Tuesday, April 14, 2020

සද්ද විද්ද

මේ දවස් වල රංජන් රාමනායක තමයි රටේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිතය. ඔහුගෙ නමේ තියන පහළ ඉමේජ් එකේ තියන සද්ද විද්ද පළඟ පතිර වාසගම ඇත්තටම මොකක්ද? කාටද ඒ වාසගම මුළින්ම තිබුණෙ? එතකොට නම අනුව රංජන් කාගෙන්ද පැවතෙනවා කියල හිතන්න පුළුවන්? මේ ඒ ගැන ලියන්න හොඳම වෙලාව. ගොඩක් අය මේක දන්නවත් ඇති.

රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ට මහ විසාල ගැටළුවක් තිබුණ. ඒ තමයි තමන්ගෙ සිරියහන් ගබඩාව ළඟ තියන පොකුණෙ හිටපු ගෙම්බෙකුගෙ බක බකය. කළුවර වැටෙන වෙලාවෙ ඉඳන් පාන්දර ජාමෙ වෙනකල් ගෙම්බා තමන්ගෙ ෂෝ එක නන්ස්ටොප් ගහනව. රජ්ජුරුවන්ට නින්දක් නැහැ. මහ කරච්චලයක් වෙලයි තිබුණෙ මේ බක බකය.
ඒ ගෙම්බව මරවන්න විවිධ ක්‍රම පාවිච්චි කළා විවිධ අය. ඒ එකක්වත් සාර්ථක වුණේ නෑ. දවල් වැඩේ කරල ඔන්න හරි කියල හිතාගෙන ඉද්දි රෑට ආයෙමත් අර බක බකය ඇහෙනව. රජ මාලිගාවෙ ඉන්න දක්ෂතම ඇමතිවරු සේවකයො මේ ගෙම්බා මරන්න යෙදෙව්වත් ⁣වැඩේ සාර්ථක වුණේ නෑ.

මේ නිසා රජ්ජුරුවෝ තීරණය කළා ගෙම්බාගෙ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කෙනෙකුට මසුරන් දහසක තෑග්ගක් දෙනව කියල අඬබෙරයක් යවන එක. හැබැයි රජ්ජුරුවන්ගෙ අඬබෙරයක් නවත්තල අභියෝගය භාරගන්න ඉදිරිපත් වෙන්නෙ නෑ ලේසියට කෙනෙක්. මොකද වැඩේ භාරගත්ත වගේ නෙමෙයි කරන්න බැරි වුණොත් රාජ උදහසට ලක්වෙනව.

ඉතින් ඔය භයානක අඬබෙරය එක තරුණයෙක් නවත්තනව. ඒ තමයි අන්දරේ. එතකොට අන්දරේ ගැන රජවාසල දන්නෙ නෑ ඇතැම් කතා වල කියන විදියට. සමහර කතා වල තියන විදියට අන්දරේ රජ වාසලේම ඉඳල මේකට ඉදිරිපත් වෙන්නෙ. කොහොමහරි අන්දරේ වැඩේ භාරගන්නව.
දුන්නකුයි ඊතලයකුයි ගත්ත අන්දරේ පොකුංන ගාව රැකල ඉන්නව. බක බකය පටන්ගෙන ටික වෙලාවකින් පොකුංන දිහාට දුන්න මානන අන්දරේ ඇස් පියාගෙන සද්දෙඑන පැත්තට ඊතලය මුදාහරිනව. ඒත් එක්කම සද්දය නතර වෙනව.

පහුවදා උදේ ගෙම්බා ඇමිණිච්ච ඊතලයත් අරන් අන්දරේ රජතුමා ඉදිරියෙ පෙනී හිටිනව. රජතුමාට හරි සතුටුයි. එතුමා එවෙලේම තමන්ගෙ කර බැඳි රන් මාලය ගලවලා සියතින්ම අන්දරේගෙ කරේ බඳිනව.

ඒ ගමන්ම අන්දරේට නම්බු නාමයකුත් ප්‍රදානය කරනව. සද්දයට ඉලක්කකොට විද්ද අර්ථය සහිතව "සද්ද විද්ද පළඟ පතිර රන්පටබැඳි අන්දරේ" යන්නයි ඒ නම්බු නාමය.

ඒත් සමගම අන්දරේට රජවාසල සුළු රැකියාවක් ලැබෙනව. ඔහුගෙ හැකියාවන් හඳුනාගෙන රජවාසල කවටයා බවට පත්වෙන්නෙ ඊට කාලෙකට පස්සෙ.

අන්දරේගෙ කතා ගොන්න කියවා බලනකොට ඒ කතා වල අන්දරේ කරල තියන වැඩ වලට ගොඩක් ළඟින් යන වැඩක් තමයි මේ රංජන් රාමනායකගෙ හඬපට හුටපටය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...