Tuesday, April 14, 2020

රන්ජන් ප්‍රියන්ත මහඋල්පතගමද?

රංජන් රාමනායක හඬපට නාටකයේ බැලු බැල්මට⁣ පෙනෙන කෙටි කාලීන අරමුණ දුමින්ද සිල්වා රතු පළස මතින් නිදහස් කරගැනීම බව පෙනෙන්නට තිබේ. නමුත් එය මෙම නාටකයේ අවසාන අරමුණද? රන්ජන් එතරම් මෝඩයෙක්ද? මා සිතන ආකාරයට එය එසේ නොවේ. මෙම ක්‍රියාවලියට ඊට වඩා විශාල රටේ අනාගත දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන වඩා විශාල අරමුණක් ඇතැයි මට සිතේ.

තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා සමාජ දේශපාලන ක්‍රමවේදයේ සංවේදී ස්ථාන ස්පර්ශ කළ එකම පුද්ගලයා රන්ජන් නොවේ. එය කවුරුත් දැන සිටි කරුණකි. කෙසේ වෙතත් මෙම සිදුවීම හරහා ජනතාවට එකී දුගඳ හමන යථාර්ථය පිළිබඳව ජීවමාන සාක්ෂි හමුවී තිබේ. එම තත්වය ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට පෙර දෙවරක් සිතීමට ජනතාව පොළඹවනවා ඇත.

රන්ජන් රාමනායක එතරම් බලපෑම් කළ හැකි බලවත් පුද්ගලයෙකු වී නම්, නඩු හබ වලට පැටලී සිටි පොහොට්ටු ප්‍රබලයන් පවා උදව් බලාපොරොත්තුවෙන් ඔහුට ලබාදුන් මෙවැනි දුරකථන ඇමතුම් තිබිය යුතුමය. එසේ නොමැති නම් එය අසාමාන්‍ය තත්වයකි. නමුත් විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ සමග රන්ජන්ගේ දුරකථන සංවාදය හැර එවැනි සංවාද කිසිවක හඬපට මේ දක්වා ජනගත වී නැත. රන්ජන් ඊයේ මාධ්‍ය අමතමින් කියූ පරිදි ඔහු සතුව තවත් රසවත් හඬපට තිබේ. එය ඉදිරියේදී එළිදැක්වීමට නියමිත හඬපට පිළිබඳව පෙර නිමිත්තක්ද?

ඔව්. ඒවා නිසැකවම ජනගත කෙරෙනවා ඇත. නමුත් දැන්ම නොවේ. ඒවා මහ මැතිවරණය අත්‍යාසන්නයේ ප්‍රසිද්ධියට පත් කෙරුණහොත් පෙරකී පොහොට්ටු ප්‍රබලයන්ගේ ජනප්‍රියතාවය හා විශ්වාසනීයත්වය පැයට සැතපුම්සියයක වේගයෙන් ඔවුන්ගේම හිසමත කඩාවැටීමට එය ප්‍රමාණවත් වනවා ඇත. මේ අතර ගෝඨා වඩාත් උගත්, බුද්ධිමත් සහ සුදුසුකම් සහිත අළුත් මුහුණු සියයක්වත් දිවයින පුරා තමාගේ අපේක්ෂකයන් ලෙස මහ මැතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කරනවා ඇත. පෙරකී ලෙස හඬපට එළිදැක්වෙන්නේ නම් පොහොට්ටුව ඡන්දදායකයන්ගේ අවධානය වහාම පැරණි පොහොට්ටු ප්‍රබලයන් වෙතින් ගෝඨාගේ අළුත් මිනිසුන් වෙත විතැන් වනවා ඇත. මේ හරහා දූෂිත පොහොට්ටු දේශපාලනඥයන් අවම වශයෙන් 60ක් වත් දේශපාලනයෙන් විශ්රාම ගැන්වෙනු ඇති අතර එම පුරප්පාඩු උගත් සහ සුදුසුකම් සහිත ගෝඨාගේ අළුත් මිනිසුන්ගෙන් පිරවෙනවා ඇත. මෙය රටේ අනාගතය පිළිබඳව සිතන කල ඉතා යහපත් ප්‍රවණතාවයකි.

රන්ජන් සිතන තරම් මෝඩයෙකු නොවේ. පොලීසිය තමා අත්අඩංගුවට ගැනීමට එනු ඇතැයි දැන දැන එම හඬපට තම නිවසේ තබාගැනීමට ඔහුට හේතුවක් තිබුණේ නැත. එයින් පෙනී යන්නේ ඒවා පොලීසිය විසින් සොයාගෙන ප්‍රසිද්ධියට පත්වීම ඔහුගේ අවශ්‍යතාවය වූ බවයි. එමෙන්ම ඒ හඬපට හරහාම අනාගතයේදී දේශපාලන දිවිය අවසන් කිරීමට අපේක්ෂිත අය ලවාම එකී හඬපට හිස තබාගෙන නැටීමට සැලැස්වීම මගින් ඒවායේ විශ්වාසනීයත්වය පසු අවස්ථාවකදී ප්‍රශ්න කිරීමට නොහැකි වාතාවරණයක් නිතැතින්ම සැකසේ.

සිදුවන්නේ මෙය නම්, රන්ජන් රාමනායක යනු ප්‍රියන්ත මහඋල්පතගම කෙනෙකු පමණි. ගෝඨා මල්දෙණිය මහතා වනු ඇති අතර ජෙහාන් කවුදැයි අපහට කිසිදා හෙළි නොවනු ඇත.
විශිෂ්ට සැළසුමක්!

(නීතිඥ අතිල අතාවුද මහතා විසින් රචිත "Ranjan Ramanayake playing Priyantha Mahaulpathagama?" ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය, ලිබරල් ඩිමොක්‍රැට්ස් ශ්‍රී ලංකා අනුග්‍රහයෙනි)

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...