Sunday, April 12, 2020

අනිවාර්ය කාන්තා නියෝජනය සහ සමානුපාතික ලැයිස්තුවේ බර අදින අයගේ ඉරණම

(2017 දෙසැම්බර් 21 වැනි දින ලියන ලද පොස්ටුවකි)

මෙවර පලාත් පාලන මැතිවරණයේ 25% ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමේ ප්‍රායෝගිකත්වය පිළිබදව පසුගිය සඳුදා SLBC වෙළඳ සේවයේ "සාරප්‍රභාගිර" වැඩසටහනේදී, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමග සංවාදයකට මා හට අවස්ථාව ලැබුණි.

රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරන අයුරින් ඡන්දය සදහා කොට්ඨාස මට්ටමින් තරග කිරීමට ඉදිරිපත් වන අපේක්ෂක ලැයිස්තුවෙන් 10% ක් අනිවාර්යයෙන්ම කාන්තාවන් විය යුතුය. එසේ නොවීම නාමයෝජනා පත ප්‍රතික්ෂේප වීමට හේතුවක් වේ. 

ඒ අපේක්ෂකයන්ගෙන් තේරී පත්වන ප්‍රමාණයත් සමග අදාළ පළාත් පාලන ආයතනයේ සමස්ථ කාන්තා නියෝජනය (25%ක් ලෙස කියවුණද) 23%ක් වන පරිදි ලැයිස්තුවෙන් ඉදිරිපත් වන කාන්තාවන්ගෙන් කාන්තා කෝටාව පුරවනු ලැබේ.

ඒ අනුව සෑම පක්ෂයක්ම තම තමන්ගේ අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරිපත් කරන කාන්තාවන්ගෙන් ඒකාබද්ධව 10%ම තේරී පත්වුවද ඉතිරි 13% ක්ම සමානුපාතික ලැයිස්තුවෙන් පිරවීමට සිදුවනු ඇත. ඒ අනුව සිදුවන්නේ සෑම ⁣දේශපාලන පක්ෂයකම ලැයිස්තුවෙන් සමානුපාතික ක්‍රමය යටතේ ලැබෙන මන්ත්‍රී ධුර ප්‍රමාණයෙන් ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුව ප්‍රමුඛතාව කාන්තාවන්ට ලැබීමය.

මෙම තත්වයෙන් යම් දේශපාලන පක්ෂයක් මුක්ත වන්නේ ඒ පක්ෂයට ලැබෙන මුලු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 3කට අඩුවන්නේ නම් පමණි. එවන් අවස්ථා වල එම පක්ෂයට අවශ්‍ය නම් කාන්තාවන් මන්ත්‍රී ධුර සදහා නම් නොකර සිටීමට නිදහස ඇත.

මෙහිදී විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවන්නේ සමානුපාතික ක්‍රමය යටතේ තේරී පත්වීමට ලැයිස්තුවට නම ඇතුලත් කිරීමේ පොරොන්දුව පිට කොට්ඨාස පදනමින් තරග කරන ලැයිස්තුවෙන් හලා ෂේප් කර පසෙක තබන ලද අපේක්ෂකයන්ටය. ඔවුන් බලාපොරොත්තු වන්නේ එම ලැයිස්තුවේ අනුපිළිවෙලේ ප්‍රමුඛතාවය අනුව තමන්ට තේරීපත්වීමට ලැබේවි කියා නම් බොහොදුරට ඉඩ තිබෙන්නේ ඒ බලාපොරොත්තු කඩවී යාමටය. මන්ද ලැයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රී ධුර ප්‍රමාණයෙන් කාන්තාවන් වෙනුවෙන් වෙන් කෙරෙන මන්ත්‍රී ධුර ප්‍රමාණය පිරවූ පසු ඉතිරිවන මන්ත්‍රී ධුර දෙක හෝ තුන සදහා අනිවාර්යයෙන්ම ආසන සංවිධායක වරයාගේ පුද්ගලික ලැදියාව මත පුද්ගලයන් පත්කරනු ලැබීමට වැඩි ඉඩක් ඇති බැවිනි. ඒ අනුව මේ නව ලැයිස්තු ක්‍රමය හරහා මිනිසුන් ගොනාට අන්දවා කඩේ යවා බරට වැඩ ගෙන පසුව කිසිවක්ම නොදී අත පිහදා ගන්නා තැනට සියලුම දේශපාලන පක්ෂ ගමන් කිරීම අනිවාර්යය. කිහිප දෙනෙකුට අවස්ථාව ලැබුණද සමානුපාතික ලැයිස්තුවේ වැඩිදෙනෙකුට අනිවාර්යයෙන්ම සිදුවන්නේ කවුරුවත් මන්ත්‍රී කිරීම සදහා අතින් කා හරක් බැලීමටය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...