Sunday, May 17, 2020

ජාතිකවාදය මුදුණින් වැටෙනතුරු වැඩෙන්න දෙන්න


මම ජාතිකවාදියෙක් නෙමෙයි. ඒකට හේතු දෙකක් තියනව. එකක් ජාතිය පෞද්ගලිකයි. අනික දේශපාලනික තලයට ජාතිය තීරණාත්මකව ගෙනාපුවම දේශපාලනිකව කතා කළ යුතු අනෙක් සියළු වැදගත් දේ යටපත් වෙලා ජාතිය විතරක් ප්‍රමුඛ වෙනව. අන්තිමට කොයිතරම් හොඳ අදහස් තියන කෙනෙකුට වුණත් ඒ හැම එකක්ම පැත්තකට දාල වෙන මොකවත් නොකර ජාතිය ජාතිය කිය කිය ඉන්න වෙනව. ඒක හරි අපරාධයක්. ඒ නිසා මං කැමතියි ජාතිකවාදය සංකල්පයක් හැටියට පරදිනව දකින්න. හැම ජාතියකටම අදාළව.

ලෝකය කාලෙකට සැරයක් ආයෙමත් පැරණි අසාර්ථක හා භයානක දේවල් අත්හදා බලනව. සමහර අය නොදැනුවත්ව. තව සමහර අය දැනගෙනම මේ පාර වරදින එකක් නෑ කියන බලාපොරොත්තුවෙන්.

හිට්ලර් ජාතිකවාදය ට්‍රයි කළා. ලෝකයම ලොකු වන්දියක් ගෙව්වා. ඒ ගැන ලියවිච්ච දේවල් අද බොහෝම දුරස් ඉතිහාසයක් වෙලා. විශේෂයෙන්ම තරුණ පරපුරට. තීරණාත්මක ⁣වැදගත්කමක් නැති තරම්ම දුරස් ඉතිහාසයක්. ඒ නිසා ඔවුන් අද ගිණිහුල පස්සෙ දුවන මැස්සො වගේ ජාතිකවාදය පස්සෙ දුවන එකේ පුදුමයකුත් නෑ. ඇත්තටම බැලුවොත් උන් ඇරපු අතක් නෑ නට්සීන්ම තමයි.

සමාජ පරිණාමය විසින් ජාතිකවාදය පරද්දනව එක තැනකදි අනිවාර්යයෙන්ම. ජාතිකවාදය විතරක් නෙමෙයි අනිත් ඕනෑම සංකලපයකට වුණත් ඒ ඉරණමෙන් ගැලවෙන්න බෑ. අනික එහෙම පැරැද්දිය යුතුයි. ලෝකෙ අලුත් වෙන්නෙ එහෙම.

ඒත් සමාජ විද්‍යාත්මකව ගත්තම ජාතිකවාදය පැරැද්දීම මගදි වුණොත්, ඒ කියන්නෙ ජාතිකවාදය peak වෙලා කූට ප්‍රාප්තිය ලබන්න කලින් සිද්ධ වුණොත් ආයෙත් බොහොම කෙටි කාලෙකදි නැගිටින්න තියෙන බර වැඩියි.

කොහොමත් ආයෙත් නැගිටිනවා. ඒක ලෝක ස්වභාවය. ඒත් මුදුණින්, හිණි පෙත්තෙන් වැටුණාම නැගිටගන්න බැරුව වැටිලම ඉන්න වෙන කාලය වැඩියි. ඒ නිසා ජාතිකවාදය, ආගම්වාදය, කුල වාදය වගේ පුහු දේවල් දේශපාලනිකව තීරණාත්මක වෙනවට අකමැතිනම් සමාජ විද්‍යාත්මකව කළ යුතු හොඳම දේ ඒවට අසාමාන්‍ය ලෙස වේගයෙන් වැඩෙන්නට ඉඩහැරීම. වේගෙන් මුදුණට දුවන්නට ඉඩහැරීම. පුළුවන් තරම් හයියෙන් කමෝන් කීම.

එතකොට ඉක්මනටම මුදුණින් වැටෙයි. මුදුණ උස වුණ තරමට මෝරලා තියෙන තරමට ඒක මරණීය වැටීමක්ද අබ්බගාත වෙන වැටීමක්ද විහිළුවක් වෙන පිස්සු හැදෙන වැටීමක්ද කියල තීරණය වෙයි. ම⁣ගේ පුද්ගලික මතය නම් කොයිතරම් උසකින් වැටුණත් සංකල්ප එහෙම මැරෙන්නෙ නම් නෑ.

ඒ ජාතිකවාදය වැටෙනවට ආස අය ඒක මුදුණින්ම වැටෙන්න අරින්න. මගදි බාධා කරන්න ගමන මන්දගාමී කරන්න එපා. එ⁣තකොට කාලෙකට ඒ කරච්චලේ ඉවරයි.

එහෙම වෙච්ච තැන් තියනව. පහුගිය ආණ්ඩුව "යහපාලනය" කියන වචනය හිනායන වචනයක් බවට පත්කලා. මේ ආණ්ඩුව "වියත්" කියන වචනෙට ඒක කරමින් යනව. විමල් වීරවංශ "දේශප්රේමී" කියන වචනෙ සම්පූර්ණයෙන්ම විහිළුවක් බවට පත්කලා.

එහෙම තමයි ලෝකෙ හැටි. දෙයක් විනාශ කැල නැති බංග කරලම දාන්නෙ ඒක ඔලුව උඩ තියාගෙන ඉක්මනට මුදුණට දුවන මිනිස්සු. මොකද ඊළඟට ඒක වැටෙනවා. දුවන එකෙන් මුදුණට යෑම ඉක්මන් වෙනවා. වැටීමත් ඉක්මන් වෙනවා.

Saturday, May 16, 2020

සාහිත්‍ය පාඩම්

මේ ඡායාරූප කිහිපය බුකිගත කරන්න හේතු දෙකක් තියෙනව.

1. පළවෙනි හේතුව තමයි මීට දින කිහිපයකට පෙර ඉස්සර පාසැල් කියවීම් පොතක පිටු කිහිපයක් අරබයා ඇතිවූ කතාබහකදී වර්තමාන පාඩම් පොත් වලට සාපේක්ෂව අතීත පාඩම් පොත් වල තිබූ සාරගර්භ භාවය පිළිබඳ ඇතිවූ කතාබහ සහ එවැනි පරණ පාඩම් පොතක් මා සතුවත් තිබුණු බව සිහිපත් වීම.







මේ තියෙන්නෙ "සාහිත්‍ය පාඩම් - පස්වන ප්‍රමාණයේ කියවීම් පොත". අවාසනාවකට පිටකවරය ගැලවී ගිහින්. 1953දි වී.ඩී. ලැනරෝල් විසින් සම්පාදනය කරල තියෙන්නෙ. ඔහු සම්පාදනය කළාට ඔහු ලියපු පාඩමක් මේකෙ ඇතුලත් නැහැ. විවිධ සාහිත්‍යකෘති වලින් පාඩම් උපුටාගෙන ඒවාට අවසානයේ සාහිත්‍ය ප්‍රශ්න එකතු කිරීමයි ඔහු කරල තියෙන්නෙ.

ඒ අතර එක පාඩමක් තමයි "අටපිරිකර". එහි ඡායාරූප මෙහි ඇතුලත්. කතාව සහ අවසානයේ ඇති ප්‍රශ්න වල ස්වභාවය හොඳින් කියවා බැලුවොත් අපි අධ්‍යාපනයේ ආකල්ප සංවර්ධනයේ ඉදිරියට ගිය රටක් ද පසුපසට ගිය රටක්ද කියන එක හොඳට හිතාගත්තහැකි.









2. අනිත් හේතුව තමයි දැනට දවස් තුනකට හතරකට උඩදි මම "පිං කඳ" මැයෙන් ලියපු කතාන්තරයට ලැබී තිබුණ ඇතැම් ප්‍රතිචාර. ඒ ප්‍රතිචාර කතාවේ හරය තේරුම් නොගෙන දක්වපු ඒව කියල කෙනෙකුට කියන්න පුළුවන් වුණත් ඒ අනවබෝධයේ සහ අන්ධ භක්තියේ භයංකාර බව නොසළකා හැරිය නොහැකියි.

පන්සල හා බැඳුණු විවිධ සංස්කෘතීන් තියනව. ඒවායින් 99%ක්ම බුදුහාමුදරුවන් විසින් ඇතිකරපු සංස්කෘතීන්ට වඩා පසුකාලීනව "බෞද්ධාගමික සංස්ථාව" කියන ප්‍රපංචය විසින් විවිධාකාර හේතූන් මත වාසියට ඇතිකරගත් දේවල්.

සමාජයේ වැඩිදෙනෙක් ඒ ඇතැම් නිසරු සංස්කෘතීන් බෞද්ධාග⁣මේ කොටසක් ලෙස ගෙන ඒවාට පවා වැඩිදුර නොහිතා සාදුකාර දෙන හැටි පේනව. යමක් දෙස විචාරශීලීව බලනු ඇතැයි අපේක්ෂිත උගත් බුද්ධිමත් යැයි සම්මත ඇතැම් අය වුණත් ආගම කියන කාරණයෙදි ආගමික සංස්ථාවත් එක්ක ගැටගැහුණ ඕන කුණු ගොඩකට සාදුකාර දීම කණගාටුදායකයි.

මෙහි උපුටා දක්වා ඇති "අටපිරිකර" කෙටි කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ විප්ලවීය කෙටි කතා සංග්‍රහයක් ලෙස මම හඳුන්වන "පවුකාරයාට ගල්ගැසීම" කෘතියේ එන එක කතාවක්.

මේ කතාව වගේම ඒ කෘතියේ තියන සෑම කෙටිකතාවක්ම පාහේ සමාජයේ මුල්බැසගෙන ඇති පුහු ගතානුගතිකත්වයට අනුකම්පා විරහිතව තදින් පහරදෙන කතා. ඒකෙදි බෞද්ධාගමික සංස්ථාවට කියල විශේෂයක් කරල නෑ. එතන තියන බොරු වළවල් වලටත් ⁣රිදෙන්න ගහල තියනව.

"Saroja" and "The Road from Elephant Pass"


For some strange reason, "Derana" has re telecasted Somarathna Dissanayake's masterpiece "Saroja" today, which emphasizes almost the complete opposite of the racist media policy of Derana TV. That is how it is in Sri Lanka nowadays and most people will gladly accept the lie beneath without questioning. Therefore, Dilith Jayaweera not being a racist, Reno Silva not being a drug addict and Namal Rajapaksa being a non alcoholic vegitarian are accepted, respected and considered as reasons for voting, in this strange island. 

Saroja is a movie which discusses a sensitive aspect of LTTE cardres where some of them are forced to bear arms for various reasons. By the time Saroja was in theaters for the first time, most of the Sinhala community were not racist. Most of them actually weapt after watching the movie. However, after 20 years from when it was firstly telecasted, Sinhala community appears to have equipped with aggression towards other communities which was halfly justified and halfly fabricated by politicians for their betterment. 

Showing an aspect where some LTTE cardres might be under influence and force of their leaders and having them being sympathiezed by the sinhala community was the farthest point Sinhala Movie Industry could ever achieve. Actually discussing it from the point of view of a reasonable tamil man who has decided to join LTTE and take up arms on his own free will is still far far away. 

This reality was seen when Nihal Silva's Gration Award winning novel, "The Road from Elephant Pass" was played on screen subject to significant amount of deductions and alterations compared to the book. 




The original book actually consists a considerable amount of actual arguments borne by the tamils, who considered they were not treated equally and fairly in Sri Lanka. Upto now, most of the Sinhala people do not know and do not care, why a significant number of tamils decided to join LTTE. Until they at least agree to listen to what the other party is actually thinking, the unrest between Sinhala and Tamil communities will last. 

This harsh and bitter truth is unveiled throughout Nihal Silva's The Road from Elephant Pass book. But when it was converted to a movie, it has turned out to be some kind of a heroic love story involves an idea of terrorist rehabilitation. Simply how pathetic and how poor? 

Saroja was a touching movie which was successful in bringing tears even to the eyes of the most stubborn racist. However, portraiting LTTE cardres as people who were satisfied Sri Lankan citizens of the way they are being treated, forced to take arms by the LTTE, was not entirely a lie but significantly misleading in understanding their choice of separatism.

Wednesday, May 13, 2020

පිං කඳ


ඔන්න එකෝමත් එක රටක එක ගමක පන්සලේ දායක සභාවෙ සභාපති තෝරන්න ඡන්දයක් තිබ්බලු. දෙන්නෙක් ඉදිරිපත් වුණාලු. එක්කෙනෙක් ගමේ කසිප්පු මුදලාලිලු. අනිත් එක්කෙනා පරිපාලන නිලධාරියෙක් හැටියට ඉඳල විශ්‍රාම ගිය කෙනෙක්ලු. 

