Sunday, April 12, 2020

අර්ජුන් ඇලෝසියස් බැදුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම

(2017 සැප්තැම්බර් 13 වැනි දින ලියන ලද පොස්ටුවකි)

ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය අනුව නඩුවක චූදිතයෙකුට තමා වෙනු⁣වෙන් සාක්ෂිකරුවන් කැදවීමට හෝ තමාම සාක්ෂි කූඩුවට නැග දිවුරුම් පිට හරස් ප්‍රශ්න වලට භාජනය වෙමින් සාක්ෂි දීමට හෝ දිවුරුම් නොදී හරස් ප්‍රශ්න වලට භාජනය නොවී විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට හෝ කිසිවක් නොකියා නිහඩව සිටීමට අයිතියක් ඇත. යම් චූදිතයෙකු එසේ නිහඩව සිටීමට තීරණය කරයි නම් ඔහුට ප්‍රකාශයක් කරන ලෙස බල කිරීමට අධිකරණයට හෝ බලයක් නීතිය අනුව නොලැබේ.

නමුත් බැදුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඉදිරිපත් කරන තර්කය වන්නේ, මෙය නඩු විභාගයක් නොවන බවත්, ජනාධිපති කොමිසමක් පමණක් වන බවත්, වැඩිදුරටත් අර්ජුන් ඇලෝසියස් යනු මෙහි තවත් එක් සාක්ෂිකරුවකු පමණක් බවත් එසේ හෙයින් ඔහුට පෙරකී නිහඩව සිටීමේ අයිතියක් නොලැබෙන බවත්ය.

නමුත් අර්ජුන් ඇලෝසියස්ගේ පැත්තෙන් මෙහිදී ඉදිරිපත් කළ හැකි වන නීති තර්කය වන්නේ, මෙම කාරණයට අදාළව ඉදිරියේදී ඔහුව විත්තිකරුවකු කරමින් නඩුවක් ගොණු කරනු ලැබීමට විශාල ශක්‍යතාවක් පවත්නා බැවින්, ඔහු විසින් මෙම ජනාධිපති කොමිසම ඉදිරියේ ලබාදෙනු ලබන සාක්ෂිය එවන් අධිකරණයක් ඉදිරියේ අනාගතයේදී ඔහුටම එරෙහිව සාක්ෂියක් ලෙස යොදාගැනීමේ හැකියාවක් පවත්නා හෙයින්, එම අවස්ථාවේදී අනාගත නඩුවක චූදිතයෙකු ලෙස තමාට අගතියක් සිදුවිය හැකි නිසා මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් වැලකී සිටීමට ඔහුට අයිතියක් ඇති බවය. එය නීති තර්කයක් ලෙස පදනමක් ඇති තර්කයකි. මන්ද පාපෝච්චාරණයක් සාක්ෂි ලෙස අදාළ කරගත නොහැක යන සාක්ෂි ආඥා පනතේ 27වැනි වගන්⁣තියේ ආරක්ෂාව මෙම ජනාධිපති කොමිසම හමුවේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදාළ නොවන්නේ යැයි තර්ක කළහැකි බැවිනි.

තවද මෙවන් අවස්ථාවක පවා ඔප්පු කිරීමේ භාරය ඇත්තේ පැමිණිල්ල වෙත බැවින් බලෙන් සාක්ෂි දී පැමිණිල්ල ඔප්පු කරදීමට වගකීමක් විත්තියට නොමැති බවද සැළකිය යුතුය.
ඒ අනුව බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි නොදී නිහඩව සිටීමට අර්ජුන් ඇලෝසියස්ට සම්පූර්ණ⁣යෙන්ම නීත්‍යනුකූල අයිතියක් ඇත.

කෙසේ වෙතත් මෙම බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරගැනීම උදෙසා දරනු ලබන උත්සාහය විෂයෙහි මෙම නිහැඩියාව අගතිදායක වන බව සත්‍යයකි. නමුත් අර්ජුන් ඇලෝසියස් දිගින් දිගටම මුණිවත රැකීමට තීරණය කරයි නම් ඔහුගේ සාක්ෂිය මෙම කොමිසමේ අරමුණ ඉටුකර ගැනීම සදහා කෙතරම් වැදගත් වුවද, බැදුම්කර කොමිසමට හෝ වෙනයම් කිසිදු අධිකරණයකට හෝ ඔහුගේ නිහැඩියාව සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කළහැකි කිසිවක් නැත.
තවද දෙමාපියන් ගුරුවරුන් කුඩා ළදරුවන්ගේ නඩු අසන විටදී මෙන්, "නිහඩව සිටින්නේ වරදකාරී බව නිසාය" යනුවෙන් අනුමිතියකට පැමිණීමට ඉඩක් නීතියට අනුව නොමැති බවත් සැලකිය යුතුය.

PS - උඩගෙඩි දීමක් සදහා නොව නොදන්නා නීතියක් ගැන "එහෙම කරන්ඩ බෑ" කියමින් මොරදීමට පෙර දැනුවත් වීම සදහා පමණි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...