ඔන්න එකෝමත් එක රටක එක ගමක පන්සලේ දායක සභාවෙ සභාපති තෝරන්න ඡන්දයක් තිබ්බලු. දෙන්නෙක් ඉදිරිපත් වුණාලු. එක්කෙනෙක් ගමේ කසිප්පු මුදලාලිලු. අනිත් එක්කෙනා පරිපාලන නිලධාරියෙක් හැටියට ඉඳල විශ්‍රාම ගිය කෙනෙක්ලු.
මුලින් කසිප්පු මුදලාලි නැගිටලා දරුවන්ගෙ සාරධර්ම ගැන, අපේ කම ගැන පපුවට ගහ ගහ බොහොම හිත් ඇදගන්නා කතාවක් කරාලු. එයාගෙ කැචර්ල මහ හයියෙන් අප්පුඩිත් ගැහුවලු. සමහරු සාදු සාදු සා... කියලත් කිව්වලු.
ඒ ගමන් අර විශ්‍රාමික පරිපාලන නිලධාරියා නැගිටලා කියන්න ගත්තලු "ගමේ පූජනීය ස්ථානයේ ප්‍රධාන ගිහි තනතුරකට මත්පැන් හදල විකුණන කෙනෙක් එන එක වැරදියි, සාරධර්ම කැලේ යනව, අපේකම ගැන එයා කොහොමද රෙදි ඇඳගෙන කතා කරන්නෙ, ඒක විහිළුවක්" අරකයි මේකයි කියල. එයාගෙ කැචර්ල ඒකට ෆුල් සප් එක දීල අප්පුඩි ගැහුවලු.
ඊට පස්සෙ කසිප්පු මුදලාලි නැගිටල මෙහෙම කිව්වලු.
"කසිප්පු පෙරන මං අපේකම ගැන සාරධර්ම ගැන කතා කරන එක විහිළුවක් නං, ටවුමෙ බාර් එකෙන් බෝතලයක් ගෙදර ගෙනත් තියාගෙන හැන්දෑවට හීනියට අඩියක් ගහන අපේ පැංසොං ගිය සිවිල් සර්විස් මහත්තය ඒක විහිළුවක් කියන එක, ඊටත් වඩා විහිළුවක්"
කසිප්පු මුදලාලිගෙ කැචර්ල ටික උඩ පැන පැන හිනා වෙවී අප්පුඩි ගැහුවලු. මොනව වුණත් පැංසොං ගිය සිවිල් සර්විස් උන්නැහේ හැන්දෑවට වීදුරුවක් විතර ගන්න කතාවත් ඇත්තලු. ඉතිං එයාගෙ කැචර්ලට මේ කෝචොක් එක හරි මදි වුණාලු.
"හැබෑට ඒකත් ඇත්තනෙ. පැංසොං මහත්තයත් හවසට බොනවනෙ. ඒක ඉතිං වැරදිනෙ. එයා කොහොමද මුදලාලිට ඇඟිල්ල දික්කරන්නෙ" කියල පැංසොං මහත්තයගෙ කැචර්ල ගණනාවක් ඡන්දෙට ඉන්නෙ නැතුව යන්න ගියාලු.
ඔයින් මෙයින් ඡන්දෙන් කසිප්පු මුදලාලි උඩින්ම දින්නලු. පැංසොං මහත්තය කළකිරිල හාමුදුරුවො මැදිහත් වෙලා දෙන්න හදපු උපසභාපතිකමවත් භාරගන්නෙ නැතුව යන්න ගියාලු.
එදා ඉඳන් කසිප්පු මුදලාලිලු දායක සභාවෙ සභාපති. මාසෙකට සැරයක් එයාගෙ මූලිකත්වයෙං පන්සලේ මහ ඉහළින් පිංකමක් කරනවමලු. හැමදාම පන්සලේ අලුතින් මොනවහරි හදනවමලු. පෝය දාට රටේ ප්‍රසිද්ධ විචිත්‍ර ධර්ම කථික හාමුදුරු කෙනෙක් ගෙනල්ල බණක් කියනවමලු. ඒ හැම උත්සවේකම මුදලාලිත් සාරධර්ම ගැන අපේකම ගැන අහන උන්ගෙ පඬි කෙළිං වෙන ජාති කතාවක් පවත්තනවලු. දැන් ඒක විහිළුවක් කියන්න කවුරුවත් නෑලු. හාමුදුරුවන්ටත් හරි සතුටුයිලු. උපාසකම්මලත් "අනේ සාදු අපේ මුදලාලි නම් පිං කඳක්" කිය කිය මුදලාලිට පිං දිදී වැඳගෙන මුදලාලි හදපු චෛත්‍යය වටේ යනවලු.
ඔන්න ඔහොමයි වුණැයි කියන්නෙ.
(කතාව සම්පූර්ණයෙන්ම මන:කල්පිතයි. ඡායාරූපය අහඹු ලෙස අන්තර්ජාලයෙන් තෝරාගත් එකකි)
No comments:
Post a Comment