මුලින් කසිප්පු මුදලාලි නැගිටලා දරුවන්ගෙ සාරධර්ම ගැන, අපේ කම ගැන ⁣පපුවට ගහ ගහ බොහොම හිත් ඇදගන්නා කතාවක් කරාලු. එයාගෙ කැචර්ල මහ හයියෙන් අප්පුඩිත් ගැහුවලු. සමහරු සාදු සාදු සා... කියලත් කිව්වලු.

ඒ ගමන් අර විශ්‍රාමික පරිපාලන නිලධාරියා නැගිටලා කියන්න ගත්තලු "ගමේ පූජනීය ස්ථානයේ ප්‍රධාන ගිහි තනතුරකට මත්පැන් හදල විකුණන කෙනෙක් එන එක වැරදියි, සාරධර්ම කැලේ යනව, අපේකම ගැන එයා කොහොමද රෙදි ඇඳගෙන කතා කරන්නෙ, ඒක විහිළුවක්" අරකයි මේකයි කියල. එයාගෙ කැචර්ල ඒකට ෆුල් සප් ⁣එක දීල අප්පුඩි ගැහුවලු. 

ඊට පස්සෙ කසිප්පු මුදලාලි නැගිටල මෙහෙම කිව්වලු. 

"කසිප්පු පෙරන මං අපේකම ගැන සාරධර්ම ගැන කතා කරන එක විහිළුවක් නං, ටවුමෙ බාර් එකෙන් බෝතලයක් ගෙදර ගෙනත් තියාගෙන හැන්දෑවට හීනියට අඩියක් ගහන අපේ පැංසොං ගිය සිවිල් සර්විස් මහත්තය ඒක විහිළුවක් කියන එක, ඊටත් වඩා විහිළුවක්" 

කසිප්පු මුදලාලිගෙ කැචර්ල ටික උඩ පැන පැන හිනා වෙවී අප්පුඩි ගැහුවලු. මොනව වුණත් පැංසොං ගිය සිවිල් සර්විස් උන්නැහේ හැන්දෑවට වීදුරුවක් විතර ගන්න කතාවත් ඇත්තලු. ඉතිං එයාගෙ කැචර්ලට මේ කෝචොක් එක හරි මදි වුණාලු.

"හැබෑට ඒකත් ඇත්තනෙ. පැංසොං මහත්තයත් හවසට බොනවනෙ. ඒක ඉතිං වැරදිනෙ. එයා කොහොමද මුදලාලිට ඇඟිල්ල දික්කරන්නෙ" කියල පැංසොං මහත්තයගෙ කැචර්ල ගණනාවක් ඡන්දෙට ඉන්නෙ නැතුව යන්න ගියාලු. 

ඔයින් මෙයින් ඡන්දෙන් කසිප්පු මුදලාලි උඩින්ම දින්නලු. පැංසොං මහත්තය කළකිරිල හාමුදුරුවො මැදිහත් වෙලා දෙන්න හදපු උපසභාපතිකමවත් භාරගන්නෙ නැතුව යන්න ගියාලු. 

එදා ඉඳන් කසිප්පු මුදලාලිලු දායක සභාවෙ සභාපති. මාසෙකට සැරයක් එයාගෙ මූලිකත්වයෙං පන්සලේ මහ ඉහළින් පිංකමක් කරනවමලු. හැමදාම පන්සලේ අලුතින් මොනවහරි හදනවමලු. පෝය දාට රටේ ප්‍රසිද්ධ විචිත්‍ර ධර්ම කථික හාමුදුරු කෙනෙක් ගෙනල්ල බණක් කියනවමලු. ඒ හැම උත්සවේකම මුදලාලිත් සාරධර්ම ගැන අපේකම ගැන අහන උන්ගෙ පඬි කෙළිං වෙන ජාති කතාවක් පවත්තනවලු. දැන් ඒක විහිළුවක් කියන්න කවුරුවත් නෑලු. හාමුදුරුවන්ටත් හරි සතුටුයිලු. උපාසකම්මලත් "අනේ සාදු අපේ මුදලාලි නම් පිං කඳක්" කිය කිය මුදලාලිට පිං දිදී වැඳගෙන මුදලාලි හදපු චෛත්‍යය වටේ යනවලු. 

ඔන්න ඔහොමයි වුණැයි කියන්නෙ.

(කතාව සම්පූර්ණයෙන්ම මන:කල්පිතයි. ඡායාරූපය අහඹු ලෙස අන්තර්ජාලයෙන් තෝරාගත් එකකි)

Sunday, May 10, 2020

(අ)වලංගු ඇඳිරිනීතිය

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ මොහොත වනවිටත් ඇදිරි නීතිය පණවා ඇත. එය හෙට උදෑසන 5ට ඉවත් කර සතියේ සාමාන්‍ය වැඩ කටයුතු සදහා අවකාශය සළසනවා ඇත. කෙසේ වෙතත් පසුගිය ඇදිරි නීති කාල වකවානුව පුරාම ඇදිරි නීතිය කඩකළ විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවවට ගන්නා ලද බව මාධ්‍ය වාර්තා කරන ලදී. මං මාවත් දෙස බැලූ විටද පෙනී යන කරුණක් වන්නේ මහජනතාවගෙන් බොහොමයක් ඇදිරි නීතිය තමන්ට අදාළ නොවන්නක් ලෙස සළකා කටයුතු කරන බවය.
ඇදිරි නීතියේ නීත්‍යානුකූල බව පිළිබදව ප්‍රශ්නය මතුවීම
ඇදිරි නීතිය පිළිබදව වෙනස් අර්ථකථනයක් අසන්නට ලැබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇදිරි නීති අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේය යන චෝදනාව පිට අත්අඩංගුවට පත්වීමත් සමගය. හිටපු මන්ත්‍රීවරයා අධීකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා කියා සිටියේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පවතින්නේ වලංගු ඇදිරි නීතියක් නොවන බවය. කෙසේ වෙතත් පොදු යහපත සළකා ඇදිරි නීතිය වලංගු නොවුවත් මහජනතාව ඊට අවනත වීමේ වැදගත් කමද ඒ මහතා අවධාරණය කර තිබුණි.
මේ සම්බන්ධයෙන් ඇති නීති තත්වය කුමක්ද?
කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ සැබැවින්ම ඇදිරි නීතියේ ඇති නෛතික වලංගුතාවය පිළිබදව නිරාකරණය කරගත යුතු ප්‍රශ්නයක් විචාරශීලීන් හමුවේ ඉතිරි වේ. එය සැබැවින්ම ඇදිරි නීතිය නීත්‍යානුකූල නොවන්නේය යනුවෙන් මතයක් ජනගත කොට ඇදිරි නීතිය කැඩීමේ රැල්ලක් ඇතිකිරීම ඉලක්ක කරගත්තක් නොව සැබැවින්ම ඇදිරි නීතිය පණවන ආකාරය මගහැර නිරෝධායන ඇදිරි නීතිය නමින් හැදින්වෙන යමක් පැණවීමට ආණ්ඩුව කටයුතු කළේ මන්ද යන්න වටහා ගැනීමේ අරමුණින් සිදුකළ යුත්තකි.
ඇදිරි නීතියට අදාළ නීති තත්වය පිළිබදව මා මිත්‍ර නීතිඥ සංජය විල්සන් ජයසේකර මහතා 2020 අප්‍රේල් 29 වැනි දින සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි. එයින් උපුටා ගන්නා ලද කොටසක් පහත පරිදි වේ:-
උපුටාගැනීම...................
ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය යටතේ ඇඳිරිනීතිය පැනවිය හැකි ආකාර 2කි.

(අ) පළමු ආකාරය නම් මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීමයි.

මෙසේ ඇඳිරිනීතිය පැනවීම හදිසි අවස්ථාවක් එනම් රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කොට නැති අවස්ථාවක සිදුකරන්නකි. නමුත් ඇඳිරිනීතිය පැනවීම හෝ මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය යටතේ අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කිරීම කල හැක්කේ එවන් නියෝගයක් ගැසට් පත්‍රයේ පල කිරීම මගිනි. පනතේ 21(2) වගන්තිය සමඟ කියවිය යුතු 2(3) වගන්තිය අනුව එසේ පනවන ඇඳිරිනීතිය හෝ අත්‍යවශ්‍ය සේවා නියෝග පිලිබඳව වහා පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබිය යුතුය. පාර්ලිමේන්තුව විසිරුවා ඇති වර්තමාන තත්ත්වය වැනි අවස්ථාවකල එවන් නියෝග එනම් ඇදිරි නීති හෝ අත්‍යවශ්‍ය සේවා නියෝග නිකුත්කර ඇත්නම් ජනාධිපති විසින් දින දහයක් තුල නැත්නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුය. ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන, ඇඳිරිනීතිය, පිලිබඳ කිසිදු මාධ්‍ය නිවේදනයක් මෙම විධිවිධානවලට අනුකූලව නිකුත් කළ ඒවා නොවන්නේය.
හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට නැතිවිට පනවනු ලැබිය හැකි ඇඳිරිනීතිය කඩකරන අයෙකුට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියකදී ලඝු නඩුවිභාගයකින් පසු වරදකරු කරනු ලැබුවහොත් බරපතල වැඩ සහිතව මසක කාලයකට සිරදඩුවම් සහ/හෝ රුපියල් සියයක දඩයකට යටත් කරනු ලැබිය හැකිය.
(ආ) ඇඳිරිනීතිය පැණවිය හැකි දෙවන ආකාරය නම් මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය හා දෙවන කොටස යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමක් කර ඇති විටෙක එකී මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වගන්තිය යටතේ නිකුත්කොට ඇති 2019 අප්‍රේල් 22 දිනැති අංක 2120/5 දරන ගැසට් පත්‍රයේ පලකරන ලද හදිසි අවස්ථා රේගුලාසි වල එන 14 වන රෙගුලාසිය යටතේ ඇඳිරිනීතිය පැනවීමයි. හදිසි අවස්ථා රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් දින දාහතරක් තුල සම්මත කලහොත් පමණක් මසක කාලයක් සඳහා බල පැවැත්වේ. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කලවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අන් සෑම නීතියක්ම හදිසි අවස්ථා රෙගුලාසිවලට යටපත් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4) ප්‍රකාරව විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් දින දහයක් තුල නැවත නිරායාසයෙන්ම කැඳවෙනු ඇත.
පොලිස් ඇඳිරිනීතිය
හදිසි අවස්ථා තත්ත්වයකදී එකී හදිසි අවස්ථා ⁣රෙගුලාසි වල 14 වන රෙගුලාසිය යටතේ ජනාධිපති විසින් නියෝගයක් මගින් ඇඳිරිනීතිය පැනවිය හැකි අතර එම නියෝගයේ නම්කරනු ලබන පුද්ගලයාගේ අවසරය මත පමණක් පුද්ගලයන්ට ඇඳිරිනීති කොන්දේසි මඟහැරිය හැකිය. බොහෝවිට මෙම නම්කරනු ලබන පුද්ගලයා යම් ප්‍රදේශයක පොලිස් ස්ථානාධිපතිවරයෙක් හෝ යම් කලාපයක පොලිස් අධිකාරීවරයෙක් හෝ පොලිස්පතිම විය හැකිය. පොලිස් ඇඳිරිනීතිය, යනුවෙන් බොහෝවිට හැඳින්වෙන්නේ මෙයයි. 2020 මාර්තු 20 සිට ඇඳිරිනිතිය පනවන විට ඇත්ත වශයෙන්ම මාධ්‍ය වාර්ථා කලේ පොලිස් ඇදිරිනීතිය ලෙසයි. කෙසේනමුත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර නැති බැවින් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පැනවෙන පොලිස් ඇඳිරිනීතියක් ලෙසද වර්තමානයේ ප්‍රකාශිත ඇඳිරිනීතිය සැලකිය නොහැක.
එසේනම් ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා ප්‍රකාශයට පත්කොට ඇති ඇඳිරිනීතිය නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥාපනත යටතේ හෝ නීත්‍යානුකූල වන්නේද?
සෞඛ්‍ය විෂයභාර ඇමාත්‍යවරිය අංක 2167ර/18 සහ 2020.03.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කොරෝනා වෛරස් රෝගය හෙවත් කොවිඩ් - 19 නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ ගැනෙන නිරෝධායනීය රෝගයක් ලෙසින් නම් කලාය. පසුව අංක 2168/6 සහ 2020.03.25 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ඇමතිවරිය විසින් නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනතේ 2 සහ 3 වන වගන්ති යටතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ ප්‍රකාශ කර ඇති පැරණි රෙගුලාසි පහක දැක්වෙන, "නිසි බලධාරියා(proper authority)" යනු කවරෙක්දැයි යන්න සංශෝදනය කරමින්, මාර්තු 25 ගැසට් පත්‍රය මගින් නිසි බලධාරියා යන්නට පුද්ගල කොට්ඨාශ කීපයක් ම අන්තර්ගත කර ඇති අතර සමස්ථ ශ්‍රී ලංකාව සඳහාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (සෞඅජ) නිසි බලධාරියා ලෙස පත් කර තිබේ.
නිසි බලධාරියාට ඇදිරි නීතිය පැණවිය හැකිද?
නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනතේ 3 වන වගන්තියේ මගින් ආඥාපනතේ 2 වගන්තිය යටතේ රෙගුලාසි සකස් කළ හැකි විෂයයන් දක්වා ඇත. එහෙත් එම වගන්තියේ කිසිදු අනු වගන්තියක් යටතේවත් අමාත්‍යවරයාට සාමාන්‍ය ඇඳිරිනීති තත්වයක් යටතේ මෙන් පුද්ගලයන්ගේ ගමන් බිමන් වලකන රෙගුලාසි පැනවීමේ බලයක් හිමි නොවේ. එසේම එවැනි කොන්දේසි පනවමින් සාමාන්‍ය මහජන ජීවිතය සීමාකරන කිසිදු රෙගුලාසියක් මේ දක්වා පනවා ඇත්තේද නැත.
මේ හේතුව නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඇඳිරිනීතිය පැනවීමේ නියෝග කිසිවක් නිකුත් කල නොහැකි අතර එසේ කර අත්තේද නැත. ඇදිරිනීතිය පැනවීම හුදු ජනාධිපති මාධ්‍ය නිවේදනවලට සිමාවී ඇත්තේ මේ සියලු කරුණු යටතේය.
නිසි බලධාරියා වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරනු ලැබුනේ ⁣මාර්තු 25වනදා බැවින් නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත හෝ එහි කිසිදු රෙගුලාසියක් යටතේ මාර්තු 20 සිට 25 දක්වා ඇඳිරිනීතිය වැනි තත්වයක් ප්‍රකාශයටපත් කිරීමට කිසිදු නෛතික හැකියාවක් පැවතියේද නැත. ඒ අනුව නිරෝධායන ඇදිරිනීතිය යනුවෙන් පොලීසිය දැන් හඳුන්වන තත්ත්වය එම දින කිහිපයට අදාලකරගත නොහැකිය. එනිසා අඩු තරමින් පොලීසියේ දුර්වල නීති තර්කය නිවැරදියයි උපකල්පනය කල විටකද එම දින කිහිපය සඳහා ප්‍රකාශයට පත්කල ඇදිරි නීතිය එම තර්කය යටතේවත් නීත්‍යානුකූල නොවේ.
දඩුවම පවා වෙනස්
නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත හෝ ඒ යටතේ පනවා ඇති රෙගුලාසි උල්ලංගනය කල අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් මාස හයකට නොවැඩි සිර දඩුවමක් හා/හෝ රුපියල් දහසක් දක්වා දඩයක් පැනවනු ලැබිය හැකිය. ඒ අනුව නිරෝධායන සීමාවන් හා ඇදිරිනීතිය හාත්පසින්ම වෙනස් ආකාරයේ බලපෑම් ඇතිකරන කොන්දේසි පනවයි.

