Sunday, April 12, 2020

මස්

(2017 අප්‍රේල් 30 වැනි දිනැති පොස්ටුවකි)

අපි පුංචි කාලෙ මස් කිව්වොත් ඉතිං හරක් මස් තමා. කුකුළු මස් කියන්නෙ සු⁣ඛෝපභෝගී ඒත් රස නැති මස් වර්ගයක්. හරියට තෝර මාළු වගේ. හරි ගණං. ඒත් මෙලෝ රහක් නෑ. ඉන්පස්සේ අපේ මානව විරෝධී සත්ව හිතකාමී කේන්තිකාමී සිංහල බෞද්ධ ප්‍රජාව හරක් මස් කෑම ආනන්තරිය පාපකර්මයක් හැටියට නම් කරා. ඊට පස්සෙ ඉතිං මිනිස්සු මස් කියල කන්නෙ හෝමෝන එන්නත් කරල දවස් හතලිස්පහෙන් ලොකු කරන මෙලෝ රහක් නැති කුකුළු මස්. මොන වසවිසද ඒවයෙ තියෙන හෝමෝන අපේ ඇගට ගියාම මොනව වෙනවද කවුරුත් දන්නෙ නෑ. කාටවත් වැඩකුත් නෑ. ඊට වඩා වැදගත්නෙ හරක්මස් කෑම නවත්තන එක. ඒත් හරක්මස් කන උං තාමත් හරක්මස් කනව. කවුරු මොනව කිව්වත්. මිත්‍යා මතයක් තියෙනව දැන් හරක්මස් කන්නෙ මුස්ලිම් අය විතරයි කියල. එ්ක අමූලික බොරු. දිව රස දන්න උන් සිංහල මුස්ලිම් දෙමළ භේදයක් නැතුව තාම හරක් මස් කනව. මං කියන්නෙ බොරුනම් හරක් මස් කඩයක් ගාව හවස් වරුවක පැය දෙකක් ඉදල බලන්න. එන අයගෙන් සීයට හැත්තෑවක් සිංහල. ඒ විතරක් නෙවේ. කුකුළු මස් කඩවල වගේ නෙවෙයි. හරක් මස් ක⁣ඩේ මස් කවදාවත් ඉතුරු වෙන්නෙ නෑ. තුනහමාර හතර වෙනකොට ඉවරයි. ඉතිං 5ට වැඩ ඇරිල මස් ගන්න යනකොට ගොඩක් වෙලාවට මුදලාලි කඩේ වහල ගෙදරත් ගිහිං. හොදට මිරිස් ගම්මිරිස් තුනපහ දාල රමිපෙ කොළයක් එහෙම දාල නිවිහැනහිල්ලෙ මැටි වළදෙ දර ලිපේ ඉදෙන්න ඇරල හින්දවපු හරක් මස් කරියක ඇග සලිත කරන රසත් එක්ක බලනෙකොට කුකුළු මස් කරියකයි අමු කොස් ඇට කන එකෙයි වැඩි වෙනසක් නෑ. රස ඒ තරමට වෙනස්.

ගොඩක් අයට හරක් මස් කෑවට කනව කියන්න කොන්දක් නෑ. කන්නෙ නිකං හොරාට වගේ. මං බය නැතුව කියනව. මම හරක් මස් කනව. ඒ කන්නෙ ඒව ගොඩක් රස හින්ද. දැන් "රස වගේද ජීවිතයක්" වගේ ඔපීනියන් දෙන්න පටන් ගන්න එපා. මොකද මම අවුරුදු ගාණක ඉදන් එහෙම ඔපීනියන් ඇතිතරම් අහල තියෙනව. ඒත් මම තාමත් හරක්මස් කනව. කන අයට මේක කියවද්දිත් රසදිව උගුරත් එක්කම ඇඹරිලා ගිහිං මැඩ්ලිං ගහන තරමට මම මේ කියන රස දැනෙන බව මම දන්නව. මම මේක ලිව්වෙ ඒ අයට. නොකන අය අනේ පිං සිද්ධවෙයි, තමුන්ගෙ වැඩක් බලාගත්තොත් තමා හොද. මොකද හරක් මස් විතරක් අතෑරල ⁣කෙළ හලාගෙන අනික් මස් වර්ග ඔක්කොමයි මාළු කරවල හාල්මැස්සො උම්බලකඩ කන උන්ගෙන් නිර්මාංශ වීම ගැන වැදිබණ අහන එක මම නවත්තලයි තියෙන්නෙ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...