Sunday, April 12, 2020

Drishyam vs Papanasam vs ධර්මයුද්ධය



(2017 ජූලි 17 වැනි දිනැති පොස්ටුවකි)


මුලින්ම බැලුවෙ හින්දි එක Drishyam. සංකල්පයක් විදියට කතාවෙ තිබුණ උත්කෘෂ්ඨ බවයි, ශ‍්‍රී ලංකාවෙ එදිනෙදා ජීවිතයට තිබුණ සමීප බවයි හින්ද මම පුදුම විදියට වශී වුණා. Drishyam බලල ලියපු පෝස්ට් එක මගෙ wall එකෙ පහළ ඇති. කියෙව්වොත් බලාගන්න පුළුුවන් වෙයි මම වශී වුණ තරම.

මම Papanasam ගැන මුළින්ම දැනගත්තෙ මගෙ ආදරණීය බිරිදගෙන්. දැනට අවුරුදු 3කට විතර පෙර Papanasam බලල ඇයත් මම Drishyam බලපු වෙලාවෙ වගේ වශී වෙලා තිබ්බ. Drishyam බලල මම දාපු පෝස්ට් එකට ගොඩක් අය comment කරල තිබ්බ Papanasam ඊට වඩා ලස්සනයි ඒක බලන්න කියල. මම Papanasam බැලුවෙ ඒ නිසා. මුලින්ම කියන්න අවශ්‍යයි වල් කොල්ලගෙ අම්මගෙ චරිතය ඉතාම විශිෂ්ඨ අන්දමින් තිබුනෙ හින්දි එකේ. තාබු අති විශිෂ්ඨ රංගනයක නිරත වෙලා තිබ්බ. ආය කතා දෙකක් නෑ සුපිරි. දෙමළ එකේ නිළියගෙ රගපෑම average මට්ටමකයි තිබුණෙ. ඊට අමතරව හින්දි චිත‍්‍රපටයෙ හිටපු දුෂ්ට පොලිස් කාරයට වඩා දෙමළ එකේ හිටපු ගයිතොණ්ඩේගෙ දුෂ්ටකම වෑහෙනව මම දැක්ක. උපන්ගෙයි පගා මරුවෙක් බව දැක්ක ගමන් කිව්වහැකි. අති විශිෂ්ඨ රංගනයක්. ඊට අමතරව අනෙකුත් සියලුම දේ දෙමළ චිත‍්‍රපටයෙ ඉදිරියෙන් තිබ්බ. විශේෂයෙන් කමල්හසන්ගෙ අති විශිෂ්ඨ රංගනය අහලකට වත් කිට්ටු වෙන්න අජේ දේව්ගන්ට පුළුවන් වෙලා තිබ්බෙ නෑ. ඔහු අපි අවුරුදු ගාණක් තිස්සෙ දන්න සුපුරුදු අජේ දේව්ගන් විදියටම කිසිම වෙනසක් නැතුව පෙනී හිටිය. බණින්න බෑ. ඒ ඔහුගෙ හැටි.

කොහොමින් කොහොමින් හරි මම චිත‍්‍රපටි දෙකේම කතාව උපරිමයෙක් වින්ද. ඔහොම ඉන්නකොට තමයි ධර්මයුද්ධයෙ trailer එක බලන්න ලැබෙන්නෙ. මට ඒක බලන්න ඉවසිල්ලක් නැතිවුණේ කතාව බලන්න නෙවෙයි. දෙමළ චිත‍්‍රපටයයි හින්දි එකයි එක්ක සංසන්දනය කරන්න.

මම ධර්මයුද්ධය ආපු හැටියෙ හදිස්සියෙ අපේ අම්මයි නංගියි බිරිදයි ඇදගෙන ඒක බලන්න දුවන්නෙ ඒ කුතුහළය හින්ද. Remake එකක් වුණත් ධර්මයුද්ධය ආඩම්බර වෙන්න පුළුවන් මට්ටමක සිනමා නිර්මාණයක් බව කිව යුතුමයි.

