Monday, April 13, 2020

ජනාධිපති තාත්තා



(2018 පෙබරවාරි 6 වැනි දිනැති පොස්ටුවකි)

මිළදී ගෙන බොහෝ කල් වුවද අසනීපයෙන් දින කීපයක් ඇඳට වැටෙන තුරුම කියවන්න⁣ට අවකාශයක් කාලයක් නොලැබුණු, දහසකුත් එකක් හේතු කාරණා මත ලක්ෂයක් වූ අවලාද වලට ලක්වූ ඒ අපූරු පොත මම කියැවූයෙමි.

එය අැත්තටම අපූරු පොතකි. රටේ දේශපාලනයේ හිනි පෙත්තට නැගි ගොවි පුත්‍රයෙකුගේ කතාවේ යහපත් පැත්ත එහි මනාව ලියැවී ඇත. ඒකට කමක් නැත. මන්ද චරිත කතාවක් ලියන කිසිවකු කතාවේ අයහපත් පැත්තක් වේනම් එය නොකියා සිටීම අතිශය සාමාන්‍ය තත්වයක් බැවිනි.

මෙය ලිවුවේ එහි නම සඳහන් ලේඛිකාවම දැයි ප්‍රශ්නයක් මතුවී තිබුණි. කවරකු ලියුවද මනා සුමට බස් වහරක ලස්සන පොතේ ක්‍රියාදාමමය ස්වරූපයත් සමග අවසානය තෙක් රඳවා ගැනීමට දක්වා ඇති බුහුටි බව ප්‍රශංසනීයය.

වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන ඉතිහාසයේ පටන් මුහුණදීමට සිදුවූ විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ජනාධිපතිවරයා බවට පත්වන අවස්ථාව දක්වා සිදුවීම් සංක්ෂිප්තව ඉදිරිපත් කර ඇත. එසේ වුවද ජනාධිපතිවරණය හා සමගාමීව එවකට පාලක පක්ෂය වෙතින් ක්‍රියාත්මක වූ අති භයානක මර්දනකාරී ක්‍රියාකාරකම් පිළිබදව දක්වා ඇති විස්තරය මදි බව පුද්ගලිකව කල්පනා කරමි. එම ලොමුඩැහැගන්වන තීරණාත්මක ජවනිකාව කෙසේනම් අමතක කරන්නද? එහි තිබූ මාරාන්තික බව දන්නේ එයට සහභාගි වූවන්ම පමණි. ජනවාරි 9වැනිදාට එළිවෙන පාන්දර අත්විදින්නට ලැබුණු මෑත ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ සොඳුරුම හෝරා කිහිපයට තවත් පරිච්ඡේද තුනක්වත් වෙන්කළ යුතුව තිබුණි.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කවුරුන් ලියුවද මෙය කියවන්නට වටිනා වචන ගෙත්තමක් බවයි. මෙම පොතට එල්ලවූ විවේචනයන් මා හට මෙම පොත කියවන්නට අතට ගැනීමට සිතිවිල්ලක් පහළවීම යම් අයුරකින් පමා කරන්නට ඇත. එය කියවන්නට අතට ගත්තේද ලෙඩ ඇඳේ කම්මැලිකම ඇරගන්නට මිස කියවා මතය බුකිගත කරන්නට සිතාගෙන නොවේ. නමුත් මාගේ මේ පෝස්⁣ට්ටුවට බොහෝ දෙනා බණින බව දැන දැනත් එසේ බණින බොහෝ දෙනා මේ පොත නොකියවා ඔහේ බණිනවාට බණින මෝඩයන් බව දැන දැනත් මේ පෝස්⁣ට්ටුව පළ කරන්නට හිතෙන යම් අපූර්වත්වයක් ඒ ග්‍රන්ථය තුල මා දුටු බවනම් පුන පුනා කියයුතු කාරණයකි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...