Sunday, April 12, 2020

''ලියතඹරා'' ''ආයෙමත් ආදරෙන්'' සහ මම

(2016 දෙසැම්බර් 15 වැනි දිනැති පොස්ටුවකි)

අපි හින්දි සින්දු අහන්නෙ ඇයි. හින්දි සින්දු අහන අපේ රටේ කීයෙන් කී දෙනෙක්ද හින්දි තේරෙනවද. සීයට අනූවකටම එක වචනයක් වත් තේරෙන්නෙ නෑ. ඒත් අපි හැමදාම හින්දි සිංදු අහනව. ඒක තමයි සංගීතයේ තියෙන අරුමය. අපිට කිසිවක් නොතේරුණත් අපේ හිත සුවපත් කරන්න වින්දනයක් ලබාදෙන්න සංගීතය සමත්. අන්න ඒ වගේ මගේ ජීවිතේ මගේ ප‍්‍රියතම ගීතය මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් මම දෙන උත්තරේ තියෙන ගීතයට මං ආස කරන්න පටන්ගන්නකොට මට යාන්තමට අවුරුදු දෙකක්වත් නෑ. හය හතර නොතේරෙන මාව වුණත් බදා වැළදගන්න පුලුවන් ආදරණීයත්වයක් ඒ ගීතයෙ තිබ්බ.

ඒ තමයි ආත්මා ලියනගේ ගෙ ලියතඹරා. ගීතය ඇරඹෙනකොටම තඩි ඊයම් බරුවකින් පපුව මැද්දෑවට පතබෑව වගේ අමුතු ආකර්ශණයක් ඇතිවෙන විදියෙ සංගීත කණ්ඩයකින් පටන්ගෙන ඒ ආකර්ශණීය බව ගීතය පුරාවටම රැදෙන ඉතාම විරළ ගණයේ අපූරු ගීතයක් තමයි ලියතඹරා.
මුලින්ම ලියතඹරා රූපවාහිනියෙ දකිනකොට ඒකත් අමුතුම හැගීමක්. මූණ පුරා රවුල වවාගත්තු කෙට්ටුම කෙට්ටු අංකල් කෙනෙක් කාටවත් නැති අමුතුම කටහඩකින් තනියම ඔගන් එකක් ගහ ගහ සින්දු කියනව. ඒ අංකල් ආත්මා ලියනගේ කිය මට කියල දුන්නෙ අප්පච්චි. මමත් පුංචි කමට ඉදගෙන නෝකෝල් එක්ක බත් කකා බලාගෙන ඉන්නව.

ආත්මා ලියනගේ කියන්නෙ අනූව දශකයේදි සුවිශේෂ අනන්‍යතාවයක් තිබුණ ගායකයෙක් සහ සංගීතඥයෙක්. කේමදාස මාස්ටර්ගෙ තනුවක් ඇහෙන පමාවට මේක මාස්ටර්ගෙම තනුවක් කියල කියන්න පුලුවන් වගේ ක්ලැරන්ස්ගෙ සින්දුවක් කවුරු කිව්වත් ඔය කියන්නෙ ක්ලැරන්ස්ගෙ සින්දුවක් කියල සංගීතය ඇසූ පමණින් කියන්න පුලුවන් වගේ ඔහුටම සුවිශේෂි ආවේණික අනන්‍යතාවයක් ආත්මාගෙ සින්දු වල තිබ්බ. ලියතඹරා, සමනලියා, මිලාන වී යන අපගේ ආලේ, එපා කදුලැල් සලා, සද හිරු තාරකා වගේ සින්දු වල ඒ ආත්මා ලකුණ හැමදාම සනිටුහන් වෙලා තිබුණ.

ඒ අනූ ගණන්වලදි. ඊට පස්සෙ මොකක්දෝ හේතුවකට ආත්මා ලියනගේ කියන ඒ අසහාය ගායන ශිල්පියා දශක දෙකක විතර කාලෙකට නිහඩ වෙනව. ඒ නිහැඩියාවට හේතු වශයෙන් විවිධ අය විවිධ කතා කිව්ව. ඒත් ආත්මාගෙ රසිකයො අනූව දශකයෙ අවම පහසුකම් යටතේ පටිගත කරපු ගීත කිහිපය රස විද විද හැමදාම ආත්මා වෙනුවෙන් හිටිය.

ඉන්පස්සෙ ආත්මා නැවතත් කරළියට එන්නෙ තවත් සුවිශේෂ සිංදුවකින්. ඒ සිංදුව ලියන්නෙ අපට සමකාලීනව කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ හිටපු රචිතා වාකිෂ්ඨ. සංගීතවත් කරන්නෙ තිලිණ රුහුණගේ. ඒ ගීතය තමයි ආයෙමත් ආදරෙන්.

අනූව දශකයේ ආත්මාගෙ ගීත වල තිබුණ අනන්‍යතාවය මේ ගීතයෙන් තරමක් වෙනස් ආරකට යොමු වුණත් ආත්මාගෙ යාවජීව රසිකයො වගේම තරුණ පරපුරත් මේ ගීතය හරි ආසාවෙන් බදා වැළදගන්නව.

