වෙල්යාය අද්දර පුංචි කඳු ගැටයෙකි. පොළෙවේ සිට අඩි විස්සක්පමණ ඉහළට එසැවුණු ඒ මත නැගුණු කළ වෙල් යායේ එහා ඉම දක්වා වැඩි අපහසුවක් නැතිව බලාගත හැකිය. වෙල් යාය පසුකර හමා එන මද සුළඟ නිරන්තරයෙන් අවට පරිසරය සිහිල් කරවයි. කඳුගැටයේ තැනින් තැන සාදික්කා, කැටකාලා, කොහොඹ ආදී ගස්ය. ඒ අතරින් පතර වැඩුණු කුඩා සමන්පිච්ච වැල් කිහිපයක්ද පෙනේ. කඳුගැටය පාමුල කුඩා ළඳකි. එහි වට ප්‍රමාණය අඩි අටකට වඩා නැත. කුඹුරු මට්ටමේ පිහිටි ළිඳේ කට දක්වා හැමදාම වතුරය. ඊට මදක් ඔබ්බෙන් මදක් වල් බිහිවූ අඩි පාරෙකි. එහි එක් කෙළවරක් මීට අඩි අටසියයක් පමණ ඈතින් නොපෙනෙන මානයේ වූ මහපාරින් කෙළවර වෙයි. අනෙක් කෙළවර සමන් පිච්ච වැල්, සාදික්කා ගස්, කැටකාලා ගස් අතරින් වංගු ගැහි ගැහී කඳු ගැටයේ මුදුණට දිවෙයි.
කඳු ගැටය මුදුණත ඉදිවූ කුඩා නිවසෙකි. ඈත සිට බැලූ කල දුර්වර්ණ වූ බිත්ති සැබැවින්ම ගලින් නිමකරන ලදුව තද කොළ පැහැති පෙඳ පාසියෙන් වැසී ඇති බව ළංවූ බැලූ විට පෙනෙයි.
මුළුමනින්ම පාහේ ගලින් නිමකල නිවසේ කුඩා පෝටිකෝව යට ඇත්තේ පාපැදියක් පමණි. නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළු වූ විට කුඩා සාලයකි. එහි එක් බිත්තියක් පාමුල කුඩා, පරණ, එහෙත් සැපපහසු සෝපාවකි. එයට එපිටින් අපිළිවෙලට තැබූ පුටු දෙකතුනකි. ඊටත් ඔබ්බෙන් කුඩා රූපවාහිනිය තබා ඇත්තේ කපන ලද ගසක මුලකින් තැනූ ස්ටූලයක් මතය.
නිවස තුලද බිත්තිය කළුගල් පැහැයෙන්ම නිමියේය. එය කපරාරු කළේ නම් මීට අගනේ යැයි පළමු වරට බලන්නෙකුට සිතිය හැකිය. නමුත් ඒ හරහා නිවසට එක්කරන ගුහා හැඟීමට ආදරය කරන්නට බොහෝ ඉක්මනට කෙනෙකු පෙළඹෙනවා ඇත.
සෝපාවට ඔබ්බෙන් කුඩා රවුම් මේසයෙකි. එි වටා පුටු හතරකි. මේසය මැද වූ මැටි ගුරුලේත්තුවක් සහ වීදුරු දෙකක් මේසය මත වු පාලුව මකයි.
මේසයට ඔබ්බෙන් වූ කොට බිත්තිය සාලය කුස්සියෙන් වෙන් කරයි. එය මේ කුඩා නිවසටම කැපෙන අපූරු කුස්සියකි. මුළු කුස්සිය වර්ග අඩි 10ක් පමණ වේ. ඒ වටා කලින් තැනූ අඩි දෙකක පමණ පළල මේසයෙක එක කොණක උඳුන් දෙකේ ගෑස් ලිපය. ඊට මෑතින් බත් පිසින විදුලි උදුණ වේ. කුඩා ජල කරාමය සහ ඊට යටින් සවිකල කුඩා සුදු යකඩ බේසම ජනේලය අසළය. කොට බිත්තිය ආසන්නයේ කුස්සිය ඇතුල් පැත්තෙන් වූ ගල් මුවා මේසය මත කුඩා රාක්කයෙකි. එහි ඇති පිරිසිදුව සෝදා අසුරණ ලද පිඟන් කෝප්ප සහ දීසි පමණෙකි මුළු නිවසටම ඇත්තේ. ගල මේසයෙන් පහළට නැමී බැලූ කල උයන පිහන කටයුතු සඳහා ගන්නා වළං කිහිපය වෙයි. ජනේලය ඇති බිත්තියට දකුණු පසින් කුස්සියේ සිට එළියට බසින දොරය. එයින් බැස කුඩා කඳු ගැටයේ අද්දරටම යා හැකිය. ඒ අද්දර ආරක්ෂාවට ගලින් බඳින ලද අඩි දෙකක පමණ උස කුඩා ගල් වැටියෙකි.
