Sunday, April 12, 2020

නිසාන් ලීෆ් සමග වසරක්



(2016 ඔක්තෝබර් 12 වැනි දින ලියන ලද පොස්ටුවකි)

පුරා අවුරුද්දක් තිස්සෙ ආසාවෙන් පැදපු ලීෆ් එක වික්කා. ලීෆ් එක තියෙන කාලෙ කවුරුහරි කොහොමද කාර් එක අහපුවම කියන්න වෙන්නෙ ''සුපිරි'' කියල. ඒත් දැන් විකුණලා ඉවර වුණාම ඒ ගැන අපක්ෂපාති විග‍්‍රහයක යෙදෙන්න පුලුවන්.

ඇත්තටම නිසාන් ලීෆ් කියන්නෙ සුපිරි කාර් එකක්. සැප පහසුව අතින් ගත්තාම ටොයෝටා ඇක්වා හොන්ඩා ෆිට් වෙසල් විතරක් නෙවෙයි ප‍්‍රියස් සහ හොන්ඩා ගේ‍්‍රස් වැනි කාර් වලට අලගු තබන්නටවත් බැරි සැප පහසුකමක් ලීෆ් එකේ තියෙනව. බොහෝ දුරට සැප පහසුව අතින් ලීෆ් එක ප‍්‍රිමියෝ වගේ සුපිරි කාර් එක්ක කරට කර ඉන්න පුලුවන්.

පිරිමැස්ම අතින් ලීෆ් එක ඉන්ධන යොදා දුවන හැම කාර් එකක්ම පරදවනවා. ගෘහස්ථ විදුලි සම්බන්දතා ක‍්‍රමය යටතේ විදුලි ඒකකයකට රු. 45 ගණනේ් ලයිට් බිල් ගෙව්වත් ඒ මුලු මුදල මාසෙට පෙට‍්‍රල් ගහන්න යන වියදමට වඩා අනිවාර්යයෙන්ම ගොඩක් අඩු වෙනවාමයි. ඒ නිසා වියදම් ගොඩක් අඩුයි.

අනිත් කරුණ නඩත්තු කටයුතු. මගේ ලීෆ් එක මම පැදපු අවුරුද්දට මම කිලෝමීටර් 38000ක් දිව්වා. ඒත් නඩත්තුවකට කියලා කරපු දෙයක් නැති තරම් ටයර් දාන එක ඇරෙන්න. ඒක ඉතින් කොහොමත් කරන්න එපැයි. ඇත්තමට හොදට ටයර් වලට හුලං ගහල හොද බොඩි වොෂ් එකක් දාල දුවනවා ඇරෙන්න ලීෆ් එකක නඩත්තු වියදමක් නැති තරම්.

ලීෆ් එකේ තියෙන්නෙ ටිකක් අමුතු පෙනුමක්. ඒ නිසා අපි කොහෙට ගිහින් බැස්සත් මිනිස්සු ප‍්‍රාඩෝ එකක් දිහා බලනවට වඩා බලන්නෙ ලීෆ් එක දිහා. අනික ධාවනය වෙද්දි ලස්සන විසිල් එකකුත් හීනිවට ඇහෙනවා. ඒකත් හරිම ලස්සනයි.

ඇතුලෙ අලි පටවන්න ඉඩ මදි වුණාට සාමාන්‍යයෙන් හොද සයිස් හතර දෙනෙකුට අවුලක් නැතුව පිටිපස්සෙ යන්න පුලුවන්. ඉස්සරහ සීට් නං ආය කියල වැඩක් නෑ යන මිනිහට අසුන අරා ඉදගෙන ලෝඩ් වගේ යන්නයි තියෙන්නෙ. ඩිකියෙ වුණත් සෑහෙන බඩු ප‍්‍රමාණයක් පටවන්න ඉඩ තියෙනව.

ඊට අමතරව වොයිස් කන්ට්‍රෝල් ජී.පී.එස් වගේම බ්ලූටූත් හරහා ජංගම දුරකථනය කාරයටම සම්බන්ද කිරීමේ හැකියාව වැනි තවත් දහසකුත් එකක් සුපිරි පහසුකම් මෙහි තියෙනව.
තියෙන ලොකුම අවුල තමයි යන්න පුලුවන් දුර. සාමාන්‍යයෙන් කිලෝමීටර් 180ක් දුවන්න පුලුවන් කියන ලීෆ් එකක වුණත් දුර ගමනක් යන එක ටිකක් අමාරු වැඩක්. වැඩියෙන් පෑගුවොත් වැඩියෙන් බැටරිය බහිනවා. ඒ හින්දා බැටරි මීටරේ දිහා බලබල බයෙන් චකිතයෙන් තමයි මුලු ගමනම යන්න වෙන්නෙ. ලීෆ් එකේ තියෙන පහසුකම් එක්ක මුල් කාලෙ ඒක අපහසුවක් විදියට නොසැලකුවට පහු වෙනකොට ඒක සෑහෙන හිසරදයක් වෙනවා. සෑම ගමනක්ම යන්න කලින් ගමන යන දුර, චාර්ජ් කරන තැන්, ආදී සියල්ල සැලසුම් කරන්නම වෙනවා. ගමන මැදදි අනපේක්ෂිත වෙනස්කම් කරන්න බෑ ලීෆ් එකේ යනවනම්.

අනිත් ගැටලුව ලිතියම් අයන බැටරියක ස්වභාවය. අපි මොබයිල් ෆෝන් එකකට පාවිච්චි කරන ලිතියම් අයන් බැටරි වගේම ප‍්‍රමාණයෙන් විශාල බැටරියක් තමයි ලීෆ් එකෙත් තියෙන්නෙ. ෆෝන් එකේ බැටරි ධාරිතාවය හෝ ආයු කාලය කාළයත් සමග අඩු වේගෙන යනවා වගේ ලීෆ් එකේ බැටරියෙත් ආයු කාලය කාලයත් සමග අඩුවීම සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් හොද බැටරියක් වසර 8ක් පමණ පාවිච්චි කරන්න පුලුවන්. ඒත් නිතර වාහනය අවුවට නිරාවරණය වෙනවානම් නිතර නිතර හයි චාර්ජ් එකට ගහනවා නම් බැටරිය ඊට වඩා ඉක්මනට සවුත්තු වෙන්න පුලුවන්.
සෑම ලීෆ් රථයකම බැටරියකට අවම වශයෙන් වසර 3ක වගකීමක් තියෙනවා. ස්ටර්ලින් වොරන්ටි කාඩ් එකේ ඒ බව සදහන් වෙනවා. නමුත් ඒ වගකීම ස්ටර්ලින් කා කෙයාර් ශ‍්‍රී ලංකා ආයතනයෙන් ලබාදෙන එකක් නොවෙයි. ජපන් සටර්ලින් ආයතනයෙන් ලබා දෙන එකක්. ගන්න වෙලාවෙ බැටරියට වොරන්ටි කියල කිව්වට ඇත්තටම වෙන්නෙ ලීෆ් එකක් ලංකාවේ ලියාපදිංචි කළ දින සිට වසර 3ක් ඇතුලත බැටරි ආයු කාලය දක්වන සටහනේ කණු 4කට වඩා අඩු වුණොත් ලංකාවෙ ස්ටර්ලින් ආයතනය එය ජපාන ස්ටර්ලින් සමාගමේ අවධානයට යොමු කරනවලු. ඉන් පස්සෙ ජපාන ස්ටර්ලින් සමාගම කරුණු සළකා බලල තීරණය කරනවලු අලුත් බැටරියක් දෙනවද නැද්ද කියලා. ඔන්න ඔහොමයි වගකීමෙ හැටි. ඔය ටික කිව්වෙ ස්ටර්ලින් ආයතනයේ වගකිවයුතු නිලධාරියෙක් මම නිකමට වගේ බැටරියෙ වොරන්ටිය ගැන අහපු වෙලාවක.

අනික් ලොකුම අවුල තමයි ලීෆ් එකේ අමතර රෝදයක් (ස්පෙයා වීල්) නැතිකම. ලීෆ් එකට එන්නෙ ග්ලූ එකකුත් එක්ක එන හුළං පොම්පයක්. පැච් එකක් ගියොත් සිගරට් ලයිටරේට ප්ලග් කරලා හුලං ගහන්න තමයි තියෙන්නෙ. ටිකක් ලොකුවට පැච් එක ගියොත් නම් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. ඒ නිසා වෙනම ස්පෙයා වීල් එකක් ගන්න එක තමා නුවණට හුරු.

පිටරටවල් වල ලීෆ් චාර්ජින් සෙන්ටර් තියෙන්නෙ ප‍්‍රසිද්ධ වාහන නැවතුම්පොළවල් (කා පාර්ක්) වල. ඒ නිසා ගමනක් යන කෙනෙකුට පාක් එකක චාර්ජ් එකට ගහලා තමන්ගෙ වැඩ ටික කරන් එන්න හොදටම ඉඩකඩ තියෙනව. ඒත් ලංකාවෙ චාර්ජින් සෙන්ටර් කා පාර්ක් වල තියෙන්නෙ 2ක්ද කොහෙද. බහුතරයක් චාර්ජින් සෙන්ටර් වලට තකහනියෙ වෙනම යන්න වෙනව. ඉතිං ගිහිල්ලත් චාර්ජ් එකට ගහල පොතක් වත් කියව කියව සැරෙන් සැරේ වෙලාව බල බල තපින්න වෙනව. ඒක එපා කරපු කට්ටක්.

ඒ ඇරෙන්න ලීෆ් එකේ වෙන කියන්න තරම් අවුලක් නෑ. හැබැයි තමන්ට තියෙන එකම වාහනය විදියට ලීෆ් පදින කෙනෙකුට නම් ඔය අවුල් ටික ඇති ඉහටත් උඩින්.

අවසාන නිගමනය හැටියට ලීෆ් එක නරක වාහනයක් කියන්න බෑ. ඒත් තවම ලංකාවට එතරම් නොගැලපෙන වාහනයක්. කොළඹ නගර සීමාවෙ කෙනෙකුට ඉතා හොදින් ගැලපෙනවා. කාන්තා පක්ෂයට ඉතාම උචිතයි. පෙට‍්‍රල් හෝ ඩීසල් වාහනයක් තියෙන කෙනෙකුට ළග ගමන් සදහා පාවිච්චි කරන්න දෙවැනි වාහනය විදියට ඉතාම හොදින් ගැලපෙනවා. එහෙම නැතුව තියෙන ඔක්කොම දාල දෙයියනේ කියල තියෙන එකම වාහනය ලීෆ් වුණොත් ගොඩක් හිර වෙන්න පුලුවන්. දුර යන්න බැරුව හදිසියකට ගමනක් යන්න බැරුව විශාල ගැටලු ඇතිවෙන්න පුලුවන්.

ඒ නිසා ඇත්තටම ආසාවට ලීෆ් එකක් ගන්නවා වගේ නෙවෙයි මේක තමන්ට ඇත්තටම ගැලපෙනවමද කියන කාරණය මනාව සිතා බැලීම ඉතා වැදගත්. එහෙම ගැලපෙනවනම් ලීෆ් එකක් ගන්න කෙනෙක් කිසිම දවසක බලාපොරොත්තු කඩවීමකට ලක්වෙන එකක් නෑ. නමුත් පෙනුමට සැප පහසුවට ආස හිතිලා අවබෝධයෙන් තොරව ගත්තොත් ලෙඩේ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...