තාත්තගෙ චරිතයට පණ පොවන මගේ අතීත ගුරුවරෙක් වුණ ජැක්සන් ඇන්තනි ඇත්තටම තමන්ගෙ වගකීම අති විශිෂ්ඨ අන්දමින් ඉටුකරල තිබ්බ. කරදරයකට මැදිවුණ වගකිම කරට ගත්තු තාත්ත කෙනෙක් විදියට ජැක්සන් කරල තිබ්බ රගපෑම මටනම් කමල්හසන් Papanasam එකේ කරල තිබුණ රගපෑම අභිබවනසුළුයි. ඔහු යන එන බලන විදය පවා පුදුමාකාර විදියට මගේ හිත ඇද බැද ගත්ත. ගෙදරට පොලිසියෙන් එන වෙලාවෙ දුවගෙන ඇවිත් තමන්ගෙ දුව ඉස්සරහින් හිටගන්න විදියට ඇග කිළිපොලා යනව. ජැකා ඔයා නම් මාරයි.

අම්මගෙ චරිතයට හිටපු දිල්හානි ඒකනායකත් තමන්ගෙ වගකීම උපරිමයෙන් ඉටුකරල තිබුණ. දෙමළ චිත‍්‍රපටයෙ අම්මට හිටපු නිළියගෙ රගපෑම විශිෂ්ඨයි. හින්ද එකේ නම් හිටියෙ ලස්සන කෙල්ලෙක්. අමමෙක් නෙවෙයි. දෙමල චිත‍්‍රපටයෙ නිළිය මට්ටමටම දිල්හානි තමන් රගපාපු චරිතයට සාධාරණයක් ඉටුකරල තිබ්බ.

පවුලෙ ලොකු දුව වෙලා තිබුණෙ තිසුරි යුවනිකා. රංගනයට මව් පාර්ශවයේ ආභාෂයත් එක්ක තවම රංගන ලොවේ එළිපත්තෙ ඉන්න ඇය තමන් කවුරුද කියල සිනමා ලෝකයට හඩගාල කියන්න සමත් වෙලා තිබ්බ. මම හිතන විදියට චිත‍්‍රපට 3න්ම ලොකු දුවගෙ චරිතය විශිෂ්ඨ ලෙස කරලා තිබුණෙ තිසුරි. තරගයක් තිබ්බොත් ඈ දිනුම්.

ඊළගට දුෂ්ඨයන්ගෙ පැත්තෙන් ගත්තාම කුමාර තිරිමාදුරගෙ රංගනය අති විශිෂ්ඨයි. දූෂිත බව වෑහෙන දුටු පමණින් තරහයන විදියට ඔහු කොස්තාපල් විමල්ගෙ චරිතය නිරූපණය කරල තිබ්බ. ආය කතා නෑ perfect.

වල් කොල්ලගෙ අම්මාට හිටපු කුසුම්රේණුගෙ රගපෑම දෙමළ හා හින්දි චිත‍්‍රපටිවල ඒ සමාන්තර චරිතය එක්ක සංසන්දනය කළොත් ඒ ඇයට කරන අපහාසයක් කියලයි මට හිතෙන්නෙ. මොකද ඉන්දීය චිත‍්‍රපට දෙකේම ඒ චරිතය වුණේ පොලිස්පති කෙනෙක්. ධර්මයුද්ධයෙදි ඒ චරිතය දේශපාලනඥයෙක් දක්වා රූපාන්තරණය වෙලා තිබ්බ. එහෙම බලද්දි කුසුම් රේණුත් මාරයි කිව්වහැකි. මම ඇය තුලින් දැක්කෙ ගීතා කුමාරරසිංහ පන්නයේ මන්ත‍්‍රීවරියක්. නමුත් තමන්ගෙ පුතා වෙනුවෙන් අම්මෙක් විදියට ඇය දැඩි කළබලයට පත්වුණ අවස්ථා වලදි මුහුණෙන් හැගීම් නිරූපණය ආදිය අති විශිෂ්ඨයි.

