Saturday, April 11, 2020

පිට්ටනියේ දෙබිඩි බල්ලෝ


(2015.12.10 දින ලියන ලද පෝස්ටුවකි)

මා එවකට ඉගෙනුම ලැබුවේ 6 ශ්‍රේණියේය. එය පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ මා මුහුණදුන් පළමු වාර පරීක්ෂණයයි. පැවිලියන් ශාලාවේ විවෘත ප‍්‍රදේශයේ විභාගය සදහා අපට අසුන් පනවා තිබුණි. එදින පැවැතියේ කුමන විෂයදැයි මට අද මතක නැත. නමුත් විභාගය ලියන අතරතුර මාගේ මිතුරෙකු මා හට ක‍්‍රීඩා පිටිය මධ්‍යයේ වූ යමක් පෙන්වීය. එහි සිටියේ (උන්ගේ ලිංගික කාර්යය සදහා) එකට යාවී සිටි බල්ලෙකු සහ බැල්ලකි. ඒ කුමක්දැයි මා එවකට දැන සිටියේ නැත.

මට එය පෙන්වූ මාගේ මිතුරා නොනවත්වා සිනාසෙයි. මට එය මහත් ගැටළුවකි. ගැටළුව සිතෙහි දරාගෙන මම නැවත ප‍්‍රශ්න පත‍්‍රය වෙත අවධානය යොමු කළෙමි. නමුත් මා දුටු දර්ශනය නිරන්තරයෙන් මගේ සිතට පැමිණෙයි. එම බල්ලන් උත්පත්තියෙන් යම්කිසි දෙබිඩි විකෘතියකට භාජනය වූවන් වන්නට ඇතැයි මා සිතුවේ ඒ පිළිබද වෙනත් තර්කානුකූල පැහැදිලි කිරීමක් එකළ මාගේ දැනුමේ නිම් වළලු තුලින් සොයාගන්නට මා අසමත් වූ බැවිනි.

විභාග ශාලාවේ අධීක්ෂණ කාර්යයේ නියුතු එක්තරා ගුරු මෑණිකෙනෙකුන් එම ස්ථානයට ආවාය.
''කොහොමද අතාවුද පේපර් එක ලේසිද?'' ඇය ඇසුවාය.

ප‍්‍රශ්න පත‍්‍රයට වඩා මා දුටු දර්ශනය එවිට මාගේ සිතේ රජකරමින් තිබුණි. එබැවින් මා එම ගුරුමෑණියන්ට දුන් අහිංසක පිළිතුර වූයේ,
''පේපර් එකනම් ලේසියි මැඩම්. පිට්ටනියේ දෙබිඩි බල්ලෝ ඉන්නවා වගේ'' යන්නයි.
එසේ කියමින් මා මගේ සුරතේ දබර ඇගිල්ලෙන් අදාළ බල්ලන් දෙදෙනාද එකී ගුරු මෑණියන්ට දක්වා සිටියෙමි.

මාගේ නොදන්නාකම නොදත් ඒ ගුරුමෑණියෝ කෝපාවිශ්ඨ වූවාය. බල්ලන් දෙදෙනෙකුගේ ලිංගික කාර්යය මැදිවියට ආසන්න වෙමින් සිටි අවිවාහක ගුරුවරියකට පෙන්වා නොමනා විහිළුවක් කළ මාගේ නැහැදිච්චකමට ඇය ඉතා තදින් බැණ වැදුණාය. ඇගේ කෝපය වටහා ගත නොහැකි වූ මම මට තේරෙන අයුරින් එය පැහැදිළි කිරීමට උත්සාහ ගතිමි. නමුත් එයින් සිදුවූයේ තත්වය වඩාත් නරක අතට හැරීමය. විභාග ශාලාවේදීම අඩි හප්පා කෝපය ප‍්‍රකාශ කළ ඇය ශාලාවේ සිටි අනෙක් ගුරුවරුන් වෙත නික්ම ගියාය.

ඉන්පසු මට මුහුණදීමට සිදුවූයේ ඉතා අවාසනාවන්ත තත්වයකටය. මාගේ පන්තියට උගැන්වීම සදහා පැමිණෙන සෑම ගුරුවරයෙක්ම පාහේ අදාළ සිද්ධිය දැනගෙන තිබුණි. යටත් පිරිසෙයින් එම ගුරුවරුන්ගෙන් දෙදෙනෙකු පමණ හැර අන් සියළු දෙනාම එම සිදුවීම ගැන තමන් දන්නා බව පන්තියේදී ප‍්‍රසිද්ධියේ මට ඇගවූහ. මා පුරුද්දක් ලෙස කුණුහරුප කියන ළමයෙකු ලෙස ප‍්‍රසිද්ධයේ හැදින්වීමට ඔවුන් කිසි සේත් පසුබට නොවූහ.

''මොකද අතාවුද තමුසෙ මේ කුණුහරප කියනව කියන්නෙ? තමුසෙ මොනිටර් නේද?''
මදක් සැරවැර ඇති එක් ගුරුතුමියක වරක් මගෙන් එසේ ඇසුවේ මුළු පංතියම ඉදිරියේ පොතේ හරි වැරදි ලකුණු කරගැනීමට ගිය අවස්ථාවකදීය. කුඩා මට හැඩුම් ආවේය.

''මම කුණුහරප කියන්නෙ නෑ මැඩම්''

මම බිම බලාගෙන ඉමහත් ලැජ්ජාවෙන් යුතුව කදුළු පිරි දෙනෙතින් පිළිතුරු දුනිමි.

තවත් එවන් එක් අවස්ථාවක එක් ගුරුතුමෙකු කළ ප‍්‍රකාශයක් මට අදද මතක තිබේ.
''ළමයි මේ වයසට කියන්නේ කුණාටු සමය කියලා. ඒ වයසෙදි මේ ළමයි වැරදි දේවල් වලට යොමුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතින් අපේ යාළුවො කවුරුහරි වරදකට යොමු වෙලා තියෙනවනම් අපි එයාලට ඒ වරදෙන් ඈත් වෙන්න උදව් කරන්න ඔන. එයාල ඒ වැරදි වැඩේ නොකර ඉන්න පොළඹවන්න ඔන. දැන් උදාහරණයක් විදියට අතාවුද කුණුහරුප කියනවා නම් අපි එයාට ඒ පුරුද්දෙන් ගැලවෙන්න උදව් කරන්න ඔන''

මම විශාල අපහසුතාවයකට පත්වීමි. මා කර ඇත්තේ වරදක් බව ඒ සිදුවීමෙන් සෑහෙන කාලයක් යනතුරුම මම නොදැන සිටියෙමි. මාගේ ගුරුවරුන් මෙසේ මා අපහසුතාවයට පත් කරන්නේ මන්දැයි මට මහත් ගැටළුවක් විය. නමුත් ඒ සියල්ල හිටි හැටියේ නතර විය. ඉන්පසු කිසිවකු මට ඒ කතාව මතක් කළේද නැත. මා විදුහලෙන් ඉවත් වූ පසු දැනගත් පරිදි ඒ අංශප‍්‍රධාන ගුරුතුමාගේත් තවත් එක් ආදරණීය ගුරු මෑණියකගේත් මැදිහත් වීම මත සිදු වූවකි.

අදාළ සිදුවීම අද සිහිපත් කරද්දී මා ගැලවී ඇත්තේ මාරකයකින් බව මට සිතේ. මට ඒ අභියෝගය නව යොවුන් වියේ තරුණ එඩිය එබිකම් කරන 9 වසරේදී පමණ පැමිණියේ නම් මමද එයට එරෙහිව නිර්දය ලෙස නැගී සිටිනු ඇත. මට බොරු චෝදනා කරන උන්ට පාඩම් ඉගැන්වීමට සමහර විට හිතා මතාම ඔවුන්ගේ මුහුණටම කුණුහරුප කියනු ඇත. මට අභියෝග කළ අයට මමද අභියෝග කරනු ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස මාගේ අධ්‍යාපනය කඩාකප්පල් වනු ඇත. නමුත් මාගේ වාසනාවට එම සිදුවීම සිදුවූයේ පෙරළා අභියෝග කිරීම මා හදුනාගෙන නොසිටි 6 වැනි ශ්‍රේණියේදීය. එමෙන්ම ගුරුවරුන් දෙදෙනෙකුට හෝ ඔවුන්ගේ කාර්යභාරය වන්නේ වරදක් වූ විට එය හෝද හෝදා මඩේ දැමීම නොවන බව තේරුම් යාම මට ලැබුණු මාගේ බොහෝ මිතුරන්ට නොලැබුණු දුලබ භාග්‍යයකි.

නමුත් මාගේ පංති සගයන් බොහෝ දෙනෙකුට එම භාග්‍යය හිමි නොවුණි. ඔවුන් 7 ශ්‍රේණියේදී 8 ශ්‍රේණියේදී සිදුකල යම් අහිංසක දග වැඩකට සමහරවිට ඔවුන්ට 11 ශ්‍රේණිය දක්වාම බැණුම් ඇසීමට සිදුවූ අවස්ථා මම දැක ඇත. එම බැණුම් ඇසීමට ප‍්‍රතිරෝධය පෑමට ගොස් තම අධ්‍යාපනය කඩාකප්පල් කරගත්, මට වඩා ඉගෙනීමෙහි දක්ෂයෝ කිහිපදෙනෙක්ම මට නම් කළ හැකිය. සමහර අහිංසක සිසුන් තමන් කළ එක් වරදක් නිසා සමස්ථ පාසල් සමයේම වරදකරුවකු ලෙස හංවඩුගසන ලදුව ගුරුවරුන් විසින් නොසළකා හරින ලද අවස්ථාද විය. තමන්ට පංති කාමරයේ සිටීමෙන් සිදුවන්නේ බැණුම් ඇසීමට බැවින් එයින් ගැලවීම සදහා පංතියේ උගන්වන අවස්ථාවල ඉන් බැහැරව කල් මරන ලද අයද සැළකිය යුතු ගණනකි.

එබැවින් මාගේ පාසල් සමය ගැන නැවතත් අතීතාවර්ජනයක යෙදෙන කළ, ගුරු මහත්ම මහත්මීන් වෙත පැවරෙන වගකීම වන, තම සිසුන්ට නිවැරදි මග පෙන්වීමේදී වැරදි කළ වුන් නැවතත් වැරදි නොකිරීම පිණිස හික්මවීම වෙනුවට, බොහෝ අවස්ථා වලදී සිදුව ඇත්තේ වරක් වරදක් කළ එකා එළවා දැමීම හෝ හළා පළවා හැරීම පමණක්ද යන දැවැන්ත ප‍්‍රශ්නය පැන නැගීම නොවැලැක්විය හැකිය.

ගුරු වෘත්තිය අතිශය වගකීම් සහගතයැයි කියනු ලබන්නේ කට කසනවාට නොවේ. වෛද්‍යවරයෙකු සැත්කමකදී සිදුකරන අත් වැරදීමක් රෝගියෙකුගේ මරණයෙන් අවසන් විය හැකිය. ඉංජිනේරුවෙකු ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අත්වැරදීමකින් එහි සමතුලිත බව එක සෙන්ටිමීටරයකින් වෙනස් වුවහොත් එය තවත් මිනිස් ජීවිත දහස ගණනක් විනාශ කරමින් පොළවට පතිතවිය හැකිය. නීතිඥවරයෙකු තම නඩුවට නිසි සැලකිල්ලෙන් සූදානම් නොවීමේ ප‍්‍රතිඵලය අහිංසක මිනිසෙකු නොකළ වරදකට එල්ලුම්ගස් යාම විය හැකිය. එසේම ගුරුවරයෙකු තමා දැනුවත්ව හෝ නොදැනුවත්ව තම සිසුවෙකුට කරන අහිතකර බලපෑමක ප‍්‍රතිඵලය ඒ සිසුවාගේ සමස්ථ අනාගතය තීරණය කරන්නක් වේ. රටක අනාගතය රටේ සිසු දරු පරපුරය. එබැවින් සියළුම වෘත්තීන් අතුරින් අතිශය වගකීම් සහගත වෘත්තිය ගුරු වෘත්තිය වන බව අවිවාදිතය. අත්වැරදීම් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම අධික වන අතර අත්වැරදීම් වලින් සිදුවන හාණියද මෙතෙකැයි ගිණිය හැකි නොවේ.

නමුත් ගුරුවරුද මනුශ්‍යයෝය. ඔවුන්ටද දුක සතුට තරහව යනාදී හැගීම් පහළ වේ. එවැනි හැගීම් මත දුරදිග නොබලා කටයුතු කරන අවස්ථාද ඇත. එය මනුශ්‍ය ස්වභාවයයි. නමුත් මා ශ්‍රේෂ්ඨ ගුරුවරයා ලෙස සළකන්නේ තම ශිෂ්‍යයාට ඉතාම දක්ෂ ලෙස ශිල්පය කාවැද්දිය හැකි තැනැත්තාට වඩා ඉතාම නිවැරදි මග පෙන්වීම ලබාදිය හැකි තැනැත්තා වේ. එය තරමක් පුදුම සහගත නිර්වචනයක් බවය ඇත්තය. එයට අනුව ඔබට ජීවිතයේ මෙතෙක් මුණගැසුණු ශ්‍රේෂ්ඨතම ගුරුවරයා ඔබට කිසිදිනෙකු කිසිදු විෂය කරුණක් ගැන අකුරක් හෝ උගන්වා නැති කෙනෙකු විය හැකිය.

නමුත් මා පාසල් සමයේ ඇසුරු කළ මිතුරන්ගෙන් කුඩා කළ ඉතා දක්ෂව සිට ගුරුවරුන් විසින් හරිහැටි අවබෝධ කරගනු නොලැබීම නිසා තමන්ට යාහැකිව තිබූ සාර්ථකත්වයට යාමෙන් වලකන ලද සිසුන් ප‍්‍රමාණය සළකා බලන විට මාගේ නිර්වචනය වඩා සාධාරණ එකක් බව මට සිතේ.

(මා හට සිප් සතර උගැන්වූද නූගැන්වූද, මට හිතවත් වූ මෙන්ම අහිතවත් වූ, මා අගය කළ මෙන්ම මට අභියෝග කළ, සියළුම ගුරු මෑණිවරුන් පියවරුන්ට මාගේ ගෞරවය හා හෘදයාංගම ස්තූතිය හිමිවන අතර මෙම ලිපිය ඔවුනට හෝ ගුරු පරපුරට කරන ලද අපහාසයක් හෝ දෝෂාරෝපණයක් ලෙස කිසි සෙත් නොසැළකිය යුතුය.)

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...