Sunday, April 12, 2020

රංකැටි පුතා සහ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය

මේක පුංචි කාලෙ අම්ම බත් කවන ගමන් කියපු ටිකක් දුක හිතෙන කතාවක්.

ඔන්න කුරුලු අම්මෙකුයි කුරුලු පුතෙකුයි හිටිය. දෙන්න හරි ආදරෙන් හිටියෙ. දවසක් කුරුලු අම්ම උදේ පාන්දරම මී මල් වගයක් කඩාගෙන ඇවිත් ගෙදර ඉස්සරහ ගලක් උඩින් තිබ්බ. එහෙම තියල ගමනක් ගිහින් ආපහු එනකොට හවස් වුණා. ආපු ගමන් අර මී මල් ටික ගෙට දාන්න හිතාන ගල ගාවට ගියා. මී මල් එකක් වත් නෑ. කුරුලු අම්මට හරියට තරහ ගියා. කුරුලු පුතාට අඩගැහුව.

''කෝ මං මෙතන තියල ගියපු මී මල්?'' කුරුලු පුතාගෙන් ඇහුව
''මං දන්නෙ නෑ අම්මෙ'' කුරුලු පුතා අසරණ වෙලා කිව්ව.
''උඹ දන්නෙ නැත්නම් මල් ටික එර්දි වුණාද? ඇත්ත කියපං. කෝ මී මල් ටික?'' කුරුලු අම්ම ආයෙමත් ඇහුව
''අනේ ඇත්තමයි අම්මෙ. මම දන්නෙ නෑ''
මී මල් වලට වෙච්ච දෙයක් ගැන කුරුලු අම්මට වෙන දෙයක් හිතාගන්නම බැරි වුණා. කුරුලු පුතා කාල නෙවෙයි නම් මල් ටික තියෙන්නම එපැයි. ඒත් පුතා බොරු කියනවා. කුරුලු අම්මට යකා නැංග.
''තෝ ආය මට බොරු කියනවද?'' කියල අහන ගමං කුරුලු අම්ම කුරුලු පුතාගෙ කකුල් දෙකෙන් අල්ලල අර මී මල් තිබුණ ගලේම ගහගෙන ගහගෙන ගියා.
''
අනේ අම්මෙ මං ඇත්තමයි කියන්නෙ. මං මී මල් ගත්තෙ නෑ. අනේ මට රිදෙනව අම්මෙ. ගහන්න එපා.''

කුරුලු පුතා ඇඩුවත් අම්මගෙ කේන්තිය නිසා ඒ කිසිවක් ඇහුණෙ නෑ. ටිකකින් කුරුලු පුතාගෙ ඇඩිල්ල කෙදිරියක් බවට හැරුණා. ටිකකින් කුරුලු පුතාගෙ ළපටි ඔලුව ''තහ් තහ්'' ගගා ගලේ වදින සද්දෙ ඇරෙන්න වෙන හඩක් ඇහෙන්නෙ නැතුව ගියා.

අම්මට තාම තරහයි. ඒ වගේම මහන්සියි. දුකයි. කුරුලු පුතාව එහෙමම අතඇරළ අම්ම ගෙට ගිහිං නිදාගත්ත.

පහුවදා උදේ ඇහැරිල කුරුලු අම්ම කුරුලු පුතාව හෙව්ව. පුතා නෑ. ඉස්සරහ දොරින් එළියට එබිල බලද්දි කලින් දවසෙ උදේ තිබුණ විදියටම මී මල් ගෙදර ඉස්සරහ ගල උඩ තියෙනව.
එතකොටයි අම්මට මතක් වුණේ කුරුලු පුතාව කකුල් දෙකෙන් අල්ලල ගලේ ගැහුව නේද කියල. මී මල් දවල් වෙද්දි වේලිල ගලටම ඇලිල නොපෙනී ගිහින් තිබුණ නිසා තමන්ට නොපෙනුණ බවත් පාන්දර පින්නට නැවතත් මී මල් පණගහල නැගිටල තියෙන බවත් අම්මට තේරුණ. තමන් හදිස්සි වෙලා පුතාට දුන්නු දඩුවම සැර වැඩි කියල අම්මට හිතුණෙ එතකොට.

අද ගෙදර එනකොට පුතාට රසම රස මාදං ගෙඩි ගේන්න ඔන කියල හිතලා පුතා හොයන්න වටපිට බැලුව. පුතා ගල පාමුල නිදි. කුරුලු අම්ම එතනම ඉදන් ''පුතේ පුතේ'' කියල කතා කළා.
පුතාගෙන් සද්දයක් නෑ. ඉන් පස්සෙ ළගට ගිහින් ඇගෙන් අල්ලල ''පුතේ පුතේ'' කියනකොටයි අම්මට තේරුණෙ එතන තියෙන්නෙ පුතාගෙ මළ සිරුර විතරක් බව.

තමන් කාරණා කටයුතු සොයා බලන්නෙ නැතුව පුතාව වැරදිකාරය කරල කරපු වැඩේ බරපතළකම තේරුණේ දැනුයි.

කුරුලු අම්මට ගොඩාක් දුක හිතුණා. තමන් කරපු වැඩේ ගැන ආත්ම ගාණකටවත් ගෙවාගන්න බැරි ලොකු පසුතැවිල්ලක් ඇතිවුණා. එදා ඉදන් ඒ කුරුලු අම්මට දරු දුක වාවන්නෙ නැතුව පිස්සු හැදුණ. දැන් එයා පිස්සුවෙන් හැම ගහක් ගලක් ගාණෙම තමන්ගෙ පුතා හොයනව. ඒ හොයන ගමන් දුක හිතෙන සිංදුවකුත් කියනව.

''මී පුප් ලදිම්
දරු නොලදිම්
රන් කැටි පුතා
කෝ කෝ . . . . . . . .''

මට මතක විදියම අම්ම මේ කතාව දෙතුන් පාරකට වඩා මට කියල නෑ. මොකද ඒ කියපු හැම වෙලාවෙම මම ඇඩුව හින්ද. කතාවෙ ටිකක් unrealistic ගතියකුත් තියෙනව. මොකද අම්ම කෙනෙක් කවදාවත් තමන්ගෙ දරුවෙකුට එහෙම නොකරන නිසා.

නමුත් අඩ අඩා හරි අහපු ඒ කතාව ඒ තරම්ම තදින් මතකයේ රැදිල තියෙන්නෙ එතන ජීවිතේට ලොකුම ලොකු පාඩමක් තියෙන නිසා වෙන්න ඇති. සමහර වෙලාවට කෙනෙකුට චෝදනාවක් එල්ල වෙනකොට එයා ඒ චෝදනාවට අදාළ වරද නොකළත් තමන්ගෙ නිදහසට කිසිම විදියක පිළිගත හැකි පැහැදිලි කිරීමක් දෙන්න අසමත් වෙන්න පුලුවන්. නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ ඔහු ඒ වරද කළ බව. නමුත් ඔහු පැහැදිලි කිරීමක් දෙන්න අසමත් වීම මතම ඔහු වරදකරු කරල ඔහුට දඩුවමක් දුන්නොත් යම් කිසි දවසක ඒ දඩුවම දුන්නු පුද්ගලයාට ඒ පිළිබදව විශාල පසුතැවිල්ලක් ඇතිවෙන්න පුලුවන්. ඒ නිසයි නීතිය ඉස්සරහ වරදකරු බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වන තුරු පුද්ගලයෙක් නිර්දෝෂී ලෙස සැළකීම එනම් නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය කියල සංකල්පයක් තියෙන්නෙ. ඒ වගේම අපරාධ නඩුවක පැමිණිල්ල විසින් අදාළ සැකකරු අපරාධය කළ බව ඔප්පු කිරීමේ භාරය පැමිණිල්ලට පැවරෙන්නෙත් පැමිණිල්ලෙන් ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවුණොත් තමා අපරාධය නොකළ බවට කරුණු දැක්වීමකින් තොරවම සැකකරුවකු නිදහස් වෙන්නෙ (මහේස්ත‍්‍රාත් අධිකරණයේ නම් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 186 වගන්තිය යටතේ මහාධිකරණයේ නම් 200 වගන්තිය යටතේ) ඒ නිසා.
එහෙම බලාගෙන යනකොට අම්ම පුංචි කාලෙ කියල දීපු පුංචි කතාවක තිබිල තියෙන්නෙ ඉතාම වැදගත් වගේම සංකීර්ණ නෛතික සංකල්පයක් වන නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයේ වැදගත්කම. දැන් ළමයින්ට දෙමාපියෝ එහෙම කතා කියල දෙනව දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්. එහෙම බලනකොට අපි හරි වාසනාවන්තයි කියල හිතෙනව.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...