Sunday, April 12, 2020

2018

(2018 දෙසැම්බර් 31 වැනි දිනැති පොස්ටුවකි)

උපන්තේකට ගෙවුණු අභියෝගාත්මකම වසරක් නිමාවිය. වසරේ අවසාන දිනයේ දැනෙන්නේ හෙවිවේට් බර පන්තියේ බොක්සිං තරගයකට සහභාගි වූවාක් මෙන්වූ හැගීමකි. සැබැවින්ම වර්ෂය මුලසිට අග දක්වාම දිගටම අභියෝගාත්මක විය. එනයින් එය පරාජිත වසරක් බවක් කිසිසේත් අදහස් වන්නේ නැත. වසරේ අවසාන දිනයේදී සැළකිය යුතු තරමේ විදවිය යුතු ආබාධ හෝ තුවාල නොමැතිව, අලුතින් ජීවිතයට එකතු වූ වටිනා දෑ රාශියක්ද සමග ඉදිරි වසරට යාමට හැකිවීමම ජයක් වන්නේය.

ජීවිතය එන්න එන්නම අභියෝගාත්මක වීම එහි ස්වභාවයයි. කාලය තාක්ෂණය ආදියේ වෙනසත් සමගම අභියෝග වල ස්වභාවය පවා වෙනස් වී ඇත. එම අභියෝගයන්ට නොසැළී සාර්ථක ලෙස මුහුණදීම ජීවිතයයි. 

ජයගැන්මට අසීරු අභියෝග රාශියක් පසුකළ අයෙකුට තමාගේ මෑත අතීතය දෙස ආපසු හැරී බැලීමම මහත් වූ ප‍්‍රහර්ෂයට හේතුවක් වනු ඇත. මන්ද ඔහු පසුකර පැමිණි හැළ හැප්පීම් බාධක කම්කටොළු ඔහුගේ අතීතය වචනයෙන් වචනය රසවිදිය හැකි රසවත් කතාන්තරයක් බවට පත්කැර ඇති නිසාය.

දුන්හිද ඇල්ල දෙස දුර සිට බැලීම ප‍්‍රිය උපදවනසුළුය. නමුත් ඒ සුන්දර පෙණකැටි විසිරෙන්නේ අධික වේගයෙන් ජලය ගල්වල ගැටීම හේතුවෙන් බව දිය ඇල්ලක යථාර්ථයයි. එබැවින් දුන්හිද ඇල්ල වීම ලෙහෙසි නැතිවා පමණක් නොව තරමක වේදානාකාරී කටයුත්තක්ද වන්නේය. කෙතරම් හැළහැප්පුණද පෙණකැටි විසුරුණද ඇල්ලේ දිය වැටෙන්නේ ඇල්ල පහලටමය. එය කිසිදු හැළහැප්පීමක් නොමැතිව අවර්ණව කඩා හැලුණේ නම් කිසිවකු දුන්හිද බැලීමට දුර්ග මග ගෙවා නොයනු ඇත. ජීවිතයද එසේ්මැයි.

ගෙවුණු 2018 වසර පිළිබදව ඔ්නෑම ශ‍්‍රී ලාංකීය පුරවැසියකුගේ කියැවීම ඉහත මාගේ කියැවීමට බොහෝ දුරට සමාන වනු ඇත. එම වසර අළලා පොතක් ලියුවහොත් එය එකවිට ත‍්‍රාසජනක ශාස්ත‍්‍රීය බොළද හාස්‍යජනක මෝඩ මෙන්ම ආදර්ශවත් යන සියලු වර්ගීකරණයන්ට එකවර වැටෙන අපූරු ග‍්‍රන්ථයක් වනු ඇත. මන්ද ඒ සියළු වර්ගීකරණයන්ට අදාළ සිද්ධීයන් අඩු නැතිව මෙම වසර තුල අප සියලු දෙනාම වින්දනය කර ඇති නිසාය.

මා ඇසුරු කළ සියලු දෙනාගෙන්ම මම කුමක් හෝ පාඩමක් උගෙන ඇත. ඒ පාඩම් සතුටුදායක වුවද අමිහිරි වුවද එයින් මට ජීවිතයට උකහා ගැනීමට ලැබුණු ඉගෙනුම් ඵලය හැම විටම අර්ථාන්විත විය. එබැවින් සතුටුදායක හා අමිහිරි පාඩම් ඉගැන්වූ සියල්ලන්ටම ස්තූතිවන්ත නොවනවානම් එය මහත් අකෘතඥකමෙකි.

2019 වඩා පහසු වේවා යැයි මා පතන්නේ නැත. මාගේ එකම ප‍්‍රාර්ථනය 2019 වසරේ පැමිණෙන සෑම අභියෝගයක්ම අර්ථාන්විත ලෙස ජයගැනීමට හැකියාව, ධෛර්යය හා ශක්තියලැබේවා යන්න පමණි. නිදුක් නිරෝගී සුවය සශ‍්‍රීකත්වය ස්ථානෝචිත ප‍්‍රඥාව යනාදී අමතර ජීවන සළුපිළි අවස්ථානුකූලව ලැබුණොත්, අනේ ඉතිං හොදය.

මාගේ පවුලේ සාමාජිකයන්. ඥාතීන්, පුද්ගලික හිතමිත‍්‍රයන්, බුකීවාසී හිතමිත‍්‍රයන්, බුකීවාසී පාඨකයන්. මාගේ සේවාදායකයන්, මාගේ ශිෂ්‍යයන්, සතුරන් වෙතොත් ඔවුන් ආදී ඇසුරු කිරීමට ලැබුණු නොලැබුණු මා කෙර් හිතවත් මෙන්ම අහිතවත් යහපත පතන හා අයහපත පතන ආදී සියලුම දෙනාටත් මා කරන්නේ ඉහත ප‍්‍රාර්ථනයයි. එනම් සියලුම අභියෝග අර්ථාන්විතව ජයගැනීමට හැකියාව ශක්තිය හා ධෛර්යය ලැබේවා යන්නයි.

හෙට සිට අලුත් වසරකි. නව බලාපොරොත්තු සමග නව ජවයකින් ඉදිරියට යාම වඩා හොද ප‍්‍රතිඵල අත්කර දෙනු ඇත.

2018 ට ආයුබෝවන්
ආයුබෝවන් 2019..............

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...