Saturday, April 11, 2020

රාහුළයාගේ තරම (That Bunny is Evil) - Rapunzel

(2016 නොවැම්බර් 02 වැනි දින ලියන ලද පොස්ටුවකි)

මට දැන් සිදුවී ඇති විපත වන් විපතක් මා ඇසුරු කරන කිසිවෙකුට හෝ සිදුවූ බවක් මා අසා නැත. මා ඇසුරු කරන හෝ නොකරන කිසිවෙකුට මෙවන් විපතක් වෙන්ටද එපාය. අනේ සතුරෙකුටවත් එපාමය.

දැන් වෙලාව පාන්දර 1 ය. මගේ අතිජාත මිත‍්‍රයෙකු අද කසාද බදින්නේය. උගේ මගුල් ගෙදර යාමට උදේ 7ට විතර පිටත් විය යුතුව ඇත. මාත් සමග උදේ යාමට මගේ සොහොයුරා වන් මිතුරා අමිල අපේ ගෙදර ආවේ ඊයේ හවසය. ඉතින් මම අමිලයාට මගේ යහන දී සතියේ දිනවල ගෙදර නැති අපේ නංගිගේ කාමරයට ආවේ නිදාගන්නටය. මගේ හයේ හතරේ දැවැන්ත ඇදේ දපා සැපට නිදන ලෙසටම නොවුණත් නංගිගේ ඇබිතිල්ලං ඇදේ ගුලි ගැසී හෝ ටිකක් නිදාගන්නටය. ඒත් මෙහෙව් විපතක් වන බව කෙසේ නම් අනුමාන කරන්නද.

අපේ නංගිගේ කාමරේ තව පදිංචි කාරයෙක් ඇත්තේය. ඌ නංගිගේ හුරතල් හාවාය. උගේ නම රපුන්සල් අතාවුද ලු. ඌ ඇවිත් ගෑනු සතෙක්ය. හුරතලේට හාවෙක් තෝරා ගැනීම ගැන මුල සිටම මට තිබුණේ විමතියකි. ඊට හේතු ගොඩක්ය. හාවා ඉතාම සියුම් ජීවියෙක්ය. මා අසා ඇති පරිදි හාවෙක් ටිකක් හයියෙන් හෙළෙව්වත් උගේ පණ නිරුද්ධ වීමට එය පමණටත් වඩා වැඩිය. අනික හුරතලේය. හුරතලේ වැඩිකමට අපිද ඌට බැදෙනවා වැඩිය. එවන් සියුම් ජීවයකට දැඩිව බැදීම කොහොමත් නුවණට හුරු නැත. අනික මගේ නංගිට හාවාව හදන්නට වෙන්නේ හොස්ටල් එකේය. ඒක වැඩිදවසක් කරන්නට බැරි වැඩක් බව තේරුම් ගන්නට අයින්ස්ටයින් අවශ්‍ය නොවන්නේය. කොහොමින් කොහොමින් හරි ඇය හාවෙක් මිළදී ගත්තාය. ටික දවසක් හොස්ටල් එකේ තබා ගත්තාය. ඉන්පසු ගෙදර ගෙනාවාය. දැන් හොදට හෝ නරකට ඌ අපේ ගෙදර හුරතලෙක්ය. උගේ වාස භවන නංගිගේ කාමරයය. බලු උත්තමාවියන් දෙදෙනෙකුගේ පූස් රජෙකුගේ හා සීලිම උඩ අනවසරයෙන් වෙසෙන කළවැදි වීරප්පන්ලා නොදන්නා ගණනක් අතර රපුන්සල් අතාවුදට තනිවම ආරක්ෂාව සළසා ගන්නට කොහොමටවත් බැරිය. එනිසා ඌ කාමරයෙන් පිට යවන්නේම නැත. හෙට එක දිගට කිලෝ මීටර් තුන් හාරසීයක් ඩ‍්‍රයිව් කරන්නට තබාගෙන මා නිදාගන්නට ආවේ එහෙව් හා භවනක් වූ කාමරයකටය.