ඒ කිව්වෙ ආත්මා ගැන. දැන් කියන්න යන්නෙ මං ගැන. මම මූලික අධ්‍යාපනය ලබපු පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහා විද්‍යාලයේදි මා සැලකුණේ සිංදු කියන්න පුලුවන් ළමයෙක් හැටියට. සාමාන්‍යයෙන් සමිති සමාගම් වල මම කතා පැවැත්වුවා වගේම සිංදුත් කිව්ව. මම පින්නවල ජාතික පාසැලට ගියාට පස්සෙ තත්වය ටිකක් වෙනස් වුණා. ඒකට හේතු දෙකක් තිබ්බ. පළවෙනි හේතුව මට වඩා සින්දු කියන්න පුලුවන් අය පන්තියෙ සිටීම. දෙවන හේතුව ටිකක් විශේෂ එකක්. යමක් කරන්න උත්සාහ කරන කෙනෙකුට වැරදුණාම සමච්චලේට හිනාවෙන කින්ඩි දාන පොල්ගහවෙල ආදර්ශයේ නොතිබුණ බාල සංස්කෘතියක් පින්නවල ජාතික පාසැලේ තිබ්බ. ඒ නිසා මට සින්දු කියන්න බෑ කියල අදහසක් මගේ හිතේ මුල්බැසගත්තෙ මමත් නොදැනිම.

ඉන් පස්සෙ මම සින්දු කියන්න පටන් ගත්තෙ විශ්ව විද්‍යාල ජීවිතේදි. හොස්ටල් එකේ සතියකට දෙකකට වතාවක් නොවැරදීම පැවැත්වෙන මධුවිත සාද වලදි සින්දු කියද්දි මගෙ යාලුවො ඒකට මාව උනන්දු කරද්දි මට සින්දු කියන්න පුලුවන් කියන අදහස නැවතත් මගෙ හිතට ආව. ඔහොම පාටි වලදි මේස වලට ගගහ සින්දු කිය කිය ඉදල 2009 නවක අභිනන්දන උළෙලෙදි තමයි මම මුලින්ම ප‍්‍රසිද්ධ වේදිකාවක සින්දුවක් කිව්වෙ. ඒ මර්වින් පෙරේරා මහතාගෙ මා සනසා සිංදුව. නොහිතූ විදියට යහපත් ප‍්‍රතිචාර සිංදුවට ලැබුණ. ඉන් පස්සෙ අපේ ෆැකල්ටියෙ තිබ්බ හැම උත්සවයකදිම අනිවාර්යයෙන්ම අථිල අතාවුද නොහොත් අතා සින්දු කිව්ව.

ආත්මගෙ ලියතඹරා සින්දුව මම මුලින්ම කිව්වෙ ජගත් අයියගෙ වෙඩින් එකේදි. ලියතඹරා කියන්න ආසයි ඒත් කියල නැති නිසාත් ටිකක් කියන්න අමාරු සින්දුවක් නිසාත් මම කියනව අහගෙන ඉදල අවුලක් නැත්නම් thumbs up එකක් දෙන්න කියල කලින්ම අම්මට කියලයි මම මයික් එක ගත්තෙ. සින්දුව කියල මම අම්ම දිහා බැලුව. අම්ම හිනාවකුත් එක්ක thumbs up එකක් දුන්න විදියෙන් මම දැනගත්ත වැඩේ ගොඩ කියල. වෙඩින් එකේ මම දන්න අදුනන හැමෝම සින්දුව අගය කළා. එදා ඉදන් මට අනිත් සින්දු වලට වඩා ලියතඹරා කියන්න ලොකු ආත්ම විශ්වාසයක් ආව.

hASTA LA VISTa අපි දුන්න Going Down එකෙදි තමයි ප‍්‍රසංග වේදිකාවක මම ලියතඹරා මුලින්ම කිව්වෙ. එදා අපේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය නදීෂා හේමමාලි තමන් ළගින් වාඩි වෙලා හිටපු කමනිට කියල තිබුණ මම ඒක හොදට කිව්වයි කියල. එදා ඉදන් මගේ ප‍්‍රධාන ගීතය වුණේ ලියතඹරා.

අපි කැම්පස් එකෙන් අවුට් වෙන්න කලින් අපිට දීපු එකේදි තමයි මම ආයෙමත් ආදරෙන් මුලින්ම කිව්වෙ. මට සින්දුවක් කියද්දි කිසිදාක නොදැනුණ ආත්ම විශ්වාසයක් එදා දැනුණ. සින්දුවත් නියමෙට ආව. සිංදුව ලියපු රචිතා වාකිෂ්ඨත් සින්දුව අහන් ඉදල ඒක අගය කරල තිබ්බ කියල මම දැනගත්තෙ පස්සෙ දවසක.

ඔන්න ඔය ඉතිහාසෙත් එක්ක 2016 දෙසැම්බර් 15 දවස උදාවුණා. නීතිඥ වරුන්ගෙ වසර අවසාන සාදයෙදි මම කියන්නෙ මොන සින්දුද කියල සමන් අහනකොට මම නොපැකිල ලියතඹරා සහ ආයෙමත් ආදරෙන් තෝරගත්ත. ඉතින් මගේ සහ තවත් නීතිඥවරුන් ගණනාවකගෙ ගායනා රසවිදින්න අද දිනයෙ කුරුණෑගල අවට ඉන්න හැම නීතිඥ සහෝදර සහෝදරියකටම පිලැස්ස ජයෝදා හෝටලයට එන්න කියල ගෞරවයෙන් ආරාධනා කරනව.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...