Sunday, April 12, 2020

බියර් බදු අඩුකිරීම



(2017 නොවැම්බර් 11 වැනි දින ලියන ලද පොස්ටුවකි)

මත්පැන් මිළ වැඩිකිරීම මගින් මත්පැන් භාවිතය අඩුකළ හැකියැයි සිතන්නේ නම් එය මුළාවකි. නීත්‍යානුකූල මත්පැන් මිළ වැඩිකිරීමෙන් සිදුවන්නේ නීත්‍යානුකූල නොවන මත්පැන් වැඩි වැඩියෙන් භාවිතයට පැමිණීම වේ. එවන් තත්වයක් තුල රජයකට මත්පැන් වෙළදපොල පාලනය කිරීමට අවස්ථාව ලැබෙනවාට වඩා සිදුවන්නේ මත්පැන් වෙළදපොලේ සැළකිය යුතු කොටසක් රජයේ පාලනයෙන් ගිලිහී යාමය. අනාරක්ෂිතව නිෂ්පාදනය කරන මත්පැන් වල විෂ වීමක් හෝ වෙනයම් බලපෑමක් ඇතිවුවහොත් වගකියන්නට කෙනෙක්ද නැත.

නොබොන කෙනෙකුට බියර් ඇතුලු නීත්‍යානුකල මත්පැන් මිළ වැඩි කළවිට චූන් එකක් දැනෙන්නට පුළුවන. ඇතැමෙකුට ඒ මගින් සමාජයේ මත්පැන් භාවිත කරන ප‍්‍රමාණය අඩුවනවා යැයි සිතෙන්නටද පුළුවන. නමුත් මත්පැන් වෙළදපොලේ හැසිරීම ආර්ථිකය තුල අනෙකුත් භාණ්ඩ හා සම්බන්ධ වෙළදපොල හැසිරීමට සාපේක්ෂව සැළකිය යුතු අන්දමින් වෙනස් වන බව අවබෝධ කරගත හැක්කේ මත්පැන් වෙළදපොල හැසිරීම පිළිබදව සංවේදී අයෙකුටම පමණි. මත්පැන් ගැන සහ මත්පැන් වෙළදපොලේ හැසිරීම මත්පැන් පාරිභෝගිකයන්ගේ අභිලාෂයන් ගැන අංශු මාත‍්‍රයක් හෝ දන්නා අයෙකුට මිළ වැඩිකිරීම යනු මත්පැන් ඉල්ලුම අඩුකිරීමට සියයට දෙකක හෝ දායකත්වයක් දැක්වීමට අසමත් පියවරක් බව වැටහෙනු ඇත.

මත්වීමට අවශ්‍ය අය සක්කරයා එපා කිවුවද මත්වෙති. පෝයද අවුරුදුද නත්තල්ද හජ්ජිද ඔවුනට අදාළ නැත. පෝය දිනකට පෙර දිනයේ හවස් භාගයේ බාර් එකක් ළගට ගොස් බලා සිටියහොත් මා කියන දෙය පිළිබදව ප‍්‍රායෝගික උදාහරණ දක්නට ලැබේ. නමුත් එසේ බාර් අසළ පෙළගැසී සිටින්නෝ රටේ සමස්ථ මත්පැන් ඉල්ලුම්කරුවන්ගෙන්ද අතලොස්සකි. දවස් කුලියට වැඩකරන කම්කරුවකු ඇතුලු බොහෝ දෙනෙකුට එවන් බාර් එකකට ගොස් නීත්‍යානුකූල මත්පැන් බෝතලයක් මිළදී ගැනීමට වත්කමක් නැත. ඒ නීත්‍යානුකූල මත්පැන් සදහා වන අධික බද්දද ඇතුලු අධික මිළ ගෙවීමට ඔවුන්ට වත්කමක් නැති බැවිනි. එබැවින් ඔවුන්ගේ එදිනෙදා තේරීම නිතැතින්ම කසිප්පු වැනි අතිශය අන්තරායකර නීත්‍යානුකූල නොවන මත්පැන් බවට පත්වී ඇත.

