Sunday, April 12, 2020

මගේ කුළුදුල් පෙම්වතිය - සන්නස්ගල

(2017 ජනවාරි 4 වැනි දිනැති පොස්ටුවකි)

මට අවුරුදු 7ක් විතර කාලෙදි කිරිඅම්මා ටී.බී. ඉලංගරත්නගෙ ''හපනා'' පොත ගෙනත් දුන්න දවසෙ ඉදන් අද වෙනකල් දිනපතා මොකක් හරි පොතක් කියවපු මිනිහෙක් මම. බැරි වුණානම් ඒ ඉතිං කළාතුරකින් දවසක තමයි. සිංහල නවකතා සාහිත්‍යයේ ඩබ්ලිව්. ඒ සිල්වාගේ හිගනකොල්ලා සිට මංජුල වෙඩිවර්ධනගෙ බත්තලංගුණ්ඩුව දක්වාත් විශ්ව සාහිත්‍යයේ පාවුලෝ කොයියෝ ගේ මිනිත්තු එකොළහේ කතාවේ සිට පියදෝර් දොස්තොයිවොස්කිගේ අපරාදය හා දඩුවම දක්වාත් පුළුල් පරාසයක විහිදෙන එක අතකින් බැලුවාම කෙනෙක් කියවන්න හීනෙන්වත් නොහිතන තරමේ පොත් කන්දරාවක් මං කියවලා තියෙනවා. උපුල් ශාන්ත සන්නස්ගලගෙ ''මගේ කුලුදුල් පෙම්වතිය'' කාලෙක ඉදන් කියවන්න හිතපු පොතක් වුණාට කියවන්න ලැබුණෙ දැන් තමයි. වෙන කිසිම පොතකින් නොදැනුණ අපූර්ව හැගීමක් දනවපු පොතක්. කියවල මට ගොඩක් දේ හිතුණ. සමහරු කියනව වගේ සන්නස්ගලගෙ හැම පොතකම තියෙන්නෙ ජීවන අත්දැකීම්ද? එහෙනම් අම්මා පොතට ගොඩක් අය කීව වගේ මේ පොතෙත් සන්නස්ගල තමන්ගෙ ආත්මය විකුණං කාලද? නැත්නම් ඒක ලේඛකයෙකුට කළාතුරකින් පිහිටන විදියෙ අපූර්ව පරිකල්පන ප‍්‍රතිභාවක්ද? පොතක් ලිව්වම යමක් විකුණං කනව කියල සමහරු අපහාස කරන්නෙ ඒ පොත නොමිලේ බෙදන්න ස්පොන්සර් කරන්න ලෑසිති පිටද? අවුරුදු 28දි කියවනව වෙනුවට මං මේ පොත 18දි කියෙව්වනම් සන්නස්ගල කියන ඒ සුන්දර ලැම්බට් කමට මාත් ආදරය කරල ටීච කෙනෙක් එක්ක ලැම්බට් වෙන්න හදයිද? වගේ ගොඩක් දේ. 

ඒකට නයනිගෙයි ලිහිණිගෙයි ආදර කතාව කියනවට වඩා මං කැමති ලිහිණිගෙ ආදර කතාව කියන්න. (වරදවා හිතන්න එපා ලිහිණි කියන්නෙ කොල්ලෙක්) ඒ කොල්ලා තමන්ට උසස්පෙළ පන්තියෙ උද්භිද විද්‍යාව උගන්වන්න ආපු තරුණ ගුරුවරියට පෙම් බදිනවා. ඒක අපූරු පෙමක්. මුලින්ම සියල්ලන්ගේ බාධක මධ්‍යයේ ඊට එරෙහි වෙන උන් මරා දමන මොරාල් එකකින් නැගලා ගිහින් එක අවස්ථාවකදි ලිහිණිට පිස්සු වට්ටලා ජීවිතේ මුහුකුරා යාමේ එක් අතුරු ප‍්‍රතිඵලයක් ලෙස සහ තවත් හේතු කන්දරාවක් හින්දා සෞම්‍ය භාවයට පත්වෙන අපූරු ආදර කතාවක් ඒ පිටු දෙසිය අසූ හතරෙ තිබුණ.

සමහරු මගේ මේ සටහන දැක්කම සන්නස්ගලගෙ පොතක් ගැන හින්ද මේකවත් කියවන එකක් නෑ. කියවලා මට තරම් ''මෙව්වා එකක්'' නොදැනිච්ච අය ''පිස්සුද බං උබට? උඹ හොද පොත් කියවලා නෑ මේකට හොදයි කියන්න'' කියයි. එහෙම තමා සාහිත්‍යයේ අපූර්වත්වය. විවිධාකාරයි. එකිනෙකාට සාපේක්ෂව විදින ආකාරයත් වෙනස්. මම ඒ පොත ආසාවෙන් වින්දා. ඒ පොතේ වචනයක් පාසා විස්තර වන ලිහිණිගේ මනෝ මන්දිරය පුරා මාත් ලිහිණිත් එක්ක සැරිසැරුවා. ඒ නිසා මට කටපුරා කියන්න පුලුවන් මං ඒක උපරිමයෙන් රස වින්දා. තවත් ඒ රසය දැනුණ අය ඉන්නවනං මං කැමතියි ඒ අත්දැකීම දැනුණ හැටි බෙදාගන්න.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...