Tuesday, April 14, 2020

Karate Kid සහ බොන්සායි පාඩම

"මගේ නම රන්
ඉස්සර ම⁣ට හරි හරි වැඩ වෙලා තියනව
දවසක් ක්‍රිකට් ගහද්දි........
ළඟදි හපුතලේ ගිහින්........
වෙච්ච වැඩවල හැටියට
මෙහෙම ඉන්න එක ලොකු දෙයක්
ඒ හැම සැරේම මාව බලාගත්තෙ
සෙලින්කෝ රන්දරු"

මීට වසර 20කට පමණ පෙර රූපවාහිනියේ නිරන්තරයෙන් විකාශය වූ ඒ වෙළඳ දැන්වීම සෑම කෙනෙකුටම මතක ඇතුවා නිසැකය. එය සැබැවින්ම ආකර්ශනීය වෙළඳ දැන්වීමකි.

එහෙත් සත්‍යය නම් සෙලින්කෝ රන්දරු හෝ වෙනත් යම් රක්ෂණාවරණයකට ජීවිතයේ සෑම ප්‍රශ්නයකදීම ඔබව බලාගත නොහැකි බවයි. ඇතැම් ප්‍රශ්න වලදී එයට මුහුණ දීමට අමතර ශක්තියක් රක්ෂණාවරණයකට හෝ වෙනත් යම් ක්‍රමයකට සැපයිය හැකි වුවත් සැබෑ ලෙස ප්‍රශ්නයට ආවේණික ආකාරයට මුහුණදෙමින් එය නිරාකරණය කරගත හැක්කේ ප්‍රශ්නයට මුහුණ දෙන්නාටම පමණි.

නමුත් මේ වෙළඳ දැන්⁣වීමේ එක්තරා වටිනා පාඨයක් ඇත. "වෙච්ච වැඩවල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක්" යන්න එම පාඨයයි. එය සැබැවින්ම ඕනෑම කෙනෙකුට තමාගේ ජීවිතය සම්බන්ධයෙන් සත්‍ය වශයෙන්ම අදාළ වන පාඨයකි. එනම් සෑම කෙනෙකුම ජීවිතයේ විවිධ අදිරයන් හීදී තමාට ආවේණික ප්‍රශ්න වලට මුහුණදේ. එමෙන්ම ඒ ප්‍රශ්න කාලයත් සමග ජීවිතයට ආනන්දය සහ ආලෝකය සපයන මතක සටහන්, පාඩම් බවට පත්වේ. "වඩාත්ම රසවත් කතාන්තර ඇසිය හැක්කේ වැ⁣ඩියෙන්ම මුහුණ රැළිවැටුණු තැනැත්තාගෙන්" බවට පැරණි චීන හෝ ජපන් කියමනක් ඇතත් නැතත් එය සත්‍යයකි. වැඩියෙන්ම ප්‍රශ්න වලට මුහුණදුන් තැනැත්තාට කීමට ඇති කතාන්තරය ඉතා රසවත් එකකි.

ඇතැම් ප්‍රශ්න වලට වහ වහා විසඳුම් සෙවිය යුතුවේ. බරපතළ අසනීප තත්වයක්, බෝම්බ ප්‍රහාරයක් වැනි වහ වහා විසඳුම් යෙදිය යුතු ප්‍රශ්න ජීවිතයේ ඇත. නමුත් ජීවිතයේ මුණගැසෙන ප්‍රශ්න වලින් අතිමහත් බහුතරයක් කාලයත් සමඟ සෙමෙන් විසඳිය යුතු එවා වෙයි. ඒවාට වහ වහා පිළියම් යෙදීමට යාමෙන් ප්‍රශ්නය වඩ වඩාත් අවුල්සහගත වීමටත් විසඳිය හැකි සීමාවෙන් එහාට තල්ලු වීමටත් හැකිය. එවැනි ප්‍රශ්න වලට මුහුණ දීමට විවේක බුද්ධිය සහ සංයමය අවශ්‍ය වේ.

සුප්‍රකට Karate Kid චිත්‍රපට මාලාව පුරා ඉගැන්වෙන ප්‍රධාන පාඩම එයයි. විශේෂයෙන්ම Karate Kid III චිත්‍රපටයේ බොන්සායි කලාව ආශ්රිතව විවේක බුද්ධියේ සහ ඉවසීමේ වටිනාකම චිත්‍රපටයේ මතුපිට කතාවට අභ්‍යන්තරයෙන් ගැඹුරින් සාකච්ඡා කෙරේ.

චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපට 3දී ප්‍රධාන චරිතය වන ඩැනියෙල් නොඉවසිල්ලේ අගතැන්පත් පුද්ගලයෙකි. එම චිත්‍රපටය නරඹන සාමාන්‍යයෙන් ඉවසිල්ලක් නැති අයෙකුට පවා මූට පිස්සුදැයි සිතෙන තරමට ඔහුගේ කතා විලාසය පවා වේගවත්ය.

3වන චිත්‍රපටයේදී ඔහුට එල්ල වන අභියෝග වලදී ඔහු වහා වහා එහෙ මෙහෙ දුව පනිමින් ළඟම පෙනෙන විසඳුම බදාගනී. එය අසාර්ථක වන බවක් පෙනී යද්දී එය අතහැර ඊළඟ විසඳුමට පනී. අවසානයේ ඔහු අතින් කෙරෙන්නේ නොකළ යුතුම දෙයයි.

ඔහුගේ ගුරුවරයා මෙන්ම හවුල්කරු වූ මියාගි මහතා ඊට හාත්පසින්ම වෙනස් වනවා පමණක් නොව ඩැනියෙල්ට පුරුදු පුහුණු කරවීමට උත්සාහ කරන්නේ තමා තුල රැඳි අභ්‍යන්තර සාමයේ සහ ඉවසීමේ බල මහිමයයි.

වරක් ඔවුන්ගේ බොන්සායි සාප්පුවට ඩැනියෙල්ගේ විරුද්ධවාදීන් අලාභහානි කරයි. ආපසු නිවෙස බලා යන විට ඩැනියෙන් මහත් කෝපයෙන් නොනවත්වා හානි කළවුන්ට බැණවදී. නමුත් මියාගි එය නෑසුණාක් මෙන් ගීතයක් ඉතා අවලස්සන ආකාරයට ගයමින් රිය පදවයි. ඒ මන්දැයි ඩැනියෙල් අසද්දී බොන්සායි පැල සාප්පුවේ නොතබා නිවසේ තැබීමෙන් ඒවා ආරක්ෂා වූ හෙයින් තමාට සතුටු බව පවසයි.

නිවසට යට ඔවුන්ට දක්නට ලැබෙන්නේ බොන්සායි පැල සියල්ල සොරාගෙන ගොස් ඇති බවයි. පැළ තිබූ බංකුව දෙස එක බැල්මක් පමණක හෙලන මියාගි එතැනින් ඉවත්ව යයි. කොහේ යන්නේදැයි විමසන ඩැනියෙල්ට මියාගි පවසන්නේ තමා මාළු බෑම සඳහා යන බවයි. එය අසන ඩැනියෙල්ට තම දෙකන් අදහාගත නොහැකි වේ. ප්‍රශ්නයක් පිළිබඳව බඩගින්නේ කල්පනා කළ නොහැකි බවත් එයට කුස පුරවාගෙන සිටිය යුතු බවත් ඒ සඳහා ආහාර අවශ්‍ය බවත් මියාගි පවසයි.

ඉතා අධික වටිනාකමින යුත් නියම ජපන් බොන්සායි ගසක් මියාගි සතු වෙයි. එය විකුණා මියාගිට මුදල් ලබාදීමට ඩැනියෙල් දරණ උත්සාහයේදී සියල්ල නරක අතට පෙරලෙනවා පමණක් නොව බොන්සායි ගසටද හානි සිදුවෙයි.

නමුත් ඉවසිල්ලෙන් සංයමයෙන් යුතුව බොන්සායි ගසට ප්‍රතිකාර කරන මියාගි එය යථා තත්වයට පත්කරයි. බොන්සායි ගස යථා තත්වයට පත්වීමට හේතුව එහි ශක්තිමත් මූල පද්ධතිය බවත් ඩැනියෙල්ද එවැනිම ශක්තිමත් මූල පද්ධතියක් ඇති දරුවෙකු බවත් පවසන මියාගි ඩැනියෙල්ගේ ආත්ම විශ්වාසය වඩවයි.

බොන්සායි කලාව කඩිනම් ක්‍රමයට කළ හැක්කක් නොවේ. එයට මනා හික්මීමක්, ඉවසීමක් සහ කාලය අවශ්‍ය වේ. Karate Kid චිත්‍රපට මාලාව පුරාම බටහිර ජාතීන්ගේ අතිධාවනකාරි ජීවන රටාව සහ ජපන් ජාතිකයෙකු ලෙස මියාගිගේ චිත්ත අභ්‍යන්තර සාමයට මුල්තැන දෙන ඉවසිලිවන්ත මන්දගාමී ජීවන රටාව අතර වෙනස පෙන්වයි. ඒ අනුව ගත්කල සමස්ථ චිත්‍රපට මාලාව මනා ඉවසිල්ලෙන් තැනූ අගනා බොන්සායි ගසකට සමාන කළ හැක.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...