මහේස්ත‍්‍රාත් අධිකරණයක දිනකට කසිප්පු නඩු කොපමණ ඇත්ද. එම නඩු වලට අල්ලාගෙන එන අය නිරතුරුවම සිටින්නේ එසේ අල්ලාගෙන එනු ලැබීමට සූදානමිනි. මාස 3කට පමණ වරක් පොලිසියත් සමග කතා කර අත්අඩංගුවට පත්වී කවුරුන් හෝ ගෝලයෙකු උසාවියට ඉදිරිපත් කර පොලීසියටද ගාණක් දී යම් නාමික දඩයක් ගෙවීම කසිප්පු මුදලාලිලාට සාමාන්‍ය දෙයකි. පඩි ගසකට හෝ නොදැනෙන සාමාන්‍ය දෙයකි. එවන් තත්වයක් ඇතිවී තිබෙන්නේ නීත්‍යානුකූල නොවන මත්පැන් වලට පටවා ඇති අධික බදුබර හේතුවෙන් කළුකඩ මත්පැන් වලට නිරායාසයෙන්ම දැවැන්ත වෙළෙදපොලක් නිර්මාණය වී තිබීම හේතුවෙනි. බියර් බදු අඩුකිරීම යනු එම වෙළෙදපොලසම්පූර්ණයෙන් කඩා දැමීමට ප‍්‍රමාණවත් පියවරක් නොවනු ඇති නමුත් යම් බලපෑමක් කිරීමට සමත් වන පියවරක් වනු ඇත.

බියර් බදු අඩු නොකර පාන් හෝ පරිප්පු බදු අඩුකිරීමට නොතිබුණේදැයි කෙනෙකුට ප‍්‍රශ්න කළ හැක. එය මීට වඩා සාමාන්‍ය ජය ජීවිතයට බලපාන බව ඔවුන් කියනු ඇත. නමුත් බියර් සාමාන්‍ය ජන ජීවිතයට බල නොපාන බවට වන උපකල්පනය මවාගත් එකකි. එනම් මත්පැන් එපමණකට එදිනෙදා භාවිත වන පාරිභෝගික භාණ්ඩයක් බව මදක් විචාරශීලීව සමාජය දෙස බැලුව හොත් පෙනී යනු ඇත. එබැවින් පාන් හෝ පරිප්පු වෙළෙදෙපොල සමග පටලවා නොව ස්වාධීන වෙළෙදපොලක් ලෙස සළකා බැලීමට තරම් මත්පැන් වෙළෙදපොල ආර්ථිකයේ කොටසක් වී ඇත.

එබැවින් බියර් මිළ නොව සමස්ථයක් ලෙස නීත්‍යානුකූල මත්පැන් මිළ සාමාන්‍ය මිනිසාට දරාගත හැකි මට්ටමක් දක්වා අඩු කිරීම මීට බොහෝ කළකට පෙර ගතයුතුව තිබූ පියවරකි. සදාචාරමය හෝ ආගමික දෘෂ්ටිකෝණයෙන් එය සාධාරණීකරණය නොකළ හැකි වුවද යථාර්ථවවාදී දෘෂ්ටිය තුල එම පියවර ස්වයංක‍්‍රීයවම සාධාරණීකරණය වනු ඇත.

තවද මේ පිළිබදව අයවැය විවාදයේදී ආණ්ඩුපක්ෂ විපක්ෂ භේදයෙන් වෙනස් වූ වෙනත් හැඩයක භේදයකින් යුතුව අදහස් ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබ්ලිව්. ඩී ජේ සෙනෙවිරත්න මෙම බදු සහනය මෙතැනින් එහාට ගොස් ගල් අරක්කු සදහාද ලබාදිය යුතු බව කීවේය. ඔහු ඒ මතය ඊට පෙරද ප‍්‍රකාශ කර තිබෙනු මම දුටුවෙමි. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් ප‍්‍රකාශ කළේ බියර් මිළ අඩු කිරීමට පියවර ගැනීම ඉතා හොද ප‍්‍රවණතාවයක් බව තමන් පෞද්ගලිකව කල්පනා කරන බවය. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එතුමාගෙන් අපේක්ෂා කළ යුතු ස්වරූපයේ සාම්ප‍්‍රදායික අමද්‍යපවාදී කතාවක් කරමින් මෙම යෝජනාව නිසරු එකක් බව කීවේය. කලක පටන් අවධානය යොමු විය යුතු මෙවන් ගැටලුවක් ආණ්ඩු පක්ෂ විපක්ෂ රාමුව තුල දෙපැත්තට ඇද ඉරා දැමීමෙන් තොරව ප‍්‍රායෝගික තලයට බැස සාකච්චාවට ගැනීම ඉතා හොද ප‍්‍රවණතාවයක් ලෙස දකිමි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...