මේ අනුව ජනාධපති මාධ්‍ය නිවේදන හරහා පනවා ඇති කිසිදු ඇඳිරි නීතියකට නෛතික වලංගුතාවයක් නැත."
..........උපුටාගැනීම අවසන්
අනිල් ජාසිංහගේ ලියුම
කෙසේ වෙතත් පොලීසිය මේ සම්බන්ධව ඉහත කී පරිදි මුළු දිවයිනටම බලපාන පරිදි නිසි බලධාරියෙකු ලෙස පත්කර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් මත කටයුතු කරන බව පෙනී යයි. මෙකී 2018 මාර්තු 18 දිනැති ලිපිය ප්‍රකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියන්නේ ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාවන් තුලදී එම ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශයන් තුල එම ඇදිරි නීති ප්‍රකාශය මගින් ඉඩ ලබා දී ඇති සේවාවන් පවත්වාගෙන යාම සදහා හැර සෑම තැනැත්තෙකුම තම නිවෙස් පරිශ්‍රය තුල රැදී සිටිය යුතු බවට නියම කරන බවයි.
ඒ අනුව පොලීසිය විසින් ගොඩනැගීමට අපේක්ෂා කරනු ලබන තර්කය වන්නේ ඉහත සදහන් කළ පරිදි මෙකී 2020 මාර්තු 18 දිනැති ලිපිය ඉහත කී නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත හෝ ඒ යටතේ පනවා ඇති රෙගුලාසියක් වශයෙන් හුවා දක්වමින් එකී රෙගුලාසිය කඩකිරීම හේතුවෙන් එසේ කඩකරනු ලබන තැනැත්තාට මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් මාස හයකට නොවැඩි සිර දඩුවමක් හාරැහෝ රුපියල් දහසක් දක්වා දඩයක් පැනවනු ලැබිය හැකිය යන විධිවිධානය අදාළ කරගැනීම බව පෙනී යයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට එවැනි බලයක් නැත
කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට නිරෝධායනීය රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ පුද්ගලයන්ගේ ගමන් බිමන් සීමා කිරීම සදහා නියෝග පැණවිය හැකි කිසිදු බලයක් කිසිදු තත්වයක් යටතේ ආරෝපණය වන බවක් ශ්‍රී ලංකාවේ කිසිදු වලංගු නීතියක් යටතේ සදහන් නොවන බව අවධාරණය කළ යුතුය.
නිරෝධායන ඇදිරි නීතිය වචනයක් පමණි
ඒ අනුව දැනට පවත්නා පොලීසිය විසින් මුළින් පොලිස් ඇදිරි නීතිය ලෙස හදුන්වා පසුව නිරෝධායන ඇදිරි නීතිය ලෙස නම් කරන ලද ඇදිරි නීතිය ශ්‍රී ලංකාවේ වලංගු කිසිදු නීතියක් යටතේ නෛතික වලංගුතාවයක් සහිතව පණවන ලද්දක් නොවන බව පෙනී යයි.
ආණ්ඩුව එහෙම කළේ ඇයි?
කෙසේ වෙතත් මෙවන් බරපතළ වාතාවරණයක් යටතේ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට ඇදිරි නීතිය පැණවීම අත්‍යවශ්‍ය වී ඇති මොහොතක ආණුඩව නෛතික බලධාරීත්වයක් සහ වලංගුතාවයක් ඇති වන පරිදි ඇදිරි නීතිය පැණවීමට උත්සුක නොවූයේ මන්ද යන්න විමසා බැලිය යුතුය. එයට දියහැකි පිළිතුරු 2ක් ඇත.

(අ) පළමු පිළිතුර නම් අවශ්‍යතාවය මත මෙම නීතිය පැණවූ විට කිසිදු පාර්ශවයක් එය උල්ලංඝනය නොකරනු ඇත උල්ලංඝනය කළත් එහි නෛතික වලංගුතාවය අභියෝගයට ලක් නොකරනු ඇත යනුවෙන් ආණ්ඩුවට පවත්නා විශ්වාසයයි.
එයට යම් සාධාරණ පදනමක් ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද නීති යන සංකල්පය බලැත්තවුන් අභ්‍යාස කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. මන්ද එහි ඇතිවන සුළු අඩුපාඩුවක් නීතියේ අති දැවැන්ත හිඩැසක් නිර්මාණය කර නීතියේ ආධිපත්‍යය බිද දැමිය හැකි නිසාවෙනි. එසේ හෙයින් කුමන හෝ තත්වයක් තුල නීතිය මගින් ලබාදී ඇති බලතල ඉක්මවා යමින් ක්‍රියා කිරීම වැලැක්වෙන ආකාරයට නීතිය අර්ථකථනය කළ යුතු බව කියැවේ. මන්ද අවස්ථානුකූල නොකර හැරීම හෝ නොසැළකිල්ලක් අනාගතයේ මහත් විනාශයකට පාර කැපිය හැකි බැවිනි.
(ආ) දෙවැනි සම්පූර්ණයෙන්ම දේශපාලනික වේ. එනම් දැනට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති තත්වයක් තුල යම් හෙයකින් හදිසි නීතිය ප්‍රකාශයට පත්කර නීත්‍යානුකූල ඇදිරි නීතියක් පණවන ලද්දේ නම් ඒ හරහා දින 10ක් ඇතුලත අනිවාර්යයෙන්ම දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැදවීමට සිදුවන තත්වයක් උද්ගත වේ. මාගේ මිත්‍ර නීතිඥ සංජය විල්සන් ඉහත සදහන් කරන පරිදි පාර්ලිමේන්තුව එවිට නිරායාසයෙන් කැදවෙන්නේය. එය විවිධ හේතූන් මත ආණ්ඩුවේ දේශපාලන අභිලාසයන් සමග ගැටෙන තත්වයකි.එබැවින් හදිසි තත්වයක් තුල පාර්ලිමේන්තුව කැදවීමට සිදුවන තත්වයක් නිර්මාණය කරගනිමින් වඩා විශාල අර්බුදයක් නිර්මාණය කරගන්නවාට වඩා නීත්‍යානුකූල වුණත් නැතත් බොහෝ දෙනා මේ අවස්ථාවේ ගරු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ඇදිරි නීතිය පැණවීම පමණක් නීතියෙන් පිටපැන සිදුකිරීමට ආණ්ඩුව කල්පනා කළා විය හැක.
මේ හරහා ඇතිවන ගැටලු
ඇදිරි නීතිය නීත්‍යානුකූල නොවන අන්දමින් පැණවීමෙන් ඇතිවන පළමු ගැටලුව වන්නේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අයට තමා අත්අඩංගුවට ගන්නා ලද නීතිය වලංගු හා නීත්‍යානුකූල එකක් නොවන බවට අභියෝග කළ හැකි වාතාවරණයක් නිර්මාණය වීමය. බොහෝ දෙනෙකු එය අභියෝගයට ලක්කිරීමට වඩා ප්‍රායෝගිකව එම නිෂ්ප්‍රමාණික දඩය ගෙවා ගෙදර යාමට කැමැත්තක් දැක්වීම ප්‍රායෝගික ප්‍රවණතාවය විය හැකි වුවද අවශ්‍යනම් එය අභියෝග කිරීමටද නීති විරෝධී අත්අඩංගුවට ගැනීමකට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹීමටද පුද්ගලයන්ට ඉඩකඩ විවර වේ.
අනෙක් ගැටලුව මේ හරහා ස්ථාපනය වන අතිශය වැරදි පූර්වාදර්ශයයි. එනම් මෙතෙක් කල් ඇදිරි නීතිය පැණවිය හැක්කේ ව්‍යවස්ථාපිත නීති වලට අනුකූලව පමණක් බවට පැවැති තත්වය මේ හරහා ඛණ්ඩනය වී ජනාධිපති මාධ්‍ය නිවේදන මගින් ව්‍යවස්ථාපිතව බලය පවරා නැති කාරණා සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව ඇදිරි නීතිය පැණවිය හැක්කේය යනුවෙන් වැරදි නියාමයක් මේ හරහා ස්ථාපිත වන්නේය. ඒ අනුව රටේ දේශපාලනික නොසන්සුන්කාරී තත්වයකදී විරුද්ධ මතවාද මර්දනය කිරීම රජයේ අවශ්‍යතාවය වන අවස්ථාවකදී පවා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ඇදිරි නීතිය පණවා එය පවත්වාගෙන යාමට පොලීසිය හා ත්‍රිවිධ හමුදා සහය දිය යුත්තේ මන්ද යන කාරණයට හේතුවක් ලෙස මෙම අවස්ථාව උදාහරණයක් වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව විධායකයට ලැබේ. එය විධායකය අතට අතිශය භයානක ආයුධයක් දීම හා සමාන වේ.
කණගාටුයි
එබෙැවින් මෙම තත්වය වහාම නිවැරදි කිරීම සදහා වෘත්තීය සංගම් ඇතුලු මේ පිළිබදව ඇති තතු දත් පිරිස් හඩ නැගීම සහ බලපෑම් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු නිළ සිහි කැදවීමක් හෝ දැන්වීමක් එකී පාර්ශව වෙතින් රජය වෙත යොමු නොවීම කණගාටුවට කරුණකි.