ඊට අමතරව විශේෂයෙන් දෙයක් කියන්න තියෙන්නෙ වල් කොල්ල ගැන. තමන් එක්ක එක නේචර් කෑම්ප් එකට එන කෙල්ලෙක් නාන්න ගිහින් ඇදුම් මාර් කරන එකක් වීඩියෝ කරන තරමෙ රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන තරමෙ වල් කමක් පැණි ගතියක් ඔහු සාර්ථකව තමන්ට ආරෝපණය කරගෙන තිබ්බ. මට ඒ පැණිය දැක්ක ගමන් කෙනෙක් ඔලුවට ආව. මම ඒ නම මෙතන ලියන්නෙ නෑ. චිත‍්‍රපටය බලලම බලන්න ඔබට ඔහුව මතක් වුණාද කියල.

හැම එකටම මාරයි මාරයි කිවුව. කියන්න වරදක් නැද්ද අහයි. ඇත්තටම කියන්න වරදක් නෑ. ඒත් පුංචි පුංචි අඩු පාඩු ටිකක් තිබ්බ. ඒ ටිකත් කියන්නම්. නැත්නම් කියයි මාත් සිරසත් එක්ක එකතු වෙලා ඒ ෆිල්ම් එකට සල්ලි දාල කියල.

දෙමළ හා හින්දි චිත‍්‍රපට වල කෙල්ල වල් කොල්ලට ගහන වෙලාවෙ මුලින්ම aim කරන්නෙ phone එකට. ඒ කියන්නෙ කොල්ල ෆෝන් එක අල්ලගෙන ඉන්න පැත්තෙන්ම තමයි මාරක ප‍්‍රහාරය එල්ල වෙන්නෙ. එල්ලය අරන් කෙල්ල මාරුවෙන් මාරුවට ෆෝන් එකයි කොල්ලගෙ ඔලුවයි දිහා බලල තමයි ක්ෂණිකව තීරණයක් අරන් ඔලුවට පතබාන්නෙ.

නමුත් තිසුරු යුවනිකා වමත් පිතිකරුවෙක් විදියට තමයි බැට් කරන්නෙ. කොල්ල ෆෝන් එක තියන් ඉන්නෙ දකුණු අතේ. ඒ හින්ද කෙල්ල කොහොම aim කළත් ෆෝන් එකට කලින් ඔලුවට පාර වදිනවමයි. ඒ නිසා සිංහල ෆිල්ම් එකේ කෙල්ලට කියන්න බෑ මම ගැහුවෙ ඔලුවට නෙවෙයි ෆෝන් එකට කියල. තිසුරි ගැහුවෙ ඔලුවටමයි. කොච්චර කිව්වත් ඇහින් දුටු කෙනෙකුට පේනව ෆෝන් එකට ගහල වැරදුණාවත් ෆෝන් එකට ගහන්න ගිහින් ක්ෂණිකව තීරණේ වෙනස් කරල ඔලුවට ගැහුව නෙවේ කියල.

දෙමළ හා හින්දි චිත‍්‍රපට දෙකේම මරණය සිද්ධ වෙලා පොලිසියට ඉව වැටෙන්න කලින් වෙන කාරණයකට ගෙදරට පොලිසියෙන් එනව. එතනදි තමයි දුව බයේ ඉන්නකොට තාත්ත ඇවිත් දුවව කවර් කරගන්නෙ. නමුත් සිංහල ෆිල්ම් එකේ ඒක දුව දකින හීනයක්. ඒ ෂොට් එක මාරයි. ඒ නිසා හීනයක් කියන දේට වඩා තැනක් ඒකට දෙන්න තිබුණ කියල මම හිතනව.

