Sunday, April 12, 2020

Guilty කියා ඉවරයක් කරගනින්

(2016 මාර්තු 18 වැනි දින ලියන ලද පොස්ටුවකි)

මෙය අපරාධ අධිකරණ ආශ‍්‍රිතව කටයුතු කිරීමේදී විශේෂයෙන්ම මහේස්ත‍්‍රාත් අධිකරණ වලදී නිතරම පාහේ සවන ගැටෙන කියුමකි. එහි අදහස නම් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය කරමින් නඩු විභාගයට නොගොස් තමා වරදකරු බව පිළිගෙන තමාට නියම වන සුළු දඩුවමක් විදීමට එකග වීමකි. මුදල් හා කාලය ඉතිරි වනවාට අමතරව එයින් සැලසෙන තවත් මහගු සහනයක් නම් තමා කළ වරද සම්බන්දයෙන් අන් අය නිරන්තරයෙන් නගනු ලබන කන් කෙදිරි ගෑම් වලින් නිදහස් වී සිටීමට ලැබීමය.

ඇයි ඔයා එහෙම කළේ? ඔයාට ඒ වෙලාවෙ කරන්න තිබුනෙ මෙහෙමනේ? ඔයාට දුක හිතුණෙ නැද්ද? පවු කියල හිතුනෙ නැද්ද? ඒ ඔයාගෙ කවුරුහරි කියල හිතුනෙ නැද්ද? වැනි දහසකුත් එකක් පීඩාකාරී ප‍්‍රශ්න නැගීම් වලින් ගැලවීමට මුලින්ම වරද පිළිගෙන නිහඩ වීම එක්තරා සාර්ථක ක‍්‍රමයකි. නමුත් එසේ වරද පිළිගෙන නිහඩ වීමට අධිකරණයේ හැකියාවක් ලැබුණද එසේ අවස්ථාවක් ලැබීම සියයට 90කට වඩා අඩමාන ස්ථානයක් ඇත. එනම් පාසැලයි.

පාසල් වල අනේකවිධ ගැටළු ඇතිවේ. විනය ප‍්‍රශ්න ඇතිවේ. ඒවා නිරාකරණය කිරීමේ වගකීම මූලික වශයෙන් විදුහල්පතිවරයා සතුය. නමුත් විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයම ඉතා තදින් සිහි තබාගත යුතු කරුණක් වන්නේ යම් සිසුවකුගේ වරදකට දඩුවමක් ලබා දෙන්නේ නම් එය කළ යුත්තේ ඔහු යහ මගට ගැනීමේ අරමුණින් මිස පළිගැනීමේ චේතනාවෙන් හෝ දැඩි දඩුවමක් දී තම සිත තෘප්තිමත් කරගැනීමේ අරමුණින් නොවන බවයි. ඒ අනුව ඇතැම් අවස්ථා වලදී යම් අයෙකු යම් වරදක් කලේද නැද්ද යන්න නිශ්චිතව දැනගැනීම පවා නොවැදගත් විය හැකිය.
යම් දඩුවමක් දිය යුතු තත්වයක් උද්ගත වූ කල විදුහල්පතිවරයා හෝ අදාළ ගුරුවරයෙකු හැකි ඉක්මනින් සුදුසු දඩුවමක් ලබාදී සිද්ධිය එතැනින් අවසන් කිරීමට වගබලා ගැනීම අනිවාර්ය වේ. නමුත් අවාසනාවන්ත ලෙස ප‍්‍රායෝගික තත්වය එය නොවේ.

මා පාසල් අධ්‍යාපනය ලබන සමයේ බොහෝ විට යම් වරදක් සිදුකොට හසුවූ මාගේ සහෝදර සිසුන් කිහිප දෙනෙකුට අදාළ වරද විදුහල්පතිවරයා විසින් විභාග කරනු ලැබ දඩුවමක් දුන් පසුද ඉන්පස් එන කාලඡේද 8හිම ගුරුවරුන් තනි තනිව එම වරද විභාග කර තමාගේ හිතට තෘප්තිමත් දඩුවම් ලබාදුන් උත්ප‍්‍රාසජනක වුවද ශෝචනීය අවස්ථා ගණනාවක්ම මාගේ සිහියට නැගේ.
''ආ ඔය ඉන්නෙ. මෙහෙ එනව බලන්න. තමුසෙ අල්ලගන්න තමයි හිටියෙ. ඇයි එහෙම කළේ. බලනවා තමුසෙගෙ අම්මයි තාත්තයි කොච්චර වැදගත් මිනිස්සුද. ඒ මිනිස්සුන්ට ලැජ්ජ වෙන විදියට හැසිරෙන්න එපා මිනිහො. තමුසෙ කවුරු කියලද හිතන් ඉන්නෙ. කවුද තමුසෙට ඔව්ව කරන්න ලයිසන් දුන්නෙ. අනේ හැබෑටම දැන් හැදෙන උන් කිසි කමකට නෑ. ආයෙ අහුවෙනවකො කරල. ''

ඉහත කොටස කීමට අත්‍යවශ්‍යම නම් විදුහල්පතිවරයා හෝ වෙනයම් ගුරුවරයෙකු විසින් එය එක් වරක් පමණක් කීම හොදටම ප‍්‍රමාණවත් වේ. කාලඡේද 8හිම ගුරුවරුන් දවසකට 8වර බැගින් දින 2ක් ඔය තැටියම වාදනය කළහොත් අදාළ සිසුවාට තම අධ්‍යාපනය එපා වීම නොවැලැක්විය හැකිය.

අනෙක් කරුණ නම් අපරාධ අධිකරණයක පවා එක් වරදකට දඩුවම් දිය හැක්කේ එක් වරක් පමණි. උදාහරණයක් ලෙස මිනීමරුවකුගෙන් හෝ දඩුවම් නියම කල පසු නැවත නැවත අධිකරණයට කැදවමින් ''තමුසෙ ඇයි මෙහෙම කලේ'' කියාවත් නැවත නැවත ඇසිය නොහැකිය.
නමුත් වරදක් කරන පාසල් සිසුවකුට මිනීමරුවකුට ලැබෙන එම සහනය හෝ නොලැබේ. විදුහල්පතිතුමා ඉදිරියේ වරද පිළිගෙන දඩුවම් ලබා තිබියදීත් ඉන්පසු එන කාලඡේද 8හි ගුරු වරුන් 8 දෙනාටම වෙන වෙනම උත්තර බැදීමට සිදුවීම තරම් දඩුවමක් තවත් තිබේද. එම දඩුවමින් වුවද යහපත් ප‍්‍රතිඵලයක් ඇති වන්නේ නම් කමක් නැතැයි කියා හෝ සිතිය හැකිය. නමුත් එයින් උද්ගත වන ප‍්‍රතිඵලය අදාළ සිසුවාට පාසල පමණක් නොව අධ්‍යාපනයද එපා වීම නම් එය කෙතරම් ශෝචනීය තත්වයක්ද.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...