Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Saturday, April 11, 2020
දෙවන ලෝක මහා සංග‍්‍රාමයේ බුද්ධිමය වීරයාගේ කතාව THE IMITATION GAME
(2015 අගෝස්තු 20 වැනි දින ලියන ලද පෝස්ටුවකි)
දෙවන ලෝක යුද්ධයේදී නාසිවාදීන්ගේ අන්තවාදීත්වය කලක් ඔවුන්ට ආශිර්වාදයක්ම විය. මන්ද ආර්ය අනාර්ය යනුවෙන් ජනවර්ග වර්ගීකරණය කරන ලදුව අනාර්ය ජනවර්ග මිහිතලයෙන් අතුගා දැමීම දෙවියන් වහන්සේ විසින් ඔවුන් වෙත පවරන ලද්දාවූ මහගු කර්තව්‍යයක් බව ඔවුන් හදවතින්ම විශ්වාස කිරීම නිසා ඔවුන් ඉතා දැඩි කැපවීමෙන් එම කර්තව්‍යයේ නිරත වීමය. ඒ අනුව අවි තාක්ෂණය යුධ ටැංකි තාක්ෂණය සන්නිවේදන තාක්ෂණය යනාදී අංශ වලින් ලොව දියුණුම තාක්ෂණික සම්පත් ජර්මන් ජාතිකයන් සතුවිය. ඔවුන්ගේ යුධ ටැංකි බිම්බෝම්බ මතින් රිසිසේ මිත‍්‍ර හමුදා සමූළ ඝාතනය කරමින් ඉදිරියටම ඇදී ආහ. ඔවුන්ගේ සබ්මැරීන සත් සයුර පුරාම මිත‍්‍ර රාජ්‍යයන්ට අයත් නෞකාවන් ගිල්වා දමන්නට වූහ. මිත‍්‍ර හමුදාවන්ට වූයේ වැලේ වැල් නැති තත්වයකි.
ජර්මන් හමුදාව තම දිගුදුර විහිදුම් ඒකකයන් සමග පනිවුඩ හුවමාරු කරගන්නා ලද්දේ එනිග්මා නම්වූ අති සංකීර්ණ සන්නිවේදන උපකරණයක් මගිනි. අනෙක් ජාතීන් මෙන්ම මෝර්ස් කෝඩ් උපයෝගී කරගනිමින් පණිවුඩ යවනු ලැබුවද එම පණිවුඩය අර්ථයක් ඇති ලෙස පෙරළා ගැනීම සදහා එනිග්මා උපකරණය මගින් එය විඛණ්ඩණය (decode) කළ යුතු විය. මෙසේ විඛණ්ඩණය කරනු ලබන කේතයන් ඔවුන් දිනපතා වෙනස් කරන ලද බැවින් ජර්මන් රහස් පණිවුඩ අවබෝධ කරගැනීම මිත‍්‍ර පාක්ෂිකයන්ට නොහැකි තත්වයක් උද්ගත වී තිබුණි. එක්සත් රාජධානිය විසින් තම රාජ්‍යයේ සිටින විශිෂ්ටතම බුද්ධිමතුන් කිහිපදෙනෙකුගේ දායකත්වයෙන් එනිග්මා කේත ඛන්ඩනය කිරීම සදහා රහස්‍ය ඒකකයක් පිහිටුවන්නේ මෙවැනි තත්වයක් යටතේය. චිත‍්‍රපටයේ ප‍්‍රධාන නලුවා වන බෙනඩික්ට් කම්බර්බැච් පණපොවන ඇලන් ටූරින් නම්වූ මහා ගණිතඥයා මෙම කණ්ඩායමේ නායකයා වෙයි.
