Saturday, April 11, 2020

රවීන්ද‍්‍රනාත් තාගෝර්ගේ මනෝරාජිකය



 (2015 ජූලි 27 වැනි දින ලියන ලද පෝස්ටුවකි)
 
අපි හැමදෙනාටම මනෝරාජිකයක් තියනව. තේරෙන බාසාවෙන් කියනවනං ලෝකයෙ දේවල් සිද්ධ වෙන විදිය ගැන අපේම මානයක් අපි කාටත් තියනව. අහවල් දේ මෙන්න මෙහෙම වෙනවනං අපි කැමතියි කියල හැමෝටම අදහසක් තියනව. සමහරුන්ගෙ අදහස් ප‍්‍රායෝගිකයි. සමහරුන්ගෙ අදහස් ලස්සනයි. නමුත් මේ කපේදි ඉටු වෙන්නෙ නෑ. නමුත් අපි කවුරුත් අපේ මනෝ රාජිකය සැබෑවක් කරගන්න යමක් කවදහරි ජීවිතේදි කරල ඇති. රවීන්ද‍්‍රනාත් තාගෝර්තුමා තමන්ගෙ මනෝරාජිකය ගැන පුංචි කවි පෙළක් ලිව්ව. අපේ මහා කවි මහගම සේකරයන් ඒ කවිපෙළ ඇසුරින් බොහොම අපූරු ගීතයක් රචනා කළා. අර්ථ රසයට ශබ්ද රසය මුසුකරල ඔබෙත් මගෙත් දෙසවන් පිනවන අපූරු නිර්මාණයක් බවට ඒ ගීතය පත්කරල මියුරු හඩින් ගයන්නෙ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්.

අපේ රටේ මේ ගීතය ඇහෙන්නෙ දශක ගාණක ඉදන්. විවිධ අය මේකට විවිධ අර්ථකථන දුන්න. සමහරු කිව්ව මේ කියන්නෙ යුද්දෙ ඉවර වෙන්න කියලලු. මාක්ස්වාදී පාලන ක‍්‍රමයකට මේ ගීතයෙන් ආරාධනා කරන බව කියපු අයත් මට මුණගැහිල තියනව. තවත් සමහරු මේ ගීතය යද්දි අනේ වෙන එකකට දාපං කියනව. ඒ මේ ගීතයෙ අර්ථයට අකමැත්තෙද නැත්තං ගීතය පරණ හින්දද මං දන්නෑ.

කවුරු මොන අර්ථකථන දුන්නත් ඒ අපූරු පදවැල පුරාවටම විහිදිච්ච එක දෙයක් තියෙනව. ඒ තමයි නිදහස. හැම කෙනෙකුටම එක වගේ අයිති නිදහස. තමන් කැමති දෙයක් කරන්න කියන්න ලියන්න ඇති නිදහස. සිහිල් සුළං හමන මුහුදු වෙරළකට ගිහින් ඇස් දෙක පියාගෙන අත් දෙපසට විහිදුවාම නිදහස ගැන අපූරු හැගීමක් දැනෙනව. වතුරෙ ගිලිල නාන්න ගියපු වෙලාවක තමන්ගෙ නහය විතරක් වතුරෙන් උඩට තියාගෙන පාවෙනකොට වටපිට ගෝසාව ඇහෙන්නෙ නැතුව අපුර්ව නිස්කලංක බවක් දැනෙනව. අපි කවුරුත් ඒ හැගීමට ආසයි. අපිට කිසි කෙනෙක් ඒ විදියට මුහුදු වෙරළට ගිහින් නිදහස විදින්න බාධා කරන්නෙ නෑ. වතුරෙ ගිලිල නිහඩ බවේ අපූර්වත්වය විදිද්දි කිසි කෙනෙක් අපි ඒ හැගීමෙන් ඇහැරවන්න එන්නෙ නෑ. එහෙම එනවට අපි කැමතිත් නෑ.

නමුත් යම් අදහසක් දරන්න මිනිසුන්ට තියෙන නිදහස සම්බන්දයෙන් එහෙම තත්වයක් තියෙනවද කියල ලොකු ප‍්‍රශ්නයක් තියනව. ආගම් වලින් ජාති වලින් මිනිස්සු බෙදිල තමන් විශ්වාස කරන දේ විස්වාස නොකරන උන් මිත්‍යා දෘෂ්ටිකයො ගාණට දාල තියනව. අනිත් උන් ගෞරවයෙන් සළකන දේ විහිලුවට ගන්නව. බහුතරයක් රටවල තියෙන්නෙ වවුලගෙ ගෙදර ගියානං එල්ලිලා හිටු කියන මූලධර්මය. බොහෝ රටවල් අනන්‍යතාවය කියන වෙස් මූණට මුවා වෙලා තමන්ගෙ පළිගැනීම් අධිපතිවාදය එක් ජාතියක් ආගමක් උත්කර්ෂයට නැගීම ආදියෙන් තමාගෙ ජාතියෙ ආගමේ සැබෑ අනන්‍යතාවයෙ කෑලිත් නැති කරගෙන තියනව.

