(2015 ඔක්තෝබර් 22 වැනි දින ලියන ලද පෝස්ටුවකි)
මා
ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහා
විද්‍යාලයේය. ශාන්ත බර්නාදෙත් යැයි කීවද එය සම්පූර්ණයෙන්ම බෞද්ධ පාසලක්
විය. එය පාලනය වූයේ එතෙක් මෙතෙක් මා දුටු අති දැවැන්තම පෞරුෂයට හිමිකම්
කියූ අද්විතීය විදුහල්පතිවරයා වන මාපා රත්මලේ මහතා යටතේය.
අපට වාර පරීක්ෂණ ප්‍රවීණතා මට්ටම් අනුව වෙනියා තීරණය කිරීම මුලින්ම සිදුවූයේ අප 4 වැනි ශ්‍රේණියේ
සිටියදීය. එකළ පන්තියේ පළමු වැනියා වූයේ පන්නල සිට පැමිණි පසිදු ජයසිංහයි.
මා දෙවැනියා වන විට මොරගොල්ලේ සිට පැමිණි මහේන්ද්‍ර දසනායක තෙවැනියා විය.
ඊළග වාරයේ මා පළමුවැනියා වී මහේන්ද්‍ර දෙවැනියාද පසිදු තුන්වැනියාද විය.
කෙසේ වෙතත් මට සිහියට නගාගත හැකි පරිදි එකම එක වාර විභාගයක හැර අප ඒ
පාසැලෙන් සමුගන්නා තුරුම පළමුවන දෙවන හා තෙවන ස්ථාන බෙදී ගියේ අප තිදෙනා
අතරය.
මේ තිදෙනාගෙන් පසිදු සහ මම උපන්ගෙයි දගකාරයන් හා කටකාරයන්
වීමු. අපි දෙදෙනාම එකළ විෂය කටයුතු වලට මෙන්ම විෂය බාහිර කටයුතු වලටද දැඩි
උනන්දුවකින් සහභාගි වන්නෝ වීමු. අපගේ මූලිකත්වය යටතේ සිහිකළ නොහැකි
වාරගණනක් අප පන්තිය සමිතියේ නාට්‍ය රගදක්වා ඇත. දැනුම මිනුම තරග වලට
ඉදිරිපත් වී ඇත. තේරෙන බාසාවෙන් කියන්නේ නම් පසිදු සහ මම සහජයෙන්ම forward
චරිත වීමු.
මහේන්ද්‍ර ඊට වඩා මදක් වෙනස් විය. ඔහු ස්වභාවයෙන්
නිහඩ චරිතයකි. පසිදු සහ මට වඩා කල්පනාකාරීය. දග වැඩ කිරීමට මදක් පසුබාන
සුලුය. නමුත් අති දක්ෂයෙකි. මහේන්ද්‍රගේ මෙම ස්වභාවය හා ඔහුගේ වටිනාකම
හදුනාගත් අප 4D පන්තිය භාර ප්‍රනාන්දු ගුරු මෑණියන්ට මහේන්ද්‍රව පංති
නායකයා කිරීමට අවශ්‍ය විය. එතෙක් කල් මාරුවෙන් මාරුවට මෙන් නායකත්වය ලැබුණේ
පසිදුට සහ මටය. එම සම්ප්රදාය බිද දමා මහේන්ද්‍ර ඉදිරියට ගැනීමට
ප්‍රනාන්දු ගුරු මෑණියන් ශූර උපායක් යෙදූ අයුරු මට සිහිපත් වේ.
ඇය මුලින්ම පන්තියේ නායකත්වයේ වෙනසක් සිදුකරන බව ප්‍රකාශ කළාය. පසිදුට එය
කෙසේ දැනුනාදැයි මම දන්නේ නැතත් මටනම් හීන් දාඩිය දැම්මේය. මොනිටර් කමින්
ඉවත් කළොත් වස ලැජ්ජාවකි. නමුත් ඒ හා සමගම ප්‍රනාන්දු ගුරුමෑණියන් නැවත්
නිවේදනය කළේ. පන්තියේ නායකයා වශයෙන් පසිදුත් උප නායකයා වශයෙන් මමත් හෙබවූ
තනතුරු එසේම පවත්නා බවය. මගේ ඇගට ලේ ටිකක් ඉණුවේය. නමුත් විදුහල්පතිවරයාගේ
විශේෂ නියමයක් මත පන්ති නායකයාට හා උපනායකයාට ඉහළින් නමින් නව තනතුරක් ඇති
කෙරෙන බවත් ඒ සදහා මහේන්ද්‍ර දසනායක පත්කරන බවත් ඇය නිවේදනය කළාය.