නිවැරදි කරන එකක් නෑ

කෙසේ වෙතත් කවුරුන් දැනුවත් කළද ආණ්ඩුව මෙම වරද නිවැරදි කිරීමට දැන් පෙළඹෙනු ඇතැයි සිතීම උගහටය. මන්ද ⁣එසේ කළහොත් එය වැරදි නීතියක් මත කටයුතු කළ බව පිළිගැනීමකි වන බැවිනි. මෙම නීත්‍යානුකූල නොවන ඇඳිරිනීතිය මත මේ වන විට තිස්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන දඩද අයකරගෙන අවසන්ය. එබැවින් ඇඳිරි නීතිය අනීතික බව ආණ්ඩුව පිළිගතහොත් එම සියළුම අත්අඩංගුවට ගැනීම් නීත්‍යානුකූල නොවන තත්වයට පත්වනවා පමණක් නොව අයකරගත් දඩ මුදල්ද නීත්‍යානුකූල නොවන ඉපයීමක් බවට පත්වේ. එය විශාල ගැටලුවකි. 

කවුරුහරි කළ යුතුයි 

එම තත්වය කෙසේ වුවද මේ මොහොතේ කවර හෝ පාර්ශවයක් ඉදිරිපත් වී මෙම නීතිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර අධිකරණ තීන්දුවක් ලබාගෙන තිබීම නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා අතිශයින් වැදගත් වනවා ඇත.








Saturday, May 9, 2020

භවන


වෙල්යාය අද්දර පුංචි කඳු ගැටයෙකි. ⁣පොළෙවේ සිට අඩි විස්සක්පමණ ඉහළට එසැවුණු ඒ මත නැගුණු කළ වෙල් යායේ එහා ඉම දක්වා වැඩි අපහසුවක් නැතිව බලාගත හැකිය. වෙල් යාය පසුකර හමා එන මද සුළඟ නිරන්තරයෙන් අවට පරිසරය සිහිල් කරවයි. කඳුගැටයේ තැනින් තැන සාදික්කා, කැටකාලා, කොහොඹ ආදී ගස්ය. ඒ අතරින් පතර වැඩුණු කුඩා සමන්පිච්ච වැල් කිහිපයක්ද පෙනේ. කඳුගැටය පාමුල කුඩා ළඳකි. එහි වට ප්‍රමාණය අඩි අටකට වඩා නැත. කුඹුරු මට්ටමේ පිහිටි ළිඳේ කට දක්වා හැමදාම වතුරය. ඊට මදක් ඔබ්බෙන් මදක් වල් බිහිවූ අඩි පාරෙකි. එහි එක් කෙළවරක් මීට අඩි අටසියයක් පමණ ඈතින් නොපෙනෙන මානයේ වූ මහපාරින් කෙළවර වෙයි. අනෙක් කෙළවර සමන් පිච්ච වැල්, සාදික්කා ගස්, කැටකාලා ගස් අතරින් වංගු ගැහි ගැහී කඳු ගැටයේ මුදුණට දිවෙයි.

කඳු ගැටය මුදුණත ඉදිවූ කුඩා නිවසෙකි. ඈත සිට බැලූ කල දුර්වර්ණ වූ බිත්ති සැබැවින්ම ගලින් නිමකරන ලදුව තද කොළ පැහැති පෙඳ පාසියෙන් වැසී ඇති බව ළංවූ බැලූ විට පෙනෙයි.

මුළුමනින්ම පාහේ ගලින් නිමකල නිවසේ කුඩා පෝටිකෝව යට ඇත්⁣තේ පාපැදියක් පමණි. නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළු වූ විට කුඩා සාලයකි. එහි එක් බිත්තියක් පාමුල කුඩා, පරණ, එහෙත් සැපපහසු සෝපාවකි. එයට එපිටින් අපිළිවෙලට තැබූ පුටු දෙකතුනකි. ඊටත් ඔබ්බෙන් කුඩා රූපවාහිනිය තබා ඇත්තේ කපන ලද ගසක මුලකින් තැනූ ස්ටූලයක් මතය.

නිවස තුලද බිත්තිය කළුගල් පැහැයෙන්ම නිමියේය. එය කපරාරු කළේ නම් මීට අගනේ යැයි පළමු වරට බලන්නෙකුට සිතිය හැකිය. නමුත් ඒ හරහා නිවසට එක්කරන ගුහා හැඟීමට ආදරය කරන්නට බොහෝ ඉක්මනට කෙනෙකු පෙළඹෙනවා ඇත.

සෝපාවට ඔබ්බෙන් කුඩා රවුම් මේසයෙකි. එි වටා පුටු හතරකි. මේසය මැද වූ මැටි ගුරුලේත්තුවක් සහ වීදුරු දෙකක් මේසය මත වු පාලුව මකයි.

මේසයට ඔබ්බෙන් වූ කොට බිත්තිය සාලය කුස්සියෙන් වෙන් කරයි. එය මේ කුඩා නිවසටම කැපෙන අපූරු කුස්සියකි. මුළු කුස්සිය වර්ග අඩි 10ක් පමණ වේ. ඒ වටා කලින් තැනූ අඩි දෙකක පමණ පළල මේසයෙක එක කොණක උඳුන් දෙකේ ගෑස් ලිපය. ඊට මෑතින් බත් පිසින විදුලි උදුණ වේ. කුඩා ජල කරාමය සහ ඊට යටින් සවිකල කුඩා සුදු යකඩ බේසම ජනේලය අසළය. කොට බිත්තිය ආසන්නයේ කුස්සිය ඇතුල් පැත්තෙන් වූ ගල් මුවා මේසය මත කුඩා රාක්කයෙකි. එහි ඇති පිරිසිදුව සෝදා අසුරණ ලද පිඟන් කෝප්ප සහ දීසි පමණෙකි මුළු නිවසටම ඇත්තේ. ගල මේසයෙන් පහළට නැමී බැලූ කල උයන පිහන කටයුතු සඳහා ගන්නා වළං කිහිපය වෙයි. ජනේලය ඇති බිත්තියට දකුණු පසින් කුස්සියේ සිට එළියට බසින දොරය. එයින් බැස කුඩා කඳු ගැටයේ අද්දරටම යා හැකිය. ඒ අද්දර ආරක්ෂාවට ගලින් බඳින ලද අඩි දෙකක පමණ උස කුඩා ගල් වැටියෙකි.

නිවසේ බිම් මහලේ සාලයටත් කුස්සියටත් අමතරව කාමර තුනකි. ඒවා ඒ කුඩා නිවසටම කැපෙන කුඩා නිදන කාමරය. හැම කාමරයකම දැවයෙන් නිමවූ සරළ ඇඳක්ද ඊටම ගැලපෙන සරළ අල්මාරියක්ද බිත්තියේ එල්වූ කැඩපතක්ද වෙයි. ඊට ඔබ්බෙන් බෝල රාමුවක් සහ සපත්තු රාක්කයකි. ඇඳ දෙසට හැරවූ කුඩා විදුලි පංකාව ජනේලය අසළ බිත්තිය මුල්ලේ සිටගත් ගමන්ය.

නිවසට ඇත්තේ එක උඩුමහල් කාමරයක් පමණි. එයට නැගීමට කුස්සියට ඔබ්බෙන් නිමවූ අඩි තුනක් පමණ පළල දැවමුවා තරප්පු පෙළකි. තරප්පු පෙල නැගෙනහිර බලා මදක් දුර ගොස් දකුණට හැරී උඩුමහල් කාම⁣රයේ උතුරු කෙළවරින් මතුවේ.

කාමරයේ නැගෙනහිර බිත්තිය විශාල දොර ප්‍රමණෙයේ කවුළුවකි. එය විවෘත වන්නේ ශෛලමය ලියවැලින් ආරක්ෂිත කුඩා සඳලුතලයකටය. සඳලුතලයේ සිට බැලූ කල වෙල්යායද ඊට ඔබ්බෙන් පිහිටි කඳුවැටියද, එම කඳුවැටියේ සිට වෙල් යාය හරහා පියාඹන කුරුල්ලන්ද දැකිය හැකිය. එහි පැත්තක සැපපහසු දැවමය හාන්සි පුටුවකි. එහි ඇන්ද සහ දෙපා තබාගන්නා කොටස සුවපහසු කුෂන් වලින් ආවරණය කර ඇත. හාන්සි පුටුවේ දකුණු පසින් වූ කුඩා ස්ටූලය මත බාගෙට කියවා එලෙසම පිටු පෙරලා තැබූ පොතකි. එය "චාල්ස් ඩාවින්ගේ ශාක හා සතුන්ගේ සම්භවය" බව ළං වී බැලූ විට පෙනේ.

කාමර⁣යේ අනෙක් බිත්ති සියල්ල මහත් අපූර්වත්වයක් උසුලයි. ඒවා සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත්තේ බිම සිට ලී සීලිම දක්වාම දිවෙන දැව මුවා පොත් රාක්ක වලිනි. සුරංගනා කතාන්තර, රහස් පරීක්ෂක කතාන්තර, නවකතා, දේශපාලනික ප්‍රබන්ධ, විද්‍යා ප්‍රබන්ද, චරිතාපදාන, ඉතිහාස කෘති, විද්‍යාත්මක කෘති ඇතුළු එ⁣කී මෙකී නොකී විෂයන් රාශියක පොත් එම රාක්ක සම්පූර්ණයෙන්ම වැසෙන සේ ක්‍රමානුකූලව අසුරා ඇත. රාක්ක අසළ ඇති කුඩා ස්ටූල මත සහ බිමද පොත් අසුරා ඇත්තේ ඒවා ඇසිරීමට රාක්ක වල ඉඩ ප්‍රමාණවත් නොමැති බැවිනි. එය දැකීමෙන් පවා පොත් ගුල්ලෙකු සිහි විසඥ කිරීමට තරම් සමත් පොත් කන්දරාවකින් පිරුණු එම පොත් රාක්ක වලට මෙපිටින් කුඩා ලී මේසයක් සහ ලී පුටුවකි. මේසය මත වසා දමන ලද ලැප්ටොප් පරිඝනකයක්ද ලිවීම සඳහා භාවිත කරන පොත් කිහිපයක් සහ පෑන් පැන්සල් රැදවූ පෑන් රඳවනයකි. මේසයට ඔබ්බෙන් බිම සිටගත් විදුලි පංකාවය. නිවැසියා නිවාඩුපාඩුවේ සඳළුතලයේ හාන්සිපුටුවේ දිගාවී පොත් කියවන අයුරුද ඇතැම්විට මේසයට වාඩිවී තමා ලියමින් සිටින පොතේ මීළඟ පරිච්ඡේදය පරිඝනකගත කරන අයුරුද මේ කාමරයට පැමිණෙන්නෙකුගේ සිතේ මැවෙන්නේ නිතැතිනි.

ඒ සොඳුරු පුස්තකාල කාමරය හාත්පස නැරඹූ මට රාක්ක වල ඇති පොත් එකින් එක පෙරළා බැලීමට නොමැඩිය හැකි කෑදරකමක් ඇතිවිය. නමුත් එයට බාධා කරන යම් අපහසුතාවයකි. ඒ කුමක්ද? ආ. එය නම් මූත්‍රා බරකි. එය නිදහස් කරගැනීමෙන් පසු නැවත පැමිණ මේ පොත් මොනවාදැයි බැලිය හැකිය.

මම කාමරයේ පසෙකින් වූ කුඩා වැසිකිළි කාමරයේ දොර විවෘත කළෙමි. එහි දකුණු පැත්තේ ඇති වැසිකිලි පෝච්චියද, මට කෙළින්ම ඉදිරිපසින් ඇති සින්ක් එකද එයට ඉහළින් අල්ලා ඇති සරළ මූණ බලන කණ්නාඩිය තුලින් මගේම පිළිබිඹුවද මට පෙනේ.

ඒ දෙස වරක් බලා මම වැසිකිලි පෝච්චිය දෙසට යන්නට දකුණට හැරුණේ ඉක්මනින් අවශ්‍යතාවය ඉටුකරගෙන පොත් අතරට වදින්නටය. නමුත් යම්කිසි අමුත්තක් ඇත. එි කුමක්ද?

මා වැසිකිළි පෝච්චිය දෙසට හැරුණද කණ්නාඩිය මත ඇති මගේ පිළිබිඹුව නොහැරී කෙළින්ම මා දෙස බලා හිඳී. බිය විය යුතු බව දැනුණත් මගේ පිළිබිඹුවේ සුහද සිනාව දැක බියක සේයාව අතුරුදන් වීය.

