2019.11.21
ජනාධිපතිවරණය අවසන් වී අදට දින පහකි. ඇතැමුන් ලද ප්‍රතිඵලයෙන් උද්දාමයටත්
තවත් අය උදාසීනත්වයටත් තවත් අය ශෝකයට සහ කෝපයටත් පත්වී ඇති අයුරු පෙනෙන්නට
ඇත මේ සියල්ල අතරේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ලැබූ ප්‍රතිඵලය මෙන්ම ඒ හා බැදුණු පශ්චාත් දේශපාලන හැසිරීම පිළිබදවද යම්
කියවීමක් සිදුකළ යුතු බව මට හැගේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
හෙවත් හංස සන්ධානය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල කිසිදු අවස්ථාවක සැබැවින්ම තම
ප්‍රධාන ප්‍රතිවාදී පොදුජන පෙරමුණට වඩා ඉදිරියෙන් සිටියේ නැත. එයට හේතුව
පැහැදිලි ලෙසම හංස සංධානයෙන් ගිලිහී ගිය මධ්‍යම පාංතික පාවෙන ඡන්ද කෝටාව බව
මම මාගේ 2019 ඔක්තෝබර් 30 දිනැති "හංස ප්‍රචාරක යාන්ත්‍රණයේ නිදන්ගත දෝෂ"
ලිපිය මගින් පෙන්වා දුනිමි. එහිදී පොහොට්ටුව විසින් 2015දී තමන්ට අහිමි වූ
මධ්‍යම පංතියේ පාවෙන ඡන්ද පදනම ආමන්ත්‍රණය සදහා අනුගමනය කරන ලද
ක්‍රියාමාර්ගද එජාපය ප්‍රමුඛ හංස සංධානය විසින් තම ඉලක්කගත පිරිස ලෙස
මධ්‍යම පාංතික පාවෙන ඡන්ද දායකයන්ට වඩා බිම් මටටමේ ඡන්ද දායකයන් කෙරෙහි
වැඩි අවධානයක් යොමු කිරීමද එහි ඇති සාර්ථක අසාර්ථක භාවයද සමාලෝචනය කළෙමි.
ජනාධිපතිවරණයට පෙර ප්‍රතිඵලය කුමක් වනු ඇත්දැයි මගෙන් විමසූ සෑම දෙනාටම
මගේ පිළිතුර වූයේ ගෝඨාභය රාජපක්ෂ 51%-52% වැනි ප්‍රතිශතයකින් ජයග්‍රහණය
කරනු ඇති බවය. එය පොහොට්ටු පාක්ෂිකයන්ගේ සතුටට හේතු වුවද එජාප පාක්ෂිකයන්
බොහෝ දෙනෙකු මාගේ පුරෝකථනය වැරදි බවත් සජිත් ප්‍රේමදාස මහතා 55% ක
ප්‍රතිශතයකින් ජයගන්නා බවත් අචාරශීලීව පැවසූහ. මම එයට හේතු විමසා සිටියෙමි.
නිද්‍රාශීලීව සිටි එජාප පාක්ෂිකයන් අවදි වී ඇති බවත් ඔවුන් සියලුදෙනාම
මෙවර සජිත් වෙනුවෙන් ඡන්දය භාවිත කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්
සැළකියයුතු පිරිසක් එජාපය හා එක්වී ඇති බවත් ඒ සියල්ල සමග සුළු ජාතික ඡන්ද
පදනම එක්වූ විට සජිත්ට කිසිදු තරගයක් නොමැති බවත් ඔවුන්ගේ ස්ථාවරය විය.
එනම් රැල්ල සජිත්ට බව ඔවුහු එකහෙළා පැවසූහ.