මහේන්ද්‍ර අපට උසස් වීමේ පොඩි අවුලක් තිබුණද වැඩේ නරකම නැත. දිනපතා
පැමිණීමේ ලේඛණය ගෙනඒම වැනි නිළ කටයුතු කිහිපයක් මහේන්ද්‍ර ඉටුකරද්දී
පන්තිය අතුගෑම අධීක්ෂණය පන්තියට අදාළ මල් පාත්ති නිසි පරිදි නඩත්තු කිරීම
වැනි සැළකිය යුතු වැඩ කොටසක් පසිදුටත් මටත් පැවරුණි. එබැවින් අප දෙදෙනාම අප
කෙරෙහි හීනමානයක් ඇතිකරගත්තේවත් මහේන්ද්‍ර කෙරෙහි තරහක් ඇතිකරගත්තේවත්
නැත. ශිෂ්‍යත්ව විභාගයෙන් පසිදු ලකුණු 164ක් ලබමින් කුරුණෑගල මලියදේව
විද්‍යාලයටත් මහේන්ද්‍ර ලකුණු 147ක් ලබමින් කෑගලු විද්‍යාලයටත් මම ලකුණු
145ක් ලබමින් පින්නවල මධ්‍ය මහා විද්‍යාලයටත් තේරී පොල්ගහවෙල ආදර්ශයෙන්
සමුගන්නා තුරුම අප තිදෙනා හොද මිතුරන් වීමු. එයට හේතුව බල ලෝභයෙන් එකළ අපේ
සිත් දූෂ්‍ය වී නොතිබීම යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද ප්‍රනාන්දු
මැඩම්ගේ උපායද එයට සැළකිය යුතු හේතුවක් බව මම විශ්වාස කරමි.
එම
සරළ කතාව සිහිපත් කරද්දී වර්තමාන දේශපාලකයන්ටද අති දැවැන්ත ආර්ශයක්
ප්‍රනාන්දු මැඩම් සපයා ඇති බව මට හැගේ. වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතැම්
කණ්ඩායම් නැවතත් ජනවාර්ගික අසහනකාරී තත්වයකට පෝර දමමින් සිටින යුගයකය අප
සිටින්නේ. මා ඇගිල්ල දිගු කරන්නේ එක් ආගමකට හෝ ජාතියකට නොව සියලුම ආගම් හා
ජාතීන්ටය. ඒ සෑම ජනකොටසක්ම නියෝජනය කරන පිරිස් අතර බෙදුම්වාදීහු සිටිති.
මේ අතරින් සුලු ජාතීන් නියෝජනය කරන බෙදුම්වාදීන්ගේ සටන් පාඨය වන්නේ
බොහෝවිට තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවකි. නැත්නම් වෙනම පරිපාලන
දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවකි. එසේත් නැත්නම් මොනයම්ම හෝ ක්‍රමයකින් තමන්ට
වෙනම භූගෝලීය පරිපාලනයක් අවශ්‍ය බව ඔවුහු කියති. එයට හේතුව ලෙස ඔවුන්
දක්වන්නේ එකීය රටක් ලෙස ජීවත් වීමේදී ඔවුන්ට මහ ජාතිය හමුවේ අසාධාරණකම්
සිදුවන බවය. දෙවන පන්තියේ පුරවැසියන් වීමට සිදුවන බවය. මහජාතියේ බලපෑම්
හමුවේ ඔවුන්ට මහ ජාතියේ ආගමික හා සංස්කෘතික සිරිත් විරිත් බලෙන් ඇගේ ගසනු
ලැබෙන බවය. මහජාතියේ සිරිත් විරිත් සංස්කෘතික අගනාකම් වලට යටත්ව පමණක් මහ
ජාතියේ අවසරය යටතේ තම සංස්කෘතික අයිතීන් ආහාරමය අයිතීන් පුදපූජා විධි
යනාදිය ක්‍රියාත්මක කිරීමට සිදුවීම තමන්ට මහත් හිරිහැරයක් බවය.