නිවසේ බිම් මහලේ සාලයටත් කුස්සියටත් අමතරව කාමර තුනකි. ඒවා ඒ කුඩා නිවසටම කැපෙන කුඩා නිදන කාමරය. හැම කාමරයකම දැවයෙන් නිමවූ සරළ ඇඳක්ද ඊටම ගැලපෙන සරළ අල්මාරියක්ද බිත්තියේ එල්වූ කැඩපතක්ද වෙයි. ඊට ඔබ්බෙන් බෝල රාමුවක් සහ සපත්තු රාක්කයකි. ඇඳ දෙසට හැරවූ කුඩා විදුලි පංකාව ජනේලය අසළ බිත්තිය මුල්ලේ සිටගත් ගමන්ය.
නිවසට ඇත්තේ එක උඩුමහල් කාමරයක් පමණි. එයට නැගීමට කුස්සියට ඔබ්බෙන් නිමවූ අඩි තුනක් පමණ පළල දැවමුවා තරප්පු පෙළකි. තරප්පු පෙල නැගෙනහිර බලා මදක් දුර ගොස් දකුණට හැරී උඩුමහල් කාමරයේ උතුරු කෙළවරින් මතුවේ.
කාමරයේ නැගෙනහිර බිත්තිය විශාල දොර ප්රමණෙයේ කවුළුවකි. එය විවෘත වන්නේ ශෛලමය ලියවැලින් ආරක්ෂිත කුඩා සඳලුතලයකටය. සඳලුතලයේ සිට බැලූ කල වෙල්යායද ඊට ඔබ්බෙන් පිහිටි කඳුවැටියද, එම කඳුවැටියේ සිට වෙල් යාය හරහා පියාඹන කුරුල්ලන්ද දැකිය හැකිය. එහි පැත්තක සැපපහසු දැවමය හාන්සි පුටුවකි. එහි ඇන්ද සහ දෙපා තබාගන්නා කොටස සුවපහසු කුෂන් වලින් ආවරණය කර ඇත. හාන්සි පුටුවේ දකුණු පසින් වූ කුඩා ස්ටූලය මත බාගෙට කියවා එලෙසම පිටු පෙරලා තැබූ පොතකි. එය "චාල්ස් ඩාවින්ගේ ශාක හා සතුන්ගේ සම්භවය" බව ළං වී බැලූ විට පෙනේ.
කාමරයේ අනෙක් බිත්ති සියල්ල මහත් අපූර්වත්වයක් උසුලයි. ඒවා සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත්තේ බිම සිට ලී සීලිම දක්වාම දිවෙන දැව මුවා පොත් රාක්ක වලිනි. සුරංගනා කතාන්තර, රහස් පරීක්ෂක කතාන්තර, නවකතා, දේශපාලනික ප්‍රබන්ධ, විද්‍යා ප්‍රබන්ද, චරිතාපදාන, ඉතිහාස කෘති, විද්‍යාත්මක කෘති ඇතුළු එකී මෙකී නොකී විෂයන් රාශියක පොත් එම රාක්ක සම්පූර්ණයෙන්ම වැසෙන සේ ක්‍රමානුකූලව අසුරා ඇත. රාක්ක අසළ ඇති කුඩා ස්ටූල මත සහ බිමද පොත් අසුරා ඇත්තේ ඒවා ඇසිරීමට රාක්ක වල ඉඩ ප්‍රමාණවත් නොමැති බැවිනි. එය දැකීමෙන් පවා පොත් ගුල්ලෙකු සිහි විසඥ කිරීමට තරම් සමත් පොත් කන්දරාවකින් පිරුණු එම පොත් රාක්ක වලට මෙපිටින් කුඩා ලී මේසයක් සහ ලී පුටුවකි. මේසය මත වසා දමන ලද ලැප්ටොප් පරිඝනකයක්ද ලිවීම සඳහා භාවිත කරන පොත් කිහිපයක් සහ පෑන් පැන්සල් රැදවූ පෑන් රඳවනයකි. මේසයට ඔබ්බෙන් බිම සිටගත් විදුලි පංකාවය. නිවැසියා නිවාඩුපාඩුවේ සඳළුතලයේ හාන්සිපුටුවේ දිගාවී පොත් කියවන අයුරුද ඇතැම්විට මේසයට වාඩිවී තමා ලියමින් සිටින පොතේ මීළඟ පරිච්ඡේදය පරිඝනකගත කරන අයුරුද මේ කාමරයට පැමිණෙන්නෙකුගේ සිතේ මැවෙන්නේ නිතැතිනි.