ඇලන් ටූරින් ගේ මූලිකත්වය යටතේ ඉහත කී කණ්ඩායම එනිග්මා කේත විඛණ්ඩණය සදහා විශේෂිත යන්ත‍්‍රයක් නිපදවයි. එය ලොව බිහිවූ පළමු ඩිජිටල් පරිඝනකය ලෙස ඉතිහාසයට එක්වෙයි. එම යන්ත‍්‍රය යොදාගනිමින් ජර්මානු හමුදාවේ ප‍්‍රහාරක සැලසුම් කලින් අනාවරණය කරගැනීමට මෙම කණ්ඩායම සමත් වෙයි. නමුත් ඒ සෑම සැළසුමක්ම හමුදාව වෙත ලබාදීම කණ්ඩායමේ නායක ඇලන් ටූරින් විසින් ප‍්‍රතික්ශේප කරනු ලැබේ. මන්ද ඔවුන් විසින් එක දිගට ජර්මන් සැලසුම් ගණනාවක් ව්‍යර්ථ කර දැමූ කල එනිග්මා කේතයන් ඛන්ඩනය කර ඇති බව දැනගන්නා නාසිවාදීන් එම කේතයන් නැවතත් වෙනස් කළහොත් තම දෙවසරක මහන්සියේ ප‍්‍රයෝජනයක් නොමැති වන බැවිනි. ඉන්පසු මෙම කණ්ඩායම දෙවියන් හා සමාන තත්වයකට පත්වේ. කුමන ප‍්‍රහාරය නොසලකා සිටින්නේද කුමන ප‍්‍රහාරය වලක්වන්නේද යන්න එනම් කවුරුන් ජීවත් වන්නේද කවුරුන් මිය යන්නේද යන්න තීරණය කරනු ලබන්නේ ඔවුන් විසිනි. වරක් කණ්ඩායමේ සාමාජිකයෙකුගේ වැඩිමහල් සොහොයුරෙකු සේවය කරනු ලබන නාවික ඒකකයකට එල්ල කිරීමට නියමිත ප‍්‍රහාරයක් නොවලක්වා සිටීමටද කණ්ඩායමට සිදුවේ.
ලොව සැම තැන ආඥාදායක ඒකාධිපතීන්ට සිදුවූවාක් මෙන් හිට්ලර් නම්වූ ආඥාදායකයාගේ ඇදවැටීමට බලපෑවේ ඔහුගේ බල ලෝභීත්වය හා තමා උත්කර්ෂයට නගා ගැනීමේ උමතුවයි. ජර්මන් ජාතිකයන් යවනු ලබන සෑම ගුවන්විදුලි පණිවුඩයකම අවසානයේ Hail Hitler යනුවෙන් සටහන් කෙරේ. සෑම ගුවන්විදුලි පණිවුඩයකටම මෙම වාක්‍යය පොදු වන බැවින් එනිග්මා කේත විඛණ්ඩණය සදහා පාදක කරගනු ලබන්නේ මෙම වචන කිහිපයයි.
දෙවන ලෝක යුද්ධය මිත‍්‍ර පාර්ශවයට ජය හිමිකරමින් අවසාන වේ. යුධ ජයේ ගෞරවය හමුදා නිලධාරීනුත් දේශපාලන නායකත්වයත් බෙදාගන්නා අතර ටූරින්ගේ කණ්ඩායම රහස් හෙළි නොකිරීමේ දැඩි පොරොන්දු මත විසුරුවා හැරේ.
එසේ විසුරුවා හරිනු ලැබ ටික කලකට පසුව එනිග්මා විඛණ්ඩන කණ්ඩායමේ නායක දෙවන ලෝක යුධ ජයග‍්‍රහණයේ ප‍්‍රධාන අදිසි කොටස්කරුවා වූ ඇලන් ටූරින් අත්අඩංගුවට ගැනෙනුයේ ඔහු සමලිංගිකයෙකු (gay) වීම හේතුවෙනි. අධිකරණයෙන් ඔහුට විකල්ප දෙකක් ලබා දේ. එකක් නම් සමලිංගික ක‍්‍රියාකාරකම් වල යෙදීමේ වරදට සිරගත වීමය. අනෙක සමලිංගිකත්වය රෝගයක් ලෙස සලකා එයින් අත්මිදීම සදහා වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමය. තමා නිර්මාණය කළ පරිඝනකයට හා තම පර්යේෂණ කටයුතු වලට දැඩි ලෙස ආදරය කරන ඇලන් ටූරින් පරීක්ෂණ සිරගත වුවහොත් පරීක්ෂණ ඇණහිටින බැවින් දෙවන විකල්පය වන අධිසාන්ද‍්‍ර වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම තෝරාගනී.