මහජාතිය නියෝජනය කරන බෙදුම්වාදීහු බැලු බැල්මට පෙනී සිටින්නේ පෙරකී සුලු
ජාතික බෙදුම්වාදීන්ට එරෙහිව මෙනි. නමුත් අවසාන ප්‍රතිඵලය ලෙස ඔවුන්
සිදුකරන්නේ මේ සිදුවීම් දාමය දෙස පිටත සිට බලන්නකුගේ කෝණයට අනුව
සුලුජාතීන්ගේ සටන්පාඨ සාධාරණීකරණය කිරීමකි.
ඔවුන් සුලු ජාතීන්
ප්‍රබල ලෙස පිටු දකිති. ඔවුන්ගේ කඩ වලින් බඩු ගන්නට එපා කියති. ඔවුන්ගේ
ඇදුම් පැලදුම් වල ඇදකුද දකිති කියති ඔච්චම් කරති. ඔවුන්ගේ පුදපූජා විධි
හාස්‍යයට ලක් කරති. ඔවුන්ගේ ආහාර පුරුදු බලෙන් වෙනස් කිරීමට යති. තම ආගමට
හා ජාතියට එරෙහි නොවන සිරිත් විරිත් හා පැවතුම් පමණක් සුලු ජාතීන්ට අනගමනය
කළහැකි වන බවට ඊනියා නීති රීති පණවති. කොටින්ම සුලු ජාතිකයාගේ සුලු
ආගමිකයාගේ පැවැත්ම තම ජාතික ආගමික සංස්කෘතික ලක්ෂණ මත සිට නිර්වචනය කර
පරස්පර විරෝධීතා නිර්දය ලෙස හෙළා දකිති. ඒවා පිටුදැකීම ස්වේච්චාවෙන්
සිදුකිරීම එකකි. නමුත් මෙම මහජාතියේ බෙදුම්වාදීහු නිරන්තරයෙන් යෝජනා කරන්නේ
එකී පිටුදැකීම් නීතිගත කිරීමටය. මේ තුල සුලු ජාතික බෙදුම්වාදීන්ගේ සටන්
පාඨ නිතැතින්ම සාධාරණීකරණය වන බවද ඒවාට වටිනාකමක් ලැබෙන බවද ඔවුහු නොසළකා
හරිති.
මෙම සියලුම දෙනා තම පදනම ලෙස කුන ආගමක් ජාතියක් භාවිත කළද
පොදුවේ ගත් කළ බෙදුම්වාදීහු වෙති. සියලු දෙනාගේම සටනේ අනිවාර්ය ප්‍රතිඵලය
එකම දෙයක් වේ. එනම් ශ්‍රී ලංකාව කැබලි වලට කැඩී ගිය නිරන්තර ජනවාර්ගික
අර්බුද ඇවිලුණු දේශයක් බවට පත්වීමය.
මේ සකළවිධ බෙදුම්වාදී
සුළුතරයට අමතරව බෙදුම්වාදී නොවන බහුතරයක්ද මේ සියලුම ජාතීන් ආගම් නියෝජනය
කරමින් අප අතරම වෙසෙති. මේ පිරිසද විවිධ ආගම් ජාතීන් පදනම් කරගත්තද
බෙදුම්වාදය යන සාධය කෙරෙහි ඇතිකරනු ලබන බලපෑම ඒකාකාරී වෙයි. මේ පිරිස කුමන
ආගමක් ජාතියක් නියෝජනය කළද අනෙකාගේ හැසිරීම් රටාව පාලනය කරන්නට යන්නේ නැත.
