කුමන ක්ෂේත්‍රයක රැකියාවකට වුවද තෝරාගැනීමේදී ප්‍රමුඛතාවය ලැබීමට,
රැකියාවේ සීග්‍රයෙන් ඉදිරියට යාමට, ඉක්මනින් උසස් වීම් ලැබීමට ඉංග්‍රීසි
භාෂා දැනුම ප්‍රායෝගිකව අත්‍යවශ්‍ය වේ. නීතිඥ වෘත්තිය, වෛද්‍ය වෘත්තිය
ආදියෙහිදී පවා ඉංග්‍රීසි භාෂාවට ලැබෙන වැදගත්ම ඉතා ඉහළය. අදාළ විෂය
ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව දැනුම 95%ක් පමණම ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඒවා
කියවා අවබෝධ කරගැනීමට නොහැකි පුද්ගලයා තම වෘත්තියේ එකතැන පල් වන්නෙකු බවට
පත්වනු ඇත.
ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ප්‍රවීණතාවයක් ලැබීමට මා
හට පදනම සැකසුවේ අප්පච්චිය. අප්පච්චි මහා ඉංග්‍රීසි උගතෙකු නොවූවත්
ව්‍යාකරණ පාඩම් අඩංගු පත පොත මහත් වුවමනාවෙන් සොයාගෙන මා හට කුඩා කල සිට
වයස අවුරුදු 15ක් පමණ වනතුරු දවසකට පැය බැගින් ඉංග්‍රීසි ඉගැන්වීය. ඒ
හේතුවෙන් ඉංග්‍රීසි භාෂාව මා හට පාසැලේ ඉගෙන ගන්නා විෂයයන් අතරින් පහසුම
විෂය බවට පත්විය.
ඉන්පසු ඉංග්‍රීසි උගැනීම සඳහා මා හට ලැබුණු දක්ෂ
ගුරුවරුන් හේතුවෙන් සහ ඉංග්‍රීසි කඳවුරු වලට සම්බන්ධ වීමට ලැබීම හේතුවෙන්
පාසැලේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ ප්‍රවීණතාවයක් ඇති ශිෂ්‍යයෙකු බවට පත්වීමට
මට අවස්ථාව ලැබුණි. මාගේ සමකාලීනයන්ට පවා ඉංග්‍රීසි උගැනීමට ලැබුණේ මට
ලැබුණු එක හා සමාන අවස්ථාවමය. නමුත් ඔවුන්ගෙන් වැඩිදෙනෙකු එහි වැදගත්කම
එතරම් සැලකූ බවක් පෙනෙන්නට නොතිබුණි.
විශේෂයෙන්ම උසස්පෙළ General English විෂය සඳහා බොහෝ දෙනාගේ උනන්දුව අවමය. එය මහත් අභාග්‍යයකි.
පසුකාලීනව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබන කාලසීමාවේදී
බහුතරය අනුව යමින් සිංහල මාධ්‍යයෙන් උපාධිය හැදෑරීමට මා ගත් තීරණය වැරදි
එකකි. එය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමට එදා තීරණය කරන ලද්දේ නම් මා හට
මීටත් වඩා සාර්ථකත්වයක් අත්කරගැනීමට ඉඩ තිබුණි.
කෙසේ වෙතත් සරසවියේ
3වැනි වසරේ අවසානයේ සිට මා සම්බන්ධ වූ රයිට්ස් නව් ආයතනය හරහා නැවතත්
ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිත කිරීමට අවස්ථාව සැලසුනි. ඉන්පසු
නීතිඥවරයෙකු ලෙස මුලින්ම සේවය කළ F.J & G. de Saram නීතිඥ සමාගම
සම්පූර්ණයෙන්ම පාහේ ඉංග්‍රීසි භාෂාවෙන් වැඩකළ ආයතනයකි. එහිදී ඉංග්‍රීසි බස
නැවතත් ඔපමට්ටම් කරගැනීමේ අවකාශය සැළසුණි.
කෙසේ වෙතත් වර්තමානයේදීද
ඉංග්‍රීසි බස පිළිබඳව පවත්නා මහජන ආකල්පය යහපත් නොවන බව පෙනේ. බොහෝ අය
ජපානය, චීනය වැනි රටවල් උපුටා දක්වමින් ඔවුන් ඉංග්‍රීසි නොසළකා තම මව්
භාෂාව මූලික කරගෙන කටයුතු කිරීම උදාහරණයක් ලෙස දක්වා ශ්‍රී ලංකාව මව් බස
ගැන හැඟීමක් නොමැති රටක් ලෙස දක්වති. එය සැබැවින්ම අර්ධ සත්‍යයකි.
