Tuesday, April 14, 2020

ගිනිගත් රැයක්

ශ‍්‍රී ලංකාවෙ රූපවාහිනී නාලිකා වල දවස් හතට ටෙලිනාට්‍ය හතක් විකාශය වෙච්ච කාලයක් තිබුණා. ඒ කාලෙ තිබුණ ගොඩක් ටෙලිනාට්‍ය එකකට එකක් නොදෙවෙනි එකකට එකක් වෙනස් ඒවා. දැන් තියනව වගේ සාමාන්‍ය ජීවිතයම ආපහු රගපාල අපිට පෙන්නන ටෙලිනාට්‍ය සංස්කෘතියට වඩා ගොඩක් ප‍්‍රබල වස්තු විෂයන් එක්ක ගොඩනගපු නිර්මාණාත්මක ගුණයෙන් ඉහළ ටෙලිනාට්‍ය එදා තිබුණා. රාත‍්‍රි 8.30 ඉදන් 9.00 වෙනකල් රූපවාහිනී යන්ත‍්‍රයක් ගෙදර තියන කාගෙත් ටෙලිනාට්‍ය අඩපැය. දැන් වගේ එක සීරුවට පැය දෙක තුන ටෙලිනාට්‍ය හතරක් විතර නොබැලුුවට පවුලේ කවුරුත් එකතුවෙලා ඒ ලස්සන සුන්දර ටෙලි නිර්මාණ ආසාවෙන් බැලුවා.

ඒ කාලෙ තිබුණ ගොඩක් තදින් මතකයේ රැදුණ ටෙලිනාට්‍යයක් තමයි ගිනිගත් රැයක්. ඒක ගොඩක් කෙටි ටෙලිනාට්‍යයක්. මට මතක විදියට කොටස් 15ක් විතර තමයි තිබුණෙ. ඒත් ඒ කොටස් 15 නරඹන්නාව ගොඩක් තදින් ඇද බැදගන්න සමත් වෙලා තිබ්බා. පිටපත මට මතක විදියට ටෝනි රණසිංහගෙ.

ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතය රගපෑවෙ වසන්ත කොටුවැල්ල කියන විශිෂ්ඨ නළුවා. ටෙලිනාට්‍යයට අදාළ පින්තූරයක් හොයාගන්න බැරිවීම නිසා මෙතන දාලා තියෙන්නෙ ඔහුගෙ පින්තූරයක්. ඊට අමතරව ආනන්ද වික‍්‍රමගේ, ඇන්ජෙලා සෙනෙවිරත්න, මල්කුමාරි ගීතරාණි, ටෝනි රණසිංහ ඇතුලු අති විශිෂ්ඨ නළු නිළියන් ගණනාවක් ඒ ටෙලි නාට්‍යයේ රගපෑවා. ඔය දැන් තියන සත පහකට වැඩක් නැති දෙකයි පනහේ සීනිබෝල මෙගා ටෙලි වල රගපාන පොත්ත විතරක් සුදු මල් කුමාරයො ටිකයි මල් කුමාරියො ටිකයි ඒ වගේ ටෙලිනාට්‍යයක් එකපාරක් හරි බලනවනම් හොදයි රංගනය මොකක්ද කියල අදුනගන්න.

කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙ දෙවන බිරිදයි (ඇන්ජෙලා සෙනෙවිරත්න) ඔහුගෙ පළමු විවාහයේ දුවයි (මල්කුමාරි ගීතරාණි) එකතු වෙලා ඒ ව්‍යාපාරිකයගෙන් කප්පම් ගන්න උත්සාහ කිරීමක් ගැනයි කතාව. ඒකට ඔවුන් තෝරාගන්නෙ වැඩ තහනම් වෙලා හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් වන වික‍්‍රමසිංහව (වසන්ත කොටුවැල්ල).

