මරණීය දණ්ඩනය කොයි වගේද? ඒක පැහැදිලිවම පිටින් බලන අයට දැනෙන විදියමද? මරණීය දණ්ඩනය නියම කරන අය ඒක ක්රියාත්මක කරන අය ඊට ලක් වෙන අය ඒකට මුහුණ දෙන්නෙ කොහොමද? එයින් හා අනෙක් දඩුවම් ක්‍රම වලින් අපේක්ෂිත අරමුණු ඉටුවෙනවාද? දණ්ඩනය අවබෝධ කරගන්න ඒ දිහා කෝණ ගණනාවකින් මුහුණුවර ගණනාවකින් බැලිය යුතු වෙනවා.
දඩුවම සැබැවින්ම ලැබෙන තැන
ඇත්තටම මරණීය දණ්ඩනය නියම වුණ කෙනෙකුට දඩුවම ලැබෙන්නෙ මරණ වෙලාවෙමද? මම හිතන විදියට නෑ. ඔහුට දඩුවම ලැබෙන්නෙ ඊට ගොඩක් කලින්. මරණීය දණ්ඩනය නියම කරපු වෙලාවෙ සිට මරණ මොහොත ඔහුගෙ සිතේ හැසිරීම තමයි ඔහුට ලැබෙන දඩුවම. මරණ දඩුවම ක්රියාත්මක වෙන රටක නම් තමන්ට ඉතිරි වෙලා තියෙන දින ගණන ගනිමින් ටිකෙන් ටික මරණයට ළගා වීම තරම් බරපතළ මානසික දඩුවමක් පුද්ගලයෙකුට තවත් නැහැ. මරණ දඩුවම ක්රියාත්මක නොකරන ඒත් අධිකරණයෙන් මරණ දඩුවම නියම කරන රටවල ඒ දඩුවම ඊටත් වඩා භයානකයි. මොකද මරණ දඩුවම නියම වූ සිරකරුවන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ වේදනාව අවසන් වන දිනයක් නැහැ. ජීවිතය ඇතිතාක් කිසිම අලුත් බලාපොරොත්තු කිසිවක් නැතුව ජීවත් වෙන්නයි සිදු වෙන්නෙ.
මිනිස්සුන්ට බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න වුණාම ජීවිතේ තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණක් නැතුව යනවා. එහෙම අය තවදුරටත් ජීවත් වෙනවට වඩා කැමති ඉක්මනට මැරෙන්න. නමුත් මරණ දඩුවම ක්රියාත්මක කරන්නෙත් නැතුව හරියට ඉන්න හිටින්න ඉඩකඩ නැති කුටියක අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා රදවා තියනවට වඩා මිනිහෙකුට දෙන්න වෙනත් දරුණු දඩුවමක් ඇත්තේ නෑ.
දඩුවමක අරමුණ
දඩුවමක අරමුණ කුමක් විය යුතුද කියන කාරණය පිළිබදව තවමත් ලෝකය පිළිගන්නා නිර්වචනය ගොඩක් පරණ එකක්. පුනරුත්ථාපනය කරන ලද වරදට විපාකය ගැලපීම අගතියට පත්වූවන්ට පළිගැනීමේ තෘප්තිය ලබා දීම වගේ ගොඩක් අප්රකාශිත අරමුණු දඩුවමකට තියනවා. නමුත් අදටත් මීට අවුරුදු දෙතුන්දාහකට කලින් වගේම පුද්ගලයෙකු කරන ලද වරදක් සදහා සාධාරණය ඉටුකිරීමක් ලෙස ඔහුව මරා දැමීම සාර්ථක ප්රතිකර්මයක් යැයි ලෝකය විශ්වාස කරනවා. එය සැබැවින්ම ගල් යුගයේ සංකල්පයක්.
ධනාත්මක සමාජ ප්රතිචාරයක්
නමුත් ඒ දඩුවමෙන් ඒ සදහා ධනාත්මක සමාජ ප්රතිචාරයක් ඇති වෙතැයි කියාත් අපේක්ෂා කරනවා. ඒ කියන්නෙ යම් වරදක් කළ කෙනෙකුට මරණ දඩුවම දෙනවා දකින සමාජයේ පුද්ගලයන් ඒ දඩුවමට ඇති බිය නිසා අදාළ වරද කිරීමෙන් වලකීවි කියන උපකල්පනය. මරණීය දණ්ඩනය සාධාරණීකරණය කරන්න යම් තර්කයක් ඉදිරිපත් කළ හැකි නම් එයට යන්තමට හරි ගැලපෙන එකම අදහස ඕක.