එයට මගේ පිළිතුර වූයේ
සජිත්ට රැල්ලක් පෙනෙන්නට තිබුණද එය ව්‍යාජ රැල්ලක් බවය. එනම් 1994 පටන්
එක්සත් ජාතික පාක්ෂිකයාට ආදරය කළහැකි භක්තියෙන් බැදිය හැකි නායකත්වයක් ලැබී
තිබුණේ නැත. එය ඔවුන්ට සජිත් ප්‍රේමදාසගෙන් ලැබී තිබේ. එබැවින් 1994 පටන්
අඛණ්ඩව නිහඩව එජාපය වෙනුවෙන් ඡන්දය දුන් එජාප පාක්ෂිකයා මෙවර කෑ කෝ ගසමින්
ගෝසා කරමින් ඡන්දය දීමට ඉදිරිපත් වී ඇත. වෙනදා මහජන රැළි වලට නොයා ඡන්දය
දුන් කෙනා මෙවර රැළියටද සහභාගි වී ඡන්දය දෙනු ඇත. ඒ කිසිවක් ඡන්ද ප්‍රමාණය
වර්ධනය කිරීමට හේතු වේද? නැත. කොහොමටත් ලැබෙන ඡන්දය කෑගසමින් දුන්නාය කියා
එක ඡන්දය ඡන්ද දෙකක් බවට පත් නොවන බව අවධාරණය කළෙමි. එවැනි සාකච්ඡා
බොහොමයක් නොවැම්බර් 17 වැනි දින මා වැරදි බව ඔප්පු වනු ඇතැයි ආචාරශීලීව
පවසනු ලැබීමෙන් අවසාන විය.
ප්‍රතිඵල කෙසේ වීදැයි කවුරුත් දනිති. එය
ඇතැමුන්ට පුදුමයට කරුණක් වුවද සැබැවින්ම එසේ නොවේ. කළ වරද නම් තත්වය ඇති
සැටියෙන් කියවා නොගෙන අතිශයෝක්තිගත සිහින ලෝකයක සිරවී සිටීමය.
මෙම
ජනාධිපතිවරණය තුල එජාපයේ දේශපාලන දිශානතිය සැළකියයුතු අන්දමින් වෙනස් වනවා
දක්නට ලැබුණි. එනම් සරළ බුකියේ භාෂාවෙන් කියන්නේ නම් ටොයි පක්ෂයක් වශයෙන්
සිටි එජාපය ක්‍රම ක්‍රමයෙන් බයි පක්ෂයක් බවට රූපාන්තරණය විය.
එය
සරළ උදාහරණයකින් අවබෝධ කරගත හැකිය. සාමාන්‍යයෙන් පුද්ගල වන්දනා දේශපාලනය
මෑත කාලීනව එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින්
මිස එජාපය වෙතින් දක්නට ලැබුණු ලක්ෂණයක් නොවීය. මහින්දවාදීන් මහින්දව
හදුන්වන ලද්දේ "අප්පච්චි" යන නමිනි. ඔහු 2015 පරාජය වූ කල ඔවුන්ගෙන්
සැළකියයුතු පිරිසකට දැනුණේ දේශපාලන පරාජයක අපේක්ෂා භංගත්වයකට වඩා
අප්පච්චිගේ වියෝවකි. එය ඔවුන් ඍජුවම ප්‍රකාශ කරද්දී එය බොහෝ එජාප
පාක්ෂිකයන්ගේ සමච්චලයට ලක්විය. ඔවුන් දැඩි උපහාසයෙන් ඇසුවේ "උඹලාගේ
අප්පච්චි මහින්දද?" කියාය. එයින් කිපුණු මහින්දවාදීහු, එජාප පාක්ෂිකයන්ට
රනිල් යනු, මහින්දවාදීන්ට මහින්ද මෙනැයි සිතා "උඹලාගේ අප්පච්චිගෙ හැටි
බලාපල්ලා" යැයි කීවේ එයින් එජාප පාක්ෂිකයන් කිපෙනු ඇතැයි සිතාය. නමුත්
එයින් කිපුණු කිසිදු එජාප පාක්ෂිකයෙක් මා දන්නේ නැත. ඒ වෙනුවට එය විහිළුවක්
කොටගත් ඔවුන් මහින්දවාදීන්ටද වඩා හයියෙන් එයට සිනාසුණෝය. මන්ද ඔවුන්ට
රනිල් කිසිදිනෙක දේශපාලන නායකත්වයක් විනා ආත්මීය බැදීමක් සහිත අප්පච්චි
කෙනෙකු හෝ යටත් පිරිසෙයින් අංකල් කෙනෙකු හෝ නොවූ නිසාය.