වික‍්‍රමසිංහට කරන්න තියෙන්නෙ සරළ දෙයක්. අර දුවව පැහැරගෙන ගියා කියල මවාපෑමක් කරල අර තාත්තට ටෙලිෆෝන් කරල කප්පම් ඉල්ලන එක. ඇත්තටම වෙන්නෙ දුව වික‍්‍රමසිංහත් එක්ක කැමැත්තෙන් ගිහින් හැංගිලා ඉදල සල්ලි ගත්තට පස්සෙ තමන්ගෙ කුඩම්මත් එක්ක සල්ලි බෙදාගෙන වික‍්‍රමසිංහටත් ගාණක් දීල ආපහු ගෙදර යන එක.

ඒ ගැන කතා කරගන්න කුඩම්මයි දුවයි දෙන්න අවස්ථා කීපයකදි වික‍්‍රමසිංහව රහසෙ හම්බ වෙනව. එතනදි ටිකක් මොළේ කල්පනා කරන වික‍්‍රමසිංහ සිද්ධිය සැළසුම් කරනකොට වෙන කතාබහ ඔක්කොම පටිගත කරනව. ඒ අතරෙම වික‍්‍රමසිංහයි අර දුවයි අතර සම්බන්ධතාවයකුත් ඇතිවෙනව.

සැළසුම් කරපු විදියටම පැහැර ගැනීම මවා පෙන්නන්නෙ නයිට් ක්ලබ් එකක. එතනින් කෙල්ලයි වික‍්‍රමසිංහයි පිටත් වෙන්න එනකොට බීපු මිනිහෙක් ඇවිත් වාතයක් වෙන්න පටන්ගන්නව. එතකොට වික‍්‍රමසිංහට සිද්ධ වෙනව ඒ මිනිහට තදබල ලෙස පහර දෙන්න. ඒ මනුස්සය ඒ පහරින් බරපතළ තුවාල ලබනව විතරක් නෙවෙයි වික‍්‍රමසිංහවත් සෑහෙන තරම් පැහැදිලිව මතක තියාගන්නව. වරදින පළමු තැන ඒක.

ඊට පස්සෙ වික‍්‍රමසිංහ කෙල්ලත් එක්ක කල් ඇතුව වෙන්කරගෙන තිබුණ ලැගුම්හලකට යනව. කෙල්ලව එතන නතර කරල වික‍්‍රමසිංහ එළියට යන්නෙ අර කෝටිපති තාත්තට කෝල් එකක් දෙන්නයි සල්ලි ටික ගන්නයි.

තාත්ත වික‍්‍රමසිංහගෙ කෝල් එකට බය වෙනව. සල්ලිත් ලෑස්ති කරගෙන ඇවිත් කප්පම් මුදල අඩංගු බෑග් එක වික‍්‍රමසිංහට දෙනව. වික‍්‍රමසිංහ ඒක අරන් අර ලැගුම්හලට යනව. ලයිට් නිවලා තියෙන්නෙ. දොරත් ඇරපු ගමන්. වික‍්‍රමසිංහ ඇතුලට ගිහින් ලයිට් දානව. කෙල්ල මුණින් අතට නිදි.

දොර ඇරල දාල ලයිට් නිවාගෙන නිදාගැනීම ගැන බැණ බැණම වික‍්‍රමසිංහ කෙල්ලව අනිත් පැත්තට හරවනව. අම්මෝ ඒ මූණෙ තිබුණ බැල්ම තමයි මම එදා මෙදාතුර ටෙලිනාට්‍යයක දැකල තියන භයංකරම බැල්ම. කවුරුහරි කෙල්ලව බෙල්ල මිරිකල මරල. කෙල්ලගෙ ඇස් උඩ ඉන්දිලා තියෙන හින්ද තමයි අර තරම්ම බැල්ම බියකරු. වරදින දෙවනි තැන ඒක.

වික‍්‍රමසිංහට දෙලෝ රත්වෙනව. කලබලෙන් සල්ලි බෑග් එක ඇරල බලනව. ඒකෙ සල්ලි නෑ. තියෙන්නෙ පත්තර මිටියක්. කුඩම්මා අර කෝටිපති තාත්ත පිටත්වෙන්න ලෑස්ති වෙනකොට සල්ලි බෑග් එක ඒ වගේම වෙන බෑග් එකකට මාරු කරනව. සල්ලි ටික ඒ ගෑණි ගන්නව.