"චූ බරයි නේද?"
පිළිබිඹුව ඇසුවේ කට කොණකින් සිනාසෙමිනි.

"ඔව්" මම කීවෙමි.

"ඉක්මනට චූ කරලා අර පොත් ටික බලන්න යන්න නේද ඕන?" පිළිබිඹුව නැවතත් ඇසුවේය.

"ඔව්. ඇයි?"

"ඒක නම් හොඳයි. උඹ ආසා විදිය නේද?"

"හ්ම්"

"හැබැයි මෙහෙමයි. උඹ ඔය පෝච්චියට චූ කරන්න එපා. එහෙම චූ කරොත් ඇත්තටම තෙමෙන්නෙ උඹේ ඇඳ. මොකද උඹ තාම නිදි. මේක හීනයක්. ඒක හින්ද වෙනද වගේ නැගිටල බාත්රූම් එකට ගිහින් චූ දාපන්"
පිළිබිඹුව කිව්වේ කටකොණක සිනහව මකා නොගනිමිනි.

මම දකුණු අත දිගුකර බැලුවෙමි. වැසිකිළියේ බිත්තිය නොව මට හසුවන්නේ සුමුදු රෙද්දක පහසකි. ඒ කුමක්ද? ආ. ඒ මදුරු දැළයි. මම දෙනෙත් විවර කළෙමි. ඇඳ අසළ කුඩා ස්ටූලය මත තිබූ ජංගමයා ගෙන ඔබා වෙලාව බැලීමි. පාන්දර දෙකයි හතලිස් පහය.

සෙමෙන් නැගී සිටි මම මදුරු දැල මෑත් කර ඇඳෙන් බැස කළුවරේම ගොස් වැසිකිළි දොර විවෘත ක⁣⁣ළෙමි.

"හෙට ඉඳන් වැඩට යන්න එපායැ"
සැහැල්ලුව අත්වඳින අතරතුර හිස කසමින් කල්පනා කළෙමි.

Thursday, May 7, 2020

හැබෑම බුදුන්ගේ රස්තියාදුව

සක්විති රජ නොවුණත්
රජ සැපෙන් ජීවත් වෙලා
මැරෙන්න පුළුවන් තැනක ඉපදිලත්
ඒ හැම දේම අතහැරදමා
තනියම වනගතවෙලා
ලොවේ සියළු ප්‍රශ්න ගැටලු වලට
විසඳුම තමා තුලින්ම සොයාගෙන
සරළබව, නොඇලීම
මමය මාගේය දුරලීම තුලින්
තමා තුලම වූ විමුක්තියක විප්ලවීය මඟ
පෙන්නූ උන්වහන්සේ අද වැඩ ඉඳලා
ඒ දේම කිව්වත්
ඒ මඟම පෙන්නුවත්
අපේ උන් කියයි,
"මූ නම් රස්තියාදුකාරයෙක්,
එන්.ජී.ඕ කාරයෙක්,
රෝ ඔත්තු කාරයෙක්, ⁣
සී.අයි.ඒ උගුලක්
ඩොලර් ගිලපු මපට් එකක්,
මූට පිස්සු"
මොකද මේක දැන් සංකීර්ණ ලෝකයක්
බුදුන්ට කොහොමද ඒක තේරෙන්නෙ
කැක්කුම එන්න පිරිසිදු ලේ තියෙන්න එපැයි
කලවං උන්ට ඕවා තේරෙන් නෑ
ඉන්දියන් උන්ට කොහොම තේරෙන්නෙත් නෑ
මමය මාගේය නොකියා කොහොමද?
අපි ඉතිහාසයෙ ඉඳන්මත්
මිනී මරන්නත්
බුදුන් කියපු පිරිතෙන්
සෙත් පතපු ජාතියක්
යුද්දෙට යද්දිත්
ජයෝ මුනින්දස්ස කියල
බුදුන්ගෙ නමට
සත්‍යක්‍රියා කරපු ජාතියක්
සෙත් පැතුවත් කමක් නෑ
ඒක හරි කියල අදටත්
පරසක්වල ගහන ජාතියක්
අදටත් පල් හොරුන්ට මිනීමරුවන්ට
සෙත් පිරිත් කිය කිය
පිරිත් නූල් බඳින ජාතියක්
ඒ ඔක්කොම කර කර
තමන් කළ යුතු දේ නොකර
රාවණා නැගිටල ඇවිත්
හැමදේම හදල දෙනකල්
බකං නිලන ජාතියක්
ආසයි බලන්න
මේ පඹගාලට
මෙතේ බුදුන් එනකොට
බුදුන්ටත් වඩා බුදුන්ගෙ දහම
මමය මාගේය කරගත්තු
හද්ද ගොං හැත්ත
හීලෑකරගන්න රඟ
මේ පේන විදියට
උන් වහන්සෙටත්
මමය මාගේය ලොකු කරගත්තු
අවබෝධයට වඩා ශ්‍රද්ධාව ලොකු වෙච්ච
ඔළුව කැරකිච්ච
ජාතිවාදීන් ආගම්වාදී අතරෙ
උන්ගෙ පටු හැඟීම් 
තවත් පටු කරන්න
සිවුරු පොරවන් වැදිබණ කියන
ව්‍යාපාරික දේශපාලක සාදුලා අතරේ
රස්තියාදු වෙන්න වෙයි
හැබෑම බුදුන්ගෙ රස්තියාදුව ලිව්වහැකි
අන්න එතකොට

Wednesday, May 6, 2020

ඇප ගැන කියන ඇප නැති කතා

ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්‍රයෙන් පරිබාහිර පුද්ගලයන්ට අන්ධයන් අලියාගේ හැටි කිව්වාක් මෙන් නිශ්චිත හැඩයකින් යුතුව හදුනාගත හැකි දෙයක් නොවේ. එබැවින් ඇප සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දුර්මත පැතිරී තිබෙනු පෙනේ. මෙම ලිපියේ උත්සාහය එවැනි දුර්මත කිහිපයක් සම්බන්ධයෙන් සැබෑ තත්වය පැහැදිලි කිරීම වේ.

ඇප යනු කුමක්ද?

අධිකරණ කටයුත්තකදී ඇපයක් යනු යම් පුද්ගලයෙකු පසු අවස්ථාවකදී අධිකරණයේ පෙනී සිටින බවට එම පුද්ගලයා විසින් හෝ එකී පුද්ගලයා ඉදිරිපත් කරන බවට වෙනත් පුද්ගලයන් විසින් වන පොරොන්දුවකි. එහිදී අධිකරණය විසින් එම පොරොන්දුව මත විශ්වාසය තබා අධිකරණය භාරයේ සිටින පුද්ගලයෙකු සමාජයට මුදාහැරීම සිදුකරයි.

රක්ෂිත බන්ධනාගාර ගතකිරීමක් යනු කුමක්ද?

යම් පුද්ගලයෙකු ඔහු සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ භාරයට පත්කිරීමයි. එය පැහැදිලි ලෙසම වරදකට ලබාදෙන දඩුවමක් නොවන බව අවධාරණය කළ යුතුය. නමුත් සැබෑ ලෙසම රක්ෂිත බන්ධනාගාර ගතකරන පුද්ගලයන් සිටින්නේ සිරගතවය. එසේ හෙයින් බන්ධනාගාර ගතකරන පුද්ගලයාට තමා දඩුවමක් විදින ලද බවට හැගීමක් සහ එකී පුද්ගලයාගේ යම් ක්‍රියාවකින් හානියට පත්වූ අපරාධ වින්දිතයෙකුට තමාට හානි කළ පාර්ශවයට දඩුවමක් දුන්නේය යනුවෙන් හැගීමක් ඇතිවීම නොවැලැක්විය හැකිය.

යම් පුද්ගලයෙකු අපරාධයක් කරන ලද්දේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන්නේද ඇප මත මුදාහරින්නේද යන්න අධිකරණය විසින් තීරණය කරනු ලැබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1 වන උපලේඛනයේ දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන අපරාධ වැරදි වල ලැයිස්තුවක් ඇත. එම ලැයිස්තුවේ 5 වන තීරයේ අදාළ වරද ඇප දිය හැකි වරදක්ද ඇප දිය නොහැකි වරදක්ද යන්න දක්වා ඇත.

ඇප දිය හැකි වැරදි

මෙයින් අදහස් වන්නේ පුද්ගලයෙකුට අයිතියක් ලෙස ඇප ඉල්ලා සිටිය හැකි වැරදි වේ. මෙවැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු පසු අවස්ථාවක පොලිස් ස්ථානයට හෝ අධිකරණයට පැමිණීමට පොරොන්දු වෙමින් අත්සන් කරනු ලබන බැදුම්කරයක් හෙවත් පොලිස් ඇපයක් මත මුදා හැරීමට පොලිස් ස්ථානාධිපතිවරයෙකුට හැකියාව තිබේ.

ඇප දිය හැකි වැරදි සම්බන්ධයෙන් අයිතියක් වශයෙන් ඇප ලබාගැනීමට සැකකරුවෙකුට හැකියාව පවත්නා බව පතිරණ සහ තවත් අයස්ථානාධිපති නිට්ටඹුව පොලීසිය (1988) 1 ශ්‍රීලනීවා 84 නඩු තීන්දුව දක්වයි.

ඇප දිය නොහැකි වැරදි

අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ඉහත කී පළමුවන උපලේඛනයේ පස්වන තීරයේ ඇප දිය නොහැකි වරදක් යනුවෙන් දක්වා ඇත්තේ නම් එවිට අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 403 (2) වගන්තිය සහ ඇප පනතේ 5 වන වගන්තිය අදාළ වේ. 403 (2) වගන්තිය අනුව ඇප දිය නොහැකි වරදකට ඇප නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණට බලය පවතී. ඇප පනතේ 5 වන වගන්තිය යටතේ එකී පනතේ 13 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව එනම් විශේෂයෙන් මහාධිකරණයෙන් ඇප ලබාගත යුතු අවස්ථා වල හැර මහේස්ත්‍රාත් අධිකරණයේ අභිමතය මත ඇප ලබාදීමේ හැකියාව පවත්නා බව දැක්වේ. එනම් ඇප දිය නොහැකි වැරදි යනුවෙන් හැදින්වෙන්නේ කිසිසේත් ඇප දිය නොහැකි වැරදි නොව අධිකරණය හමුවේ කරුණු දක්වා අධිකරණයේ අභිමතය මත ඇප ලබාගත හැකි වැරදි වේ.

කරුණු වල බරපතළකම

බොහෝ පාර්ශවයන් අධිකරණය ඇප සළකා බලන අවස්ථාව කුඩා පරිමාණයේ නඩු විභාගයක් ලෙස සළකන බව පෙනේ. එනම් සැකකරුවෙකුට එරෙහිව විමර්ශනයේදී අනාවරණය කරගන්නා ලද කරුණු දක්වා ඒවායේ ඇති බරපතළකම උද්දීපනය කරමින් ඒ මත ඇප ඉල්ලීමක් ප්‍රතික්ශේප කළයුතුය යන මතය සනාථ කිරීමට බොහෝ නඩුවලදී බොහෝ පාර්ශවයන් උත්සාහ දරති. සැබැවින්ම යම් වරදක බරපතළභාවය පිළිබදව සළකා බලන කල ඒ මත පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නැඹුරුවක් ඇතිවිය හැකිය. නමුත් විමර්ශනයේදී අනාවරණය වන කරුණු වලින් බැලු බැල්මට පෙනී යන සදෝෂත්වය හෝ වරදකාරීත්වය ඇප ඉල්ලීමක් ප්‍රතික්ශේප කිරීමට හෝ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පදනමක් නොවන බව අවධාරණය කළ යුතුය.

බොහෝ අවස්ථාව වලදී දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු ඇප සළකා බැලීම සදහා අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථා වලදී පොලීසිය විසින් සැකකරු මුලින්ම අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී තිබුණාටත් වඩා සැකකරුගේ අපරාධෝච්චාරණය කරවන කරුණු පසුව තව තවත් අනාවරණය කරගත්තේ යැයි කියමින් ඒ මත සැකකරුව තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටින අවස්ථා හිග නොවේ. එය වැරදි ස්ථාවරකි. සදෝෂත්වය ඔප්පු වීම නඩු විභාගයකදී එකී අනාවරණය කරගත්තේ යැයි කියන කරුණු දිවුරුම් පිට ඉදිරිපත් කරනු ලැබ හරස් ප්‍රශ්න වලටද භාජනය වීමෙන් අනතුරුව තවදුරටත් එකී අනාවරණයන් මත විශ්වාසය තැබිය යුතු යැයි පෙනී යන්නේ නම් පමණක් සිදුවන්නකි.

එසේ හෙයින් පළමු වරට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ තිබුණාට වඩා සැකකරුගේ සදෝෂත්වය පෝෂණය කරන තවත් කරුණු පසුව අනාවරණය වූයේ යැයි විමර්ශන නිලධාරියෙකු කරන කරුණු දැක්වීම හෝ සැබැවින්ම එවැනි අලුතින් කරගන්නා අනාවරණයන් මත සැකකරුගේ සදෝෂත්වය වැඩි වන බවක් බැලු බැල්මට පෙනී ගියද එය අප රටේ කිසිදු නීතියක් යටතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව තැබීමට පදනමක් වන්නේ නැත.

අනාවරණය කරගන්නා කරුණු වල බරපතළකම අදාළ වන්නේ එසේ අනාවරණය කරගත් කරුණු මත සැකකරු විසින් සිදු කළා යැයි සැක කරන අපරාධය සදහා ඇප නියම කිරීමට එම අධිකරණයට බලය නොමැති අවස්ථාවකදී සහ අපරාධයේ බරපතළකම හේතුවෙන් මහජන කැළඹීමක් ඇතිවනු ඇතැයි සාධාරණ ලෙස බලාපොරොත්තු විය හැකි අවස්ථාවකදී පමණකි.

වැරදි ගොඩක් එකතු වී බරපතළ වැරැද්දක් සැදෙන්නේ නැත

බොහෝ විට එකම සිදුවීමකදී අපරාධමය වැරදි ගණනාවක් සිදුවන අවස්ථා දක්නට ලැබේ. එනම් පුද්ගලයෙකු බීමතින්, ආරක්ෂක හිස්වැසුම් නොමැතිව, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව, වලංගු ආදායම් බලපත්‍රයක් සහ රක්ෂණ සහතිකයක් නොමැතිව, මෝටර් සයිකලයක් ධාවනය කර පුද්ගලයෙකුගේ ඇගේ හප්පා ඔහුට සුළු තුවාල සිදුකරයි. එවන් අවස්ථාවකදී අනතුර සිදුවන ස්ථානයට රැස්වන දැනමුතු පුද්ගලයන් සහ බොහෝ විට පොලිස් නිලධාරීන්ද එම වැරදි රාශියක් එකට පැවතීම හේතුවෙන් වරදේ බරපතළකම වැඩිවන බව කියමින් පුද්ගලයන් බියගන්වන අවස්ථා දක්නට ලැබේ. මෙයද සම්පූර්ණයෙන්ම සාවද්‍ය ස්ථාවරයකි.

සත්‍ය තත්වය නම් බීමතින් රිය පැදවීම, ආරක්ෂක හිස්වැසුම් නොමැතිව රිය ධාවනය, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය සහ පුද්ගලයෙකුගේ ඇගේ හප්පා ඔහුට සුළු තුවාල සිදුකිරීම එකිනෙකින් ස්වාධීන වෙනස් වැරදි වේ. ඒ එක් එක් වරදට වෙන වෙනම දඩුවම් තිබෙනවා මිස පළමුව සදහන් කළ සියල්ල එකතු වීමෙන් අවසානයේ දැක්වූ සුළු තුවාල කිරීමේ වරදට මිනීමැරුමක ඇති බරපතළකම ආරෝපණය වන්නේ නැත.

ත්‍රාසයට ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණි

එමෙන්ම ඇප සළකා බලන බොහෝ අවස්ථා වලදී අනාවරණය කරගන්නා ලද කරුණු ෂර්ලොක් හෝම්ස් කතාවක මෙන් ලොමු ඩැහැගැන්වෙන පරිදි ත්‍රාස රසය ඉස්මතු වන ආකාරයෙන් අධිකරණයට වාර්තා කිරීමේ ඇත්තේ සාහිත්‍යමය අගයක් පමණි. කතාන්තරය කෙතරම් ත්‍රාසජනක භයානක රසයෙන් අනූන එකක් වුවද අධිකරණයට ඇප සළකා බැලීමේදී තීරණාත්මක වන්නේ කරුණු වාර්තා කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ කුමන වගන්තිය යටතේ වරදක් සිදුකරන බවටද යන්න පමණි.

14 ගහපු නිසා ඉවරද?

ඇප දිය හැකි වරදකට හෝ ඇප දිය නොහැකි වරදකට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ශේප කරනු ලබන්නේ නම් එසේ කළ හැක්කේ ඇප පනතේ 14 වැනි වගන්තියේ සදහන් අවස්ථා 4 යටතේ පමණි. එනම්,

14 (අ) 1 යටතේ දක්වන පරිදි සැකකරු අධිකරණයට නොපැමිණ මගහැරීමේ හැකියාවක් පවත්නා බවට සාධාරණ අනුමිතියක් ඇතිකරගත හැකි කාරණා ඉදිරිපත් වීම.

14 (අ) 2 යටතේ දැක්වෙන පරිදි නඩුවේ සාක්ෂිකරුවන් හෝ සාක්ෂි වෙත මැදිහත් වීමේ ඉඩක් සැකකරුට පවතින්නේ යැයි සාධාරණ අනුමිතියක් ඇතිකරගැනීමට සාධාරණ කරුණු ඉදිරිපත් වීම.

14 (අ) 3 යටතේ දැක්වෙන පරිදි ඇප පිට සිටියදී සැකකරු වෙනත් වරදක් සිදුකිරීමේ අවස්ථාවක් ඇති බවට සාධාරණ අනුමිතියක් ඇතිකරගතහැකි කරුණු ඉදිරිපත් වීම.

14 (ආ) වගන්තය දක්වන ආකාරයට ප්‍රශ්නගත සිදුවීම අරභයා මහජන කැළඹීමක් ඇතිවීමේ හැකියාවක් ඇති බවට කරුණු ඉදිරිපත් වීම.

මෙම අවස්ථා හතර සම්බන්ධයෙන්ම කිවයුතු පොදු කරුණ වන්නේ ඒවා සිදුවිය හැකි බවට පොලිස් නිලධාරියෙකුගේ සිතේ ඇති වන හුදු සැකය පමණක් ඇප පනතේ 14 වැනි වගන්තිය යටතේ සළකා බැලීමට ප්‍රමාණවත් නොවන බවයි. මෙම අවස්ථා හතර පිළිබදව හුදු සැක පහළ කරගන්නේ නම් අධිකරණය හමුවට එන සෑම නඩුවක් සම්බන්ධයෙන්ම එසේ සැක සංකා පහළ කල හැකිය. නමුත් ඇප පනතේ 14 වැනි වගන්තිය ඇත්තේ එසේ හුදු සැක සංකා වලට නීතිමය බලයක් ලබාදීමට නොවන බව අවධාරණය කළ යුතුය. එබැවින් පොදු ජනවහරේ පවත්නා "14 ගහපු නිසා ඉවරයි" යන මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. පොලීසිය විසින් අධිකරණය ඉදිරියේ ඇප පනතේ 14 වගන්තිය යටතේ සිදුකරන කරුණු වාර්තා කිරීමක් අභියෝගයට ලක්කිරීමේ හැකියාව සැකකරුගේ නීතිඥයාට හැකියාව ඇත. එසේ සාර්ථකව අභියෝගයට ලක්කර ඇප ලබාගත් අවස්ථා ඕනෑ තරම් ඇත.

පොලීසිය කරන තර්ජන වලංගුද?

බොහෝ අවස්ථා වල ඇප ලබා නොදෙන බවටත් එබැවින් වරද පිළිගන්නා ලෙසටත් පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන්ට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට පවා තර්ජනය කරන අවස්ථා දක්නට ලැබේ. එය සම්පූර්ණයෙන් අසත්‍ය මවා පෑමක් වනවා පමණක් නොව අධිකරණය සතු බලයක් ව්‍යාජ ලෙස තමාට ඇති බව පෙන්වා අධිකරණයට සිදුකරන අපහාසයකි. එවන් බියගැන්වීම් කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කිරීමට මහජනතාව නොබියව ඉදිරිපත් විය යුතුය.

ඇප සළකා බැලීම සිදුකරන්නේ අධිකරණය විසිනි. පොලීසියට හැකියාව ඇත්තේ එහිදී එක් පක්ෂයක් වෙනුවෙන් කරුණු දැක්වීමට පමණි. අධිකරණයට කරුණු වාර්තා කරන වගන්තිය මත ඇප සළකා බැලෙන ආකාරය තීරණය කිරීමට පොලීසියට යම් හැකියාවක් තිබුණද එය පවා අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට හැකියාව ඇත. සාධාරණ පදනමකින් තොරව යම් බරපතළ වගන්තියක් යටතේ කරුණු වාර්තා කර ඇති බව මහේස්ත්‍රාත්වරයාට පෙනී යන්නේ නම් එම කරුණු දැක්වීම නොසළකා ඇප ලබාදීමට පවා මහේස්ත්‍රාත් වරයෙක-ුට බලය ඇත. එබැවින් පොලීසිය විසින් ඇප ලබා දෙන්නම් යැයි දෙන පොරොන්දුවේ හෝ ඇප ගන්න දෙන්නෙ නෑ යැයි කරන තර්ජනයේ හෝ කිසිම වලංගුතාවයක් නොමැත.

කෙළින්ම ඇප දෙන වැරදි සහ දවස් දාහතර දාන වැරදි

එවැනි වැරදි ශ්‍රී ලංකා නීතිය හදුනා නොගනී. මහේස්ත්‍රාත්වරයෙකු විසින් තම අභිමතය පරිදි පුද්ගලයෙකු බන්ධනාගාර ගත කළ හැකි උපරිම කාලය මත එවන් සාවද්‍ය මතයක් සමාජයේ පැතිරී ඇත. එමෙන්ම යමු සිදුවීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති විට ඔහු රෝහලේ නේවාසිකව සිටින තාක්කල් ඇප දෙන්නේ නැත යම් අයෙකු රිය අනතුරකින් මියගිය විට මරණයේ කටයුතු අවසන් වනතුරු හෝ හත් දවසේ දානය දෙනතුරු සැකකරුට ඇප දෙන්නේ නැත යනුවෙන් පැතිරී ඇති මත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කිව යුතුය.

මෝෂන් වලින් ඇප

"අනේ සර් පුතා දවස් 14කට ගියා සර්. මෝෂන් එකක් දාලාවත් අරන් දෙන්න සර්"

මෙය නීතිඥවරුන් වශයෙන් අපහට අවම වශයෙන් සතියකට දෙවතාවක් වත් අසන්නට ලැබෙන ප්‍රකාශයකි. මෙම ප්‍රකාශයේ තාක්ෂණිකව ගත්කල වරදක් නැතත් එසේ ප්‍රකාශ කරන බොහෝ දෙනා එසේ පවසන්නේ "මෝෂන්" යනු ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථා වලදී භාවිත කළ හැකි "අරුම පුදුම මන්තරයක්" යන දුර්මතයේ සිටිමින් බව පෙනී යන හෙයින් ඒ පිළිබඳව පැහැදිලි කරගතයුතු වේ.

මෝෂන් නොහොත් මෝසමක් නොහොත් යොමුපතක් යනු නඩුවක සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අතිරේකව සිදුකරනු ලබන කාර්යයන් අධිකරණය හා සම්බන්ධ කරන ලියවිල්ලයි . මෝෂන් යන්නෙහි වාච්‍යාර්ථය මීට වෙනස් වන අවස්ථා පැවතියද මෝසමක් යනුවෙන් සාමාන්‍ය ජනයා වටහා ගනු ලබන ලියවිල්ලේ ප්‍රායෝගික අරුත එයයි. නඩුවක් ලබාදී ඇති දිනයට පෙර කැදවා ගැනීම, නඩු වාර්තාවේ පිටපතක් ලබාගැනීම, සාමාන්‍යයෙන් නඩුවට ලබාදී ඇති දිනයකට වෙනස් දිනයකදී නඩු වාර්තාවට යම් ලේඛනයක් ගොණුකිරීම, යම් නඩු භාණ්ඩයක් අධිකරණයට භාරදීම, සැකකරුවකු හෝ චූදිතයෙකු ඉදිරිපත් කිරීම ආදිය මෝසමක් මගින් කළ හැකි වේ. එසේ නොව "ඇප ප්‍රතික්ෂේප වූ නඩුවක පසුවදා මෝසමක් දැමූ පසු ඇප ලැබෙන්නේය" යන්න දුර්මතයකි.

