Sunday, April 12, 2020

පින්බර (කප්පම්) සුවාමිනේ

(2017 සැප්තැම්බර් 23 වැනි දින ලියන ලද පොස්ටුවකි)

"බුදුහාමුදුරුවො වැඩියා වාගේ පින්බර සුවාමිනේ" යැයි මහාචාර්ය සනත් නන්දසිරි ගයන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් දුටුකල මිනීමරුවෙකුට වුවද ඇතිවන පහන් හැගීම මේ යැයි පසක් කරමිනි.

දස දහස් ගණනක් ජීවිත විනාශ කළ චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත්වන්නේ කුඩා සාමනේරයන් වහන්සේ නමකගේ සන්සුන් ගමන් විලාසය ඇවතුම් පැවතුම් දැකීමෙනි.
ඒ ඉස්සරය. වර්තමානය වනවිට කසාවතක් දුටුකළ එක්කෝ සැගවෙන්නට සිතෙන එසේත් නැතිනම් නොසළකා හැර ගණන් නොගෙන සිටීමට සිතෙන තරමට වැඩ සිද්ධ වී අහවරය. මන්ද භික්ෂුවක් අප වෙත කිට්ටු කරන්නේ කුමක් හෝ රට බයිලාවක් කියා අපේ පොකැට් එකට විදීමටය යන්න නැවත නැවතත් සනාථ වන තරමට අති විශාල ප්‍රමාණයක් කසාවත් හැදි ආධාරපත්‍රකරුවන් අප රටේ සිටින බැවිනි.

මෙම ආධාරපත්‍රකරුවන් අතරින් සැළකිය යුතු ප්‍රමාණයක් ආධාර එකතු කිරීමේ කාරිය සදහා පමණක් චීවරය දවටාගත්, හැන්දෑව⁣ට සරම කළිසම ඇඳ ෂොට් එකක්ද දමන වංචාකාරී තක්කඩියන්ය. කුමක් හෝ ඈත පළාතක විහාරස්ථානයක චෛත්‍යය ඉදිකිරීම සදහා ආධාර එකතු කරන්නේයැයි සදහන් ටිකට් පොතක් මුද්‍රණය කර ගැනීමට මොවුන්ට වැය වන්නේ ඉතා සුළු මුදලකි. එකී විහාරස්ථානය උතුරු හෝ නැගෙනහිර පළාතේ පිහිටි එකක්නම් ලබාගතහැකි ආධාර ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක් බවට පත්වේ. ඉන්පසු සිංහල බෞද්ධයන් වැඩිපුර සිටින ප්‍රදේශ වල කරක් ගසා දිනකට අවම වශයෙන් ලක්ෂයක් වත් ඉතා පහසුවෙන් හම්බකරගැනීමට මේ තක්කඩියන් සමත් වෙති.

සැබැවින්ම ආධාර ඉල්ලා එන භික්ෂූන් වහන්සේලාද වෙති. ඒ අතරින් බෞද්ධයන් හැකි උපරිම ප්‍රමාණයක් පුණ්‍ය කර්මයට දායක කරගැනීමේ අරමුණ ඇති භික්ෂූන් වහන්සේලාද නැත්තේ නොවේ. එවන් භික්ෂූන් වහන්සේලා ආධාර ඉල්ලා බල නොකරති. කවුරුන් දුන්නද කීයක් දුන්නද එකසේ පිං පෙත් අනුමෝදන් කොට ඉතාම සුහදශීලීව පිටව යති.

නමුත් වැඩිහරියක් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරව කප්පම් ඉල්ලන ලෙසින් මහත්තයෝ මට මෙච්චරක් ඕන කියා කෙළින්ම ඉල්ලන චණ්ඩි සාදුලාය. ඒ මුදලට අඩුවෙන් දුන්නොත් "අහවල් මහත්තයා පන්දාහක් දුන්න. මම හිතාගෙන හිටියෙ මහත්තයා දහදාහකින්වත් අපට සහයෝගයක් දක්වයි කියලා. ඒකයි මෙච්චර දුර පයින්ම ආවේ" වැනි මානසික අල්ලස් වල සිට "මහ ලොකු නීතිඥ මහත්තුරු. ඒත් පුණ්‍යකර්මයකට දෙන්නෙ සීයයි. හොදයි බලාගමුකො" වැනි සාංඝික තර්ජන දක්වා වන විවිධ මට්ටමේ ප්‍රතිචාර ලද හැකිය.

වරක් ඈත ප්‍රදේශයක පන්සලකින් යැයි කියමින් පැමිණි එවන් භික්ෂූන් වහන්සේ නමක් මා දුන් මුදල පිළිබදව ගම පුරාම බැණ බැණ ගොස් තිබුණේ නීතිඥවරයෙකැයි මහ ලොකුවට බෝඩ් ගසාගෙන සිටියද මා හිඟන්නෙකු බව කියමිනි.

මෙවැනි සංඝ ප්‍රතිරූපක කප්පම්කරුවන් වෙතින් මුහුණදීමට සිදුවූ අප්‍රසන්න අත්දැකීම් හේතුවෙන් මා වෙත ආධාරපත්‍ර දික්කරගෙන එන නොදන්නා පුද්ගලයන්ට සිවුරු ඇඳ සිටින්නේද නැද්ද නොසළකා දරදඬු ලෙස ඍජුවම මුදල් දීම ප්‍රතික්ෂේපකිරීමට අමාරුවෙන් හෝ පුරුද්දක් ඇතිකරගැනීමට මට සිදුවිය.

දන්නා අයෙකු වුවද මාගේ පෞද්ගලිකත්වයේ සීමා අතික්‍රමණය කොට මට බලපෑම් කර මුදල් ලබාගන්නවාට මම කැමති නැත. දන්නා කෙ⁣නෙකුට පුණ්‍යාධාර වශයෙන් සාමාන්‍යයෙන් මටද අපහසුවක් නොවන මුදලක් ස්වෙච්ඡාවෙන් පරිත්‍යාග කිරීමට මගේ විරුද්ධත්වයක් නැත. නමුත් දිගින් දිගටම ඇවිටිලි කරන බලපෑම් කරන සියුම් තර්ජනයන් කරන තත්වයකට පැමිණියහොත් කෙතරම් හදුනන ස්වාමීන් වහන්සේ නමකට වුවද මාගෙන් එකී හැදුනුම්කම නිසා නොදී බැරි රුපියල් සියයකට එහා සතයක් හෝ ලැබෙන්නේ නැත.

මුලින් අවිහිංසාවාදී ලෙස ඇරඹුණු විහාරස්ථාන මුවාවෙන් ජනතාවගෙන් කප්පම් ගැනීම මේ වන විට දැවැන්ත මාෆියාවක් ලෙස වර්ධනය වී ඇත. මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමටත් බුද්ධශාසන අමාත්‍යාංශයෙන් ලබාගත් පූර්ව ලිඛිත අවසරයකින් තොරව මහජනතාවගෙන් මුදල් එකතු කිරීම තහනම් කිරීමටත් රජය වහාම පියවර ගත යුතුය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...