Monday, April 13, 2020

අබා

(2018 ජනවාරි 28 වැනි දිනැති පොස්ටුවකි)

අද ස්වර්ණවාහිනියෙ "අබා" චිත්‍රපටය පෙන්නනව දැක්ක. එතන එක තැනක චිත්තරාජ කියන යක්ෂ ගෝත්‍රිකයා කියනව "කුමාරයා යක්කුන්ගෙ රැහේ ලේ ධාතුව" කියල. අපි අහල තියෙන විදියට පණ්ඩුකාභය කියන්නෙ උන්මාද චිත්‍රාගෙයි දීඝගාමිණීගෙයි පුතා. ඒත් ජැක්සන් ඇන්තනි තමන්ගෙ කුළුදුල් චිත්‍රපටයෙන් යෝජනා කරන විදියට උන්මාද චිත්‍රා, දීඝගාමිණී එක්ක සම්බන්දයක් තියෙන ගමං චිත්තරාජ එක්කත් පොඩි යටිකූට්ටු ගේමක් ගිහිං තියනව වගේ දෙයක් හැඟවෙනව.
ඒක ටිකක් බැරෑරුම් චෝදනාවක්. කවුරුහරි දොන්සිමන් කෙනෙක් ඒ චෝදනාව කළානම් නොසළකා ඉන්න තිබුණ. ඒත් චිත්‍රා කුමරියට මදන විසේ ඉහට ගහල දෙන්නෙක් එක්ක බුදියගන ඩබල් ගේමක් ගැහැව්ව කියල චෝදනා කරන්නෙ "මහා සිංහලේ වංසකථාව" කරපු ජැක්සන් ඇන්තනි. 

ඇත්ත ඉතිහාසය පොත්වල තියන දේ නොවෙන්න හොදටම ඉඩකඩ තියනව. මොකද කතාව ලියන්න ඉතුරු වෙන දිනපු මිනිහ හැමදාම තමන්ගෙ වාසියට කතාව ලියාගන්න හින්ද. අනික විශේෂයෙන් සිනමාවෙදි, නවකතාකරණයෙදි වගේ නිර්මාණකරුවාට තමන්ගෙ පරිකල්පනය මෙහෙයවල අලුත් දෙයක් ඉදිරිපත් කරන්න බාධාවක් නෑ.

නමුත් මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්න ඉතිහාසය පිළිබදව දැනුමක් ඇති අයගෙන් මම දැනගන්න කැමතියි, පරිකල්පනය පාවිච්චිකරලා හරි එහෙම අපහාසාත්මක නිර්වචනයක් උන්මාද චිත්‍රා ගැන දෙන්න බලපාන (පක්ෂග්‍රාහී/අවිශ්වාසකටයුතු හෝ) මූලාශ්‍ර මොනවම හරි ඉතිහාසය විෂය තුල මුණගැහෙනවද කියල.

මහාවංසය කිසිදු තැනක පණ්ඩුකාභයගේ පියා චිත්තරාජ බවට ඉඟි සපයන්නේ නැත.

මහාවංසයේ 9වැනි පරිච්ඡේදයේ 22 සහ 23 ගාථා පහත පරිදි වේ.

22. සංකිත්වා ගොපකං චිත්තං - කාලවේලඤ්ච දාසකං
තස්මිං කම්මේ නිස්සයාති - ගාමණී පරිචාරකේ
(උන්මාද චිත්‍රා කුමරියගේ සහෝදර කුමාරවරු දීඝගාමිණී කුමාරයා සමඟ චිත්‍රා කුමරියගේ සම්බන්ධයට සැක කළේ ගෝපකචිත්ත සහ කාලවේල යන දාසයින්වයි. මෙවැනි දෙයක් සිදුවූයේ මොවුන් දෙදෙනා නිසා තමයි කියා කල්පනා කළා.)

23. තේ පටිඤ්ඤං අදෙන්තේ තේ - රාජපුත්තා අඝාතයුං
යක්ඛා හුත්වාන රක්ඛිසුං - උභො ගබ්භේ කුමාරකං
(අලුත උපදින දරුවා පුත් කුමරෙකු වුවහොත් මරාදමන බවට ඔවුන් ඇතිකරගත් ප්‍රතිඥාවට මේ දාසයන් දෙදෙනා එකඟ වුණේ නෑ. එනිසා රාජකුමාරවරු ඒ දෙදෙනාව ඝාතනය කෙරෙව්වා. මරණයට පත්වූ ඔවුන් යක්ෂයින් වෙලා උපන්නා. මව් කුසේ සිටියදීම සිඟිත්තාව ආරක්ෂා කළා.)

පණ්ඩුකාභය චිත්තරාජට පියෙකුට මෙන් සැළකූ බවක් මහාවංසයේ සඳහන් නොවේ. කාලවේලට වඩා විශේෂත්වයක් චිත්තරාජගේ තිබූ බවක් හෝ අඟවා නැත.

පණ්ඩුකාභය රජවූ පසු චිත්තරාජ හා කාලවේළට සැලකූ අයුර පිළිබඳව මහාවංසයේ 10 වැනි පරිච්ඡේදයේ 84 වැනි සහ 104 වැනි ගාථාවල මෙසේ කියවේ.

84. කාලවේලං නිවේසේසි - යක්ඛං පුරපුරත්ථිමේ
යක්ඛං තු චිත්තරාජානං - හෙට්ඨා අභය වාපියා
(අනුරාධපුරයට නැගෙනහිරින් කාලවේල යක්ෂයා හට දෙවොලක් කෙරෙව්වා. චිත්තරාජ යක්ෂයාට අභයවැවට පහළින් දෙවොලක් කෙරෙව්වා.)

104. සෝ කාලවේලචිත්තේහි - දිස්සමානේහි භූපති
සහානුභෝසි සම්පත්තිං - යක්ඛභූතසහාය වා
(ඒ පණ්ඩුකාභය රජ්ජුරුවෝ කාලවේල, චිත්තරාජ යන යක්ෂයන්ව ඇස් පනාපිට පෙනෙන්ටම ඇසුරු කළා. යක්ෂ භූතයන් සමග මිත්‍රත්වයෙන් යුතුව ඉසුරු සැප අනුභව කළා.)

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...