Sunday, April 12, 2020

ඇගිලි අල

(2016 ජනවාරි 4 වැනි දින ලියන ලද පොස්ටුවකි)

කොළඹ විශ්ව විද්‍යාලයේ කිත්‍යාකර නේවාසිකාගාරයෙ නැවතිලා හිටපු අපි ගෙදර ගිහින් ආපහු එනකොට අනිත් උන්ටත් එක්ක ටිකක් ලොකුවට කෑම එකක් අරන් එන එක ඒ දවස් වල ඉදන්ම සිරිතක්. මාස 2-3 ගෙදර නොයා කඩකෑම කකා ඉන්න අපිට ගෙදරකින් එවපු කෑම එකක් කියන්නෙ දිව්‍ය භෝජනයක්. ඒ නිසා අපි කවුරුත් ගෙදර ගිහින් එනකොට (කෑම එක හදල දෙන්න බැරි තරමට අම්මට අසනීප හෝ කාර්බහුල දවස්වල හැර) අපේ උන්ට කන්න මොනවහරි ලොකුවට ඔතාගෙන එනවමයි.

මම 1st year ඉද්දි බත් ගෙනිච්චා. 2nd year ඉද්දිත් බත් ගෙනිච්චා. 3rd year ඉන්න කාලෙ තමයි වෙනසකටත් එක්ක මේ අපූරු අදහස අපේ අම්මටයි අප්පච්චිටයි ආවෙ. 

ඇගිලි අල කියන්නෙ එක්තරා සුවිශේෂී අල වර්ගයක්. ගොඩක් අල වර්ග වල තියෙන අප‍්‍රසන්න පැණි රස හෝ කහට රස ඇගිලි අල වල නැහැ. මිනිහෙකුගෙ අතේ ඇගිලි හැඩේට අල බහින හින්ද ඇගිලි අල කියනව ඇති. ටිකක් කට්ට කන්න වෙන්නෙ සුද්ද කරන්න ගියාම. මොකද ඇගිලි අල වල පොත්ත සුද්ද කරනකොට පිටවෙන ස‍්‍රාවය ගෑවුණොත් කසන්න ගන්නව. ඇගිලි අල සුද්ද කරන ගමන් අනවශ්‍ය තැනක් එහෙම ඇල්ලුවොත් සුං. සුද්ද කරන්න කට්ටක් කෑවට මොකද තම්බලා ගත්තම ඒ අල ජාතියට ගහන්න රස අලයක් වෙන නෑ.

ඇගිලි අල වලටම හරියන්න තියෙන ඔන හොද සැර ඌරු මස් හොද්දක්. හොදට මිරිස්, එනසාල්, ගම්මිරිස්, කරාබුනැටි දාල රතුපාට වෙන්න බොර හිටින්න උයපු වල් ඌරු මස් එක්ක තම්බපු ඇගිලි අල කොච්චර රසද දන්නෙ කාපු උන්ම තමයි.

3rd year ඉදන් මම ගෙදර ඉදන් යනකොට අරන් ගියෙ තඩි ඇගිලි අල පාර්සලයක් සහ ඌරු මස්. වෙනද බත් එකක් ගෙනියනකොට පුටු පෙරලගෙන දුවගෙන ආපු උන් එතකොට එන්නනෙ පියාඹගෙන බව කියන්න දෙයක් නෙවෙයිනෙ. විනාඩි 5ක් යන්න කලින් අල කිලෝ 3ක් විතර වල් ඌරු මස් කිලෝ එකක් එක්ක බඩවල් 7-8ක අඩුක් වෙලා ඉවරයි. අප්පමාදෝ අමතපදං කියනවනෙ. ඔය කෑම පාර්සලේ ගේන වෙලාවට රෙදි හෝද හෝද ඉදලහරි මල් කඩ කඩ ඉදල හරි එන්න පමා වෙන එකාට ඉතිං සිද්ධ වෙන්නෙ ඔතාගෙන ආපු කෙහෙල් කොලේ බලල හූල්ලන්න තමයි.

ඒක නිසා ඉතිං ගෙදර ගිහින් ආපහු එකෙක් එන වෙලාවට යුතුකමක් විදියට ''මෙන්න මූ ආවෝ'' කියල එකෙක් කෑගහනව. ඒ සද්දෙ ඇහෙන මානයේ ඉන්නඋන් ඉතින් තමන් කර කර ඉන්න මොන මළ දානෙ හරි දාල වහාම එතනට වාර්තා කරන්න කියන එකයි ඒකෙ අදහස. ආවෙ නැත්නං ඉතිං හුලං තමයි. පොඩ්ඩක් හිටපං මං රෙදි ටික වැලට දාල එනකං කියල අනික් උන් කටු සූප්පු කරන හැටි බලන්න සිද්ධ වෙච්ච උනුත් නොහිටිය නෙමෙයි. මොනව උණත් වැඩේ කියන්නෙ ඒ කෑගැහිල්ල සාමාන්‍යයෙන් නෑහී තියෙන්නෙ නෑ.

ඒ හා සමාන රස භෝජනයක් අද භුක්ති විදින්න ලැබුණ. ඉතිං මගේ මතකය අතීතයට දිවගියා. මොකද ඒ කෑම වගේම ඒ අතීතයේ හැම මොහොතක්මත් රසවත්.

(ප.ලි - රස කැමති උන් පමණක් රස විදිත්වා. මාංශ විරෝධීහු සහ වෙනත් දහසකුත් එකක් කාරණා නිසා මෙවැනි post අප‍්‍රිය කරන්නෝ කරුණාවෙන් මෙම post එක නොසලකා හරිත්වා)

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...