Sunday, April 12, 2020

ඵලදායීතාවය සහ දේශීයත්වය

(2017 දෙසැම්බර් 7 වැනි දින ලියන ලද පොස්ටුවකි)

ජපානය වගේ රටවල් ලෝකයේ ඉදිරියට ආවේ ඔවුන් සිදුකරන සෑම දෙයකම ගුණත්වය ඉහළ දැමීම මගින් ඇතිකරගත් ඵලදායීතා වර්ධනයක් තුලිනි. ජපානයේ දේශීයත්වය ලෝකය පිළිගන්නේ ඔවුන්ගේ දේශීයත්වයේ මහිමයට ලෝ වැසියන් මාර ආසා නිසා නොව ඔවුන්ගේ ඵලදායීතාවයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ නොහැකි වීම හේතුවෙන් ඒ සමඟම part and parcel ලෙසඑන ඔවුන්ගේ දේශීයත්වයද ප්‍රතික්ෂේප නොකළ හැකි නිසාය. උදාහරණයක් ලෙස ජපානයේ නිෂ්පාදිත මෝටර් රථයක් මිළදීගන්නා වැට ඔරිජිනල් ඕඩියෝ/වීඩියෝ සිස්ටම් එක එන්නේ ජපන් භාෂාවෙනි. අපි ජපන් භාෂාවට ආසාවෙන් එම මෝටර් රථය මිළට ගන්නවා නොව මෝටර් රථයේ ගුණත්වය හේතුවෙන් එය මිළදීගන්නා අතරතුර අපගේ විශේෂ කැමැත්තක් නැති ජපන් භාෂාවෙන් වූ සිස්ටම් එකද මිළදී ගන්නට අපට සිදුවේ. 

ඔය කියන තත්වය මැනවින් අප වැනි දියුණු වෙමින් පවතින රටක් තෝරාබේරාගත යුතුය. ජපනා ස්වදේශානුරාගයද සිත තබාගෙන ඵලදායීතාවයේ උපරිමයට ගමන් කළා මිස වෙනත් කිසිවක් නොකර ස්වදේශානුරාගයෙන් මැරෙන්න හැදුවේ නැත. අදටද ජපනුන් ස්වදේශානුරාගය ආභරණයක් කොටගෙන සිටිනවා විනා දේශයේ නාමයෙන් දත්මිටි කන්නේ හෝ වැසිකිලියාමේ අපහසුතාවයෙන් පෙලෙන්නේ නැත.

නමුත් අප වැනි රටක දේශප්‍රේමී යැයි කියන කොටස් තෝරාගනු ලබන්නේ ඵලදායීතාවය හා සමගාමීව ස්වදේශානුරාගයද පවත්වාගන්නා සමබර පිළිවෙතක් නොව ඵලදායීතාවය උඩ දමා පයින්ගසා ඉහින් කණින් පමණක් නොව ශරීරයේ සෑම සිදුරකින්ම පාහේ ස්වදේශානුරාගය වෑහෙන ස්වදේශානුරාගය මළ මූත්‍ර ලෙසද පිටවන පිළිකා රෝගී තත්වයකි. දිගින් දිගටම වර්ධනය වන අසහනකාරීත්වය මිස මෙකී පිළිවෙතින් ලැබෙන සෙතක් නැත.

තමන් රටට ආදරේ යැයි කියමින් මැරෙන්න හදන කීදෙනෙකු අවම වශයෙන් දවසේ පැය අටේ වැඩමුරය සම්පූර්ණ කරත්ද? බොහෝ දෙනා සවස 3.30 පමණ වන විට ඇඟිලි සළකුණු යන්ත්‍රය අසළ පෝලිම් ගැසිලාය. දිවා විවේකයට නියමිත කාලයක් තිබියදී තමන්ගේ හිතු මනාපයට විවේකයද ගණිති. 2018 දින දර්ශනයේ සඳහන් නිවාඩුද අයිතියක් ලෙස ලැබෙන අසනීප සහ අනියම් නිවාඩුද සමග ආසන්න වශයෙන් දින 165ක පමණ නිවාඩුද ගනිති. ජපනා ඔවැනි දේ සළකන්නේ පාපයක් ලෙසය. අප එවන් පැවතුම් සාමාන්‍යකරණය කරගෙන දේශීයත්වය පමණක් හිසමත තබාගෙන නටමින් සිටිමු.

එබැවින් කළ යුතු වන්නේ මුලින්ම සිංහලෙන් වැඩකරන කාර් සෙට් එකක් හැදීම නොව අනෙක් තරඟකාරී නිෂ්පාදන අතර ලෝක වෙළෙදපොල අපේ නිෂ්පාදනය තෝරාගන්නා අන්දමේ ගුණාත්මක කාර් එකක් හැදීමය (උදාහරණයක් ලෙස). එවිට අපේ කාර් එක මාර නිසා එයට සවි කරන සෙට් එක සිදත් සඟරාවේ ඇති භාෂාවෙන් තිබුණද ලෝක වෙළෙදපොල එය පිළිගනු ඇත. ලෝකය විස්මයට පත්කරන ඉංජිනේරුවන් සිටින්නේ අප සතුව නම් ලෝකය ඔවුන් සොයා පැමිණෙනු ඇත. එසේ ලෝකය අප සොයා පැමිණි විට අපට කැමතිනම් සිංහල හැර වෙනත් භාෂාවකින් අදහස් හුවමාරු කරගැනීම ප්‍රතික්⁣ශේප කළ හැකිය. එසේ නොකර ලෝකය සමග හෙට්ටු කිරීමට අතේ පිච්චයක් නැතිව කෝපයෙන් "තොපිට මට කතාකරන්ඩ ඕන නම් මගේ බාසාවෙන් කතා කරපියව්" යැයි බෙරිහන් දුන්නොත් කිසිවෙකු ඔබට කතා කිරීමට කාලය නාස්ති නොකරනු ඇත. එවිට සිදුවන්නේ ලෝකය හමුවේ පිස්සෙකු ලෙස සිනාවට ලක්වීමට මිස දියුණුවට පත්වීමට නොවේ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...