Tuesday, April 14, 2020

Alpha (2018) (මිනිසාට තම විශ්වාසවන්තම මිතුරා හමුවීමේ කතාව)

මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භක අවධියේදී දඩයම් යුගය පසුකිරීමට මිනිසාට සිදුවිය. එකල යුරෝපයේ මානවයාට පැවැති ප්‍රධාන අභියෝගයක් නම් ශීත ඍතුවට මුහුණදීම සදහා සූදානම් වීමය. එළි පහලියට බැස වැඩපළ කළහැකි අනෙක් ඍතු තුනම ගතකිරීමට සිදුවන්නේ මරණීය ශීත ඍතුවට සූදානම් වීමටය. දඩයම් යුගයේදී මෙකී ඍතු ත්‍රිත්වය ප්‍රධාන වශයෙන්ම ශීත ඍතුවේදී අවශ්‍ය වන මස් සපයා ගැනීම සදහා දඩයම් කාලවකවානුවක් ලෙස භාවිත වූ බව සිතිය හැකිය.

මිනිසාට සමීපතම සහ හිතවත්ම මිතුරා වන බල්ලා මනුශ්‍ය ආශ්‍රයට හුරු වන්නේ මෙකී දඩයම් යුගයේදී බවට ප්‍රකට මතයක් ඇත. එනම් දඩයම් කටයුතු සදහාසහය කරගැනීම සදහා ක්‍රමයෙන් හීලෑ බවට පත්කරගන්නා ලද වෘකයන්ගෙන් ඇතැම් සුනඛ විශේෂයන් පැවත එන බව අදටත් පිළිගැනීමට ලක්වී ඇති උපකල්පනයකි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වන්නේ ඉහත කී උපකල්පනයයි. තමන්ගේ ගෝත්‍රික කණ්ඩායමට ශීත ඍතුවේදී පණ රැකගැනීම සදහා අවශ්‍ය මස් එකතු කරගැනීම සදහා තම පියා සමග ජීවිතයේ පළමු වතාවට බයිසන් ගවයන් දඩයමේ යන යෞවනයෙකු මුහුණදෙන අත්දැකීම් වඩා මෙම චිත්‍රපට කතාව ගෙතී ඇත.

නිසි අවි ආයුධ නොමැතිව සිදුකරන බයිසන් ගව දඩයම බිහිසුණු ක්‍රියාවලියකි. එකවර අවශ්‍ය මස් ප්‍රමාණය සපයා ගැනීම සදහා ගල් උල්කර සාදනු ලබන හෙල්ල සහ දුණු ඊ භාවිත කර වරකට එකා බැගින් දඩයම් කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ. එබැවින් බොහෝවිට සිදුකරන්නේ විශාල ගව රංචුවක් පාතාලයක මුවවිට දක්වා බියගන්වා පැන්නීමය. එහිදී පාතාලයෙන් පහළට ඇදවැටී මියයන ගවයන්ගේ මස් වියලා හෝ දුම් ගස්සවා ශීත ඍතුවේ භාවිතය සදහා ගබඩා කර තැබීම සිදුවේ.

එහි ඇති අවදානම නම් එසේ ගවයන් විශාල රංචුවක් පාතාලය වෙත එළැවීමේදී උන්ගෙන් එල්ල විය හැකි ප්‍රති ප්‍රහාර මරණීය ඒවා වීමට ඇති හැකියාවයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Keda ට සිදුවන්නේ ද එයයි. තම පළමු දඩයම් චාරිකාවේදී ගවයන් පාතාලය වෙත පළවා හරින විට ආපසු හැරෙන බයිසන් ගවයෙකු තම දැවැන්ත අං යුගලයෙන් Kedaට පහරදෙයි. ඉන්පසු Kedaගේ ඇදුමේ තම අගක් පටලවාගන්නා බයිසන් ගවයා ඔහුව පාතාලය වෙත ගෙනගොස් අතහරී. නමුත් වාසනාවකට පාතාලයේ පහළට ඇද වැටෙනවා වෙනුවට එහි ඇති ගල් ඇන්දකට වැටෙන Keda විසඥ වෙයි. ඉහළ සිට බලන ඔහුගේ පියා සහ පිරිවර ඔහු නොසෙල්වෙන බැවින්ද ඔහු සිටිනා තැනට ළගාවීමට ඔවුන්ට ක්‍රමයක් නැති බැවින්ද මියගිය ලෙස සළකා පාතාලය මුවවිට ඔවුන්ට ආවේණික අන්දමට සොහොන් කොතක් සාදා නික්ම යති.