වික‍්‍රමසිංහ ඉක්මනටම හිත සන්සුන් කරගන්නව. මොළේ කල්පනා කරනව. වහාම කෙල්ලගෙ මිනිය මේ පැහැර ගැනීමටම කුලියට ගත්තු කාර් එකේ ඩිකියට දාල වහල පාලු තැනකට ගිහින් දාලා අර ටේප් රෙකෝඩරෙත් අරන් වික‍්‍රමසිංහ ගෙදර යනව.

සල්ලිත් නෑ කෙල්ලත් මැරිල. ඔය විදියට ඔලුව ගිණි අරන් ඉන්නකොට පොලිස් දෙපාර්තමේන්තුව වික‍්‍රමසිංහව ආපහු සේවයේ පිහිටුවනව. අපරාධ විමර්ශන අංශයටමයි අනුයුක්ත වෙන්නෙ. අර කෙල්ලගෙ අතුරුදන් වීම ගැන පොලිසිට පැමිණිල්ල ලැබිල දින දෙකතුනකට පස්සෙ අර පාලු තැනක දාපු කාර් එක මිනියනත් එක්කම හම්බ වෙනව.

මිනීමැරුම ගැන විමර්ශනය තමන්ගෙ හිතවත් සහකාර පොලිස් අධිකාරීවරයෙක් (ආනන්ද වික‍්‍රමගේ) එක්ක කරන්න භාරවෙන්නෙ වික‍්‍රමසිංහටමයි. තමන් සැළසුම් කරපු පැහැර ගැනීම ටිකෙන් ටික අනාවරණය වෙන හැටි වික‍්‍රමසිංහ බලාගෙන ඉන්නව. අර ගුටි කාපු මිනිහත් තමන්ට පහර දීපු මිනිහ වික‍්‍රමසිංහ වගේ කියල කියනව. ඒ හින්දම වික‍්‍රමසිංහ අපරාධකරුවගෙ පින්තූරය කියල මූණ ආවරණය කරපු පින්තූරයකට කැමැත්තෙන්ම පෙනී ඉන්නව.

විමර්ශන වලට අර කෝටිපතියගෙ ගෙදරටත් යන්න වෙනව. එහෙදි අර කුඩම්මා වික‍්‍රමසිංහව ගණන් ගන්නෙවත් නෑ. මේක කුඩම්මගෙ ගැටයක් බවත් කුඩම්මා එක්ක එකතුවෙලා කුඩම්මගෙ රියදුරු මුදන්නායක අර කෙල්ලව මරල තියන බව වික‍්‍රමසිංහට තේරුම් යනව. ඊට අමතරව තමන්වත් අහුවෙන්න ඔන්න මෙන්න බව තේරෙනකොට වික‍්‍රමසිංහ තීරණය කරනව ඇත්ත කියන්න.

අර ටේප් රෙකෝඩර් හින්ද පොලිසිය වික‍්‍රමසිංහගෙ කතාව විශ්වාස කරනව. කුඩම්මයි රියදුරුයි අත්අඩංගුවට පත්වෙනව. වික‍්‍රමසිංහ රජයේ සාක්කි කාරයෙක් වෙනව වගේ තමයි මතක. අන්තිමට තියෙන්නෙ කුඩම්මව අත්අඩංගුවට ගන්න ගෙදරට ගිය වෙලාවෙ කුඩම්මා තමන්ව පාවා දීම ගැන බොහොම කේන්තියෙන් "වික‍්‍රමසිංහ යූ බාස්ටර්ඩ්" කියල වික‍්‍රමසිංහට පහරදෙන දර්ශනයක්.

ඔය කියපු කතාව අති විශිෂ්ඨ විදියට ටෙලිනාට්‍යක් වශයෙන් ඉදිරිපත් කරල තිබුණ. තේමා ගීතය පවා සුවිශේෂයි. අදටත් ඇහෙනව වගේ. දැන් තියන ටෙලිනාට්‍ය එක්ක බලද්දි ආපහු එහෙම ටෙලියක් බලන්න ආසයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...