Saturday, May 16, 2020

සාහිත්‍ය පාඩම්

මේ ඡායාරූප කිහිපය බුකිගත කරන්න හේතු දෙකක් තියෙනව.

1. පළවෙනි හේතුව තමයි මීට දින කිහිපයකට පෙර ඉස්සර පාසැල් කියවීම් පොතක පිටු කිහිපයක් අරබයා ඇතිවූ කතාබහකදී වර්තමාන පාඩම් පොත් වලට සාපේක්ෂව අතීත පාඩම් පොත් වල තිබූ සාරගර්භ භාවය පිළිබඳ ඇතිවූ කතාබහ සහ එවැනි පරණ පාඩම් පොතක් මා සතුවත් තිබුණු බව සිහිපත් වීම.







මේ තියෙන්නෙ "සාහිත්‍ය පාඩම් - පස්වන ප්‍රමාණයේ කියවීම් පොත". අවාසනාවකට පිටකවරය ගැලවී ගිහින්. 1953දි වී.ඩී. ලැනරෝල් විසින් සම්පාදනය කරල තියෙන්නෙ. ඔහු සම්පාදනය කළාට ඔහු ලියපු පාඩමක් මේකෙ ඇතුලත් නැහැ. විවිධ සාහිත්‍යකෘති වලින් පාඩම් උපුටාගෙන ඒවාට අවසානයේ සාහිත්‍ය ප්‍රශ්න එකතු කිරීමයි ඔහු කරල තියෙන්නෙ.

ඒ අතර එක පාඩමක් තමයි "අටපිරිකර". එහි ඡායාරූප මෙහි ඇතුලත්. කතාව සහ අවසානයේ ඇති ප්‍රශ්න වල ස්වභාවය හොඳින් කියවා බැලුවොත් අපි අධ්‍යාපනයේ ආකල්ප සංවර්ධනයේ ඉදිරියට ගිය රටක් ද පසුපසට ගිය රටක්ද කියන එක හොඳට හිතාගත්තහැකි.









2. අනිත් හේතුව තමයි දැනට දවස් තුනකට හතරකට උඩදි මම "පිං කඳ" මැයෙන් ලියපු කතාන්තරයට ලැබී තිබුණ ඇතැම් ප්‍රතිචාර. ඒ ප්‍රතිචාර කතාවේ හරය තේරුම් නොගෙන දක්වපු ඒව කියල කෙනෙකුට කියන්න පුළුවන් වුණත් ඒ අනවබෝධයේ සහ අන්ධ භක්තියේ භයංකාර බව නොසළකා හැරිය නොහැකියි.

පන්සල හා බැඳුණු විවිධ සංස්කෘතීන් තියනව. ඒවායින් 99%ක්ම බුදුහාමුදරුවන් විසින් ඇතිකරපු සංස්කෘතීන්ට වඩා පසුකාලීනව "බෞද්ධාගමික සංස්ථාව" කියන ප්‍රපංචය විසින් විවිධාකාර හේතූන් මත වාසියට ඇතිකරගත් දේවල්.

සමාජයේ වැඩිදෙනෙක් ඒ ඇතැම් නිසරු සංස්කෘතීන් බෞද්ධාග⁣මේ කොටසක් ලෙස ගෙන ඒවාට පවා වැඩිදුර නොහිතා සාදුකාර දෙන හැටි පේනව. යමක් දෙස විචාරශීලීව බලනු ඇතැයි අපේක්ෂිත උගත් බුද්ධිමත් යැයි සම්මත ඇතැම් අය වුණත් ආගම කියන කාරණයෙදි ආගමික සංස්ථාවත් එක්ක ගැටගැහුණ ඕන කුණු ගොඩකට සාදුකාර දීම කණගාටුදායකයි.

මෙහි උපුටා දක්වා ඇති "අටපිරිකර" කෙටි කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ විප්ලවීය කෙටි කතා සංග්‍රහයක් ලෙස මම හඳුන්වන "පවුකාරයාට ගල්ගැසීම" කෘතියේ එන එක කතාවක්.

මේ කතාව වගේම ඒ කෘතියේ තියන සෑම කෙටිකතාවක්ම පාහේ සමාජයේ මුල්බැසගෙන ඇති පුහු ගතානුගතිකත්වයට අනුකම්පා විරහිතව තදින් පහරදෙන කතා. ඒකෙදි බෞද්ධාගමික සංස්ථාවට කියල විශේෂයක් කරල නෑ. එතන තියන බොරු වළවල් වලටත් ⁣රිදෙන්න ගහල තියනව.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...