Tuesday, April 14, 2020

කඳුළු හුරතල්


අසංග ප්‍රියමන්ත පීරිස් කියන අසහාය ගායකයා "ඒ" ශබ්දය "ඊ" ලෙස ශබ්ද කරන්න පටන් ගන්න කලින් ගායනා කරපු වචනයක් පාසා සුන්දර ගීතයක් කඳුළු හුරතල්. මට මතක විදියට මේ ගීතය ඇතුලත් කැසට් පටයේ සියළුම ගීත එක වගේ ජනප්‍රිය වුණා. අදටත් බොහෝ දෙනෙක් ආසාවෙන් ආදරෙන් අහනවා.

කදුළෙන් පටන්ගන්න නිසා බැලු බැල්මට විරහ ගීතයක් විදියට පෙනුණත් මේ ගීතයේ කියන්නෙ විරහ වේදනාව ගැන නම් නෙවෙයි. ආදරයේම එක් පැතිකඩක් වෙන ආදරයේ කඳුළු දුක පිළිබඳවයි මෙ⁣හි කතා කරන්නෙ. ආදරය තුල තියෙන කදුළු දුක එක විදියක සතුටක්. ඒ දුක ඒ මොහොතේ දුකක් විදියට දැනුනත් පස්සෙ ආදරයෙන් ලබන අප්‍රමාණ සතුටේම කොටසක් බවට පත්වෙනව. හරියට සුනිල් එදිරිසිංහයන්ගෙ "වියෝ වූ පසුවයි දැනෙන්නේ" ගීතයේ තියෙනව වගේ. ඒ ගීතයේ කියන "දියට වන් විට දැනෙන බිහිසුණු චණ්ඩ බව" තමයි ආදරයේ කදුළු දුක. ඒ කඳුළු දුක නැති වුණාමත් පාළුවක් දැනෙනවා. මොකද ආදරය වැඩි වෙන තරමට තමයි ආදරයේ කඳුළු දුකත් වැඩියෙන් දැනෙන්නෙ. ඒ නිසයි අර චණ්ඩ බව ගැනත් කියලා එය වියෝ වූ පසුව දැනෙන පාළුව කණගාටුව ගැන නැවත කියන්නෙ.

"කදුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් හැඩෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගඹුරුම තැනක රන්දා
කදුළු දුක රහසේම වින්දා........"

කඳුළු හුරතල් වැඩියි කියන්නෙ චුට්ටක් ඇත්නම් ඇස් දෙකේ කඳුළු පුරවගන්න එකට. පොඩිදේටත්, අඬන්න, බණින්න තරහ වෙන්න බලාගෙන ඉන්න එක ළබැඳි බොළඳ පෙම්වතියකගෙ සාමාන්‍ය ලක්ෂණයක්. එහෙම අඬලා රණ්ඩු වෙලා තරහ වෙනකොට පෙම්වතාට ඒ මොහොතට දැනෙනවා යම් දුකක්. ඒක ඔහු පෙම්වතියට වඩා එ⁣හාට හිතනවා. දුරට හිතනවා. ඒ ආදරයේ කඳුළු දුකත් එක්ක ඔවුන්ගෙ හීන මැකෙයි කියලා ඔහුට බයයි. ඒත් ඔහු ඒ හැඟීම පෙන්වන්නෙ නැතුව තමන්ගෙ දුක, බිය හදේ ගැඹුරුම තැන රඳවාගෙන රහසේම විඳදරාගන්නවා.

"මලක මොලකැටි සුමුදු පෙති මත
ලියූ සෙනෙහස රිදුම් දෙන සද
පලාගෙන නෙත් පියන් නොදැනිම
කඳුල වැටුනා අහිංසක ලෙස........"

ඔහු පෙම්වතිය දකින්නෙ මොළකැටි සුමුදු සියුම් දෙයක් විදියට. ඒ නිසයි ඇය මලකට උපමා කරන්නෙ. මලේ පෙති මත යමක් ලියන්නෙ මලට නොරිදෙන්නෙ පෙති නොකැඩෙන්න පරිස්සමින් ආදරෙන්. ඒ වගේ බොහොම පරිස්සමින් ආදරෙන් ඇයට නොරිදෙන්නෙ ඇගේ හදවතේ ඔහු තමන්ගෙ පෙම් කවිය ලිව්වෙ. ඒත් ඇගේ මේ පුංචි නෝක්කඩුවට ඔහුගෙ හිත බොහොම රිදිලා. ඔහුටත් නොදැනීම හිරිකරගෙන හිටපු කඳුළු ඇස් පියන් අතරින් එළියට ගලාගෙන එනව.

"නපුරු වී පෙම් විමන් බිදලන
සිතක් කොතරම් නපුරු වූවද
කඳුළු හිනැහෙන විටදි නෙතු අග
අසරණයි යළි තනයි පෙම් ලොව.."

ඇය මොහොතකට නපුරු වෙලා ඔහු හිතේ මවාගෙන ඉන්න පෙම් විමානය, ආදර රජදහන කඩා බිඳ දාල ඔහුවත් දාල යයි කියන භයෙන් ඔහු සලිත වෙනවා. ඒ කුමක් වුණත් ආදරයේ සැබෑ ස්වභාවය යළි ඉස්මතු වෙනව. ඒ ඔහුගේ දුක, සමහරවිට කෝපය දකින ඇගේ නෙත්අගට උණන කඳුළු කැට දැකලා. ඒ කඳුළු කැට ඔහුගෙ කේන්තිය දුක කොයි තරම් වුණත් ඔහුව අසරණ කරන්නට සමත්. ඒ තමයි ඔහුගෙ ආදරයේ තරම. ඔහු අසරණ වෙලා නැවතත් අර හිතින් ගරා වැටෙනවා කියල මොහොතකට කලින් හිටපු ආදර ලෝකය නැවත ගොඩනගනව.

ඔය පුංචි සිදුවීමක් වෙන්න පුළුවන්. ඒත් ඒ සිදුවීම් තමයි ආදර කතාවක් ලස්සන කරන්නෙ. තනි කෙළින් බැඳපු කොන්ක්‍රීට් කාණුවකට වඩා ඇද වෙච්ච ගංගාවක් ඇලක් සුන්දරයි වගේ ආදර කතාව සුන්දර වෙන්නෙ ඒ තුල හමුවෙන ඒ පුංචි නෝක්කඩු, තරහ, රණ්ඩු, බහින්බස් වීම් එක්ක තමයි. ඒ මොහොතේ කොතරම් දුකක් වුණත් පස්සෙ ඒ වගේ අවස්ථා සිහි කරන්නෙ ආදරයෙන්, ආනන්දයෙන්.

මම හිතන විදියට ආදරය තුල අඩංගු ආදර කදුළු ගැන ලියවිලා තියෙන එකම ගීතය මේක වෙන්න ඕන. එය චන්න ජයනාත්ගෙ විශිෂ්ට සංකල්පයක් විතරක් නෙමෙයි පද ගැලපුමක්. ජයසිරි අමරසේකරගෙ සංගීතයට අසංග ප්‍රියමන්තගෙ හඬින් ඇස් පියාගෙන අහන්න පුළුවන් සුන්දර ගීතයක්.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...