ජීවිතේටම බලපු චිත්රපට අතරින් ගොඩක්ම හිත අවුල් කරපු චිත්රපට කීපයෙන් එකක්. හැබැයි මේක සුන්දර චිත්‍රපටයක් නම් නෙමෙයි. ජීවිතයේ කාටත් මුහුණදෙන්න වෙන මහපොළොවේ කටුක ඇත්තක් ගැන කතා කරන ඉතාම සංවේදී සිනමා නිර්මාණයක්. මරණීය දණ්ඩනයට එරෙහි වීම කවදත් මගේ ස්ථාවරය. එයට එරෙහි වීමේ වටිනාකම සංවේදී ලෙස පෙන්වන චිත්රපටයක්. මම හිතනවා අධිකරණ ක්ෂේත්රයේ සහ අපරාධ විමර්ශන ක්ෂේත්රවල සේවයේ නියුතු හැමෝම සහ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් පක්ෂපාතී, විරුද්ධ මෙන්ම කිසිම අදහසක් නැති අයත් අනිවාර්යයෙන්ම මේ චිත්රපටය නැරඹිය යුතුමයි.
විමර්ශන නිලධාරීන් අතින් කොයි තරම් අත්වැරදීම් වෙන්න පුළුවන්ද? යම් කෙනෙක් අපරාධකාරයෙක්මයි කියන පූර්ව නිගමනයේ ඉදන් ඔහුගේ වරදකාරීත්වය උසාවියේදි ඔප්පු කරන්න කරුණු හොයාගෙන අපරාධ ස්ථානයකට යන විමර්ශකයෙකුට හමුවෙන්නෙ අර අත්අඩංගුවේ ඉන්න පුද්ගලයා වරදකරු කරන්න උදව් වෙන සාක්ෂි පමණක් නොවුණට ඔහුට බොහෝවිට පේන්නෙ එහෙම සාක්ෂි පමණයි. අනිත් සියලු දේ ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව නොසළකා හරිනවා.
ඒ සත්යය අපි අධිකරණයේදි ඕනෑ තරම් අත්දැකලා තියනව. විශේෂඥ සාක්ෂිකරුවෙකුගේ භූමිකාව හරිහැටි වටහාගත් විශේෂඥයන් නෙමෙයි අපිට බොහෝ අවස්ථා වලදි අධිකරණයෙදි හමුවෙන්නෙ. ඔවුන් වැඩිදෙනෙක් පැමිණිල්ලේ නඩුව ශක්තිමත් කිරීම තමන්ගෙ කාර්යභාරය ලෙස හිතන බව පේනව. විශේෂයෙන් ස්ත්රී දූෂණ නඩුවකදි වගේ කන්යා පටලයට හානි වෙලා නැත්නම් 99ක්ම අවස්ථා වල අධිකරණ වෛද්යවරයා ලියන්නෙ මේ කාන්තාවට ඇදෙනසුළු කන්යා පටලයක් ඇති බවත් එබැවින් තුවාල නොතිබූ පමණින් කාන්තාව ප්රකාශ කරන දේ බැහැර කළ නොහැකි බවත්. එහෙම කිව්වාම ඇත්තටම ඇදෙනසුළුද කියලා තව කෙනෙකුට බලන්න ක්රමයක් නෑ. වෛද්යවරයාගෙ මතය බොහෝ වෙලාවට පිළිගැනෙනවා.
මේ චිත්රපටයේ කියවෙන නඩුවේ චූදිත ගැන සාක්ෂියක් දෙන මනෝ වෛද්යවරයා අඩුම ගණනෙ චූදිත මුණ ගැහිලාවත් නෑ. නඩුවේ ප්රශ්නය වන ගින්න ඇතිකලේ චූදිතමයි කියන මතයේ ඉදන් ගෙට ඇතුල් වෙන රහස් පරීක්ෂකයො ඔහු ගිනි තිබ්බාමයි කියන්න කරුණු හොයනවා මිසක් ගින්න ඇතිවිය හැකිව තිබූ වෙනත් ක්රම ගැන සොයා බලන්නෙවත් නෑ. ගින්න ඇතිවීම ගැන අපරාධ පරීක්ෂකයො නඩුවෙදි ඉදිරිපත් කරපු සාක්ෂි පදනම් විරහිත බව තීරණය වෙන්නෙ 2011දි. ඒ කියන්නෙ මේ පුද්ගලයව මරණීය දණ්ඩනයට ලක්කරලා අවුරුදු 7කට පස්සෙ.
ඔහුට මරණීය දණ්ඩනය නියම වුණාට පස්සෙ ඔහුට ඇමෙරිකානු නීතිය යටතේ ඇති අයිතිවාසිකම් අනුව හය වතාවක් අභියාචනය කරනවා. හයවෙනි හෙවත් අවසාන වතාවෙ ඔහුගෙ නීතිඥයා ඉදිරිපත් කරන තර්කය හා කරුණු ඉතාම ශක්තිමත් මෙන්ම තීරණාත්මක ඒවා. නමුත් ඒ අභියාචනයත් සුවිශේෂී කරුණු නැතැයි කියන පදනම මත නොකියවාම ප්රතික්ශේප කරනවා. අවසානයේ ඔහුගේ එකම ගැලවීම ආණ්ඩුකාරවරයාගේ සමාවක් හෝ මරණීය දණ්ඩනය ක්රියාත්මක කිරීම කල් දැමීම පමණයි. ඒ සදහා ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කරන ඉල්ලීම ඔහු කියවන්නෙවත් නෑ.
මේ චිත්රපටයේ ආරම්භයේදි ටොඩ් විලිංහැම් පිළිබදව ප්රසාදයක් ඇතිවෙන්නෙ නෑ. ඒත් චිත්රපටයේ අවසානය දක්වා ඔහුත් එක්ක ජීවත් වෙනකොට ඔහු ඒ අපරාධය කළත් නැතත් ඔහු මරණයෙන් බේරා ගතයුතුයි කියල හැගීමක් ඇති වෙන එක වලක්වන්න බැහැ. ඒ වගේම දඩුවමක ඇති පුනරුත්ථාපනීය ගුණය ඇත්තේම නැති මරණීය දණ්ඩනය ගැන බොහෝ දෙනෙකුගෙ පූර්ව නිගමන වෙනස් කරන්න මේ චිත්රපටය හේතුවක් වේවි.
No comments:
Post a Comment