මරණීය දණ්ඩනය ක්රියාත්මක වන රටවල අපරාධ අඩුවීද?
නමුත් එය සත්යයක් නම් මරණීය දණ්ඩනය ක්රියාත්මක වන රටවල අපරාධ අඩුවී තිබිය යුතුයි. නමුත් එසේ සිදුවී නැහැ. මොකක්ද එහෙම වෙන්න හේතුව? මිනිස්සු බය මරණයට නෙමෙයි. මරණයත් සමග අහිමි වන ජීවිතයට. එවිට දඩුවමෙන් අහිමි වන ජීවිතයට වඩා වැදගත් යැයි හැගෙන යම් අහිමි වූ මිනිසෙක් මරණින් තමන්ට අහිමි වන ජීවිතය ගැන බිය වේවිද යන්න නැවත සිතා බැලිය යුතු දෙයක්.
එවිට කෙනෙකු යම් හේතුවක් මත අපරාධයක් කරනවාමයි කියලා දැඩිව ඉටා ගත් අවස්ථාවක ඒ අපරාධය කිරීමෙන් ඔහුට අනාගතයේ හිමිවනු ඇති මරණය ඔහු නවත්වන්න හේතුවක් වෙන්නෙ නෑ. යම් කාරණයක් මත ජීවිතයේ වැදගත්ම දෙයක් අහිමි වුණ මිනිහෙක් එසේ අහිමි වීමට හේතු වුණ පුද්ගලයාව මරා දමන්නට යද්දි හිතන්නෙ තවත් තමන්ට නැති වෙන්න දෙයක් නෑ කියලා. ක්රියාත්මක නොකළාට සෑම පුද්ගලයෙකුම පාහේ තමන්ගෙ ජීවිතයේ එක වතාවක් හෝ එවැනි නැති වෙන්න දෙයක් නැති නිසා ඕනෑම දෙයක් කරන තත්වයට පත්වී ඇති. එවිට එවැන්නෙක් මරණීය දණ්ඩනයට ඇති බිය නිසා අපරාධයෙන් වලකීද? කිසිසේත් නැහැ.
අපරාධමය හැසිරීම් මරණීය දණ්ඩන සමග බහිෂ්කාර නොවන බව
ලෝකයේ දියුණුයැයි සම්මත මරණීය දණ්ඩනය ක්රියාත්මක වන ඇමෙරිකාව වැනි රටවල වාර්තා වන අපරාධ දෙස බැලූ විට පෙනී යන කරුණක් තමයි ඒ අපරාධමය හැසිරීම් මරණීය දණ්ඩන සමග බහිෂ්කාර නොවන බව. පුද්ගලයෙකු අපරාධයක් කිරීමෙන් වලකන්නේ ඔහු තුල ඇති ස්වයං හික්මීම මිස අන් කිසිවක් නෙමෙයි. ස්වයං හික්මීම අහිමි වන තැන් වලදි අනාගතයේ ලැබෙන මරණ දඩුවමක් ගැන හිතලා කෙනෙක් අපරාධයකින් වලකිනවට වඩා සිද්ධ වෙන්නෙ "ඒක එතකොටනෙ" කියල කල් දාන එක. මේ හේතුවෙන් මම හිතනවා සමස්ථ ලෝකයම දඩුවම් වලින් තමන් ඇත්තටම අපේක්ෂා කරන දෙය ඒවායෙන් ඉටුවෙනවාද යන්න නැවත ගැඹුරින් සළකා බැලිය යුතුයි කියලා.
වෙනත් දඩුවම් ක්රම
මරණීය දණ්ඩනය නොවන වෙනත් දඩුවම් ක්රම තිබෙනවා. ඒවායිනුත් යම් ප්රතිශතයකින් අපේක්ෂිත ප්රතිවිපාකය ලැබුණත් එය පැහැදිලිවම ප්රමාණවත් ප්රතිශතයක් වන්නේ නැහැ.
