පෙරමුණේ චිත්ත සංක්‍රමික බලසේනාවට හැකියාවක් ලැබීදැයි නිශ්චිතව හඳුනාගත හැකි වනු ඇත්තේ ඡන්ද ප්‍රතිඵලයෙන් පමණි.

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...