Sunday, April 12, 2020

මහරජ ගැමුණු

(2017 මාර්තු 14 වැනි දිනැති පොස්ටුවකි)

පොත
------





ජයන්ත චන්ද‍්‍රසිරි අසමාන මිනිසෙකු බව දැන සිටියෙමි. ඒ අසමා න බව ඔහුගේ වෙදහාමිනේ, දඩුබස්නාමානය වැනි ටෙලි ආශ්චර්යයන් හරහා මෙන්ම අග්නිදාහය ,ගරිල්ලා මාර්කටින් වැනි රිදී ප‍්‍රාතිහාර්යයන් තුලින්ද මොනවට දැක ඇත්තෙමි. එහෙත් ඔහුගේ අසමානත්වයේ නිම් වලළු මෙතරම් පුළුල් බවක් දැන නොසිටියෙමි.

පුරා පිටු දෙසිය සැත්තෑ සතක් පුරාවට දිවෙන ඔහුගේ රචිත වාග් චාතුර්යයේ අපූර්වත්වය තුල නිවිහැනහිල්ලේ කිමිදුණෙමි. අහා! එය මහත්වූ රසයක්මය.

පෙරකී අසමාන ටෙලි හා රිදී සිත්තම් වලින් ඔහු ගත් ආර රචිත කලාව තුලද මැනවින් ඔප් නංවා තිබුණි. ඇරඹුමේ පටන්ම හුදු කියවීමක් නොව එය මනෝ චිත‍්‍රපටයක්ම විය. සෑම වදනක්ම සෑම තිතක්ම කොමාවක්ම මනා අරුතකින් අපගේ මනෝ රදී තිරය තුල මවාලීමට රචකයා දක්වා ඇති කෞෂල්‍යයෙන් අමන්දාන්දයටපත් මම 'ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත' යන උදාන වැකිය මුසාවක් කළ තවත් උදාහරණයක් හදවතින් විද ගත්තෙමි.

ගැමුණු කුමරුවන් නොහොත් ගාමිණී අභය නොහොත් මහරජ ගැමුණු පුස්තකයේ එන ගාමණි අභය නොහොත් දුෂ්ට ගාමණි පිළිබද අප අසා ඇති රසකතාවන් සියල්ල එකට කැටිකොට එයට අවශ්‍ය පමණට සාහිත්‍යාලංකාරය මුසුකරන ලද කියැවීමට අතට ගත් කළ පසෙක තැබීමට සිත් නොදෙන අපූර්ව කෘතියෙකි මහරජ ගැමුණු.

බාලවියේ බත්කවනාතුර මපියරජුන් විසින් කියාදී ඇති ගැමුණු කුමාරයාගේ කතා මත දුටුගැමුණු රාජ වංස කතාව අතැඹුලක්සේ දැන සිටි මම මා දැනටමත් දන්නා ඒ කතාව ජයන්ත චන්ද‍්‍රසිරිගේ වදනින් කියැවීමේදී මා තුල වූ කුතුහලය මා හටම ඇදහිය නොහැක්කකි. මිනිසෙකුට දැනටමත් දන්නා යමක් පිළිබද එවන් කුතුහලයක් පැණනැගිය හැකිද. මහා ත‍්‍රාසයෙන් පිරුණු ෂර්ලොක් හෝම්ස් කතාවක් පළමුවරට කියවන දස වියැත්තෙකු සේ කුතුහළයෙන් ඇළලී ගිය මම කතාව තුල ක‍්‍රියාදාමමය රසය රැදවීමෙහිලා ජයන්ත චන්ද‍්‍රසිරි තුල පවත්නා විශේෂ ප‍්‍රාගුණ්‍යයට සැබැවින්ම වශිකෘත වූයෙමි.

නව යොවුන් වියේ නහට නාහන යෞවනයාගේ සිට ඉවසිලිවන්ත උපක‍්‍රමශීලී මෙන්ම සදාචාරවත් සටන් මෙහෙයවන්නා හරහා සමස්ථ ලක්වාසීන්ගේ අග රජු දක්වා ගාමණි අභය රැගෙන එන ජයන්ත චන්ද‍්‍රසිරි ඔහුව ඔබේ මනෝ රාජ්‍යයේ අභිසෙස් ගන්වයි.