ජපානය හා චීනය මව් භාෂාව මූලික කරගන්නා බව ඇත්තය. උදාහරණයක් ලෙස ජපානයේ
නිෂ්පාදිත මෝටර් රථයක සීඩී වාදන යන්ත්‍රය පවා ඇත්තේ ජපන් භාෂාවෙනි. නමුත්
ඔවුන්ගේ මෝටර් රථ ලෝක වෙළෙඳපොලේ අලෙවි වන්නේ ජපන් භාෂාවෙන් ඇති තැටි වාදන
යන්ත්‍රය නිසා නොව මූලික නිෂ්පාදිතය වන මෝටර් රථයේ ඇති තත්වයෙන් උසස් බව
නිසාය. මෝටර් රථයේ ගුණාත්මක බව සළකා එය මිළදී ගන්නා තැනැත්තාට ඒ සමඟ එන
ජපන් භාෂාවෙන් වූ තැටි වාදන යන්ත්‍රයද මිළට ගැනීමට සිදුවේ. ඒ අනුව එය
ජපනාගේ ස්වභාෂා අභිමානය කෙරෙහි ගෞරවයෙන් සිදුකරන මිළදීගැනීමක් නොවේ.
ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව ප්‍රචලිත කිරීම ඍජුව සිදුකළ හැක්කක් නොවේ. පළමුව
ශ්‍රී ලංකාවෙන් ලෝක වෙළෙඳපොලට ප්‍රතික්ෂේප කළ නොහැකි නිෂ්පාදන ඉදිරිපත් කළ
යුතුවේ. ඒවායේ ගුණත්වය පිළිබඳව කීර්තිනාමයක් ගොඩනගා ගැනීමෙන් පසු එහි
භාෂාව සිංහල නොව වැදි භාෂාව වුවද ලෝකය එය නොසළකා අපේ නිෂ්පාදනය තෝරාගනු ඇත.
නමුත් සැබෑවටම බොහෝ අවස්ථා වල සිදුවන්නේ අනෙක් භාෂා දනිමින් සිංහල
භාෂාව ගැන අභිමානයෙන් එය තෝරාගැනීම නොව සිංහල හැරෙන්නට අන් කිසිවක් බැරි
වීම මත එය ව්‍යාජ ලෙස උත්කර්ෂයට නැගීමකි.
අනෙක් භාෂා දැනගෙන යම්
තීරණාත්මක අවස්ථාවකදී ඒ භාෂා භාවිත නොකර සිංහල භාවිත කිරීම ගෞරවයට හේතුවක්
වනු ඇත. එවන් අවස්ථාවක් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ජනාධිපති
නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දෙන අවස්ථාවේදී දුටුවෙමි. එතුමන් දිවුරුම්
දීමට පෙර තමන්ට මහත් අභිමානයක් වූ සිංහල භාෂාවෙන් ප්‍රතිඥා දීම සිදුකරන බව
ප්‍රකාශ කළේය.
එතුමන්ගේ ඉංග්‍රීසි දැනුම හා හැකියාව කිසිවෙකු ප්‍රශ්න
නොකරනු ඇත. ඒ අනුව ඒ තීරණාත්මක අවස්ථාවේ ඉංග්‍රීසි තෝරා නොගෙන සිංහල තෝරා
ගැනීම ගෞරවයට අභිමානයට හේතුවකි. නමුත් වෙන භාෂාවක් නොදැනීම නිසා සිංහල
තෝරාගෙන එය සිදුකළේ අභිමානය හේතුවෙන් යැයි යමෙකු කියන්නේ නම් එය ලැජ්ජා
සහගත බොරුවකි.
මාගේ ගුරුවරයෙකු වන ජනාධිපති නීතිඥ සීවලී අමිතිරිගල
මහතා මා දන්නා පරිදි අභිමානවත් සිංහලයෙකි. ඔහු අපගේ පශ්චාත් උපාධි
පාඨමාලාවේදී දේශන මෙහෙයවන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙනි. නමුත් දේශන වලින්
පරිබාහිරව අප සමග සුහද කතාබහේ යෙදෙන අවස්ථා වලදී සිංහල භාෂාව භාවිත කළේය.
