Sunday, April 12, 2020

25% ක අනිවාර්ය කාන්තා නියෝජනයේ ප‍්‍රායෝගිකත්වය?

(2017 දෙසැම්බර් 14 වැනි දින ලියන ලද පොස්ටුවකි)

කාන්තා නියෝජනය වැඩිකිරීමේ යෝජනාව practice එකක් ලෙස ශ‍්‍රී ලාංකීය දේශපාලන සන්දර්භය තුල මුල්බැසගන්නා තුරු එයින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබෙනු ඇත. කෙටියෙන්ම කියන්නේ නම් අනිවාර්ය කාන්තා නියෝජනය 25% බවට පත්කළ වහාම ඒ තුලින් ජාතියේ වීරමාතාවන් බිහිවෙතැයි අපේක්ෂා කරන්නේ නම් එය මුළාවකි.

පළමු අවස්ථාවේ 25% සම්පූර්ණ කිරීම සදහා දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන්, අනියම් බිරින්දෑවරුන්, පෙම්වතියන්, දියණිවරුන්, ලේලිවරුන් මෙන්ම බජාර් එකේ ලලක්කලාද අපේක්ෂක ලැයිස්තුවට රිංගනු ඇති බව ඇත්තය. (මෙවර සියලුම පක්ෂ වල අපේක්ෂක ලැයිස්තු පරික්ෂා කොට බැලුවහොත් 25% කාන්තා කෝටාවේ පිහිටෙන් ඒවායේ සිටින වැඩි දෙනා පෙර කී කුලක වලට අයත් අය වන බව පෙනී යනු ඇත) නමුත් කාලයත් සමග එකී කාන්තා භූමිකාව අවශ්‍ය වන්නේ තමන්ගේ පුරුෂයන්ට එහෙයි කීමට වඩා කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම සදහා බව සමාජයේ මුල්බැසගත් කළ එම තත්වය වෙනස්වනු ඇත. නමුත් ඒ ක‍්‍රම ක‍්‍රමයෙන් ඉතා සෙමිනි.

එවන් තත්වයක් තුල 25% ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සිතූ තරම් සාර්ථක ප‍්‍රතිඵල උදා නොකරන පියවරක් යැයි මට සිතේ. මන්ද සිදුකල යුතුව තිබුණේ ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව දේශපාලනයේ ඉදිරියට පැමිණීම සදහා සියලුදෙනා සවිබල ගැන්වීමක් තුලින් කාන්තාවටද පුරුෂයන් මෙන්ම ගැටී වැටී දේශපාලනයේ තමාට හිමි තැන දිනාගත හැකි පරිදි ආකල්ප දියුණු කිරීමක් මිස "ඔයාලට ඉතිං තනියෙන් ෆයිට් කරල එන්න බෑනෙ. ඔන්න අපි විශේෂ චාන්ස් එකක් හදල දුන්නා" වැනි පසුගාමී චින්තනයකට කාන්තාවන් ඇද දැමීම නොවේ.

ගැටී වැටී හැළහැප්පීම් මැද කාන්තාවක් තැනකට ආවේ නම් ඒ කාන්තාවට තමා එම ස්ථාවරය ගොඩනගාගත්තේ උත්සාහයෙන් බවත්, තමා එයට සියයට සියයක්ම සුදුසු බවටත් ආත්මාභිමානයක් ඇතිවනු ඇත. දැන් සිදුවන්නේ 25% ක් කාන්තාවන් දැමිය යුතු නිසාම කවුරුන් හෝ දැමීමය. එසේ බලයට පත්වන කාන්තාවකට තමා එම තනතුරට සියයට සියයක්ම සුදුසු යැයි අභිමානයෙන් පැවසීමට හැකිද යන්න ගැටලුවකි.

මෙම තත්වය නිසා හුදෙක් පුටු පිරවීම සදහා එම තත්වයන් දැරීමට කිසිසේත් සුදුසු නොවන අය 25% කෝටාව හරහා තනතුරු ලබාගෙන මහා අවුල් ජාලයක් නිර්මාණය කිරීමට ඇති ඉඩ වැඩිය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...