Sunday, April 12, 2020

විනිසුරුතුමන්ලාද මනුෂ්‍යයෝය

(2017 ජූලි 25 වැනි දිනැති පොස්ටුවකි)

ඉහත කියමන මැනවින් ප්‍රකට කරවන ඡායාරූපයක් ඊයේ දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ දක්නට ලැබුණි. තමාගේ ආරක්ෂකයා ලෙස වසර 15ක් පමණ තමා අසලින් සිටි පොලිස් සැරයන්වරයා තමා ඉලක්ක කොට එල්ල කරන ලද වෙඩි පහරකට ගොදුරුව අවාසනාවන්ත ලෙස තමා වෙනුවෙන් දිවි පිදූ කල එම සැරයන්වරයාගේ අසරණ වූ බිරිද දුටු විට ඒ විනිසුරුතුමාගේ සියලු හැගීම් දෙගොඩතලා යන්නට ඇත.

නමුත් මෙහිදී උද්ගත වන තීරණාත්මක ගැටලුව වගකිවයුතු කිසිවකු තවම ග්‍රහණය කරගෙන ඇති බවක් පෙනෙන්නට නැත. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනයෙන් පසු නැවතත් විනිසුරු වරයෙකුට වෙඩි තබා ඇත. මෙය අතිශය බරපතළ තත්වයකි. එදිනෙදා සිද්ධියක් ලෙස සළකා නොසළකා හැරිය නොහැකි තරම් බරපතළ තත්වයකි. 

මහාධිකරණ විනිසුරුවරයා යනු ප්‍රා⁣යෝගිකව ඔහුට අදාළ අධිකරණ බල ප්‍රදේශයේ රජුය. මන්ද ඔහු ඉදිරියට එන ඕනෑම කෙරුම්කාරයෙකු ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීමට ඔහුගේ එක පෑන් පහරක් ප්‍රමාණවත් බැවිනි. එවැනි මහා බල පරාක්‍රමයක් දරා සිටින තැනැත්තෙකුට එම බල පරාක්‍රමයට සරිලන ආරක්ෂාවක් ලබාදිය යුතු නොවන්නේද?

පොත්පත් වල චක්‍රලේඛ වල කුමක් සදහන් වුවද ප්‍රායෝගිකව දක්නට ලැබෙන්නේ මහාධිකරණ විනිසුරුවරයා තමන් විසින්ම රිය පදවාගෙන යද්දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් පෙර ගමන් යාමය. ඇත්ත වශයෙන්ම පෙර ගමන් පසු ගමන් රථ පහ හය තබාගෙන ආරක්ෂකයන් පනහක් හැටක් වටකරගෙන සිටින කෙරුම්කාරයන්ගේ නඩු විභාග කරන විනිසුරුවරුන්ට ලබාදී ඇති ආරක්ෂාව විහිළුවකි.

පළාතේ ප්‍රබල දේශපාලකයෙකුට හෝ හෙංචයියෙකුට අදාළ නඩුවක් විභාග කරන විනිසුරුවරයෙකුට එල්ල විය හැකි බලපෑම් මෙතෙකැයි කිව නොහැක. ඉතින් එවන් තත්වයකදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ සිටින සිවිල් පුද්ගලයෙකු වන විනිසුරුතුමා තමන්ගේ ආරක්ෂාවට කුමක් කරන්නද? මෙම අවදානම නොදැක්කා සේ බලා සිටිය හැකි නොවේ.

මහේස්ත්‍රාත්වරුන්ද ඇතුළුව විශේෂයෙන් අපරාධ නඩු විභාග කරන විනිසුරුතුමන්ලා නිරන්තරයෙන් මෙවැනි අතිශය භයානක ජීවිත අවදානමකට මුහුණදී සිටින පිරිසකි. විනිසුරුතුමන්ලා මුහුණ දෙන ජීවිත අවදානම හා සලකන කල ආරක්ෂකයන් පිරිවරා සිටින ඇතැම් දේශපාලකයන් මුහුණ දෙන්නේ යැයි කියන අවදානම සැබැවින්ම විහිළුවකි.

මෙවන් තත්වයක් යටතේ විනිසුරුතුමන්ලාට අවම වශයෙන් කැබිනට් අමාත්‍ය වරයෙකු ට ලැබෙන ආරක්ෂාව හෝ ලබාදීම වැනි පියවරකට යාමට ඇති බාධාව කුමක්දැයි මටනම් නොවැටහේ. කිසිදා වැඩවර්ජනය නොකරන වෘත්තීය ඉල්ලීම් නොකරන සමාජයේ මුරදේවතා භූමිකාව ඉටුකරන ගෞරවාන්විත රාජ්‍ය සේවකයන් පිරිසක් වන විනිසුරුතුමන්ලාට තනතුරේ බල පරාක්‍රමයට සරිලන ආරක්ෂාවක් සහ පිළිගැනීමක් ලබාදීමට වගකිවයුත්තන්ගේ අවධානය වහාම යොමුවිය යුතුය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...