නැතිවෙන්න කිසිම දෙයක් නැති වීම
උදාහරණයක් ලෙස පුද්ගලයෙකුට දීර්ඝ සිර දඩුවමක් හිමි වනවා යැයි සිතමු. ඒ හේතුවෙන් ඔහුට තමන් ජීවිතයේ වැදගත් යැයි සැලකූ සියල්ල අහිමි වී යන්නට පුළුවන්. පවුල සැමියා හෝ බිරිද දරුවන් ඥාතීන් ආදායම ජීවනෝපාය වගේ ගොඩක් දේවල්. එහෙම දේවල් අහිමි වුණ මිනිසෙක් ආපහු සමාජගත වුණාම මොකක්ද ඔහුට ජීවිතය ඉදිරියට ගෙනයන්න ඉතිරි වන බලාපොරොත්තුව ඔහුට නැතිවෙන්න කිසිම දෙයක් නැති ඇතිකරගන්න දෙයක් පමණක් ඇති ඇති කරගන්නත් නීත්යානුකූල හෝ පිළිගත් මාවත් නැති මිනිහෙක් බවට පත්වෙනවා. ඔහු ඉතා පහසුවෙන් සමාජ විරෝධී ජීවන රටාවකට යොමු වෙන්න පුළුවන්. සමාජයට ඔහු කොහොමත් අච්චුවක් ලද අපරාධකරුවෙක්. ඔහුට වුවමනා වුණත් ඒ කැළල මකන්න ලැබෙන්නෙ නෑ. ඉතින් ටික කාලයක් යනකොට ඒ කැළල ඔහු තමන්ගෙ ජීවිතයේ කොටසක් බවට පත්කරගන්නවා. කැළල ආභරණයක් කොටගන්නවා. එය ජීවනෝපායකට පාර කපා ගැනීමක් කරගන්නවා. එතකොට දඩුවමින් ඉෂ්ට වෙලා තියෙන්නෙ අපරාධ මැඩලීමේ අරමුණද එහෙමත් නැත්නම් අත්වැරදීමෙන් අපරාධයක් කළ අයෙකු සංවිධානාත්මක සැළසුම්සහගත සහ භයානක අපරාධකරුවෙක් බවට පත්කිරීමක්ද යන ප්රශ්නය අසන්නට වෙනවාමයි.
යෝජනා කළ හැකි විසදුම්
මේ සදහා දළ වශයෙන් යෝජනා කළ හැකි විසදුම් අතර තියෙන වැදගත්ම දෙයක් තමයි සුළු පරිමාණ සහ පළමු වතාවට සිරගත වන අපරාධකරුවන් හැකිතාක් වෙනත් කෂ්ඨ අපරාධකරුවන්ගෙන් වෙන්කොට රදවා තැබීම. ඒ වගේම ඔවුන්ට යම් අවම පහසුකම් ප්රමාණයක් යටතේ පුස්තකාල පහසුකම් අධ්යාපන අවස්ථා ලබාදීම වැනිදේ කෙරෙහි අවධානය යොමු විය යුතුමයි.
තමන්ට ලැබෙන යම් දඩුවමක් නිසා පුද්ගලයෙකුගේ ජීවනෝපාය අහිමි වෙනවා නම් ඔහු ඊළගට හැරෙන මාවත අයහපත් එකක් නොවන බවට සහතික කරන පුනරුත්ථාපනීය විසදුම් සැපයීමට දඩුවම් දෙන පාර්ශවය වගබලා නොගන්නේ නම් අපරාධ කිරීමට බිය සැක නැති දෘඪ මිනිසුන් බිහි වන්නේ යැයි මැසිවිලි නැගීම සාධාරණ වන්නේ නැහැ.
ධනාත්මක වෙනසක් පිළිබදව සාකච්ඡාවක් ඇති කරගැනීම පිළිබදව උනන්දුව
නමුත් මානව සමාජය දඩුවම් ක්රම ගැන ධනාත්මක වෙනසක් පිළිබදව සාකච්ඡාවක් ඇති කරගැනීම පිළිබදව උනන්දුවක් දක්වන්නේ නැහැ. එයට හේතුව අපරාධ වලින් අගතියට පත්වූවන්ගේ වේදනාව පිළිබදව පමණක් අනුකම්පාව යොමු වීම. එහි බැලු බැල්මට ඇති වරදකුත් නැහැ. නමුත් දඩුවම යන්න නිෂ්ප්රයෝජන යාන්ත්රික ක්රියාවලියක් වීමෙන් සමාජයට සැළසෙන සෙතක් නොමැති බවත් සිදුවන්නේ අගතිය තවදුරටත් භයංකාර මුහුණුවරකට හැරීම පමණක් බවත් වටහා ගත යුතුයි.
පහතින් දැක්වෙන්නේ මරණීය දණ්ඩනය සදහා ලෝකය යොදාගත් සහ යොදාගන්නා විවිධ ක්රම කීපයක්.