පසුව සිහි ලබන Keda දකින්නේ තම පිරිවර තමා දමා නික්ම ගොස් ඇති බවයි. ඒ සමගම ඇදහැලෙන වර්ෂාවෙන් පහළ පාතාලය ජලයෙන් පිරීයනු දකින Keda එයට පැන දිවි ගලවා ගනී.

තුවාල ලද Keda ට ආපසු ගමන අතිශය දුෂ්කර වෙයි. එම ගමන අතරතුර ඔහු වෘක රංචුවක ප්‍රහාරයට ලක්වෙයි. එහිදී රංචුවේ එක් වෘකයෙකු වෙත ගල්පතුරක් බැද සාදාගත් පිහියකින් තුවාල කර ගසකට නැග දිවි ගලවා ගැනීමට Keda සමත්වෙයි.

පසුවදා උදෑසන අවදිවන ඔහු දකින්නේ තමන්ගේ පිහි ඇණුම් කෑ වෘකයා තවමත් ජීවතුන් අතර බවත වෘක රංචුව ඌ එතැනම දමා ගොස් ඇති බවත්ය. මුලින් වෘකයා මරා දැමීමට සිතන Keda ගේ සිතේ ඌ ගැන යම් හේතුවක් නිසා අනුකම්පාවක් හටගනී. තුවාලලත් වෘකයා ගල් ගුහාවක් කරා ඔසවාගෙන යන ඔහු එහි රැදී සිටිමින් තම තුවාල වලට පිලියම් කරන අතරතුර වෘකයාගේ තුවාල වලටද ප්‍රතිකාර කර ඌ සුවපත් කරවයි.

ප්‍රතිඵලය වන්නේ එතෙක් මානව වර්ගයා දැන නොසිටි ස්වභාවයේ බැදීමක් බොහෝවිට ඉතිහාසයේ පළමු වතාවට මිනිසෙකු සහ වෘකයෙකු අතර ඇතිවීමයි. ඉන්පසු තම ගම්මානය කරා ගමන් කිරීමේදී ඔවුන් දෙදෙනා මුහුණදෙන අභියෝග සහ ඒවා ජයගන්නා ආකාරය චිත්‍රපටයේ දෙවන භාගය පුරා ආකර්ශනීය ලෙස නිරූපණය කර ඇත. අවසානයේ ශීත ඍතුව එළැඹියද එය අභියෝගයක් ලෙස ගන්නා Keda සහ Alpha වෘකයා යන්තමින් පණ රැකගෙන ගම්මානයට ළගා වීමට සමත් වෙයි.

ගම්වාසීන් ඔහු පණපිටින් සිටිනු දැක පුදුමයට පත්වෙති. ගම්මුන්ගෙන් ප්‍රතිකාර ලබන Keda සහ Alpha සුවය ලබයි. එහිදී දැනගන්නට ලැබෙන්නේ Alpha යනු ගැබ්බරින් සිටි වෘක දේනුවක බවයි. Alpha බිහිකරන පැටවුන් Keda ගේ ගෝත්‍රය විසින් තමන්ගේ පවුලේ සාමාජිකයන් මෙන් සළකා තම ගෝත්‍රයට එක්කරගනී. චිරාත් කාලයක් තිස්සේ පවත්නා සුනඛ මානව මිත්‍රත්වය ඇරඹෙන්නේ ඒ සමගය. ඊළග දඩයම් සමයේ දඩයම සදහා පිටත්ව යන මිනිසුන් සමග හිතවත්ව එකට ගමන් කරන වෘකයන් ගණනාවකගේ දර්ශනයකින් චිත්‍රපටය අවසාන වේ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...