මා ආවේ නිදාගන්නටය. වෙන මොන මළ හත්තිලව්වකට වත් නොවන්නේය. නමුත් මෙතන කරන්නටම බැරිද එයමය. මේ ගැන මම නිදන්නට එන්නට පෙර අම්මාත් සමග සැක පහළ කරන්නට යෙදුණේය. අම්මා වහා ඇගේ ඇද මට දී මේ කාමරයට ආවාය. අම්මලා එහෙමය. මුහුණ දෙන්නට ඇති විපත දැන හෝ නොදැන දරුවා වෙනුවෙන් කොන්දේසි විරහිතව එය භාරගන්නට අම්මලා සූදානම්ව සිටින්නෝය. ඒත් අම්මා නිදපොල මාරු කරනවාට මගේ හිත නොදුන්නේය. මම අම්මා ආපසු පුරුදු තැනට යවා නංගිගේ ඇද හදාගෙන මදුරු දැළද දමාගෙන නිදාගත්තෙමි. මට පැය 2ක් උපරිම නින්ද යන්නට ඇත. අතේ ගෑවුණ සියුම් පහසක් දැනී මට අවදි වුණේය. මළ කෙළියය. හාවා ඇද උඩය. මදුරු දැලත් බිත්තියත් අතර ඌ එහාට දුවන්නේය. මෙහාට දුවන්නේය.

මම මදුරු දැළ මෑත් කොට මගේ නින්ද කැඩූ දුෂ්ඨ හාවා අල්ලා ඇදෙන් බිම තබා නැවතත් නිදන්නට සැරසුණේය. මොන නින්දක්ද. මම බිත්තිය පැත්තට හැරෙන පමාවට රපුන්සලයා ආයෙත් ඇද උඩය. ඌව බිම දමා පිරිමහන්නට බැරිය. මම ඇදෙන් බැස දොර ඇර බලනවිට වෙලාව 1ය. අප්පච්චි පියෝ ටීවී එකේ මොකද්දෝ දේශපාලන සාකච්චාවක් බලයි. හාවා ඇද උඩට එනවා. මම කීයන විට ඔය කැරට් අලයක් දෙන්නැයි අප්පච්චි කීවේය. මමත් ශීතකරණය වෙත ගොස් තිබූ ලොකුම කැරට් අලය ගෙනවිත් මළ හෝන්තුවාට දුන්නේ ඌ ඒක කනතුරු හෝ නිදාගන්නටය. ඌට ඔනෑ ඇති කැරට් අලයක් නැත. එයින් කටක් දෙකක් කා මෙන්න මූ නැවතත් ඇදේය.

ඌ ඇදට නැගීමේ අවදානම මේ මෝඩ මළ හොල්මනට නොතේරෙන්නේය. මම කිලෝ 92ක් පමණ බර දැවැන්තයෙක් වෙමි. මට ඉතා තදින් නින්ද යන්නේය. එසේ නින්ද ගිය විටක මේ සමයම ඇදට නැග මට තුරුලු වුවහොත් මා නින්දෙන් ඇදේ පෙරළෙන විට මට යටවී එතැනම එළොව යාමට ඇති සම්භාවිතාවය සියයට 70කට නම් වැඩිය. මා අතින් මේ පුංචි අසරණයාට නොදැන හෝ එවන් විපතක් වුවහොත් එහි වරදකාරී හැගීමෙන් මටද මියයන තුරු ගොඩ එන්නටනම් බැරි වනු ඇත්තේය.

ඉතින් ඇත්තේ විසදුම් දෙකක් පමණය. එකක් මේ මළ සමයම උදේ වනතුරු නොනිදා දාන නිශාචර බඩපිණුම් මමද නොනිදා බලා සිටීමය. අනික් විසදුම නම් මේ කාමරයේ රපුන්සලයාට නටන කොටි නැටුමක් නටාගන්නට ඉඩහැර සාළයට ගොස් සැටියේ නිදා ගැනීමය.
දෙවන විසදුම ක‍්‍රියාත්මක කරන්නට සිතා මම දොර ඇර බැලුවෙමි. අප්පච්චි තවමත් ටීවී එකේ සටන බලයි. කවුදෝ ඩයල් එකක් බැදුම්කර වංචාව ගැන මහා බරසාර කතාවක් කියයි. ඉතින් දෙවන විසදුම හබක්ය. මා සැටියේ නිදාගන්නට ගියහොත් අප්පච්චි මට ඔහුගේ ඇදේ නිදාගන්නට කියා සැටියේ අමාරුවෙන් රාත‍්‍රිය පහන් කරනු ඇත. ඒ අප්පච්චිලාගේ හැටිය. දරුවන් වෙනුවෙන් උහුළන්නට වෙන ගැහැට හ්ම් නොකියා උහුළන්නට අප්පච්චිලා නිරතුරු සූදානම්ය. දවස පුරා කය වෙහෙසා වත්තේ පිටියේ වැඩ කළ අප්පච්චිව සෙටියට දමා ඇද අත්පත් කරගන්නට මගේ පුත‍්‍ර චිත්තයද කොහෙත්ම සූදානම් නැත. එහෙයින් අප්පච්චිට ටීවී බලා ඇතිවන තුරු මට සෙටියට යන්නටද බැරිය. ඉතින් මක් කරන්නද. මා මේ සටහන ලියන්නට පටන් ගත්තේ වෙන කරන්නට දෙයක් නොමැති හින්දාය. මා එය ඇරඹූ වේලේ පටන් මේ වන තෙක්ම රපුන්සලයා ඇද පුරා දග කරයි. තාම ඌට මහන්සි බවක් පේන්නේද නැත. දැන් වෙලාව පාන්දර 2ය. අද විවාපත් වන මගේ මිතුරා දැන් අවදි වී තුප්පොට්ටිය අදිනවා විය යුතුය. උගේ උත්කර්ශවත් දිනයේ මම හාවෙකු සමග නටන කොටි නැටුම ඌ දන්නවානම්. කොහොමත් එක්කෝ හාවාට මහන්සි වනතුරු හෝ නැත්නම් අප්පච්චිට ටීවී බලා ඇතිවී නිදාගන්නට යනතුරු මට නම් නිදාගන්නට නොලැබෙන බවනම් සහතිකය.

ඒවා කිසිවක් නිදහසට කරුණු නොවේය. නිදාගෙන හෝ නොගෙන හෙට උදෑසන එක හුස්මට හික්කඩුව බලා රිය ධාවනය කළ යුතුය. නිදාගත යුතු වුවද හාවාට ඒවා තේරෙන්නේ නැත. ඌ අපේ නංගි ඌට උගන්නා ඇති පරිදි සර්ව රාත‍්‍රිකව උගේ ලොකු මාමා සමග සෙල්ලම් කිරීමට අදිටන් කරගෙන ඇතිවා විය යුතුය.

ඇත්තටම මෙවන් විපත්තියක් හතුරකුටවත් වෙන්න නම් එපාය. මා හුරතලෙක් ලෙස හාවෙකු ඉල්ලුවේද නැත. ගන්නට හීනෙකින් හෝ හිතුවේද නැත. නමුත් මෙන්න කෙසේ හෝ ඌත් සමග රාත‍්‍රිය පහන් කරන්නට සිදුවූ රග. නමුත් ඌ ගැන තරහකුත් මට ඇති නොවන හැටි පුදුමය. මගේ හිත ඌට බැදී ඇතිවා විය යුතුය. සිදුහත් කුමරු රාහුළ උපන්නා බන්ධනය ඇතිවුණා කීවේ මෙවැන්නකටදැයි මට හිතෙන්නේය. එක අතකට මූ මළ වදයකි. ඒත් ඌ කෙරෙහි හිතෙන ආදරේද අඩුවක් නැත.

කොහොම වුණත් බොළ හාවෝ හෙට රිය පදවන අතර නින්දගොස් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මා ජන්මාන්තර ගතවුවහොත් එයටනම් සෘජුවම වගකිව යුත්තේ රපුන්සල් අතාවුද වන චූදිත නුඹමය. ඒකේ දෙකක් නැත.

(2016 නොවැම්බර් 02 වැනි දින ලියන ලද පොස්ටුවකි)

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...