තමාගේ නිදහස අගයනවා මෙන්ම අනෙකාගේ නිදහසද අගය කරති. අනෙකාගේ සංස්කෘතිය
ඇදහීම් ආදිය තමා පිළි නොගත්තද අනෙකාට ඒවාට අනුගතව ජීවත් වීමට ඇති අයිතිය
පිළීගනිති. තමාගේ නිදහසේ අයිතිය තහවුරු වන්නේ අනෙකාගේ නිදහසද තහවුරු වන කල
බව වටහාගන්නා මොවුන් සියලු දෙනාගේ පුද්ගල නිදහස වෙනුවෙන් පොදුවේ පෙනී
සිටිති. ප්‍රසිද්ධියේ පෙනී නොසිටියද යටත් පිරිසෙයින් නිහඩව සමාජයේ
ප්රශ්නය බවට පත් නොවී විසදුම වීමට උත්සාහ දරති. ජාති ආගම් භේදයක් නොමැතිව
අප රටේ බහුතරය වැටෙනුයේ මෙම කුලකයටය. යම් හෙයකින් බහුතරය බෙදුම්වාදී
කුලකයට වැටුණේ නම් නැතුහොත් බෙදුම්වාදී දේශකයන්ගේ මතවාද දේශනා කොන්දේසි
විරහිතව පිළිගන්නා අදබාලයන් වී නම් ශ්‍රී ලංකාවේ නැවතත් ජනවාර්ගික
යුධගිනි ඇවිලීම වැලැක්වීමට ත්‍රිවිධ හමුදාව නොව මෙන ජගතෙකු වත් සමත් නොවනු
නියතය.
මෙහිදී රටේ පාලකයෝ තමනට ආරූඪ කරගත යුත්තේ මා ඉහත සදහන්
කළ ප්‍රනාන්දු ගුරු මෑණියන්ගේ භුමිකාවයි. එනම් පසිදු මහේන්ද්‍ර හා මා යන
කිසිවකුට පක්ෂග්රාහී නොවී ඇතිවිය හැකි ගැටලුකාරී තත්වයන් සියුම් උපාය
උපක්‍රම මගින් සමනය කරලීමේ භූමිකාවයි. ප්‍රනාන්දු මැඩම්ද අප තිදෙනාගෙන්
එකෙකු පොරක් කරගෙන අනිත් දෙදෙනාට හාමු පාට් දැමීමට උසිගැන්වීනම් මා මගේ
අධ්‍යාපනය නීතිඥ වරයෙකු වී හමාර කිරීමට කිසිදු ඉඩක් නොමැති වන්නට තිබුණි.
එසේම අප රටේ නායකයාගේ භූමිකාවද කිසිවකුට පක්ෂග්රාහී එකක් නොවිය යුතුය.
නායකයා කුමන ජාතියක් ආගමක් නියෝජනය කළද අන් ජාතීන් හා ආගම් දෙවන පන්තියට
දැමීම සිදු නොවිය යුතුය. ඒ වෙනුවට සිදුකළ යුත්තේ ජාති අතර හා ආගම් අතර ඇති
පටු වාද භේද පසෙකළමින් රටක් ලෙස සාර්ථකත්වය ළගා කරගැනීම ජනතාව දිශානගත
කිරීමයි. සෑම පුරවැසියෙකුටම මෙම ක්‍රියාවලියේ යම් භූමිකාවක් පැවරීමයි. තමා
මොන ජාතිය ආගම නියෝජනය කළද මේ රටට තමාව අවැසි බවත් ඒ වැසිතාවය තමාගේ
දෙවියන්ගේ නම තමාගේ ඇදුම මස් කනවාද නැද්ද යන වග වැනි පටු කාරණා මත තීරණය
වන්නක් නොව තම මානව වටිනාකම මත තීරණය වන්නක් වන බවට විශ්වාසයක් සෑම
පුරවැසියෙකු තුලම ඇතිකළ යුතුය.
මෙහිදී අතිශය වැදගත් කාර්යභාරයක්
අධ්‍යාපන ක්ෂේත්රයට පැවරේ. අධ්‍යාපනය ඉලක්කගත විය යුත්තේ ඵලදායීතාව
උපරිම කිරීම සදහාය. තම වෘත්තීන්හි නිපුණ සෞන්දර්යාත්මක මෙන්ම කොන්දේසි
විරහිතව සමස්ථ මානව වර්ගයාට ආදරය කරන පුරවැසියෙකු බිහිකිරීම අධ්‍යාපනයේ
අරමුණ විය යුතුය. අන් ජාතීන් ආගම් හා වෛරයෙන් කැකෑරෙන තම ජාතිය ආගම ගැන
පුහු මාන්නයෙන් උදරය පුම්බාගත් ඔලු බක්කෙකු අධ්‍යාපනයෙන් බිහි නොවිය යුතුය.