දෙමළ සහ හින්ද චිත‍්‍රපට දෙකේම චිත‍්‍රපටය පුරාම පාවිච්චි කරල තියන ෆ්රේම්ස් හරිම නිර්මාණශීලීයි. නමුත් සිංහල චිත‍්‍රපටයෙ ෆ්රේම්ස් වල නිර්මාණශීලී බවේ අඩුවක් මම දැක්කා. උදාහරණයක් විදියට මිනී වළ හාරල මිනිය ගොඩගත්ත හැටියෙ වළ ළග ඉන්න අය එක පාරම හැරිය තාත්ත දිහයි පවුලෙ අනිත් අය දිහයි බලන විදිය අරන් තිබුණ ෆ්රේම් එක හින්දි චිත‍්‍රපටයෙයි දෙමළ එකෙයි දෙකේම මාරයි. නමුත් සිංහල එකේ වුවමනාවෙන්මෙ ඒ ෂොට් එක වෙනත් ෆ්රේම් එකක අරන් තියනව මම දැක්ක. වෙනසකට කියල වෙන්න ඇති. නමුත් නිර්මාණශීලී බවින් අඩුයි. ලොමු ඩැහැගන්වන බව අඩුයි.

ඒ වගේම චිත‍්‍රපටය අවසානයට ළං වෙනකොට සංස්කරණ ශිල්පියාට මොකක්දෝ කඩි කුළප්පුවක් හැදිලදෝ කියල මට හිතුණ. මොකද අවසාන දර්ශනයෙන් දෙමළ චිත‍්‍රපටයේදි හා හින්දි චිත‍්‍රපටයේදි ප්‍රෙක්ෂකයාට දෙන ත‍්‍රාසය ඒ ආකාරයෙන්ම දෙන්න සිංහල චිත‍්‍රපටයේ අවසාන දර්ශනය සමත් වෙනවදෝ කියල ප‍්‍රශ්නයක් මට පැන නැගුණ නිසා.

ඔය මොන අඩුපාඩු තිබුණත් ජැක්සන් ඇන්තනි, දිල්හානි, කුසුම් රේණු සහ තිරිමාදුරගේ රංගනයන්ගේ අති විශිෂ්ඨ බව හින්ද ඒ අඩුපාඩු මැකිල තිබ්බ. කොටින්ම අපේ අම්ම කිව්ව විදියට කළකට පෙර ජාතික රූපවාහිනියේ විකාශය වූ ගිනිගත් රැයක් ටෙලි නාට්‍යය බලද්දි දැනුණ ත‍්‍රාසය භීතිය මේ චිත‍්‍රපටයේත් ආරම්භයේ සිට අවසානය දක්වාම රැදිලා තිබුණ. ඇත්තටම දෙමළ හා හින්දි චිත‍්‍රපට මුලින් නරඹන්නෙ නැතුව මුලින්ම මේක බලන කෙනෙකුට මම කිව්ව අඩුපාඩු පේන එකකුත් නෑ. එහෙම බලනකොට චිත‍්‍රපටය හදපු සිරසට මේක කයිවාරු ගහන්න තරම් සිනමා නිර්මාණයක් තමා.

යන්න ගිහින් බලන්න. ඔබේ කාලයෙන් පැය දෙකහමාරක් වැයකරලා බැලුවට කිසිම පාඩුවක් නැති චිත‍්‍රපටයක් ඒක. අපි බලලා කතා කරමු.

(නීතිය දන්න අයට - සාක්ෂි ආඥා පනතේ 26 සහ 27 වගන්ති වලින් මොනවද කරන්න පුළුවන් කියල කවුරු හරි ඇහුවොත් ටොක්කක් ඇණල මේ ෆිල්ම් එක පෙන්නන්න. මේකෙ තියෙනව සැකකාරයෙක් අවස්ථාවෙ ඉදන්ම ඒ වගන්ති වලින් වැඩගන්න හැටි. නමුත් වැරදි පූර්වාදර්ශයක් දෙනවදෝ කියලත් හිතෙනව වෙලාවකට.).

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...