එපමණක් නොව වරක් ඔහු මුස්ලිම් ජාතික සිසුවියක් සමග ඉතා ව්‍යක්ත දෙමළ
භාෂාවෙන් කතා කරනු දුටුවෙමි. ඒ දුටු මා තුල ඔහු කෙරෙහි වූ ගෞරවය දෙගුණ
තෙගුණ විය. සැබෑ අභිමානය යනු එයයි.
මා හට පාසල් විෂය නිර්දේශය තුල 1
ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වාම දෙමළ භාෂාව විෂයක් ලෙස උගන්වා ඇත. මා හට
දෙමළ ඉගැන්වූ ගුරුවරුන් සියල්ලෝම දක්ෂ බවට විවාදයක් නැත. නමුත් ආරම්භයේ
පටන්ම දෙමළ භාෂාව උගැනීම සම්බන්ධයෙන් මා දැක්වූ ආකල්පය, මාගේ සමකාලීනයන්
පාසැල් සමයේදී ඉංග්‍රීසි උගැනීම කෙරෙහි දැක්වූ ආකල්පයට සර්ව සම වූ උදාසීන
එකකි. දෙමළ කාලඡේදය සැමදා අප විසින් පිස්සු නටන විහිළු කරන ගුරුවරයාට වද
දෙන කාලඡේදයක් බවට පත්කරගත්තෙමු. ඒ පිළිබඳව මා අද සැබැවින්ම දැඩි කණගාටුවට
පත්වෙමි.
මාගේ වෘත්තියේ ස්වභාවය අනුව මා හට දෙමළ භාෂා ප්‍රවීණතාවයද
තිබුණේ නම් එය මට මිළ කළ නොහැකි අමතර වටිනාකමක් එක් කරන්නට තිබුණි. නමුත්
එතැනදී මම අදටත් අසාර්ථකය.
වෘත්තියේදී පමණක් නොව යම් භාණ්ඩයක්
මිළදී ගැනීමට දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකුගේ වෙළඳසැලකට ගිය විට (ඔව්. මම
පුරුද්දක් ලෙස එවැනි කටයුතු වලදී වෙළඳ මහතාගේ ජාතිය බලන්නේ නැත) එම භාණ්ඩයේ
ගුණ දොස් සියල්ලම පාහේ මා සිටින තැනම තම වෙළඳ සේවකයන් සමඟ සාකච්ඡා කිරීමට
වෙළඳ මහතාට අවකාශ සැලසේ. මට කළ හැක්කේ කට ඇරෙගෙන බලා සිටීම පමණි.
එය කෙනෙකුට අභිමානයට කරුණක් විය හැකිය. ශ්‍රී ලංකාවේ ජීවත් වන්නේ නම් ඔවුන්
සිංහල කතා කළ යුතුම බව අවධාරණය කරන අයද සිටිය හැක. නමුත් මටනම් මගේ
නොදන්නාකම අභිමානයට නොව ලැජ්ජාවට කරුණකි. මගේ මොට බව මටම හැඟෙන අවස්ථාවකි.
දෙමළ බස ඉගැනීමට අවස්ථාව තිබියදී අදූරදර්ශි ලෙස එයින් ප්‍රයෝජන නොගැනීම එම
ලැජ්ජාව දෙගුණ කරවන සුළුය.
එබැවින් මගේ දරුවා සම්බන්ධයෙන්ද
නොවැරදීම අදාළ කරගැනීමට අපේක්ෂාකරන මගේ අවවාදය වන්නේ ඔවුන්ට කෙසේ හෝ ශ්‍රී
ලංකාවේ කතා කරන සියළුම භාෂා ලිවීමේ, කියවීමේ, සවන්දී අවබෝධ කරගැනීමේ සහ
කතාකිරීමේ ප්‍රවීණතාවය ලබා දිය යුතුමය.
එවිට ඔවුන් ඒ සියලු භාෂා
දැන, යම් තීරණාත්මක අවස්ථාවක අන් භාෂාවක් නොතෝරා සිංහලය තෝරාගන්නේ නම්, එය
නොදන්නාකම වසාගැනීම සඳහා නොව සැබැවින්ම අභිමානය හේතුවෙන් කරන ලද්දක් බව දැන
ඒ පිළිබඳව හදවතින්ම සතුටට පත්වී නැගී සිට අත්පොලසන් දීමට අපට හැකි වනු ඇත.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment