Monday, April 13, 2020

ෆොන්ටෙරා සහ විල්පත්තුව

මේ දවස්වල කිරිපිටි ප්‍රශ්නයක් හැදීගෙන / හදාගෙන යනව පේනව. මට කිරිපිටි වල සංයුතිය, එක් එක් සමාගම් වල කිරිපිටි වල ඇති වෙනස්කම් වගේ දේවල් ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒත් මෑතකාලීන ශ්‍රී ලංකාවෙ අරගල වලට මිනිස්සු කැඳවපු විදිය ගැන යම් අවබෝධයක් තියනව. ඒ හින්ද අරගල වලට උඩදාගෙන දිව්වට එතෙන්ට දුවල බලද්දි එතන තියෙන්නෙ අර තියෙනවයි කියපු අරගලය නොවෙන්න පුළුවන්. මේ එක උදාහරණයක්:-

"විල්පත්තුව කපනවෝ"
"කොහෙද කොහෙද?"
"එහෙම කරන්න දෙන්න බෑ"
"මේක කොහොමහරි නවත්තමු"
"කියන ඕන දේකට අපි එනවා"
"අපිත් එනවා"
"මාත් එනවා"
"විල්පත්තුව - බේරගනිව්, බේරගනිව්, බේරගනිව්"
"අපෙ සටනට ජයවේවා"
"මේ මචං මං මේ නිකං අහන්නෙ, විල්පත්තුවෙ ඔය කපපු කෑල්ල කොතනද තියෙන්නෙ?"
"පස්සෙ පෙන්නන්නං. දැන් වරෙං. ජයවෙිවා! ජයවේවා! අපෙ සටනට ජයවේවා"
"ඒයි සිරාවට අහන්නෙ බං, ඔය කපපු කෑල්ල මේ මැප් එකේ කොතනද?"
"මගුලක් කතා කරනව මැප් එකක් දිගඇරං. මෙන්න මෙහෙ වරෙං. ජයවේවා! ජයවේවා! අපෙ සටනට ජයවේවා!"
"මං තව අඩියක් වත් එන්නෑ. මේ මැප් එකේ කපපු තැන පෙන්නපං"
"අයියෝ වදේ. උඹල මල ඇණ බං. හිටපංකො බලන්න. මෙන්න මේ හරියෙ වගේ බං"
"මේ හරියෙ වගේ කියල හරියන්නෑ. හරියටම කොතනද කියපං"
"මං දන්නෑ යකෝව්. උඹල මේ සටන දියාරු කරන්ඩද හදන්නෙ? අන්න අරූගෙං අහගනිං"
"මචං ඔය කපල තියෙන්නෙ විල්පත්තුවෙ හරියටම කොතනද?"
"මෙහෙමයි, විල්පත්තුව කිව්වට විල්පත්තුවම නෙමෙයි, හරියටම ගත්තොත් මෙන්න මෙතන"
"මොකක්ද ඒ හරියට කියන්නෙ?"
"ඒකත් රක්ෂිතයක් තමයි"
"නෑ. නෑ. මේකෙ හැටියට ඒක රක්ෂිතයකුත් නෙමෙයිනෙ"
"මෙහෙමයි මචං. රක්ෂිතයක් ⁣නම් නෙමෙයි. පරණ ගමක්. ඒත් දැන් එහෙ ගෙවල් ඔක්කෙමෙ වහගෙන ගස් හැදිල. කැලේම තමයි"
"එහෙනං අපි මෙතන විල්පත්තුව කපනව කියල කෑගහපු එක වැරදියිනෙ"
"ඇයි වැරදි?"
"කපල තියෙන්නෙ විල්පත්තුව නෙමේ හින්ද?"
"ඕව වැඩක් නෑ. දැන් සටන පටන් අරන් තියෙන්නෙ. කපපු තැන ගැන පැහැදිලිව නොකියා අපි ඉස්සරහට යමු"
"එ්ත් ඒක වැරදි"
"වැරදි තමා. ඒත් කරන්න දෙයක් නෑ. සමාජෙ හැමදේම වෙන්නෙ හරි දේද?"
"ඒ වුණාට මිනිස්සු දැනගන්න ඕන"
"මිනිස්සු දැනගත්ත කියල වෙනසක් වෙන්නෑ"