යුද්ධාවසානයෙන් ටික කලකට පසුව ඇලන් ටූරින් බැලීමට යන එනිග්මා කණ්ඩායම් සාමාජිකාවක වූ ජොආන් ක්ලාක්ට දක්නට ලැබෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් ටූරින් කෙනෙකි. සමලිංගිකත්වය දුරලීම සදහා ලබාදෙන අධි සාන්ද‍්‍රිත ඖෂධ භාවිතයෙන් ඇතිවූ දැඩි අසාත්මිකතා වලින් ටූරින් පීඩා විදියි. ක‍්‍රියාශ‍්‍රීලීව තිබූ ශරීරය වැහැරී ගොස්ය. මුහුණ රළි ගැසී ඇස්වටා කලු පැහැ ගැන්වී ඇත. ඇවිදින්නේ කොරෙකු සේය. පොතක යමක් ලිවීමට පැන්සලය අල්ලා ගැනීමටවත් නොහැකි අයුරින් ඇගිලි ඉදිමී වෙව්ලයි. ජීවිත කෝටි ගණනක් බේරා ගැනීමේ ගෞරවය හිමිවිය යුතු 20 වන සියවසේ බිහිවූ විශිෂ්ටතම මොළය සමලිංගිකත්වයෙන් මිදවීම සදහා දුන් බෙහෙත් වලින් දියවී ගොස් ඇති ආකාරය දකින ජොආන් ක්ලාක් කම්පාවට පත්වේ. සමලිංගිත්වයෙන් සුවය ලැබීම සදහා රජයේ අධීක්ෂණය යටතේ ප‍්‍රතිකාර ලැබීමට නියම කර වසරකට පසුව එනම් වර්ෂ 1954 ජූනි මස 07 වැනි දින දෙවන ලෝක යුද්ධව වසර 2කින් කෙටි කළාවූ ඒ මහා ගණිතඥයා ඔහුගේ වයස 41ක් වන කාලයේදී සියදිවි නසාගනී.
කෙසේ වෙතත් ඇලන් ටූරින් සිදුකල සේවය අගයමින් ඔහුට සමාව ලබාදීමට වර්ෂ 2013දී එනම් ඔහු සියදිවි නසාගැනීමෙන් වසර 59කට පසුව දෙවන එලිසබෙත් රජිණ තීරණය කලාය.
මිනිසකුගේ ලිංගික ජීවිතය කිසිවකුට කරදරයක් හානියක් නොවන්නේනම් ඔහුටද එය ප‍්‍රශ්නයක් නොවන්නේ නම් අන් අය එය නිවැරදි කරවීමට වෙර දරන්නේ මන්ද යන ප‍්‍රශ්නය මෙම චිත‍්‍රපටය තුලින් ඉතා සංවේදී ලෙස පේ‍්‍රක්ෂකයා වෙත ඉදිරිපත් කර ඇත. රටට ලෝකයට වටිනා දායකත්වයක් ලබාගත හැකිව තිබූ සුන්දර මිනිසුන් කාන්තාවන් කීදෙනෙකු මෙම හේතුව නිසා කොන් කරනු ලැබ පීඩාවට පත්කරනු ලැබ ඇත්දැයි දන්නේ දෙවියන් පමණි.
එබැවින් ඔබ නැරඹිය යුතුම අසහාය සිනමා නිර්මාණයකි The Imitation Game.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment