Monday, April 13, 2020

කුමරියක පා සළඹ සැලුනා


 
 
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් කියන්නෙ ශ්‍රී ලංකාවෙ හිටපු ගායකයන් අතරින් මුදුන් මල්කඩ හැටියට කවුරුත් අවිවාදිතව පිළිගන්නා චරිතයක්. වචන වල අරුත් ඔප් නැංවෙන ආකාරයට වචන පමණක් නොව අකුරු පවා ශබ්ද කිරීමට ඔහු දැක්වූ ප්‍රතිභා පූර්ණ කුසලතාවය ඔහුටම ආවේණික වූවක්. ඔහුගේ විශිෂ්ඨ ගීත ගොන්න අතරේ අති විශිෂ්ඨතම ගීතයක් විදියට හදුන්වන්න පුළුවන් කේ.ඩී.කේ ධර්මවර්ධන රචනා කොට වික්ටර් රත්නායකයන් සංගීතවත් කළ කුමරියක පා සළඹ සැලුණා ගීතය. මොකද මේ ගීතය ඒ තරමටම චිත්ත රූප මවන්න සමත් අර්ථ රසයෙන් සහ ශබ්ද රසයෙනුත් පිරිපුන්.

"කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා.."

ඔහු සිල්වතෙක්. බොහෝවිට තාපසයෙක් පැවිදේදෙක් වෙන්න පුළුවන්. ඔහු තමන්ගේ අරමුණ වෙනුවෙන් කැපවෙලා කුමර බඹසර ඒ කියන්නෙ බ්‍රහ්මචාරී බව ආරක්ෂා කරගනිමින් ධ්‍යානයට සමවැදිලයි ඉන්නෙ. බො හෝ විට ඒ වනාන්තරයක් විය හැකියි. ඒ අසළින් යන කෙනෙකුගෙන් නැගෙන ලෝහ ගැටෙන යම් හඩක් මේ තාපසයාට ඇහෙනව. අපි හිතමු තාපසයා තපස් රකින තැන ආසන්නයේ තියන දොළ පාරකට යන "කාගෙහරි" කියල.

මේ හඩත් සමග තාපසයගෙ හිත ගැස්සෙනවා. ඔහුගෙ ඔලුවට එන්නෙ අර ලෝහ ගැටෙන හඩ කාන්තාවකගෙ පා සළඹමයි කියල. නිකම්ම කාන්තාවකගෙ නෙමෙයි. කුමරියකගෙ එහෙමත් නැත්නම් නව යෞවන වියේ ඉන්න සුන්දරත්වයෙන් අගතැන්පත් ලලනාවකගෙ පා සළඹ හඩ තමයි මේ කියන නිගමනයට තාපසයා එනව. ඒත් සමගම ඔහු භාවනා කරන්න වසාගෙන හිටපු ඇස් ඇරෙනව. ඒවා යුවතියකගෙ පාසළඹ හඩක්මයි කියල ආපු ඒ නිගමනයත් එක්ක තාපසයා හිතින් යන දුර තමයි මේ ගීතයේ කියවෙන්නෙ. එතැන ඉදන් තාපසයා අර තමන්ගෙ මනඃකල්පිත තරුණියගෙ සුන්දර සිරුරේ හැටි සොබාව හිතින් මවා ගන්නව.

"උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය.."

තාපසයා හිතින් මවාගත්තු තරුණිය ඇදගෙන ඉන්නෙ දුහුල් සළුවක්. සළෙලු බවට පත්වූ ඒ කියන්නෙ සරළව කිව්වොත් සල්ලාල එහෙම නැත්නම් වලත්ත ස්වභාවයකට පත් වූ තාපසයාගෙ හිත ඒ සළුව හිතින් ගලවා අර තරුණිය තමන්ගෙ චිත්ත සන්තානය ඇතුලෙ නිරුවත් කරනව. එතකොට දකින්න ලැබෙන දේවල් ගැන හරිම ලස්සනට කේ.ඩී.කේ ධර්මවර්ධනයන් ලියල තියනව. කාන්තාවකගෙ සිරුරක් කිව්වම මුලින්ම අවධානය යොමුවෙන උකුළ ඔහු මවාගන්නව. ඊළගට ළැැම හස වශයෙන් හදුන්වන්නෙ හංසයන්ට උපමා කළ හැකි ඇගේ පියයුරු. ඔහු සිතින් ඒවත් බලනව. මළවි කරළිය කියන්නෙ මොකක්ද ඇත්තටම? ඕක තමයි මේ සින්දුවෙ දැවෙන ප්‍රශ්නෙ. මළවි කියන්නෙ අනංගයා. කරළිය කියන්නෙ වේදිකාව. ඒ කියන්නෙ නටන තැන. එතකොට අනංගයා නටන්නෙ කොතනද එතනයි මළවි කරළිය. (Asitha Sandarathna ගෙන් තමයි මම මළවි කරළිය ගැන ඔය විග්‍රහය මුලින්ම ඇහුවෙ මීට අවුරුදු 9කට විතර කලින්)

ඔහුගෙ හිතේ මැවුණ ඒ දර්ශනය ඔහුට පේන්නෙ තවුතිසා දිව්‍ය ලෝකයක් ගාණට. දෙවියන් පවා සන්තර්පණයට නැළවීමට ඒ දර්ශනය ඇති කියල තාපසයාට හිතෙනව. ඒ මනඃකල්පිත දර්ශනයෙන් උමතු වෙච්ච ඇස් අර කාන්තාව හොයන්න පෙළඹෙනව. ඊට පස්සෙ තමයි ලස්සන වැඩේ වෙන්නෙ.

"නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය.."

ඔහුගෙ ජීවිතය එතෙක් කල් හරිම නිශ්චල නිවුණු එකක්. ඒක හරියට තපෝවනයක් වගේ කියල රචකයා කියනව. ඒ තපෝ වනය මැදට හැගීම් නම් වූ ගජ සේනාව ඒ කියන්නෙ අලි සේනාව ඔවුන්ගෙ දම්වැල් කඩාගෙන එක්වරම කඩාවදිනව වගේ දෙයක් තමයි තාපසයට වෙන්නෙ. එහෙම අලි රැළක් ඇවිත් ඔහුගේ නිවුණු සිතේ තිබුණු ළපටි පළතුරු ගස් වැල් මල් කැකුළු වල පෙති ආදිය තලල කඩල හොලවල දානව. තාපසයාගේ දැහැන සම්පූර්ණයෙන්ම සුණු විසුණු වෙලා යනව. ඊට පස්සෙ තමයි ඔහු දකින්නෙ අර ලෝහ ගැටෙන හඩ කොහෙන්ද ආවෙ කියල. ඒක දැකපු ඔහුගෙ හිත කඩා වැටෙනව. අර හිතින් මවාගත්ත තවුතිසා දිව්‍ය ලෝකය පරදන දර්ශනය බිදිල සුණු විසුණු වෙලා යනව. ඒ නිසයි කියන්නෙ දෙවියන් පවා සනසවන්න සමත්වූ ඒ මනඃකල්පිතය බිදුණාම මා හඩවයි බිදුණු තුසිතය කියල.

කෙසේ වෙතත් මේ ගීතය පුරා දුවන හරය වෙන්නෙ සුළු කාරණා කීපයකින් මවා ගන්නා ලෝකයක් බොහොම ලේසියෙන් ඉක්මනට බිදවැටෙන්න පුළුවන්ය කියන යථාර්ථය. එය රචකයා සරාගී තේමාවක් මුසුකොට ඉදිරිපත් කරන හැටි බලන්න ලස්සනයි. නමුත් අර කලාන් කීව මූලික හරය ඕනෑම දෙයකට අදාළ කරගතහැකි පණිවිඩයක් දෙනව.

ඇත්තටම තාපසය දැක්කෙ මොකක්ද ඒක සිංදුවෙ හරියට කියවෙන්නෙ නෑ. මේක ජාතක කතාවක් ඇසුරු කරගත්ත කියලත් කියනව. ඒ ජාතකයෙ තියෙන්නෙ මොකක්ද කියන එක මට හරියට මේ මොහොතෙ මතක නෑ. මම කැමතියි ඒකට මගේම විකල්ප අවසානයන් තුනක් දෙන්න.

1. විකල්පය

ඇත්තටම ඒ එන්නෙ කාන්තාවක් තමයි. නමුත් ඒ තාපසයා හිතපු විදියෙ සුකුමාර තරුණ ලලනාවක් නම් නෙමෙයි. ඇය මැහැල්ලක්. තමන්ගෙ මරණය පෙනි පෙනී ජීවත් වෙන කොන්ද කුදු ගැහුණු හිස පැහුණු සම රැළි වැටුණු ඇකිලුණු සිරුරකින් යුත් මැහැල්ලක්. ඇය දැකීමෙන් තාපසයගෙ මනෝ ලෝකය බිදෙන එක බොහොම පහසුවෙන් වෙන්න පුළුවන්.

2. විකල්පය

ඒ කාන්තාවක් නෙමෙයි. පුරුෂයෙක්. ඔහු කම්මල් කරුවෙක්. ඔහු අරන් යන මල්ලෙ තියෙන යම් ලෝහ නිමැවුම් දෙකක් එකට ගැටිල එන සද්දෙ තාපසයට බොහොම පහසුවෙන් පා සළඹ කියල වරදින්න පුළුවන්. තාපසය සමලිංගිකයෙක් නෙවෙයි නම් ඔහු සුයාමය එතනම තියල ආපහු හැරිල යයි.

3. විකල්පය

මේකට තමයි මම ආසම. මොකද ඒක ඒ තරම්ම සැහැල්ලු අවසානයක්. තාපසය ගස් අතරින් එබිල දොළ පාර දිහා බලද්දි දකින්නෙ කවුද වෙන කවුරුවත් නෙමෙයි තමන්ගෙ බෙල්ලෙ එල්ලලා තියෙන මිණිගෙඩිය ටිං ටිං ගාල හොලවමින් සොරොස් සොරොස් ගගා වතුර බොන තඩි ගොන් නාම්බෙක්. ළැමහස වෙනුවට තියනව තඩි මොල්ලියක්. උකුල මළවි කරළිය තියන තැන්වලත් ගොනාට ආවේණික ඒ ඒ අවයව තියනව. ඇත්තටම සිද්ධිය එහෙම වුණා නම් තාපසයටත් හිනායයි. ඊට පස්සෙ "අයියෝ සල්ලි. වෙච්ච දෙයක්" කියල තමන්ටම කියාගෙන යම් තරමක ප්‍රභාස්වර සිතකින් ආපහු භාවනාවට සමවදින්න ඔහුට පුළුවන් වෙයි. මං ඒ අවසානයට ආස ඒකයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...