------------------

"ඇයි බං උඹ අරක එෆ් බී දැම්මෙ?"
"මොකක්ද?"
"කපල තියෙන්නෙ විල්පත්තුව නෙවේ හින්ද"
"අප්පෝ ඔයා නම් පරිසර නීතිය තියා අප හා පරිසරයවත් ඉගෙනගෙන නෑ"
"හා"

---------------------

"හෙලෝ"
"ඔව් කියන්න"
"ඇයි මචං උඹ අර විල්පත්තු කේස් එක ඩිමොරලයිස් කරන්න හදන්නෙ"
"එහෙම එකක් නෑ. මං කිව්වෙ ඇත්ත කතාව"
"හරි හරි. මේ අහපංකො"
"කියන්න"
"ඔතන කලින් තිබුණෙ ගමක් තමා. ඒකෙ සිංහල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි දෙගොල්ලම හිටිය. ඊට පස්සෙ කොටි ගහනකොට ඒ ඔක්කොම ගම දාල ගියා. සිංහල මිනිස්සු වෙන වෙන පැතිවල පදිංචියට ගියා. මුස්ලිම් මිනිස්සු පුත්තලමෙ සරණාගතයො විදියට පදිංචි කරල පස්⁣සෙ ඒ අලුත් ඉඩම් වලට ඔප්පුත් දුන්න. දැන් අර පරණ ගම හොයන්නම බෑ කැලේ. ඊටපස්සෙ යුද්දෙ ඉවර වෙලා අර පුත්තලමෙ පදිංචි කරපු මුස්ලිම් උන්ගෙන් කොටසක් බදුර්දීන් ආපහු ගෙනල්ල අර පරණ ගමේ පදිංචි කෙරුව. සිංහල මිනිස්සු ආවෙ නෑ. එතකොට ඒක තනි මුස්ලිම් ගමක් වෙනව"
"එතකොට ඕකද දැන් අවුල?"
"ඔව්"
"එතකොට විල්පත්තුව කපල නැද්ද?"
"නෑ. නෑ."

ඔව්. ඒක එහෙම තමයි. මගෙ අත්දැකීමක් ඔය ලියල තියෙන්නෙ. ලංකාවෙ වෙන වෙන අරමුණු වලට හදන වෙන වෙන සටන් වලට මිනිස්සු ගෙන්නගන්න ඒවට සංවිධායකයො අමුතුම මාතෘකා දෙනව විතරක් නෙමෙයි. එහෙම වැරදි මාතෘකා දීම සාධාරණීකරණය කරනව කිසිම අවුලක් නැතුව.

ඒ නිසා බෝඩ් උස්සගෙන ඔය කිරිපිටි ප්‍රශ්නෙට බහින්න කලින් මොකක්ද ඒ කිරිපිටි වල රසායනික සංයුතියෙ තියන අවුල? ඊට විකල්පව සටන්කරුවො යෝජනා කරන කිරිපිටි වර්ග හදන්නෙ අරිට වෙනස් සංයුතියකටද? මේ සටනෙ වෙන වක්‍ර අරමුණක් තියනවද? එහෙනම් ඒක කලින් නොකිව්වෙ ඇයි? වගේ ප්‍රශ්න ගණනාවක් තියනව හරයට සහසුද්දෙන් උත්තර සොයාගතයුතු. එහෙම නැතුව කවුරුහරි කියන පලියට මිනිස්සුන්ගෙ වචන විශ්වාස කරල බැස්සොත් විල්පත්තු සටනෙදි මට වුණ වැඩේ වෙන්න බැරි නෑ.

ඒක කොයිතරම් දුර ගියාද කියනවනම් අදටත් කැපුවෙ විල්පත්තුව කියල ඇත්තටම විශ්වාස කරන අය ඉන්නව.

කෙනෙකුට මෙතනදි අහන්න පුළුවන් සිංහල මුස්ලිම් මිශ්‍ර ගමක් තිබුණ තැන බදුර්දීන් තනි සිංහල ගමක් හදන එක මට ප්‍රශ්නයක් නෙවෙයිද කියල. වෙන්න පුළුවන්. ඒත් ඒක මට ප්‍රශ්නයක්ද නැද්ද කියල තීරණය කළ යුත්තේ මම. ඒකට අදාළ ප්‍රශ්නය මොකක්ද කියන එක මම ඇති සැටියෙන් දැනගත යුතුයි. එහෙම නැතුව මුලින් විල්පත්තුව පෙන්නල පස්සෙ ඇත්තම ගැටලුව වෙන තැනකට යවනව කියන්නෙ පුද්ගලිකව මට කරන අපහාසයක්.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...