මම ජාතිකවාදියෙක් නෙමෙයි. ඒකට හේතු දෙකක් තියනව. එකක් ජාතිය පෞද්ගලිකයි. අනික දේශපාලනික තලයට ජාතිය තීරණාත්මකව ගෙනාපුවම දේශපාලනිකව කතා කළ යුතු අනෙක් සියළු වැදගත් දේ යටපත් වෙලා ජාතිය විතරක් ප්‍රමුඛ වෙනව. අන්තිමට කොයිතරම් හොඳ අදහස් තියන කෙනෙකුට වුණත් ඒ හැම එකක්ම පැත්තකට දාල වෙන මොකවත් නොකර ජාතිය ජාතිය කිය කිය ඉන්න වෙනව. ඒක හරි අපරාධයක්. ඒ නිසා මං කැමතියි ජාතිකවාදය සංකල්පයක් හැටියට පරදිනව දකින්න. හැම ජාතියකටම අදාළව.
ලෝකය කාලෙකට සැරයක් ආයෙමත් පැරණි අසාර්ථක හා භයානක දේවල් අත්හදා බලනව. සමහර අය නොදැනුවත්ව. තව සමහර අය දැනගෙනම මේ පාර වරදින එකක් නෑ කියන බලාපොරොත්තුවෙන්.
හිට්ලර් ජාතිකවාදය ට්‍රයි කළා. ලෝකයම ලොකු වන්දියක් ගෙව්වා. ඒ ගැන ලියවිච්ච දේවල් අද බොහෝම දුරස් ඉතිහාසයක් වෙලා. විශේෂයෙන්ම තරුණ පරපුරට. තීරණාත්මක වැදගත්කමක් නැති තරම්ම දුරස් ඉතිහාසයක්. ඒ නිසා ඔවුන් අද ගිණිහුල පස්සෙ දුවන මැස්සො වගේ ජාතිකවාදය පස්සෙ දුවන එකේ පුදුමයකුත් නෑ. ඇත්තටම බැලුවොත් උන් ඇරපු අතක් නෑ නට්සීන්ම තමයි.
සමාජ පරිණාමය විසින් ජාතිකවාදය පරද්දනව එක තැනකදි අනිවාර්යයෙන්ම. ජාතිකවාදය විතරක් නෙමෙයි අනිත් ඕනෑම සංකලපයකට වුණත් ඒ ඉරණමෙන් ගැලවෙන්න බෑ. අනික එහෙම පැරැද්දිය යුතුයි. ලෝකෙ අලුත් වෙන්නෙ එහෙම.
ඒත් සමාජ විද්‍යාත්මකව ගත්තම ජාතිකවාදය පැරැද්දීම මගදි වුණොත්, ඒ කියන්නෙ ජාතිකවාදය peak වෙලා කූට ප්‍රාප්තිය ලබන්න කලින් සිද්ධ වුණොත් ආයෙත් බොහොම කෙටි කාලෙකදි නැගිටින්න තියෙන බර වැඩියි.
කොහොමත් ආයෙත් නැගිටිනවා. ඒක ලෝක ස්වභාවය. ඒත් මුදුණින්, හිණි පෙත්තෙන් වැටුණාම නැගිටගන්න බැරුව වැටිලම ඉන්න වෙන කාලය වැඩියි. ඒ නිසා ජාතිකවාදය, ආගම්වාදය, කුල වාදය වගේ පුහු දේවල් දේශපාලනිකව තීරණාත්මක වෙනවට අකමැතිනම් සමාජ විද්‍යාත්මකව කළ යුතු හොඳම දේ ඒවට අසාමාන්‍ය ලෙස වේගයෙන් වැඩෙන්නට ඉඩහැරීම. වේගෙන් මුදුණට දුවන්නට ඉඩහැරීම. පුළුවන් තරම් හයියෙන් කමෝන් කීම.
එතකොට ඉක්මනටම මුදුණින් වැටෙයි. මුදුණ උස වුණ තරමට මෝරලා තියෙන තරමට ඒක මරණීය වැටීමක්ද අබ්බගාත වෙන වැටීමක්ද විහිළුවක් වෙන පිස්සු හැදෙන වැටීමක්ද කියල තීරණය වෙයි. මගේ පුද්ගලික මතය නම් කොයිතරම් උසකින් වැටුණත් සංකල්ප එහෙම මැරෙන්නෙ නම් නෑ.
ඒ ජාතිකවාදය වැටෙනවට ආස අය ඒක මුදුණින්ම වැටෙන්න අරින්න. මගදි බාධා කරන්න ගමන මන්දගාමී කරන්න එපා. එතකොට කාලෙකට ඒ කරච්චලේ ඉවරයි.
එහෙම වෙච්ච තැන් තියනව. පහුගිය ආණ්ඩුව "යහපාලනය" කියන වචනය හිනායන වචනයක් බවට පත්කලා. මේ ආණ්ඩුව "වියත්" කියන වචනෙට ඒක කරමින් යනව. විමල් වීරවංශ "දේශප්රේමී" කියන වචනෙ සම්පූර්ණයෙන්ම විහිළුවක් බවට පත්කලා.
එහෙම තමයි ලෝකෙ හැටි. දෙයක් විනාශ කැල නැති බංග කරලම දාන්නෙ ඒක ඔලුව උඩ තියාගෙන ඉක්මනට මුදුණට දුවන මිනිස්සු. මොකද ඊළඟට ඒක වැටෙනවා. දුවන එකෙන් මුදුණට යෑම ඉක්මන් වෙනවා. වැටීමත් ඉක්මන් වෙනවා.
No comments:
Post a Comment