තමාගේ ජීවන ක්රමයේ තාලයට අනෙකාටද ජීවත් කිරීමට බලකෙරෙන නීති හැදිය
යුතුයයි වියරුවෙන් කෑගසන එකග නොවන්නන් සමූලඝාතනය කිරීමේ විකල්පය තෝරන
හිට්ලර් කෙනෙකු අධ්‍යාපනයෙන් බිහි නොවි යුතුය.
මෙකී අරමුණු
සාක්ෂාත් කරගැනීම සදහා රටේ පාලකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් හැකි සෑම
අවස්ථාවකදීම ප්‍රශ්න දෙස බැලීමට උත්සාහ කල යුත්තේ ප්රශ්නය තුල සිට නොව
ඊට ඉහලින් සිටයි. යුද්ධයකදී ඔබ එය නරඹන්නේ යුධ භූමියට ඈතින් සිට නම් ඔබ
දකිනු ඇත්තේ එකිනෙකා හා යුධ වදින මිනිසුන් කණ්ඩායමකි. ඔබ යුධ බිමේ සිට එය
නරඹන්නේ නම් ඔබට පෙනෙන් ඇත්තේ ඊළග තත්පරයේ ඔබගේ හිසටම කෙටීමට කඩුව අමෝරාගත්
එකම එක ප්‍රතිවාදියෙකු පමණි. මෙම දෘෂ්ටිකෝණ දෙකෙහි අහසට පොළව මෙන්වූ
විශාල වෙනසක් ඇත. එබැවින් රටක පාලකයා ඈතින් සිට නරඹන වඩාත් පුළුල් මෙන්ම
අපක්ෂපාතී දෘෂ්ටිකෝණය තෝරාගැනීම වැදගත් වේ. මිතුරන් තිදෙනෙකු පහසුවෙන්
සතුරන් විය හැකිවතිබූ අවස්ථාවක පන්තියේ සමගියද තිදෙනාගේ මිත්‍රත්වයද
සියුම් උපායක් මගින් ආරක්ෂා කරගත් ප්‍රනාන්දු මැඩම් දේශපාලනික නායකයන්ට
මහා ආදර්ශයක් වන්නේ එබැවිනි.
මෙම සටහන කියවන බොහෝ දෙනා
පන්තිකාමරයක සිදුවූ හය හතර නොතේරෙන හිත් දූෂ්‍ය නොවූ පොඩිවුන් අතර වූ
සිදුවීමක් මගින් රටක ප්‍රශ්න පැහැදිලි කිරීමට උත්සාහ කළ අකළට පැහුණ
මෝඩයෙක් ලෙස මා හදුන්වා මට බණිනු ඇති බව මම දනිමි. සැබෑ අරමුණු පසෙක
තිබියදී පටු අරමුණු ලොකු කරගෙන ඒ පසුපස දුවන අප පොඩි උන්ටත් අන්ත
නොවන්නේදැයි මම ඒ පඩිවරුන්ගෙන් අසමි. තවත් සමහරක් දෙනා මට ඇෆ්ගනිස්ථානය
ඉන්දියාව සෞදිඅරාබිය වැනි රටවල් පෙන්නනු ඇත. තාවකාලික හිත සුව පිණිස
මහජාතිය සුලුජාතිය උඩ හිද මළපහ කරන එවැනි තුප්පහි රාජ්‍යයක්ද අප හැදිය
යුත්තේ. එසේත් නැතහොත් සියල්ලන්ට සමාන ලෙස සළකන සම අයිතීන් තහවුරු කරන
අනෙකාගේ ජීවන රටාව වෙනස් කිරීමට නොයන ස්වර්ග රාජ්‍යයක්ද අප තැනිය යුත්තේ.
මම ඔබෙන් අසමි. එකටෙක කිරීම තාවකාලික තෘප්තිය උදා කළද නියත පශ්චාත්තාපය ගෙන
ඒ. අප එකටෙක කරන මෝඩයන් නොව බුද්ධිමත් මිනිසුන් වෙමු. අපට වෙන වෙනම අපට
ආවේණික සිතුම් පැතුම් ඇත. අවශ්‍ය වන්නේ අන් අයටද එසේම බව වටහා ගැනීම පමණි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment