විභාග කියන්නෙ අභියෝගයක්. පොඩි නෙවෙයි ලොකු අභියෝගයක්. විභාගයක්
තියෙනකොට සාමාන්‍යයෙන් තමන්ගෙ එදිනෙදා හුරු පුරුදු ජීවන රටාව ටිකක් වෙනස්
කරල යම් තරමකට විභාග මානසිකත්වයට එනව ඕනම කෙනෙක්. එතනදි ලොකු පීඩනයක්
දැනෙනව. ඒ පීඩනය සමනය කරගන්නෙ "තව ටික දවසයිනෙ. මේක ඉවර වුණාම ආය ජීවිතේටම
විභාග කරන්නෙ නෑ" වගේ සිත නිවන කතා වලින්.
ඒත් ඇත්තම කතාව ඒක
නෙවෙයි. විභාගය ඉවර වුණ දවසෙ ඉඳන් දිනපතා ජීවිතේ විභාග වලට මුහුණ දෙන්න
වෙනව. ඒව පාඩම් කරල ගොඩදාන්න පුළුවන් ඒව නෙමෙයි. අවබෝධය මත පමණක් සමත් විය
හැකි ඒව.
පාඩම් කරල ගොඩදාන්න වෙන විභාගත් තියෙනව. විශේෂයෙන් අපේ
නීතිඥ වෘත්තියේ යෙදෙනකොට නඩු විභාග දිනයක් කියන්නෙත් පාඩම් කරන්න වෙන
අවස්ථාවක්. බොහෝවිට නඩු පොතේ එක ඉස්පිල්ලක් පාපිල්ලක් මඟ ඇරුණොත් අපි
පිළිබඳව විශ්වාසය තියලා ආපු කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරේ යනව වෙන්න
පුළුවන්. එහෙම විභාග දිනපතා තිබුණොත් කොහොමද? දවසකට එකක් නොවී හතරක් පහක්
තිබුණොත් කොහොමද? එතකොට විභාග නඩු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකුට මුළු ජීවිත
කාලයම ගතකරන්න සිදුවෙන්නෙ විභාග මානසිකත්වයෙන්. කාලයක් යනකොට ඒකට මනස හුරු
වෙනව. ඒත් දවසින් දවස වැඩිවන පීඩනය ඇතැම් විට තමා තුලම මානසික පිළිකාවක්
නිර්මාණය කරනව. පාඩම් කිරීමේ කෙටි ක්‍රම ප්‍රගුණ කරල නැති සහ නඩු වෘත්තීයමය
දෘෂ්ටිකෝණයෙන් නොසළකා ජීවිතේ කරගන්න කොනෙක් මේ මානසික පිළිකාවෙන්
මැරෙන්නත් පුළුවන්.
මම අ.පො.ස උසස්පෙළ විභාගය දක්වාම දිනපතා පාඩම්
කරපු කෙනෙක්. එදා සටහන එදාම කියවලා අවබෝධ කරගෙන දවසේ වැඩ අවසන් කිරීම මගෙ
පුරුද්ද වෙලා තිබුණ. උසස්පෙළ අවසාන අවුරුද්ද ඉරිදා හැර සතියේ අනෙක් හැම
දවසකම නින්ද පැය 4කට සීමා කරල උපරිමයෙන් කාලය ප්‍රයෝජනයට අරගෙන පාඩම් කළා.
මමත් ඉන් දැඩි වෙහෙසකට පත්වුණා.
නමුත් උසස්පෙළින් පසු පැවති කිසිම
විභාගයක කිසිම විෂයක් මම දවසකට වඩා පාඩම් කරල නැති බවත් කවදාවත්ම මොකවත්ම
පිරිත් වගේ මුමුණ මුමුණ කටපාඩම් කරල නැති බවත් ඒ කාලෙ මගෙ සමීපතමයො හොඳින්
දන්නා කරුණක්. නමුත් විභාග ප්‍රතිඵල අඩුවීමක් වුණෙත් නෑ. ඒ කොහොමද?
මුළින්ම කිව යුතුයි ඉගෙන ගන්න කෙනෙකුට ගැලපෙන ප්‍රශස්තම ක්‍රමය මම උසස්පෙළට
පාඩම් කරපු එදිනෙදා සටහන එදිනෙදා පාඩම් කරන ක්‍රමය. දැනටත් ඒ විදියට පාඩම්
කරන, ඒකට වෙලාව තියන අය මේ කියන ක්‍රමයට මාරු වෙන්න ගිහින් අනාගන්න එපා.
මේ ක්‍රමය වඩාත් ගැලපෙන්නෙ දිනපතා පාඩම් කරන්න වෙලාවක් නැති කාර්යබහුල අයට.
1. හොඳ සටහනක් හොයාගැනීම
සාමාන්‍යයෙන් දිනපතා පාඩම් කරන
දිනපතා දේශන වලට සහභාගි වෙන කෙනෙක්ගෙ අංගසම්පූර්ණ හොඳ සටහනක් මේ සඳහා
අවශ්‍ය වෙනව. සාමාන්‍යයෙන් කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්නවනම් කොහෙන් හරි
හොඳ සටහනක් හොයාගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.
2. අවබෝධයෙන් කියවීම
මෙය කාලයක් තිස්සේ හොඳින් කියවීම පුරුදු පුහුණු කරලා අත්පත් කරගතයුතු
නිපුණතාවයක්. ඒ කියන්නෙ කියවන්නන් වාලේ ඔහේ නොකියවා කියවන හැම වචනයකම අර්ථය
හොඳින් අවබෝධ වන විදියට කියවීම ප්‍රගුණ කරගතයුතුයි. ඉතා හොඳ කියවන්නෙකුට
මනා අවබෝධයක් සහිතව සටහන එකපාරක් කියෙව්වාම හොඳටම ඇති.
3. Highlight කිරීම
මෙය අවබෝධයෙන් කියවන අතරතුර කළයුතු දෙයක්. සමහරු මෙය කරන්නන් වාලේ
සිදුකරනවා. අන්තිමට මුළු සටහනම පාට ගොඩක් වෙනවා. එහෙම නොවෙයි. වර්ණ ගණනාවක
highlight pen ගණනාවක් තියාගෙන එක් එක් වර්ණයෙන් වර්ණ ගන්වන කොටස් වෙන්
කරගත යුතු වෙනවා. උදාහරණයක් ලෙස නිර්වචන කොළ පාටින්, නඩු තීන්දු වල නම් රෝස
පාටින් නඩු තීන්දුවල මතක තබාගත යුතු හරය කහ පාටින් වගේ. එතකොට දෙවනුව
බලනකොට පාටින්ම අපි දන්නවා මේ මොකක්ද කියලා. ඒ විදියට වේගයෙන් අවබෝධයෙන්
කියවමින් යම් පිළිවෙලකට සටහන highlight කරගැනීම ඉතා වැදගත්.
4. විවේකය
මේ විදියට සටහන එක්වරක් අවබෝධයෙන් කියවා highlight කිරීම අවසන් වීමෙන් පසු
ටිකක් ඇඟට දැනෙන පැය භාගයක පමණ දිගු විවේකයක් ගැනීම ඉතා වැදගත්. මදක්
නිදාගැනීම, ටිකක් ක්‍රීඩා කිරීම, රවුමක් ඇවිදින්නට යාම වගේ දෙයකින් මනස
නිරවුල් කරගෙන අර කියවීමෙන් ලද අවබෝධය මනසේ තැන්පත් වීමට ඉඩහැරිය යුතුයි.
5. Scan කිරීම
බොහෝ හොඳ කියවන්නො පොත් කියවන්නෙ පවා මෙහෙම. ඒ කියන්නෙ වචනයෙන් වචනය
නොකියවා පොතක පිටුවේ ඉහළ සිට පහළට බලාගෙන යාම මගින් එහි ඇති දේ අවබෝධ
කරගැනීම. සමහරු මෙය උපතින් ගේන කුසලතාවයක්. ඔවුන්ට පළමු වර අවබෝධයෙන්
නොකියවා වුවද හුදු scan කිරීම මගින් සටහනේ සමස්ථ අන්තර්ගතය අවබෝධ කරගත
හැකියි. දිනපතා කියවීමට ඇබ්බැහි වූවන්ට මේ කුසලතාවය කාලයත් සමග වර්ධනය කරගත
හැකියි. එසේ නොමැති අයටයි පළමු වතාව අවබෝධයෙන් කියවා highlight කරගැනීම
අවශ්‍ය වෙන්නෙ. එසේ කලින් කියවා අවබෝධ කරගත් සටහනක සෑම පිටුවකම තිබෙන්නේ
කුමක්ද යන්න මතකයේ අනිවාර්යයෙන්ම තැන්පත් වී තිබෙනවා. පිටුව පෙරළපු ගමන්ම ඒ
මතකය නැවත අළුත් වෙනවා. එවිට ඇස යැවිය යුත්තේ තමා දැනටත් දන්නා highlight
කර ඇති තීරණාත්මක වැදගත් කමක් සහිත වාක්‍ය හෝ වචන වලට පමණයි. ඒ හරහා
පිටුවේම අන්තර්ගතය මෙනෙහි කිරීම කළ හැකියි. මුළින්ම කරද්දි එක පිටුවකට
විනාඩි 2ක් තුනක් වැයවෙයි. නමුත් ඒ කාලය කෙමෙන් කෙමෙන් අඩුවෙන හැටි තමනටම
දැනෙනවා. හොඳින් හුරු පුරුදු වුණාට පස්සෙ නිකම් සටහනේ පිටු පෙරළාගෙන යාම
පමණක් ප්‍රමාණවත් වන තැනට එන්නට පුළුවන්. මේ ක්‍රමය යටතේ කෙටි සටහනක් කියල
දෙයක් නෑ. දීර්ඝ සටහනේ highlight කර ඇති කොටස් තමයි කෙටි සටහන වෙන්නෙ. එය
දහපාරක් වගේ හරියට scan කරගත්තොත් පාඩම් කිරීම එතනින් අවසන්.
6. කාලය
සාමාන්‍යයෙන් මුළින්ම කරන කෙනෙකුට මේ ආකාරයට පාඩම් කිරීමේ ක්‍රියාවලිය
අවසන් කරන්න එක විෂයක් සඳහා දින තුනක් පමණ ගතවෙයි. නමුත් පුරුදුකාරයෙකුට
එක් දිනයක් හොඳටම ප්‍රමාණවත්.
7. වැදගත්ම අවබෝධයයි
යම්
විෂයයක් සම්බන්ධයෙන් පවත්නා විභාගයක අරමුණ විය යුත්තේ අදාළ විෂය කරුණු
සම්බන්ධයෙන් අපේක්ෂකයාගේ අවබෝධය මැනීම මිස කටපාඩම් කිරීමේ හැකියාව නොහොත්
ගිරා කුසලතාවය මැනීම නොවෙයි. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ විභාග වල අවබෝධය
වෙනුවට මැනෙන්නේ ගිරා කුසලතාවය. විභාග වලදි ඉහළ ලකුණු අරන් සමත් වෙන අය
ප්‍රායෝගික භාවිතයේදි අසාර්ථක වෙන්නෙ මේ නිසා. 3 Idiots චිත්‍රපටය අපට
උගන්වන පාඩමත් ඒක. නමුත් නීතිය වැනි ක්ෂේත්‍රයක විභාග වලදී ගිරා කුසලතාවය
නොව අවබෝධය මනින ගැටළු ප්‍රශ්න දැකිය හැකියි. ඒවාට සාර්ථකව මුහුණ දීමට
අවබෝධයට පළමු තැන දීම ඉතා වැදගත්.
8. ලිවීමේ හැකියාව
ගොඩක්
අය ලියන්න කම්මැලියි. නමුත් විභාගයක් සමත් වෙන්න ලිවීමේ හැකියාව ඉතාම
තීරණාත්මකයි. එය සැබැවින්ම කළාවක්. ඒ තුල දැනගෙන ලිවීම, බාගෙට දැනගෙන
ඔක්කොම දන්නවා වගේ ලිවීම, මොකුත්ම නොදැන සියල්ල දන්නවා මෙන් පෙනෙන පරිදි
ලිවීම යනාදී සූ සැට කලාවන් අනතර්ගතයි. එය කෙනෙකුට කියා දියහැකි දෙයක් හෝ
ඉගැන්විය හැකි දෙයක් නොව තමන් විසින්ම තමන්ට ආවේණික ලෙස වර්ධනය කරගතයුතු
කුසළතාවයක්.
අවසාන වශයෙනුත් කියන්නෙ හරියට පිළිවෙළට කාලය අරන්
පාඩම් කරන කාලය තියෙන අය මේ ක්‍රමයට පනින්න යන්න එපා. ඔවුන්ට මේ ක්‍රමයේ
ඇතුලත් scan කිරීමේ කොටස පමණක් වැදගත් වේවි. මෙය ගැලපෙන්නේ පාඩම් කිරීම
සඳහා කාලය නැති, විභාගය හෙට කියලා පොත අතට ගන්න අයට.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment