Saturday, April 11, 2020

ආදරණීය ''හෙට්ටිආරච්චි මහත්තයා''

(ප්‍රවීණ රංගධර සුනිල් හෙට්ටිආරච්චිගේ අභාවය වෙනුවෙන් 2015.12.03 දින ලියන ලද පෝස්ටුවකි)

වර්ෂ 1937 උපත ලබා වසර 78ක් ආයු වළදා දිවි ගමනින් සමුගත් ඔහු සුනිල් එඩ්මන්ඩ් හෙට්ටිආරච්චිය. ඔහු ගැන මහා ගොඩක් මම දන්නේ නැත. වර්ෂ 1982 කඩවුණු පොරොන්දුව සිනමා නිර්මාණයෙන් රංගන දිවිය ඇරඹු ඔහු මම මුළින්ම දුටුවේ එකළ ජනප‍්‍රිය ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවක් වූ බෝඩිම ටෙලි නාට්‍යයේ හෙට්ටිආරච්චි මහත්තයා ලෙසය. ඒ චරිතය සැබැවින්ම මා සිත ඇද බැද ගත්තේය. එබැවින් ඔහු සැමදා මට හෙට්ටිආරච්චි මහත්තයාම විය.
බෝඩිම සුන්දර නාටකයකි. ඉතා සරළ ඒත් සැබැවින්ම හිනා යන විහිළු එහි තිබුණේය. වර්තමානයේ ප‍්‍රහසනය යැයි කියමින් මහත් වෙහෙසක් දරා සිනාසිය යුතු හාස්‍ය නාට්‍ය හමුවේ බෝඩිම දැවැන්ත නිර්මාණයක් විය. 

හෙට්ටිආරච්චි මහත්තයා අපූරු පුද්ගලයෙකි. හිසේ තට්ටය පෑදිලාය. ඇගේ කටුයි හමයි විතරය. නමුත් බෝඩිම නාට්‍යයේ චරිත අතරින් දිනපතා ව්‍යායාමයේ යෙදෙන ශක්තිවන්තයා ඔහුය. වරක් එහි සංගීතඥයා වූ බන්දුල විජේවීර ඉතා තම සංගීත පුහුණු වීමකදී මන්ද ස නැමති අසීරු උච්ච ස්වරයක් ඇල්ලීමට ගොස් තම හක්ක පන්නා ගත්තේය. සහයට දිව එන්නේ හෙට්ටිආරච්චි මහත්තයාය. ඔහු පැමිණෙන්නේ මිටියක්ද අරගෙනය. මිටිය ගෙන බන්දුලගේ ඇගට පනින ඔහු බන්දුල බිම හොවාගෙන ටිං ටිං යන අනුකරණයෙන් බන්දුලගේ හක්කට මිටි පහරවල් එල්ල කරයි. එයින් බන්දුලට කිසිදු සුවයක් අත් නොවූ කල ඔහුගේ ස්ථානෝචිත ප‍්‍රඥාවට විශේෂ උපක‍්‍රමයක් සිහියට නැගේ. ඒ අනුව ඔහු කෝපයෙන් මෙන් බන්දුලගේ තාම්පුරාව නැමති සංගීත භාණ්ඩය ගෙන පොළවේ ගැසීමට සැරසේ. එයට එපා කීමට උත්සාහ කරන බන්දුලගේ හක්ක යළි යථා තත්වයට පත්වේ.

සුනිල් හෙට්ටිආරච්චි දායක වූ මට මතක සිටි තවත් නිර්මාණයක් වූයේ ජිප්සීස් කණ්ඩායමේ සිංඤෝරේ ගීතයය. එහි සිටින පරාජිත මන්ත‍්‍රී වරයාගේ සහයකයෙකු ලෙස ඔහු මන බන්දනීය රංගනයක නිරත වේ.

මේ නිර්මාණ ද්විත්වය මෙන්ම තවත් ගණන් කළ නොහැකි නිර්මාණ සංඛ්‍යාවකට ඔහු දායක වී ඇත. ඒ සියල්ලක්ම සුවිශේෂී මෙන්ම සුනිල් හෙට්ටිආරච්චි යන කළා කරුවාට ප්‍රෙක්ෂකයා තව තවත් ආදරය කරවනසුළු නිර්මාණ විය.

ඊට අමතරව තිරයේ දකින් පරිදිම සැබෑ ලෙසද විනෝදකාමී අන් අයට උදව් කිරීමට නිතරම උත්සාහ ගන්නා ආදරණීය චරිතයක් ලෙස ඔහු ශිල්පීන් අතරද ප‍්‍රකට විය. සිනමාවට පුංචි තිරයට සැමදා වීරයන් බිහිවිය. ඔවුන් මියගිය කල ඒ අඩුව පුරවන්නට තවත් වීරයන් බිහිවිය. ඉදිරියටත් එය එසේම වනු ඇත. නමුත් ෆ්‍රෙඩී සිල්වලා සුනිල් හෙට්ටිආරච්චිලා වැනි ශිල්පීන් නැවත බිහි නොවේ. ඔවුන්ගේ රංගනය එපමණම සුවිශේෂීය.


No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...