Tuesday, April 14, 2020

ජයගැනීම, පැරදවීම සහ සාධාරණ තරඟය

2019.10.08

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් ගොණු කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් පසුගියදා ඉවත දමන ලදී.

එයට අදාළ ලිඛිත නඩු තීන්දුව මේ මොහොත වන විටත් ලැබී නොමැති තත්වයක් තුල එකී තීරණයට අධිකරණය පදනම් කරගන්නා ලද හේතු සවිස්තරාත්මකව දැනගැනීමට තවමත් හැකියාවක් නැත. ඒ අවසරයෙන් පෙත්සමක් ඉවත දැමීම සහ වගඋත්තරකාර පාර්ශවයක ස්ථාවරය පිළිගැනීම අතර වෙනස නොදත් ඇතැම් පිරිස් එය දේශපාලනික වශයෙන් තම තමන්ට වාසිදායක වන ආකාරයට හිතූ මනාපයට අර්ථ නිරූපණය කරනු පෙනේ. නමුත් සත්‍ය තත්වය නම් අප තවමත් දන්නේ අභියාචනාධිකරණය විසින් පෙරකී පෙත්සම ඉවත දැමූ බව පමණි.

එම තත්වය එසේ තිබියදී පෙරකී නඩුව පැවරීම සම්බන්ධයෙන් බො⁣හෝ දෙනාගේ නොසතුට පලවෙනු දක්නට ලැබුණි. එසේ නොසතුට පළකල අයගේ ස්ථාවරය වූයේ "ගෝඨාභය පැරදවීමට අවශ්‍ය නම් එය ඡන්දයකදී නොකරන්නේ ඇයි?, එය ජනතාවට භාර නොදෙන්නේ ඇයි?" යන්නයි. ගෝඨාවාදී පිරිස් මෙන්ම ඇතැම් ගෝඨා විරෝධීන්ද එම ස්ථාවරය දරනු මම දුටුවෙමි.

⁣තරඟ වැදීමට ඉඩදීම කෙසේ වෙතත් තරඟ වදින්නේ වලංගු තරඟකරුවන්ද යන්න තහවුරු කරගැනීමේ අවශ්‍යතාවය සහ අයිතිය පෙරකී කණ්ඩායම් විසින් නොසලකා හැර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතියයි. අප සියල්ලෝම ඊට යටත්ය. එහිදී "ජනාධිපතිවරණයට ඉදිරිපත් වන යම් අපේක්ෂකයෙකු එකී ව්‍යවස්ථාව දක්වන මූලික නෛතික සුදුසුකම් සම්පූර්ණ කර තිබේද?" යනුවෙන් අසන ප්‍රශ්නය නීතියට අනුව අතිශය වලංගු ප්‍රශ්නයකි. එම ප්‍රශ්නය හෑල්ලු කරන්නේ යමෙක්ද, හේ හෑල්ලුවට ලක්කරනනේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

කෙසේ වෙතත් සවිස්තරාත්මක තීන්දුව ලැබුණු පසු දැනගන්නට ලැබෙනු ඇති යම් හේතුවක් මත පෙරකී පෙත්සම ඉවත දමනු ලැබිණි. එයට හේතුව යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් 2005 නොවැම්බර් 21 දිනැතිව නිකුත් කරන ලද ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය වලංගු එකක්ය යන ස්ථාවරයට අධිකරණය පැමිණීම නම්, ඒ හා සමගාමීව තවත් ගැටලුවක් පැනනගී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92(ආ) අනුව්‍යවස්ථාව අනුව 91 වන ව්‍යවස්ථාව්‍ෙ (ඈ) අනුව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරාපත්කරගැනීමට නුසුදුස්සෙකු වීම ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගැනීමට නුසුදුසුකමක් බව දක්වා ඇත.

91 (ඈ) (Xiii) අනුව්‍යවස්ථාවට අනුව වෙනත් රටකද පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් සදහා නුසුදුසු වේ.

ඒ අනුව පෙරකී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය වලංගු එකක් නම් ඉහත සදහන් නෛතික ප්‍රතිපාදනය අනුව ගෝඨාභය රාජපක්ෂ නැවතත් ජනාධිපතිවරණය සදහා තරග කිරීමට නුසුදුස්සෙකු වේ.

ඒ සඳහා සුදුස්සෙකු වීමට නම් ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය නිසිපරිදි ඉවත් කරගෙන ඇති බව පෙන්විය යුතු වේ. ඒ සඳහා සමාජ ජලා ඔස්සේ සංසරණය වූ යම් ලේඛනයක ඡායා පිටපතක් පමණක් දක්නට ලැබුණි. නමුත් මේ දක්වාම ගෝඨාභය රාජපක්ෂ තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය නිසිපරිදි ඉවත් කරගෙන ඇත්තේද යන්න රටේ බහුතරයක් ජනයා එම කඳවුරෙන් දේශපාලන කතාවක් ලෙස කියැවෙනවාට පිළිගන්නවා විනා සහසුද්දෙන් දන්නේ නැත.

එය සමහරවිට නිසි පරිදි ඉවත් කරගෙන තිබෙනවා වන්නට පිළිවණ. නමුත් එය නාම යෝජනා භාරදෙනු ලබන අවස්ථාවේදී අභියෝගයට ලක්කල හැකිව තිබූ එසේ කළ යුතුව තිබූ තත්වයකි. එම අවස්ථාව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු නාමයෝජනා භාරදෙන ලද අනෙකුත් අපේක්ෂකයන් 34 දෙනා විසින්ම පැහැර හරින ලදී. ඒ ගෝඨාභය රාජපක්ෂ තම ඇමෙරිකානු පුරවැසිභාවය නිසිපරිදි ඉවත් කරගත් බව ඔවුන් සහසුද්දෙන් දැන සිටි නිසාද, නැතහොත් ඔවුන් අතර තිබූ යම් එකඟතාවක් මතද යන්න තවමත් පැහැදිලි නැත.

මෙහිදී අනෙක් පක්ෂ කුමක් කීවද ජනතා විමුක්ති පෙරමුණද ඒ පිළිබඳව දරණ ලද්දේ දියාරු මතයකි. යම් හෙයකින් එය අභියෝගයට ලක්කිරීමෙන් පසු එයද පරාජයට පත්විණිනම් ඒ හරහා ගෝඨාභයට අත්වන වාසිය සහ තමන්ට අත්වන අපවාදය පිළිබඳව දේශපාලනිකව සළකා බලා ඔවුන් එසේ නොකර සිටියා විය යුතුය.

නමුත් අවසානයේ ජනාධිපතිවරණය සාධාරණ තරඟයක් බව තහවුරු කරගැනීම සඳහා එයට තරඟ වදින්නෝ ඒ සඳහා රටේ උත්තරීතර නීතියට අනුව වලංගු තරඟකරුවන් බවට තහවුරු කරගැනීම සඳහා ජනතාවට ඇති අයිතිය වෙනුවෙන් පෙරට ආ කෙනෙක් නැත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...