නමුත් එවැනි දුර්මතයක් ඇතිවීමටද හේතුවක් ඇත. නඩුවක සැකකරුවකු ඉදිරිපත් කළ පසුව රටේ පවත්නා ඇප නීතිය යටතේ ඉදිරිපත්වන කරුණු සළකා බලා ඇප ලබාදෙන්නේද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේද යන්න අධිකරණය තීරණය කරයි. එසේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අවස්ථාවකදී, එම සැකකරු සම්බන්ධයෙන් පසුව අනාවරණය වන හෝ එළිදරව් වන යම් වැදගත් කරුණක් වේ නම් අදාළ නඩුව මෝසමක් මගින් නැවත කැදවා අදාළ නව කරුණ ඇතුළුව ඇප ලබාගැනීමට අදාළ අනෙකුත් කරුණු අධිකරණයේ අවධානයට යොමුකර ඇප ලබාගැනීම සදහා ඉල්ලීමක් කළ හැකි වේ. එහිදී කලින් දිනයේදී ඉදිරිපත් වූ කරුණු වලට වඩා මෝසම මගින් ඉදිරිපත් කළ කරුණු වල අදාළ සැකකරුට ඇප නියම කළයුතු වන ආකාරයේ සුවිශේෂී තීරණාත්මක වැදගත්කමක් ඇති බව අධිකරණයට හැගී යන්නේ නම් ඇප නියම කිරීමට අධිකරණය තීරණය කිරීමට ඉඩ ඇත.

අදාළ නඩුව සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් හෝ පුරාවිද්‍යා වාර්තාවක් වැනි ලියවිල්ලක් පැමිණීම, අදාළ සැකකරු එකී අපරාධය නොකළ බවට බලවත් සැකයක් උද්ගතවන කරුණක් විමර්ශනයේදී අනාවරණය වීම යනාදී පෙර කළ නියෝගය නැවත සළකා බැලීමට සිදුවන ආකාරයේ වෙනස් කරුණක් එහිදී ඉදිරිපත් විය යුතුය.

මීට අමතරව පෙර දිනයේදී ඇප ඉල්ලා සිටීමේදී නඩුව සම්බන්ධයෙන් යම් තීරණාත්මක වැදගත්කමක් සහිත කරුණක් එවේලේ නොදැන සිටීම නිසා හෝ අතපසුවීමකින් අධිකරණයේ අවධානයට ලක්කිරීමට නොහැකි වූ අවස්ථා වලදී එම කරුණ අධිකරණයේ අවධානයට යොමුකර ඒ මත ඇප ඉල්ලා සිටීමට හැකියාව ඇත.

එසේ නොමැතිව ඊයේ ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවකු සම්බන්ධයෙන් අද මෝසමක් ගොණුකර පෙර දිනයේ ඇප ඉල්ලීමේදී කියූ කරුණුම නැවත කියූ පලියට ඇප ලැබෙන්නේ නැත. එය බොහෝවිට පෙර කරුණු මතම නැවත නියෝගය සළකා බලන ලෙස කරන ඉල්ලීමක් වන බැවින් අධිකරණය විෂයෙහි සම් අපහාසාත්මක බලපෑමක්ද ගැබ්වන විනිසුරුවරයා අප්‍රසාදයට පත්වන ක්‍රියාවක් බවටද පත්විය හැක.

එසේ හෙයින් ඇප ප්‍රතික්ෂේප වූ වහාම පසුදින මෝසමක් දැමීම ඇප ලබාගැනීමට හැකි නොවරදින මැජික් එකක් නොවේ. පෙර කියූ කරුණු වලට අමතර යමක් කීමට නොමැති නම් එය බොහෝවිට තමන්ගේද අධිකරණයේද කාලය නාස්ති කරන නිකරුණේ මුදල්ද නාස්ති වන පියවරක් වියහැක.

මතයක එල්බගත් විමර්ශකයෙකුගේ නිර්දය අභිලාසයන්

ඇප යන සංකල්පය බොහෝ විට විනිසුරුතුමන්ලාගේ අභිමතය මත පදනම් වන හෙයින් එහි හැඩය නිශ්චිතව හදුනා ගැනීම කෙනෙකුට අපහසු විය හැකිය. එසේ වුවද එකී අභිමතය භාවිත කළ යුතු ආකරය පිළිබදවද නඩු තීන්දු මගින් මග පෙන්වීම් සිදුකර ඇත.

මෙවැනි අවස්ථා පිළිබදව 2001 (1) ශ්‍රී ලංකා නීති වාර්තා 29 වැනි පිටුවේ වාර්තාගත නඩු තීන්දුවක් වන ඩැනී එදිරිව සිරිනිමල් සිල්වා ස්ථානාධිපති පොලිස් ස්ථානය හලාවත යන නඩු තීන්දුවේ දක්වා ඇති පහත කොටස ඉතාම වැදගත් මෙන්ම රසවත්ද වේ.

"පොලීසිය විසින් ඉල්ලා සිටීම මත පමණක් මහෙස්ත්‍රාත්වරුන් විසින් යාන්ත්‍රිකව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝග නිකුත් කිරීම පිළිබදව මාගේ අවධානය මෙහිදී යොමු කළයුතු වේ. මෙහිදී මාගේ සහෝදර ධිරරත්න විනිසුරුතුමන් විසින් 1999 (1) ශ්‍රීලනීවා 372 පිටුවේ වාර්තාගත මහානාම තිලකරත්න එ බන්දුල වික්‍රමසිංහ නඩුවේ මහේස්ත්‍රාත්වරුන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම හා සම්බන්ධයෙන් දක්වා ඇති වචන උපුටා දැක්වීම වඩාත් උචිත වේ.

මතයක එල්බගත් විමර්ශකයෙකුගේ හෝ පැමිණිල්ලේ නීතිඥවරයෙකුගේ නිර්දය අභිලාසයන් මුදුන් පැමිණවීම සදහා මහේස්ත්‍රාත්වරුන් විසින් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝග නිකුත් නොකළ යුත්තේය."

විමර්ශන අවසන් නැති වීම

විමර්ශන කටයුතු තවමත් අවසන් නැති බව කියමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස පොලිස් නිලධාරීන් ඉල්ලා සිටින අවස්ථා බොහෝය. එහෙත් විමර්ශන අවසන් නොවීම යනු සැකකරුවෙකු රක්ෂණ භාරයට පැමිණවීමට හේතුවක් ලෙස ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් හදුනා නොගනී. දුරස්ථ වශයෙන් හෝ එය අදාළ වන්නේ ඇප පනතේ 14 වැනි වගන්තියේ සදහන් පරිදි සාක්ෂිකරුවන්ට සහ සාක්ෂි වලට බලපෑම් කිරීමට සැකකරුට අවස්ථාව තිබෙන විටදී පමණි. 

විමර්ශන අවසන් නැත්තේයැයි පොලිස් නිලධාරීන් ඇප දීමට විරුද්ධ වන අවස්ථා පිළිබදව අභියාචනාධිකරණය 2013 පෙබරවාරි 06 වැනි දින තීරණය කරන ලද CA (PHC) APN 80/12  දරණ කල්‍යාණි ඇල්විටිගල නීතිපති නඩු තීන්දුව ඉතා වැදගත් වේ.

"මෙම නඩුවේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව රජයේ පාර්ශවය විසින් අධිකරණයට අනාවරණය කරන ලදී. අවිනිශ්චිත කාල සීමාවක් මෙම සැකකරු රක්ෂණ භාරයේ තබා ගැනීම ඔහුට යුක්තිය ඉටුකිරීම ප්‍රතික්ශේප කිරීමකි. රජය විසින් දක්වන ලද කරුණු වලට අනුව පැහැදිලි වන්නේ විමර්ශනය මගින් දැනට අනාවරණය වී ඇති කරුණු මෙම සැකකරුට එරෙහිව චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවයි. එසේ හෙයින් චෝදනාවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ලැබෙන තුරු පුද්ගලයෙකු රක්ෂණභාරයේ තබා නොගත යුත්තේය. මෙහිදී රජය විසින් ගතයුතු පළමු පියවර වන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුට විරුද්ධව සාක්ෂි එකතු කරගැනීමට පොලීසිය මෙහෙයැවීමයි"

ඇප සම්බන්ධ නීතිය අධ්‍යනය බොහෝ රසවත් මෙන්ම වැදගත් වේ. ඇප නීතියට අදාළව ඉහත දක්වන ලද වැදගත් කාරණාවන්ට අමතරව තව විශාල විෂය ක්ෂේත්‍රයක් ඇප නීතියට අදාළ වේ. එහෙත් බොහෝදුරට ප්‍රචලිත දුර්මත සම්බන්ධයෙන් ඉහත පැහැදිලි කිරීම ඵලදායී වනු ඇතැයි සිතමි.






Tuesday, May 5, 2020

ගොපල්ලා සහ මී හරක්



ගොපල්ලගෙ නැත්නම් ගොපලු යකාගෙ පුරාවෘත්තය මම එක එක විදියට අහල තියෙනව. රන් කෙවිට චිත්‍රපටයෙ ගොපලු යකා හරි අපූරුවට 3D තාක්ෂණය යටතේ පෙන්නල තිබ්බ. මේ තියෙන්නෙ මම ගොපල්ලා නැත්නම් ගොපලු යකා ගැන මුලින්ම අහපු හැටි:-

මම චූටි අක්කත් එක්ක ගමනක් යනව.

"මෙහෙන් යං මල්ලි. අර තඩි මීහරකෙක් ඉන්නව. අපි අර පැත්තෙන් යමු"

"ඌගෙ ලණුව පාරට දිග නෑනෙ" මම විරෝධය පානව.

"ලණුව දිග නැති වුණාට මල්ලි ඇදල ඉන්නෙ රතුපාටනෙ. ඌ කුළුවෙයි"

"ඇයි ඒ අතු පාටට කුළු වෙන්නෙ?"

"මී හරක් රතු පාට දැක්කම කුළුවෙනව. කුළු වෙලා කඹේ කඩාගෙන අණින්න එනව. අපි අර පැත්තෙන් යමු"

"ඇයි ඒ?"

"මං දන්නෙ නෑ. යංකො"

ඔහොම යද්දි චූටි නැන්දම්ම ඉන්නව. ඒ කියන්නෙ චූටි අක්කගෙ අම්ම.

"චූටි නැන්දම්මෙ. ඇයි මීහරක් රතු පාට දැක්කාම කුලප්පු වෙන්නෙ?"

"පුතේ. උන් ගොපල්ලට බයයි"

"ගොපල්ල කියන්නෙ කවුද?"

"හරක් බලාගන්න යකෙක්. ඌ ඇදල ඉන්නෙ රතුපාටලු. ඌට මීහරක් බයයි"

"ඇයි ඒ බය?"

"ගොපල්ලා මීහරක්ව කෙවිටෙන් ගහල ගාලට දක්කනවනෙ. ඒකයි"

"ඉතින් අපිට පේන්නෙ නෑනෙ ගොපල්ල?"

"අපිට පේන්නෙ නෑ. මීහරකුන්ට විතරයි පේන්නෙ. ඒ වුණාට රතු ඇදගෙන මී හරක් ගාවට යන්න එපා කවදාවත්. උන් ගොපල්ලා කියලා හිතලා කුළු වෙලා අණින්ට එන්න පුළුවං"

Sunday, May 3, 2020

Man to Man (2005)

වෛද්ය ජේම්ස් ඩොඩ් සහ එලේනා වැන් ඩෙන් එන්ඩේ මහත්මිය අප්රිකාවේ එක්තරා වනාන්තර ප්රදේශයකදී මෙතෙක් කල් මිනිසාගේ ඇස නොගැසුණු පිග්මි මානව විශේෂයක් සොයාගෙන ඒ අතරින් පිරිමියෙකු සහ ගැහැණියක අල්ලාගෙන යුරෝපයට ගෙන ඒමට සමත් වෙති. 
 
යුරෝපයේදී වෛද්ය ජේම්ස් ඩොඩීගේ විද්යාඥ මිතුරන් වන සර් ඇලෙක්සැන්ඩර් අවුචින්ලෙක් සහ ෆ්රේසර් මැක්බ්රයිඩ් දෙදෙනා එක්ව විද්යා ලෝකයේ අපූර්ව සොයාගැනීමක් වන මානව පරිණාමයේ අතුරුදහන් වූ පුරුක මෙම පිග්මි මිනිසුන් වෙතැයි සිතා ඔවුන් සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වති. 
 
මෙහිදී ඇලෙක්සැන්ඩර්ගේ සහ ෆ්රේසර්ගේ විශ්වාසය වන්නේ ලෝකයේ බුද්ධිමත් බවින් අගතැන්පත් සුදු මිනිසාගේ සිට පිළිවෙලින් ආසියාතික ආර්යයා අප්රිකානු නීග්රෝ ජාතිකයා යනාදී වශයෙන් බුද්ධිමත් භාවයේ ධූරාවලිය ඉහළ සිට පහළට විහිදෙන බවයි. ඒ අනුව මෙම පිග්මි මිනිසුන් නීග්රෝ ජාතිකයන් සහ නියැන්ඩර්තාල් මානවයා අතර ස්ථානගත කිරීමට ඔවුන් දෙදෙනා උත්සාහ කරති. 
 
ආරම්භයේදී දැඩි ආක්රමණශීලී කළහකාරී බවක් පෙන්වන පිග්මි මිනිසුන් ක්රම ක්රමයෙන් වෛද්ය ඩොඩ් සමග මිත්රත්වයක් සහ අවබෝධයක් ගොඩනගාගනී. එමෙන්ම ඔවුන්ගේ හැසිරීම් රටාව සමීපව නිරීක්ෂණය කරන වෛද්ය ඩොඩ්ද වටහා ගන්නේ මෙම පිග්මි මිනිසුන් සර් ඇලෙක්සැන්ඩර් සහ ෆ්රේසර් ප්රකාශ කරන ආකාරයේ වානරයා සහ මානවයා අතර සිටින නොදියුණු ම්ලේච්ඡ විශේෂයක් නොවන බවත් නූතන මානවයා තරමටම දියුණු මනසකින් යුත් හැගීම් දැනීම් ඇති තවත් මිනිසුන් කණ්ඩායමක් බවයි. 
 
ඔවුන් එක් අවස්ථාවකදී බේරී පළායාම සදහා ඉතාම සූක්ෂම සැළැස්මක් දියත් කිරීම හේතුවෙන් ඔවුන්ගේ බුද්ධි මට්ටම පිළිබදව වෛද්ය ඩොඩ්ගේ මතය තහවුරු වේ. කෙසේ වෙතත් මෙම පළා යාමේ උත්සාහයේදී පිග්මි ගැහැණිය විසින් පිස්තෝලයක් උදුරාගෙන තබන වෙඩිල්ලකින් සුදු ජාතිකයෙකු මරණයට පත්වේ. ඉතා කපටි පුද්ගලයෙකු වන ඇලෙක්සැන්ඩර් මෙහිදී සත්ය තත්වය වසන් කර එය ෆ්රේසර් අතින් වැරදීමකින් පත්තු වූ වෙඩිල්ලක් හේතුවෙන් සිදුවූ මරණයක් බව පැවසීමට ෆ්රේසර් පොළඹවාගනී. 
 
මෙහිදී පිග්මින් දෙදෙනාගේ නිදහස පිළිබදව හැගීම වැඩිදියුණු කිරීමට වනාන්තරයේ පැලක් සාදා ඔවුන්ව එහි පදිංචි කරවීමට වෛද්ය ඩොඩ් ක්රියා කරයි. ඔවුන් ඔවුන්ට ආවේණික අයුරින් ලිකෝලා ගෙදරදොර වැඩකටයුතු සිදුකරමින්ද ටෝකෝ දඩයම් කරමින්ද ප්රාණවත්ව ජීවත් වීමට පටන් ගනිති. එහිදී ඔවුන්ව නිරීක්ෂණය කරන විද්යාඥයින්ට ඔවුන්ගේ දියුණු ගති ලක්ෂණ දැක පුදුමයට පත්වීමට සිදුවේ. 
 
කෙසේ වෙතත් මෙයඇලෙක්සැන්ඩර්ගේ සහ ෆ්රේසර්ගේ නොසතුටට හේතු වේ. ඔවුන් චෝදනා කරන්නේ වෛද්ය ඩොඩී විද්යාත්මක නිදර්ශක හුරතල් කරන පිස්සෙකු බවයි.
පිග්මි මිනිසුන්ද දියුණු මානවයන් බව පෙනී යාම හේතුවෙන් මෙම පිග්මි මිනිසුන් නොදියුණු ම්ලේච්ඡයන් ලෙසත් පරිණාමයේ අතුරුදහන් වූ පුරුක ලෙසත් ලොවට හදුන්වාදීම සදහා ඇලෙක්සැන්ඩර් සහ ෆ්රේසර් විසින් සංවිධානය කරන ප්රසිද්ධ දේශනය පමා කළ යුතු බවට වෛද්ය ඩොඩ් අවධාරණය කරයි.
 
මෙහිදී උපක්රමශීලීව වෛද්ය ඩොඩ් සිරකරන ඇලෙක්සැන්ඩර් සහ ෆ්රේසර් ප්රසිද්ධ දේශනයක් පවත්වා ටෝකෝ සහ නිකෝලා නැමැති පිග්මින් දෙදෙනා මිනීකන වනචාරීන් බවටත් නොදියුණු ගෝත්රිකයන් බවටත් පරිණාමයේ අතුරුදන් වූ පුරුක බවටත් හදුන්වා දෙමින් දේශනයක් පවත්වති. ඉන්පසුව ඔවුන් දෙදෙනා ඇලෙක්සැන්ඩර් සහ ෆ්රේසර් විසින් සොයාගන්නා ලද පරිණාමයේ අතුරුදන් වූ පුරුක ලෙස හදුන්වන පුවරුවක්ද සමග සත්වෝද්යානයක කුඩුවක ප්රදර්ශනයට තබති.
 
මෙහිදී දැඩි කම්පාවට පත්වන පිග්මින් දෙදෙනා ආහාර ගැනීම පවා ප්රතික්ශේප කරති. ඔවුන් ඒ හේතුවෙන් ක්රම ක්රමයෙන් දුර්වලව ගිලන් වෙති. අවසානයේ පිග්මින්ගේ භාරකාරිය ලෙස එලේනා වැන් ඩෙන් එන්ඩේ මහත්මිය වෛද්ය ඩොඩී කැදවයි. පිග්මි පුරුෂයා වන ටෝකෝ එහිදී වෛද්යවරයාට පවසන්නේ ලිකෝලා ගැබිණියක් බවයි. වෛද්ය ඩොඩී පිළිබදව විශ්වාසය තබන පිග්මි යුවල ආහාර අනුභව කොට සුවපත් වෙති. පිග්මින්ගේ බුද්ධි මට්ටම පිළිබදව මහජනයාට හෙළිදරව් කිරීමට සුදුසු උපක්රමයක් වෛද්ය ඩොඩී කල්පනා කරයි. 
 
එහිදී ඇලෙක්සැන්ඩර් සහ ෆ්රේසර්ගේද අවසරය ඇතිව වෛද්ය ඩොඩී විසින් සත්වෝද්යානයේ කූඩුව තුල පිග්මි යුවළ රිළවුන් සේ නැටවීමේ සංදර්ශනයක් ආරම්භ කරයි. එහිදී වෛද්ය ඩොඩී වන සතුන් මෙහෙයවන්නෙකු මෙන් කසයක් රැගෙන පිග්මි යුවළ ලවා විවිධ දෑ කරවයි. නරඹන්නෝ අත්පොළසන් දෙති. එක්වරම කසය උදුරාගන්නා පිග්මි පිරිමියා එයින් වෛද්ය ඩොඩීට පහර දීමට තර්ජනය කරයි. ඩොඩීගේ පිස්තෝලය අතට ගන්නා පිග්මි ගැහැනිය වෛද්යවරයාට වෙඩි තැබීමට තර්ජනය කරයි. ඔවුන්ගේ තර්ජනයෙන් පස්සෙන් පස්සට යන ඩොඩී පුටුවක ඉදගනී. ඒ සමගම පිග්මි පිරිමියා විසින් ඩොඩී ඉදිරිපිට පුවරුවක් නිරාවරණය කරයි. එහි සදහන් වවන්නේ හෝමෝ සේපියන් මානවයෙකි වයස 30යි යනුවෙනි. ඒ සමගම පිග්මින් දෙදෙනා නරඹන්නන්ට ආචාර කරති. මෙය සම්පූර්ණයෙන්ම රංගනයක් බවත් පිග්මින්ද සාමාන්ය මිනිසුන් තරමටම බුද්ධිමත් බවත් ක්රියාවෙන් ඔප්පු වේ. ඇලෙක්සැන්ඩර් සහ ෆ්රේසර් කෝපයෙන් පිටව යති. 
 
පිග්මි ගැහැණිය ගර්භනී බව ෆ්රේසර්ට දැනගන්නට ලැබෙයි. එය ඔහුගෙන් දැනගන්නා ඇලෙක්සැන්ඩර් ලිකෝලා පැහැරගෙන විත් ඇගේ දරුගැබ පර්යේෂණ සදහා කළල අවස්ථාවේ පිටතට ගැනීමට තැත් කරයි. අවසාන මොහොතේ විශාල පිරිසක් සමග එතැනට කඩා වදින වෛද්ය ඩොඩී සහ ටෝකෝ ලිකෝලා සහ ඇගේ දරු ගැබ බේරා ගනිති. ඇලෙක්සැන්ඩර් කෝපයෙන් පවසන්නේ ම්ලේච්ඡයන්ට අයිතිවාසිකම් නැති බවත් ඒ නිසා තමා කරන්නට තැත් කළ දෙය නිවැරදි බවත්ය. එහිදී සියල්ලෝම පුදුමයට පත්කරමින් වෛද්ය ඩොඩී පවසන්නේ ලිකෝලාගේ කුසතුල සිටින දරුවාගේ පියා තමා විය හැකි බැවින් කිසිවෙකු ඇයට හානි නොකළ යුතු බවයි. 
 
මෙහිදී ඇලෙක්සැන්ඩර් දැඩි කෝපයෙන් පිටවී යයි. සැත්කම් පිහියක් අතෙහි සගවාගන්නා ටෝකෝද ඔහු පසුපසින් රහසින් හඹා ගොස් ඔහුගේ ගෙල කපා දමන්නේ තම ප්රියාවිය වූ ලිකෝලාට කිරීමට තැත් කළ දෙයට පළිගැනීමක් වශයෙනි. එය දකින ජනතාව ටෝකෝ හඹා ගොස් ඔහු මරා දමයි.
 
වෛද්ය ඩොඩී සහ එලේනා වෑන් ඩෙන් එන්ඩේ මහත්මිය ලිකෝලා රැකබලාගනී. ටෝකෝගේ ප්රහාරයෙන් දිවි ගලවාගන්නා ඇලෙක්සැන්ඩර් තවත් දුෂ්ඨ සැළැස්මක් දියත් කරයි. එනම් කලකට පෙර ලිකෝලා අතින් වෙඩි වැදී මියගිය තැනැත්තාගේ භාර්යාව ලවා ලිකෝලාට තර්ජනය කරවීමයි. එහිදී ලිකෝලාට මිනීමැරුම් චෝදනා ගෙනැවිත් මරණීය දණ්ඩනය ලබාදෙන බවට ලිකෝලාට තර්ජනය කරයි. එසේ නොකරන්නට නම් ලිකෝලාගේ දරුවා විද්යාත්මක පර්යේෂණ සදහා ඇලෙක්සැන්ඩර්ට දිය යුතු බවටත් පිග්මින් බුද්ධිමත් මානවයින් පිරිසක් නොවන බවට වෛද්ය ඩොඩී ප්රසිද්ධ ප්රකාශයකින් පිළිගත යුතු බවටත් තර්ජනය කරයි. 
 
එකී තර්ජනයෙන් ලිකෝලා ගලවා ගැනීම සදහා වෛද්ය ඩොඩී ලිකෝලාව නැවත අප්රිකාවට රැගෙන යයි. අතරමගදී ලිකෝලා ටෝකෝට දාව තමාට පිළිසිදගෙන ඇති දරුවා ප්රසූත කරයි. අවසාන දර්ශනයේදී වෛද්ය ඩොඩීගෙන් සමුගන්නා ලිකෝලා දරුවාද රැගෙන තමාට හුරු පුරුදු වනාන්තරය තුලට ගමන් කරයි. 
 
ජාතික රූපවාහිනිය විකාශය කිරීම සදහා තෝරාගන්නා චිත්රපට ඉතාමත් උසස් රසවින්දනයකින් යුතුව ප්රවේශමෙන් තෝරාගන්නා බව දැන සිටියෙමි. නමුත් ඊයේ (02) දහවල් 12.30 සිට සවස 3 දක්වා විකාශය වූ මෙම චිත්රපටය සැබැවින්ම මා මවිතයට පත්කර සොළවා දමන තරම් ප්රබල වූ වස්තු විෂයක් කැටිකොටගත් නිර්මාණයක් බව කිව යුතුමය.



දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...