කාවන්තිස්ස රජුගේ ඉවසිලිවන්ත දුරදක්නා නුවණ වෙනත් කිසිදු සාහිත්‍ය කෘතියක් මෙවන් සුමට පිළිබිඹුවක් ලදදැයි මට සිහිකළ නොහැක. එමතු නොව වෙහෙර මහා දේවියෙගේ සිරිතට මෙවන් ගරු ගුණපූජාකථනයක් මහාවංසයේ හෝ වේදැයි මට සැක සහිතය. දසමහා සෙන්පතින්ගේ භූමිකාවන් වෙසෙස් බළකායන්ගේ දිගු දුර විහිදුම් මෙහෙයුම් ආදියෙන් අලංකෘත මහරජ ගැමුණු, ලෝ පසිදු හෝමර් ගේ ශ්‍රේෂ්ඨ යුධ කාව්‍යය ''ට්‍රෝයි'' ආභාසය මෙන්ම, හොලිවුඩයේ රිදී සිත්තම්වල නූතන උපණතීන් මනා ලෙස ගුරු කොට ඇති බව පෙනේ.

අවසන ලක විසූ අභිනන්දනීය නරපතියෙකැයි අවිවාදිත එළාරයන්ගේ ශ්‍රේෂ්ඨත්වයටද රචකයා අවැඩක් කොට නැති. ඔහුගේ වීර්යය, ඍජුබව මෙන්ම, තම රට වැස්සාට ඇති ළැදියාව රචකයාගේ බුහුමනට ලක්වී ඇතුවා දැකිය හැකිය.

කැපී පෙනෙන ලෙස වත්මනෙහි යුධ සිරිතෙහි දැකිය නොහෙන පිරිමලුන් ගරු කිරීමේ මහා ගෞරවනීය ව‍්‍රතය, ගාමණී අභය මතු නොව එළාරයන් තුලින්ද පිළිබිඹු කොට ඇත්තේය. යම් විටෙක ගාමණීගේ සදාචාරවත් වත පිළිවෙත අරභයා කිපෙන සෙන්පතින් තම විදග්ධ බවින් දමනය කරන තරමට වැඩෙනා තුරු ගාමණී සිහසුන වෙත හෝ සෙන්පතිකමට හෝ පමණට වඩා ළං නොකළ නමුත් රට ධන ධාන්‍යයෙන් සරි කරවා, ඔද තෙද බල සපිරි සෙනෙවිරත් පරපුරක් බිහි කළ, කාවන්තිස්ස පියරජු තවමත් මට දුටුගැමුණු කතාවේ වීරයාය.

පිපාසිතයෙකුට ජල බිදක් දීම, සාගැත්තෙකුට අහර පිඩක් දීම මෙන්ම, කියවන්නෙකුට/පොත් පිස්සෙකුට කියවන්නට පොතක් දීම අනභිබවනීය මහගු ක‍්‍රියාවක්මය. නොසිතූ මොහොතක මේ අපූරු ගද්‍ය ගෙත්තම මා අත පත්කළ Tharaka Muditha Wasala ආදරණීය සොයුරාණන්ට අපමණ තුති.


මහරජ ගැමුණූ චිත‍්‍රපටය බැලුවෙමි. මහරජ ගැමුණු පොත මගින් ජයන්ත චන්ද‍්‍රසිරි මාගේ මනෝලෝකය තුල කළ රිදී සිත්තම, සැබෑ සිනමා පටයට වඩා බොහෝ අගනා බව හැගුණි.
No offense. නමුත් ජයන්ත චන්ද‍්‍රසිරි වැන්නෙකුගේ අති විශිෂ්ඨ imagination එක හා සමපාත වන සිනමා තාක්ෂණයක් තවමත් අපට නැති බව පිළිගත යුතුය. 

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...