සමානාත්මතාවය වැදගත් කියල හැමෝම මූනිච්චාවට කියනව. සමානාත්මතාවය කියන්නෙ සැමට සමානව සැළකීමයි කියල ගොඩක් තැන්වල වැරදියට අර්ථ නිරූපණය වෙනව. නමුත් ඇත්තටම කොකා තේ බොන කෝප්පෙ නරියට දුන්නොත් නරියට තේ බොන්න බැරුව යනව. එතන සමානාත්මතාවයක් නෑ. කොකා ඌ තේ බොන විදියෙ උස භාජනේකින් බොද්දි නරියට තැටියකට තේ දාල දුන්නම දෙන්නටම තේ බොන්න පුලුවන් වෙනව. ඒ අනුව සමානාත්මතාවය ඇතිවෙන්නෙ ක‍්‍රියාවලියෙ නෙවෙයි. අවසාන ප‍්‍රතිඵලයෙ. අපි හැමෝම මේ වැදගත් සිද්ධාන්තය අමතක කරනව.

අපි හැමෝටම අදහස් දැරීමේ් නිදහස වගේම ප‍්‍රකාශ කිරීමේ නිදහසත් තියනව. නමුත් අපේ නිදහස ආරක්ෂා වෙන්නෙ අනෙක් අයගෙ ඒ නිදහසට ගරු කිරීම තුල කියල අපි අමතක කරනව. හරි දේවල් තියෙන්න පුලුවන් එකයි කියන බොහොම පටු ආකල්පයෙ අපි එල්බගෙන ඉන්නව. ඒක සාපෙක්ෂයි කියන එක අමතක කරනව. හරි දේවල් එකක් දෙකක් නෙවෙයි ලක්ෂ ගාණක් තියෙන්න පුලුවන් කියන යථාර්ථයට අපි විසි එක් වෙනි සියවසේ ඉදලත් පයින් ගහනව. ඉතිං හැමදාම මම හරි කිය කිය රණ්ඩු වෙවී ඉන්නව.

හැමෝම විසදුම මොකක්ද අහනව. අවුරුදු 2500කට කලින් බුදු හාමුදුරුවො බොහොම පැහැදිලි විසදුමක් දෙනව. අපි ඒව අමතක කරල බුදු දහමට පසුකාලීනව තියල ඔතපු ''හරක් මස් නොකනු'' වගේ සටන් පාඨ උස්සං දුවනව. තමංව උපමා කරල හිතන්නය කියල බුදුරජානන් වහන්සෙ දේශනා කරනව. ඒ පුංචි වචන ටිකේ ලොකු තේරුමක් තියනව. සමහරු මෙකෙන් කියවෙන්නෙ හැමෝම තමං වගේය කියලයි කියනව. ඒකෙත් පොඩි ඇත්තක් තියනව. නමුත් හැමෝම තමං වගේම හිතක් පපුවක් මොළයක් තියෙන ඇට ලේ මස් නහර වලින් හැදිච්ච අය කියන වඩාත් පුලුල් අර්ථකථනය ඒකට වඩාත් ගැලපෙනව. ඒ අනුව ඒ ඒ අයට සුවිශේෂ සිතුවිලි අවශ්‍යතා ආශාවන් ආකල්ප වැනි දේ උපදින්න පුලුවන් කියන විශ්ව සත්‍ය බුදුරජානන් වහන්සේ මේ වචන කීපයට ගොණු කරල තියෙනව. එතකොට අපිට දැං තියන ප‍්‍රශ්න ගොඩකට විසදුම ඒ වචන කීපය තේරුම් ගැනීම තුල හැංගිල තියනව.

ඒ වචන තේරුම් ගත් මිනිසා අන් අයට ගරු කරනව. අනෙකාගෙ අදහස් පිළි නොගත්තත් ඔහුගෙ උදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරනව. ඒ වෙනුවෙන් කතා කරනව. අන් අයටත් අපිට වගේම විවිධ සිතුවිලි පහළ වෙන්න පුලුවන් නිසා ඒ සිතුවිලි උපේක්ෂාවෙන් ඉවසනව. කිසි කෙනෙකුට තමන්ට ආවේණික අදහසක් මතවාදයක් දරන්න බය වෙන්න දෙයක් නෑ. එවැනි අවබෝධයකින් යුක්තව පටු දේවල් වලට තමන්ගෙ කාලෙ නාස්ති නොකරන අපූර්ව මිනිසුන්ගෙන් පිරුණු ලෝකය ස්වර්ග රාජ්‍යයක්ම නොවේද.

රවීන්ද‍්‍රනාත් තාගෝර්තුමාගෙ මනෝරාජිකය මම දැක්කෙ එහෙමයි. සීයට සීයක් සාර්ථක නොවියහැකි වුණත් සාර්ථක කරගන්න උත්සාහ කරල බලන්න වටින ලස්සන හීනයක් වගේ නේද.

ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...