ඒ සොඳුරු පුස්තකාල කාමරය හාත්පස නැරඹූ මට රාක්ක වල ඇති පොත් එකින් එක පෙරළා බැලීමට නොමැඩිය හැකි කෑදරකමක් ඇතිවිය. නමුත් එයට බාධා කරන යම් අපහසුතාවයකි. ඒ කුමක්ද? ආ. එය නම් මූත්‍රා බරකි. එය නිදහස් කරගැනීමෙන් පසු නැවත පැමිණ මේ පොත් මොනවාදැයි බැලිය හැකිය.
මම කාමරයේ පසෙකින් වූ කුඩා වැසිකිළි කාමරයේ දොර විවෘත කළෙමි. එහි දකුණු පැත්තේ ඇති වැසිකිලි පෝච්චියද, මට කෙළින්ම ඉදිරිපසින් ඇති සින්ක් එකද එයට ඉහළින් අල්ලා ඇති සරළ මූණ බලන කණ්නාඩිය තුලින් මගේම පිළිබිඹුවද මට පෙනේ.
ඒ දෙස වරක් බලා මම වැසිකිලි පෝච්චිය දෙසට යන්නට දකුණට හැරුණේ ඉක්මනින් අවශ්‍යතාවය ඉටුකරගෙන පොත් අතරට වදින්නටය. නමුත් යම්කිසි අමුත්තක් ඇත. එි කුමක්ද?
මා වැසිකිළි පෝච්චිය දෙසට හැරුණද කණ්නාඩිය මත ඇති මගේ පිළිබිඹුව නොහැරී කෙළින්ම මා දෙස බලා හිඳී. බිය විය යුතු බව දැනුණත් මගේ පිළිබිඹුවේ සුහද සිනාව දැක බියක සේයාව අතුරුදන් වීය.
"චූ බරයි නේද?"
පිළිබිඹුව ඇසුවේ කට කොණකින් සිනාසෙමිනි.
"ඔව්" මම කීවෙමි.
"ඉක්මනට චූ කරලා අර පොත් ටික බලන්න යන්න නේද ඕන?" පිළිබිඹුව නැවතත් ඇසුවේය.
"ඔව්. ඇයි?"
"ඒක නම් හොඳයි. උඹ ආසා විදිය නේද?"
"හ්ම්"
"හැබැයි මෙහෙමයි. උඹ ඔය පෝච්චියට චූ කරන්න එපා. එහෙම චූ කරොත් ඇත්තටම තෙමෙන්නෙ උඹේ ඇඳ. මොකද උඹ තාම නිදි. මේක හීනයක්. ඒක හින්ද වෙනද වගේ නැගිටල බාත්රූම් එකට ගිහින් චූ දාපන්"
පිළිබිඹුව කිව්වේ කටකොණක සිනහව මකා නොගනිමිනි.
මම දකුණු අත දිගුකර බැලුවෙමි. වැසිකිළියේ බිත්තිය නොව මට හසුවන්නේ සුමුදු රෙද්දක පහසකි. ඒ කුමක්ද? ආ. ඒ මදුරු දැළයි. මම දෙනෙත් විවර කළෙමි. ඇඳ අසළ කුඩා ස්ටූලය මත තිබූ ජංගමයා ගෙන ඔබා වෙලාව බැලීමි. පාන්දර දෙකයි හතලිස් පහය.
සෙමෙන් නැගී සිටි මම මදුරු දැල මෑත් කර ඇඳෙන් බැස කළුවරේම ගොස් වැසිකිළි දොර විවෘත කළෙමි.
"හෙට ඉඳන් වැඩට යන්න එපායැ"
සැහැල්ලුව අත්වඳින අතරතුර හිස කසමින් කල්පනා කළෙමි.
No comments:
Post a Comment