අතීතයේ ලබාදුන් කුරිරු දඩුවම් ක්රමයක්. මෙහි මරණය අති වේදනාකාරී සහ කාලය ගතවන එකක්. ඔය දැක්වෙන චක්රය බොහෝ විට තියුණු පිහිතල සහිත මතුපිටකින් යුක්තයි. ඒ මතුපිට පුද්ගලයෙක් ගැටගසා තවත් තියුණු තල සහිත යමක ඔහුගේ ශරීරය ගෑවෙන පරිදි නැවත නැවත කරකැවීම මෙහිදී සිදුවුණා. පුද්ගලයෙකු මරණයට පත්වනතුරු මෙම කරකැවීම සිදුකිරීම කෙතරම් අති අමානුෂිකද යන්න නැවත නැවතත් විස්තර කළ යුතු නැහැ.
මෙහි දැක්වෙන්නේ තවත් අතිශය අමානුෂික දඩුවම් ක්රමයක්. මෙහිදී පුද්ගලයෙකු ඉතාම සුළු ඉඩකඩක රදවා ඔහු මතින් බදාමයෙන් බිත්තියක් බැදීමයි සිදුවන්නේ. එහිදී එම පුද්ගලයාට ඇගිල්ලක්වත් සෙළවීමට හැකියාවක් නැහැ. හුස්ම ගැනීම සදහා පමණක් සුළු සිදුරක් ඉතිරි කරනවා. එවිට ඔහු දින ගණනාවක් යනතුරු මිය යන්නේ නැහැ. ඔහු මිය යන්නේ නිරාහාරව සහ විජලනයෙන් අධික වධ හිංසාවකට ලක් වීමෙන් පසු. ඇතැම් අවස්ථා වල ජලය පමණක් ලබා දෙමින් දඩුවම විදවීමේ දින ගණන දීර්ඝ කරන අවස්ථාද තිබෙනවා.
මෙහි දැක්වෙන්නේ ශ්රී ලංකාවේත් භාවිතා වූ දඩුවම් ක්රම දෙකක්. එනම් උල හිදුවා මැරීම සහ හිස ගසා දැමීම. අනෙක් අතීත මරණීය දණ්ඩන ක්රම සමග සළකා බලන විට හිස ගසා දැමීම බොහෝ මානුෂික යැයි කියන්නට පුළුවන්. මන්ද එයින් පුද්ගලයෙකුට ක්ෂණික මරණයක් අත්වන නිසා. නමුත් උල හිදුවා මැරීම ඊට වඩා බොහෝ වේදනාකාරී අමානුෂික එකක්. ඇතැම් අවස්ථා වල මෙම තියුණු උල මත හිදුවන පුද්ගලයන්ගේ හිසෙන් ගෙල ආසන්නයෙන් හෝ මුඛයෙන් උල මතුවන තුරු දින ගණනාවක් තැබූ බව පැවසෙනවා. එසේ සිදුවූ ඔහු මරණයට පත් නොවීමට අවස්ථාවකුත් මෙහි තිබෙනවා. එවිට ඔහු මිය යන්නේ සිදුවන තුවාල ආසාදනයෙන් හෝ නිරාහාරව සිටීමෙන් හෝ විජලනයෙන්.
මෙය විශේෂයෙන්ම යුරෝපයේ පිළිගත් ආගම් වලට පටහැණි මතවාද දැරූ අයට දුන් දඩුවමක්. මේ පුද්ගලයන් දෙවියන් වහන්සේ නොව යක්ෂයා අදහන පුද්ගලයන් ලෙස නාමකරණය කොට ඔවුන්ව ප්රසිද්ධ ස්ථානවල ගිනි තබා මරා දැමීම සිදුවී තිබෙනවා. යුරෝපය පුරාම ඇතිවූ කිතුණු ආගමික ප්රබෝධයට සමගාමීව මෙසේ පුළුස්සා ඝාතනය කළ පිරිස දහස් ගණනක් බව පැවසෙනවා.
මෙය ප්රංශ විප්ලවය කාලසීමාවේ පුද්ගලයන් ඝාතනයට යොදාගන්නා ලද ක්රමවේදයක්. වේදනාව අවම කරමින් ඉක්මනින් වැඩි මිනිසුන් පිරිසක් ඝාතනය කිරීම සදහා නිර්මාණය වූ මෙම උපකරණය එහි නිර්මාතෘ ජෝසෆ් ඉග්නාස් ගිලටින්ගේ නමින් නම් කොට ගිලටිනය වශයෙන් හදුන්වා තිබෙනවා.