එය එජාප
පාක්ෂිකයාගේ සාමාන්‍ය දේශපාලන දැක්මේ ස්වභාවය විය. එය සැබැවින්ම පොහොසත්
දේශපාලන මතයකි. දේශපාලනික මතවාදීව පුද්ගලයන් දුප්පත් වන කළ දේශපාලනයේදී
හමුවන චරිත වන්දනාමාන කිරීමටද, ඔවුන්ගේ සකළවිධ හැසිරීම් භක්තියෙන් යුතුව
අනුමත කිරීමටද පාක්ෂිකයන් පෙළඹෙති. 2015 වන විට එජාප පාක්ෂිකයා සිටියේ ඒ
අතින් සාපේක්ෂව දුප්පත් නොවූ දේශපාලන ආකල්පයක බව කිව යුතුවේ.
එවන්
ආකල්පයක සිටින්නෙකුට දේශපාලනයේ ජය පැරදුම දේශපාලන ප්‍රවණතා වනවා විනා විශාල
උද්දාමයකට හෝ ශෝකයකට හේතු වන්නේ නැත. ජයග්‍රහණයකදී පරාජිතයන්ගේ සිත් රිදෙන
අයුරින් උදම් ඇනීම හෝ පරාජයේදී ප්‍රසිද්ධියේ කෑකොස්සන් ගසා හඩා වැලපීම හෝ
ඔවුන් නොකරති. එය ඔවුන්ට සාමාන්‍ය සංසිද්ධියක් පමණක්ම වේ. මෙම දේශපාලනික
ආකල්පමය පොහොසත් භාවය මහින්දවාදීන්ට සාපේක්ෂව අත්පත් කරගෙන සිටීම හේතුවෙන්
2015දී එජාප පාක්ෂිකයන්ගෙන් බහුතරය ටොයියන් ලෙසද මහින්දවාදී බහුතරය බයියන්
ලෙසද හැදින්වීම බොහෝ දුරට නිවැරදි වුණි.
නමුත් ජනාධිපතිවරණ කාළ
වකවානුවේදී සහ ඊට පසු එජාපයේ එම තත්වය සැළකියයුතු අන්දමින් වෙනස් වී ඇති
බවක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන් අද දිනයේ වෝක්ෂෝල් වීදියේ සිදුවූ සිදුවීම්
මාධ්‍ය හරහා නරඹද්දී එහි තරම මනාව පෙනී යයි. තමාගේ දේශපාලන අපේක්ෂකයාගේ අත
අල්ලාගෙන හඩන, දොඩන, වැලපෙන, පපුවට තඩිබාගන්නා තත්වයකට එජාප පාක්ෂිකයාගේ
දේශපාලනය රූපාන්තරණය වී ඇති අයුරු දැකීමට සිදුවීම කණගාටුදායකය.
එය
මෑතකාලීන එජාප දේශපාලන අනන්‍යතාවයේ සම්පූර්ණ පරස්පරයයි. එනම් මහින්දවාදී
කදවුරේ සාමාන්‍ය ස්වභාවය එහෙම පිටින්ම එජාප පාක්ෂිකයන් තමන් වෙත ආරෝපණය
කරගෙන ඇති බව පෙනේ. ඒ හරහා පෙර සිටි ටොයි එජාපය ගෙවුණු මාසය තුල ක්‍රම
ක්‍රමයෙන් බයි එජාපයක් බවට රූපාන්තරණය වී ඇති අයුරුත් ඒ මත දේශපාලන
ව්‍යාපාරයක අනිවාර්යයෙන්ම පැවතිය යුතු උපේක්ෂාව, පුද්ගල වන්දනාව බැහැර
කිරීම, සබුද්ධිකභාවය, ඉවසීම, සංයමය වැනි දියුණු දේශපාලන ගති ලක්ෂණ සහ
හැසිරීම් රටා එජාප කදවුරෙන් ගිලිහී යන අයුරුද දක්නට ලැබේ.
එය
සැබැවින්ම හෝමෝසේපියන් තත්වයේ සිට නියැන්ඩර්තාල් තතාවය දක්වා ආපසු ගමන්
කිරීමක් වැනි කණගාටුදායක තත්වයකි. දේශපාලන ව්‍යාපාරයක් ජයග්‍රහණය ඉලක්ක
කළයුතු බව සැබෑය. නමුත් එයට මාවත පාදාගත යුත්තේ ඉදිරිගාමී දියුණු සූක්ෂම සහ
කල්පනාකාරී දේශපාලන උපක්‍රම අනුගමනය කිරීමෙන් විනා නැවතත් පසුගාමී ආකල්ප
කරමත තබා ගැනීමෙන් නොවන බව සියලු දෙනා වටහා ගැනීම වටී.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Monday, April 13, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment