Tuesday, April 14, 2020

Spy Game (2001)

මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් සී.අයි.ඒ නමින් හදුන්වන ඇමෙරිකානු බුද්ධි අංශය පිළිබදව නොදන්නා අයෙකු නොමැති තරම්. ඔවුන් විසින් ලොව පුරා ඇමෙරිකානු උත්තමවාදය සදහා දියත් කර ඇති දියත් කරන මෙහෙයුම් අප්‍රමාණයි. කෙසේ වෙතත් ඇමෙරිකානු සිනමාව තුල සී.අයි.ඒ පමණක් නොව ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් වීරත්වයට නැගෙන අයුරු බොහෝවිට දැකගන්නට පුළුවන්. නමුත් ඇමෙරිකානු සිනමාව ඉන්දියානු සිනමාව වැනි සියයට සියයක් ස්වෝත්තමවාදී පූඡානම් සිනමාවක් බව ඉන් අදහස් වන්නේ නෑ. ඇමෙරිකානු ක්‍රමය ඇමෙරිකානු හමුදා සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ඔවුන් විසින්ම නිර්දය ලෙස විවේචනය කෙරෙන සිනමා නිර්මාණ ඕනෑ තරම් අප දැක තිබෙනවා. එයට හේතුව බොහෝදුරට විවේචන ඉවසීම කුඩාකළ පටන්ම පුරුදු පුහුණු කළ සබුද්ධික සිනමා රසිකයන් පිරිසක් ඔවුන්ට සිටීම. ශ්‍රී ලංකාව වැනි රටකට එවන් තත්වයකට යාමට තව බොහෝ කල් ගතවනු ඇති. මන්ද එවැනි ස්වයං විවේචනාත්මක සිනමා නිර්මාණ ශ්‍රී ලංකාවේ සිදුකළහොත් එය බොහෝ දුරට සිරගත කිරීමට පවා හේතුවක් වියහැකි තත්වයක් අප රටේ තිබීම.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටය මා මීට පෙර නරඹා ඇති රහස් ඔත්තුකරුවන් සම්බන්ධ චිත්‍රපටවලට වඩා මදක් වෙනස් එකක්. අනෙක් චිත්‍රපට වල දක්නට ලැබෙන අඛණ්ඩ ගලා යාම මෙම චිත්‍රපටයේ තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල ඇති අමානුෂික ස්වභාවයන් ඔවුන් විසින් විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රයෝජන ගෙන අතහැර දමන ආකාරය වැනි රහස් ඔත්තු සේවාවන්ට අදාළ අමිහිරි පැති රාශියක් සාකච්ඡා කෙරෙනවා.

Nathan Muir (Robert Redford) නම් සී.අයි.ඒ සංවිධාන නියෝජිතයා විසින් තමා කළකට පෙර බදවා ගන්නා ලද Tom Bishop (Brad Pitt) නම් තරුණ සී.අයි.ඒ නියෝජිතයෙකුගේ ජීවිතය බේරාගැනීම වටා මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. ඒ කතාව තුල මා පෙර සදහන් කරන ලද සී.අයි.ඒ සම්බන්ධයෙන් වන නිර්දය විවේචන නොමදව අන්තර්ගත වෙනවා.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික ජේම්ස් බොන්ඩ් හෝ ජැකී චෑන්ගේ චිත්‍රපටවල මෙන් දක්නට ලැබෙන ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත්කරවනසුළු කුතුහළය දනවන ක්‍රියාදාම ස්වභාවය මෙහි නැහැ. එබැවින් එවැනි ක්‍රියාදාම රසාස්වාදයක් අපේක්ෂාවෙන් මෙය නැරඹුවොත් ඒ බලාපොරොත්තුව බොහෝදුරට කඩවෙන්න තියෙන ඉඩ වැඩියි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...