එල්ලුම්ගස තවමත් බොහෝ රටවල භාවිත වන එහෙත් පැරණි මරණීය දණ්ඩන ක්රමයක්. ශ්රී ලංකාවේ පවා ක්රියාත්මක තත්වයේ නොතිබුණත් පිළිගත් මරණීය දණ්ඩන ක්රමවේදය එල්ලුම්ගසයි. මෙහිදී එල්ලා මරනු ලබන තැනැත්තාගේ ගෙල සිරවී හුස්ම හිරවීමෙන් හෝ ක්ෂණිකව එල්ලීම මගින් ගෙල කැඩී යාමෙන් මරණයට පත්වනවා. ගෙල කැඩී යාමෙන් සිදුවන මරණය බොහෝවිට ඉක්මනින් සිදු වුවත් හුස්ම හිරවීමෙන් සිදුවන මරණය විනාඩි ගණනක් දක්වා දිගු වියහැකි දීර්ඝ වේදනාකාරී මරණයක්.
මෙහි දැක්වෙන්නේ දෙවන ලෝක යුධ සමයේ ජර්මනිය විසින් අනාර්ය අශුද්ධ ජන කොටසක් ලෙස සැළකූ යුදෙව්වන් සමූලඝාතනයට යොදාගත් ගෑස් කුටියක්. රුධිරය වැගිරීමෙන් තොරව කාර්යක්ෂම ලෙස වැඩි පිරිසක් එකවර ඝාතනය කළ හැකි ක්රමයක් ලෙස මෙය හදුන්වා දී තිබෙනවා. මෙහිදී ඝාතක කදවුරු වලට පැමිණෙන පිරිස් වෙතින් ලබාගත හැකි සියලු දේ ඔවුන් වෙතින් ලබා ගැනෙනවා. ඔවුන්ගේ හිසකෙස් රත්රන් දත් ආදිය පවා ලබා ගැනෙනවා. ඔවුන් නිරුවත් කර ඔවුන්ගේ ඇදුම් සහ ආම්පන්න වර්ග කොට වෙනම ගොඩවල් ගසා වෙනත් ප්රයෝජනවත් කාර්යයන් සදහා යැවූ බව කියවෙනවා. ඉන්පසු ගෑස් කාමරයට ඇතුලු කර දොරවල් වසා සයික්ලෝන් බී නම් වූ අධික විෂ සහිත වායුව කුටීරයට මුදා හැරීමෙන් කණ්ඩායම මරණයට පත් කිරීම සිදුකරනවා.
මෙය ශ්රී ලංකාවේ ජනතාව බිය ගැන්වීම සදහා යොදාගත් මරණීය දණ්ඩන උපකරණය වූ විදුලි පුටුව. ඇමෙරිකාවේ ඇතැම් ප්රාන්ත වල මරණීය දණ්ඩනය ලබාදීම සදහා තවමත් මෙම ක්රමය භාවිත වෙනවා. මෙම පුටුවේ ඉන්දවා අතපය ගැටගසන පුද්ගලයෙකුට අධික ධාරිතාාවයකින් විදුලි සැර වද්දා මරණයට පත්කිරීමයි මෙහිදී සිදුවන්නේ. වේදනා රහිත ක්රමයක් බව කියැවුණත් මේ පිළිබදව දක්නට ඇති වීඩියෝපට ආදිය පරිශීලනයෙන් පෙනී යන්නේ එයද යම් සුළු කාලයකට හෝ දඩුවම් ලබන්නාට අධික වේදනාවක් ඇති කරන අමානුෂික ක්රමයක් බවයි.
මෙහි දැක්වෙන්නේ මෙම සටහන ලිවිය යුතු යැයි පෙළඹවීමක් ඇති වූ මරණීය දණ්ඩන ක්රමය. මෙය ඇමෙරිකාවේ ප්රාන්ත ගණනාවක මරණ දඩුවම ලබාදීම සදහා අදටත් භාවිතා වෙන ක්රමයක්. දඩුවම ලබන්නාව මෙම ඇදට තබා හම් රැහැන් වලින් බැද ඔහුගේ ශරීරයට විෂ එන්නත් කිරීම මෙහිදී සිදුවෙනවා. දැනට පවත්නා වේදනාව අඩුම ක්රමය ලෙස මෙය කියැවුණත් ඒ පිළිබදව චිත්රපටයේ එන දර්ශනය අතිශයින් සිත සසළ කරවනසුළු බව කිව යුතුයි.