Sunday, April 12, 2020

කොටි දියණියකගේ පාපෝච්චාරණය

(2017 මාර්තු 11 වැනි දිනැති පොස්ටුවකි)


හැමවිටම ජයග‍්‍රාහකයා හරිය. පරාජිතයා වැරදිය. එබැවින් ජයග‍්‍රාහකයාගේ කතාව වීර කතාවක් වෙද්දී පරාජිතයාගේ කතාව ශෝකාන්තයක් පාපෝච්චාරණයක් වැනි නිර්වචනයන්ට ලඝු වනු දැකිය හැකිය. ඒ මනුස්ස සමාජයේ හැටිය.

මෙම පොත ඉංග‍්‍රීසියෙන් ‘Tamil Tigress’ වී සිංහලයට නැගෙන කළ 'කොටි දියණියකගේ පාපෝච්චාරණය' වූයේ ඇයිදැයි මම තවමත් කල්පනා කරමි. බොහෝ විට එය පැරදුණු එකාගේ කතාවට හඩක් ලබාදීම නිසා තමාට උග‍්‍ර සිංහල ජාතිකවාදී සමාජයෙන් නැගෙනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි අවලාද හා විරෝධතා අවම කරගැනීමේ අරමුණින් පොතේ පරිවර්තිකා සුනිලා විජේසිංහ යෙදූ උපාය මාර්ගයක් වන්නට ඇත.

නමුත් සත්‍ය කතාව නම් මේ පොතේ කිසිදු ස්ථානයක වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින ගරිල්ලා කණ්ඩායමක සාමාජිකාවක් වීම පිළිබදව රචිකා නිරෝමි ද සොයිසා පාපෝච්චාරණය කරන්නේ නැත. ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් ඇය හා ඇයගේ සමකාලීන සගයන් තුල පැවැති සිහිනය ඇය කොටි සංවිධානයෙන් ඉල්ලා අස්වන දිනය දක්වා මෙන්ම මෙම පොත රචනා කරන දිනය දක්වාම වෙනස් වී ඇති බවක් මෙම පොතින් ගම්‍යමාන නොවන්නේය.

එමෙන්ම එම සිහිනයට දැඩි ලෙස ආශක්තව ප‍්‍රිය කිරීමට ඔවුන්ට පැවැති ඔවුන්ගේ පැත්තෙන් සාධාරණීකරණය කළහැකි හේතූන් පිළිබදවද ඇගේ ආකල්පය වෙනස් වී නොමැත. ඇය කළකිරුණානම් කළකිරී ඇත්තේ කොටි සංවිධානය පාවාදෙන්නන් යැයි හදුනාගත් කිහිපදෙනෙකුට ඇය අභිමුවේදීම පමුණුවන ලද කෲර දඩුවම් පිළිබදව ඇතිවූ වරදකාරී හැගීම සම්බන්දයෙන් පමණි.

ඇය කොටි සංවිධානය පිළිබදව ඇතිවූ කළකිරීම ප‍්‍රකට කරන්නේ පහත පරිදිය.
(මෙය පොතේ 410 වැනි පිටුවෙන් සිදුකරන ලද උපුටා ගැනීමකි.)

''මා සංවිධානයට බැදුණේ මෙවැනි කටුක හා අමන අත්දැකීම් විදිමින් සිටින්නට නොවේ. මගේ අභිප‍්‍රාය වූයේ රජය විසින් ද‍්‍රවිඩ ජාතිය වෙත එල්ල කෙරෙන අකටයුතුකම් වලින් මගේ ජනතාව ගලවා ගැනීමයි. අපට නිදහසේ ජීවත් වීමට ද‍්‍රවිඩ ඊළමක් ගොඩ නැංවීමයි. එහෙත් මා ඒ සදහා තෝරාගෙන ඇත්තේ නිවැරදි මාවතද? මෙහි තිබෙනුයේ භීෂණය හා භීෂණය අතර ගැටුමක් නොවන්නේද? මා වටකොට සිටින්නේ වධ හිංසා ඝාතන හා අපරාධ නොවේද?’’

එසේ හෙයින් මගේ පුද්ගලික මතය නම් මෙය පාපෝච්චාරණයක් ලෙස හැදින්වීම මගින් අර්ථ දැක්වෙන්නේ මෙම පොතේ අවසාන භාගයේ ඇති අංශුමාත‍්‍රයක කොටසක් පමණක් බවයි. මෙම සමස්ථ පොත තුල ගැබ්වී ඇති කතාන්තරය එම තේමාව යටතේ නියෝජනය නොවන බවක් මට හැගී යන්නේය. ඇය කොටි සංවිධානයට බැදීම, පුහුණුව, විදින ලද දුක් කම්කටොළු, ඒ සියල්ල විද දරාගෙන අරමුණ වෙනුවෙන් සටන් වැදුණු අයුරු, ආදී වූ 'පාපෝච්චාරණය' යන වචනයෙන් නියෝජනය නොවන දහසකුත් එකක් කාරණා මෙම පොතේ අඩංගු වන්නේය.

එබැවින් මෙම පොතට මම දෙන නම 'කොටි දියණියකගේ පාපෝච්චාරණය' නොව 'කොටි දියණියකගේ කතාව' ය. ඇය හා ඇය නියෝජනය කළ සටන පරාජය වී, අප හා අප නියෝජනය කළ සටන ජයගත් පලියට, ඇගේ කතාව හුදු පාපෝච්චාරණයකට ලඝු කිරීම අසාධාරණය.



No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...